විශ්ව නිර්මාණය
විශ්ව නිර්මාණය මෙන්ම අනෙකුත් වැදගත් මාතෘකා සාකච්ඡා කිරීමේදී මිනිසාට (හා ජින් වර්ගයාට) පමණක් උරුම විචාර බුද්ධිය පිළිබඳ කරුණු විමසීමක යෙදීම වැදගත් යැ’යි සිතන්නෙමු.
විචාර බුද්ධිය
සත්වයින් තම පසිඳුරන්ට ගෝචර වන සාධක කෙරෙහි සෘජු ප්‍රතිචාර දක්වන අතර එම සාධකයන් තම චින්තනයට පාත්‍ර කොට එහි විවිධ පැති කඩයන් පිළිබඳ ව විචාරාත්මක ව සලකා බැලීමේ හැකියාවක් ඔවුන්ට ඇති බව සොයා ගෙන නොමැත. පසිඳුරන්ගෙන් ලබා ගන්නා වු තොරතුරු පිළිබඳ ව සෘජු ප්‍රතිචාර දැක්වීමට මෙන්ම එම තොරතුරු පිළිබඳ ව විචාරාත්මක ව විමසා බැලීමේ හැකියා ව ද මිනිසාට ඇත. ලබා ගන්නා තොරතුරු විචාරාත්මක ව සමාලෝචනයට ලක් කොට නව නිගමනයකට එළැඹිමට මිනිසාට හැකියාවක් ඇත. මෙය උදාහරණයක් මගින් විමසා බැලීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. පසුගිය කාලවකවානුව තුළ මෙරට පැවැති අවාසනාවන්ත සිවිල් යුද්ධ සමයේ දී ත්‍රස්ත්‍රවාදීන් විසින් කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයට පහර දුන් සිද්ධිය අපගේ මතකයෙන් ඉවත් නොවන කරුණක් බවට පත් වි ඇත. මෙය සිදු වූ අවස්ථාවේ කොලොන්නාවේ සිට කි.මි. 20 පමණ ඈතින් සිටි අයට වුව ද අහස් ගැබ තුළට නැග ආ අති විශාල දුම් කන්දරාව දැක ගැන්මේ අවස්ථාව ලැබුණි. ත්‍රස්ත්‍ර පහර දීමක් ගැන නොදැන සිටි මෙම ජනයා පළමු වරට දෑසින් දුටුවේ මෙම ප්‍රහාරයෙන් නැගුණු අතිමහත් දුම් කන්දරාව පමණි. මෙම අසාමාන්‍ය සිදුවීම දුටු ජනයා වහාම මෙම සිදුවීම තම විචාරයට ලක් කරන්නට පටන් ගත්හ. මෙය අයෙකු තම ගෙවත්ත අතු ගා එකතු වු වියළි අතු කොළ ගිනි තැබිමෙන් මතු වු දුමක් නොවන බව ඔවුන් හොඳින් දැන සිටියහ. එමෙන්ම මෙය කර්මාන්ත ශාලාවක දුම් කවුළුවකින් මතු වු දුමක් නොවන බවද ඔවුන්ට පැහැදිලි වූ කරුණකි. මෙලෙස මෙතරම් විශාල දුම් කන්දරාවක් අහස් ගැබ තුළට නැග එන්නට හේතු විය හැකි සාධක ගැන විචාරයක යෙදී නිසැකව ම, සැවොම ඒකමතික ව එළඹුණු පැහැදිලි නිගමනය නම් නිශ්චිත වශයෙන්ම මෙය මහා ගින්නක් හේතු කොට ගෙන මතු වු දුමක් බවයි. මෙම අවසාන නිගමනය පිළිබඳ ව ඔවුන්ගේ සිත් තුළ සැකයක් නොතිබුණි. ඉන් පසු ඔවුන් විචාරන්නට වුයේ මෙම විශාල ගින්න ඇති වන්නට හේතු වු කරුණු ගැන හා ගින්න ඇති වු ස්ථානය පිළිබඳවයි. මෙහි දී මතු කළ යුතු වැදගත් කාරණය නම් කොලොන්නාවේ සිට කි.මි. 20 ක් හෝ 25 ක් ඈතින් සිටි ජනයා අහස් ගැබට නැගුණු දුම දෙස බලා මහා ගින්නක් ඇති බව නිගමනයකට පැමිණියේ එම ගින්න සෘජු ව දැකීමෙන් නොවේ. එනම් පසිඳුරන්‍ට ගෝචර වු කරුණු විචාරයට ලක් කිරීමෙන් සෘජු ව දැකිය නොහැකි හෝ නොදුටු දෙයක් සත්‍යය බව පිළිගැනීමට මිනිසාට හැකියාවක් ඇති බව මේ අනුව පහසුවෙන් අවබෝධ කර ගැන්මට හැකි වෙනවා නොවේ ද? මෙම සරල උදාහරණය මගින් එනම් එක් සංඥාවක් හෝ සංඥා මගින් අන් දෙයක සත්‍යතාව අවබෝධ කර ගැන්මට හා පිළිගැනීමට මිනිසාට හැකියාව තිබේ යන්න මොනවට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු.
ඉහත උදාහරණය අප සතුන්ට අදාළ කර බැලුවහොත් සතුන්ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් එකක් බව අපි හොඳින් දන්නෙමු. අප බොහෝ විට පක්ෂීන්ගෙන් දකින්නේ දුමෙන් වැසුණු අහසින් මතු වන අන්ධකාරය දුටු විට එය රෑ කාලයේ ආරම්භය ලෙස සලකා තමන්ගේ කැදැල්ල කරා පියාඹන්නට සුදානම් වීමයි. එයින් එහා සිතීමේ හැකියාව සතුන්ට ලැබී නොමැත. මිනිසාගේ ස්වභාවය මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. මෙලෙසම නොදුටු දෙවිඳුන් සත්‍යය බව විශ්වාස කිරීමට මිනිසාට හැකි වි තිබෙන එක ප්‍රධාන හේතුවක් නම් මිනිසාට ජන්මයෙන්ම ලැබී ඇති මෙම විචාර බුද්ධියයි. දෙවිඳුන්ගේ සංඥා දෙස අවධානය යොමු කරන මිනිසාට එම සංඥා පිටිපස නියත වශයෙන්ම පාලක පරම අධිපති බලයක් ඇති බව ඔහු ඉතා පහසුවෙන්ම හඳුනා ගනී. මෙම කරුණ පිළිබඳ ව ද උදාහරණයක් මගින් සාකච්ඡා කළහොත් වඩාත් සුදුසු යැයි සිතන්නෙමු.
මෙයට පෙර කිසිවෙකු විසින් දැක නොමැති එමෙන්ම ඒ ගැන කිසිවෙකුට කිසිදු දැනුමක් නොමැති යන්ත්‍රයක් අප ඉදිරියේ ගෙනැවිත් තබා එහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය ගැන දන්නේ කවරෙක් දැයි කියා අපගෙන් විමසුවහොත් අප නිසැකවම ඉදිරිපත් කරන පිළිතුර කුමක් විය හැකි ද? දෙවැනි අදහසකට ඉඩක් නොමැති ව කවුරුත් දෙන පිළිතුර වන්නේ එම යන්ත්‍රය පිළිබඳ ව දන්නේ එහි නිර්මාතෘ බවයි. ඉස්ලාමය උගන්වන්නේ විශ්වය හා එහි ඇති සියලු දෑ සර්ව බලය ඇති නිර්මාතෘ කෙනෙකු විසින් නිර්මාණය කර ඇති බවයි. මෙම නිර්මාතෘ හා මෙයට පෙර සඳහන් කළ විශ්වයේ පාලක පරම අධිපති එක් බලයක් බවත් ඉස්ලාමය අපට උගන්වයි. මෙය එක් අතකින් ක්ෂණික ව ඇදහීමට අපහසු දෙයක් ලෙස යමෙකුට පෙනෙන්නට ඉඩ ඇත. එමනිසා මෙයට අදාළ විද්‍යාත්මක කරුණු අනිවාර්යෙන් ම අපට සාකච්ඡා කිරීමට සිදු වේ.
(මතු සම්බන්ධයි)………
By Ibnu Mansoor
www.yayuthumaga.com