මුස්ලිම්වරුන් දිනපතා පස්වේල සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් අල්ලාහ්ට කෘත ගුණ සලකන කෙනෙක් බවට පත් විය හැකිය. අපට මිල කළ නොහැකි ඇස්, කන්, නාසය, අත්පා ඇතුළු සියළුම අවයව කිසිම අයකිරීමකින් තොරව ලබා දී ඇත්තේ අල්ලාහ් විසිනි. ඒ හැරුණු විට අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව කොතරම් තිබේද? ඒවා අපගේ පාලනයෙන් ස්වායත්තව අපට සේවය කරන්නේ දෙවියන්ගේ ආශීර්වාදය නිසාය. මේවා එකක් හෝ ක්‍රියා නොකළේ නම් ඒවාට ප්‍රතිකාර කිරීමට කොතරම් මුදලක් වැය වනවාදැයි අප සිතා බැලිය යුතු නොවේද?
අපි සලාතය නිසි පරිදි ඉටු කිරීමෙන් අපගේ උවමනාවන් ඍජුවම අල්ලාහ්ගෙන් අයද සිටීමට අවස්ථාවක් උදාවන්නේය. මුස්ලිම්වරුන් සලාතය ඉටු කිරීම නිසා අවම වශයෙන් කුරානයේ පළමු සුරාව වන ෆාතිහාව දාහත් වතාවක් පරායණය කිරීමට සිදුවන බැවින් නිවැරදි මාර්ගය පෙන්වන ලෙස දිනපතාම අල්ලාහ්ගෙන් දාහත් වතාවක් ආයාචනා කිරීමට අවස්ථාව ලැබෙන්නේය. මෙය මිනිසා ලබන භාග්‍යයකි. ඇයිද යත් මේ ලෝකයේ ජිවත්වන කෙනෙක් නිවැරදි මාර්ගය අනුගමනය කිරීමෙන් පමණක් මරණයෙන් පසු කෙළවරක් නොමැති ස්වර්ගය අත්කර ගත හැකි වන බැවිනි. ෆාතිහා සුරාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
“අසීමිත කරුනාවන්තයාවුද අසම දයාවන්තයාවුද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). සියලු ප්‍රසංශා සකල ලෝකයම මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ටමය. (ඔහු) අසීමිත කරුනාවන්තයාය, අසම දයාවන්තයාය. විනිශ්චය දිනයෙහි අධිපති (ඔහුය). (ඕ අල්ලාහ්!) අපි නුඹවම නමදිමු. උඹගෙන්ම උදවු පතමු. නුම අපව ඍජු මගෙහි යවනු මැනව!. (එය) නුඹ කව්රුන් කෙරෙහි දායාදය පිරිනැමුවේද ඔවුන්ගේ මගය. (එය නුඹගේ) කෝපයට ලක්වුවන්ගේද නොමග ගියවුන්ගේද මඟ නොවේ”
සලාතය නොකරන තැනැත්තාට මෙම භාග්‍යය උදාවන්නේ නැත. එවැනි අය තම මනසට වහල් වී ජීවිතයේ නියම අරමුණින් ඈත්වී සිටිනු ඇත. ඔවුන් කළ වරදේ බැරෑරුම් කම දැනගත හැක්කේ මරණයෙන් පසුවය.
සලාතය ඉටුකරන තැනැත්තා දෙවියන් සමග ඍජුවම සම්භාෂණයේ යෙදෙන්නේය. ඔහු දෙවියන්ව නොදුටුවත් දෙවියන් ඔහුව හොඳින් නිරීක්ෂණය කරන්නේය. මේ නිසා කෙනෙකුට යම් උවමනාවක් ඇති වූ විට රකාත් දෙකක් සලාතය ඉටු කිරීම මගින් ඍජුවම අල්ලාහ්ගෙන් තම උවමනාව ඉල්ලා සිටිය හැකිය. එම ඉල්ලීම ඉටුවීමට තිබිය යුතු මුලික කොන්දේසියක් වන්නේ ඔහු හලාල් දේවල් වලින් පමණක් පෝෂණය වී තිබීමය. යම් කෙනෙකු ඇඳ සිටින වස්ත්‍රය හරාම් නම් ඔහුගේ ආහාර පාන හරාම් නම් ඔහුගේ ප්‍රර්තනාවන් ප්‍රතික්ෂේප විය හැකිය. මේ නිසා සෑම කෙනෙකුම පොලී සම්බන්ද දේවල් සහ වෙනත් හරාම් දේවල් වලින් වැලකී සිටීමට උපරිම උත්සායහය ගත යුතුය. තවද අනුන්ගේ දේවල් වංචනික ලෙස පරිහරණය කිරීමෙන් වැලකි සිටිය යුතුය. ඒ අනුව ණයක් ගත්විට ගිවිසගත් අන්දමටම ඒවා නැවත ගෙවීමට ක්‍රියා කළ යුතුය.
කෙනෙකුගේ සලාතය ප්‍රතික්ෂේප වීමට තවත් හේතුවක් වන්නේ දෙවියන්ට සමානයන් තැබීමයි. එසේ කරන අයගේ සලාතය දෙවියන් පිළිගන්නේ නැත. මත්පැන් පානය කිරීම, කාමය වරදවා හැසිරීම වැනි විශාල පාපයන්ට වඩා දෙවියන්ට සමානයන් තැබීම වරදකි. ඒ අනුව කොතරම් කාලයක් සලාතය ඉටුකලත් දෙවියන් හැර මළවුන්ගෙන් හෝ වෙනත් සාස්තෘ වරුන්ගෙන් හෝ පිලිමයන්ගෙන් උදව් උපකාර පතන්නේ නම් ඔහුගේ පින් දහම් වලට කුලිය ලැබෙන්නේ නැත. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම තම උවමනාවන් අල්ලාහ්ගෙන්ම පමණක් පැතීමට වග බලාගත යුතුය. ඔහු දෙවියන්ගෙන් අයදිම වෙනුවට පිළිම වලින් අයද සිටීමෙන් ඔහුට කිසිම දෙයක් ලැබෙන්නේද නැත. ඇයිද යත් එම පිළිම සාදන්නේද ඔහුම නිසාය. මේ නිසා මුස්ලිම්වරු කිසිම හේතුවක් නිසාවත් නබිතුමාගේ පිළිම සාදන්නේ නැත. කෙසේවෙතත් කව්රුන් හෝ මළවුන්ගෙන් උදව් පතන්නේ නම් එය විශාල වරදකි.
යම් කෙනෙක් තම දහම අනුව ක්‍රියා කරමින් සලාතය ද නිසි පරිදි ඉටු කරන්නේ නම් ඔහුගේ කුලිය දෙවියන් අපතේ හරින්නේ නැත. ඒ බව අල්-කුරානයේ මෙලෙස පවසා ඇත.
“කවරහු පුස්තකය ක්‍රියාවට නංවමින්, සලාතයද ස්ථාපනය කරත්ද නියතව ඔවුන්ගේ කුලිය අපි අපතේ නොහරින්නෙමු” (කුරානය 7:17).
සලාතය නිසි පරිදි ඉටුකරන විට කෙනෙක් වැරදි කරන්නේ නැත.
“…සලාතය සහතික කරන්න! නියතව සලාතය මගින් ලජ්ජාශීලි දේද, පිළිකුල් සහගත දේද වළක්වන්නේය. අල්ලාහ්ව සිහිකිරීම ඉමහත් දෙයක් වේ. අල්ලාහ් නුඹලා කරන දේ ගැන හොඳින් දනියි”(කුරානය 29:45).
මේ අනුව මුස්ලිම්වරයෙකු සලාතය ඉටු කරන අතරතුර දී වැරදි කරන්නේ නම් ඔහුගේ සලාතයේ යම් අඩුපාඩුවක් තිබෙන බව තේරුම් ගත යුතුය. එබැවින් ඔහු කළ යුත්තේ තම සලාතය නිසි පරිදි ඉටු කිරීමට වග බලාගැනීමය. ඇයිද යත් මතු දිනයෙහි යාඥාවන් අතුරින් මුලින්ම අසනු ලබන්නේ සලාතය පිළිබදවයි. එය හොඳින් තිබුනේ නම් අනිත් අදියර සියල්ලම ජය ගනු ඇත. මුස්ලිම්වරයෙකුටත් මුස්ලිම් නොවන කෙනෙකුටත් අතර වෙනස සලාතය පැහැර හැරීම බව නබිතුමා වරක් සඳහන් කොට ඇත. එබැවින් මෙම කරුණ ඉතා බැරෑරුම් ලෙස සිතට ගත යුතුව ඇත.
තවද මුස්ලිම්වරුන් සිදු කරනු ලබන සලාතයේ මහිමයෙන් සුළු වැරදි සමාකරනු ලබන්නේය. නබිතුමා එය සමාන කොට ඇත්තේ තම නිවස අසලින් ගලා බසින ගංගාවකින් දිනකට පස් වතාවක් ස්නානය කිරීමටය. (මුලාශ්‍රය සහිහ් බුහාරි සහ මුස්ලිම්). මේ අනුව දිනපතා සලාතය ඉටු කිරීම තුලින් බොහෝ වැරදි වලට සමාවද ලැබෙන්නේය.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.