නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසි ලෙස ඉටුකරන තැනැත්තා අල්ලාහ් සමග ඍජුවම සම්භාෂණයේ යෙදෙන්නේය. එය මුස්ලිම්වරයෙකු ලබන අනගි අවස්ථාවකි. කෙසේ වෙතත් සලාතය ඉටු නොකරන තැනැත්තා ගැන නබි (ﷺ) තුමා මෙලෙස පවසා ඇත.බුරෛදා රලි තුමා නබි (ﷺ) තුමාගේ හදිසයක් මෙලෙස දැනුම් දෙන්නේය: අපටත් ඔවුන්ටත් අතර තිබෙන ගිවිසුම නැමදීම (සලාතය) වේ. කව්රුන් හෝ එය පැහැර හරින්නේ නම් ඔහු සත්‍යවශයෙන්ම ප්‍රතික්ෂේප කල අයෙකු (කාෆිර් කෙනෙකු) වන්නේය (අහමඩ්, තිර්මිසි, නිසායි, ඉබ්නු මාජා).
සලාතය ඉටු කිරීමෙන් ශරීරයට මෙන්ම මනසට ශක්තියක් ලබා ගත හැකිය. බැටරියක් භාවිතා කරන විට විසර්ජනය වන අකාරයටම මිනිසා එදිනෙදා කටයුතුවල නිරතව සිටින විට දෙවියන් සමග ඇති බැඳීම අඩු වන්නේය. එහෙත් සලාතය මගින් එය නැවතත් පුනරාරෝපනය කර ගත හැකිය.
සලාතය නිසියාකාරව ඉටු කිරීමෙන් මුස්ලිම්වරයෙකුගෙන් සිදුවන සුළු පව්වලට සමාව ලැබෙන්නේය. තවද අප මුහුණ දෙන ප්‍රශ්නවලදී ඉවසීමෙන් සහ සලාතය මගින් අල්ලාහ්ගේ උදව් පැතිය යුතුය. ඒ බව පහන දැක්වෙන කුර්ආන් වැකියෙන් නියෝග කොට ඇත.
“තවද ඉවසීමෙන් සහ සලාතය ඉටු කිරීමෙන් (අල්ලාහ්ගෙන්) උවව් පතන්න. නියතවශයෙන්ම එය (අල් කාශිඌන් වරුන්ට) අල්ලාහ් කෙරෙහි සත්‍ය විශ්වාසවන්තයින්ට හැර අනෙක් අයට බරක් වනු ඇත” (කුරානය 2:45).
අබු හුරෛරා රලි තුමා නබි (ﷺ) තුමාගේ හදිසයක් මෙලෙස දැනුම් දෙන්නේය: පස්වේලා සලාතය, එක් ජුම්මා සලාතයක් අනෙක් ජුම්මා සලාතය දක්වාද, එක් උපවාස මාසයක් අනෙක් උපවාස මාසය දක්වාද ඒවා අතර තුර සිදුවන වැරදි වලට පව් සමා කිරීමක්වේ. එහෙත් එයට කොන්දේසියක් වන්නේ විශාල පව්වලින් වැලකී සිටීම ය (බුහාරි සහ මුස්ලිම්).
කුසගින්නට ආහාර අවශ්‍යවනවා සේම අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් මනසට ශක්තිය ලැබෙන්නේය.
අල්ලාහ් සියළු දෙයින් අංග සම්පුර්ණ ය. එබැවින් සලාතය ඉටු කිරීම නිසා අල්ලාහ්ට කිසිම දෙයක් වැඩි වන්නේ නැත. එහෙත් සලාතය මගින් මිනිසාට අල්ලාහ්ගේ උදව් උපකාර ලබා ගත හැකි වන්නේය.
සලාතය ස්වර්ගයේ යතුර බව නබි (ﷺ) තුමා අවධාරණය කොට ඇත. එබැවින් සලාතය ඉටුකිරිම ස්වර්ගය ලැබීමට හේතුවකි. සලාතය ඉටු නොකරන තැනැත්තා අල්ලාහ් තම මැවුම්කරු සහ ආරක්ෂකයා බව පිළිගෙන නැත. එසේත් නැත්නම් ඔහුගේ අණ පිළිපැදීමට උදාසීන බවක් පෙන්වා ඇත.
මිනිසාට අල්ලාහ් ලබා දී ඇති ආනිසංස අප්‍රමාණය. ඒවා දෙස බලන කළ දිනකට පස්වතාවක් සලාතය ඉටු කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එහෙත් අල්ලාහ්ගේ කරුණා මහිමයෙන් අපට දිනපතා පස්වතාවක් සලාතය ඉටු කිරීමට නියම කොට ඇත. අල්ලාහ් නියම කොට ඇති අනිවාර්ය සලාතයට අමතරව නබිතුමා පෙන්වා දෙන ලද වෛකල්පික සලාතයන් ද ඇත. ඒවා ඉටු කිරීමෙන් අල්ලාහ්ට වඩාත් සමීපවිය හැකි ය. නබිතුමාගේ සියළු පව් සමා කොට තිබියදීත් ඔහු දිනපතාම නොකඩවා බොහෝ වෛකල්පික සලාතයන් ඉටු කොට තිබේ.
සලාතය ඉටු කිරීමට පෙර වුළු කිරීමෙන් පිරිසිදු වීම අනිවාර්ය වේ. වුළු නොමැතිව සලාතය බල රහිත වන්නේය. එසේම සලාතය පුර්ණ වීම සඳහා එහි ඉරියව් නිසියාකාරව ඉටු කල යුතුය. සලතයේ ඉරියව් නිසි පරිදි ඉටු නොකළ සහාබි වරයෙකුට නැවත සලාතය ඉටු කරන මෙන් නබිතුමා අණ කල බවට හදිසයක සඳහන් වේ.
සලාතයේ ඇති වැදගත්ම කරුණ නම්, අපි අල්ලාහ්ව බලා සිටින හැඟීමෙන් එය ඉටු කිරීමය. එසේ කල නොහැකි නම් ඒ සඳහා උත්සාහ කල යුතුය. එයත් කල නොහැකි නම් අඩුම තරමින් අල්ලාහ් අපව බලා සිටින හැඟීමෙන් එය ඉටු කල යුතුය. සලාතය ඉටු කරන අවස්ථාවේදී හැකි තරම් ලෞකික දේවල් මතකයට ගැනීමෙන් වැලකී සිටිය යුතුය. ඇයිද යත් මනස එකලස් කිරීමෙන් සලාතයේ වටිනාකම කිහිප ගුණයකින ප්‍රගුණ කර ගැනීමට හැකි වන නිසාය.
කිසිම මුස්ලිම්වයෙකු සලාතය ඉටු කිරීම බරක් කරගත යුතු නැත. නබිතුමා එය ඉතා ඕනෑකමින් ඉටු කොට තිබේ. එසේ තිබියදී ඇතැම් අය සලාතය ඉටු කරන්නේ ඔනෑ එපාවටය. එසේ කිරීමෙන් සලාතයෙන් ලබිය යුතු ආනිසංස නොලැබී යා හැකිය. සහාබාවරුන් ඉතා කෙටි කලකදී ලෝකය ජය ගත්තේ දහම නිවැරදිව පිළිපැදීම නිසාය. ඔවුන් ලෞකික දේවල්වලට වඩා දහමට මුල්තැන දුන්නෝය. අද අපට සෑම අතින්ම ප්‍රශ්න ඇතිවන්නේ දමට වඩා ලෞකික දේවල්වලට මුල්තැන දීම නිසාය.
අපි කොපමණ ලෞකික දේවල් රැස්කලත් මරණයෙන් පසු ඉතිරිවන්නේ අපි කල කුසල් හෝ අකුසල් පමණි. අනෙක් සෑම දෙයක්ම අපගෙන් ගිළිහී යනු ඇත.
By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.