මිහිතලයේ හැඩය

විශ්ව නිර්මාණය පිළිබඳ දීර්ඝ වශයෙන් ඉහතින් සාකච්ඡා කළෙමු. නමුත් අප පය ගසා ජීවත් වන මිහිතලය පිළිබඳ ව නිවැරදි විද්‍යාත්මක මතයක් දහම් මුලාශ්‍රයන්හි අන්තර්ගත නොවන්නේ නම් අපට ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවීම වැළැක්විය හැක්කක් නොවේ. මිහිතලය වා පොලොව, ජල පොලොව හා ගල් පොලොව යානාදියෙන් සංයුක්ත ව ඇති බව හා  ඒවායේ නිශ්චිත දිග පළල පිළිබඳ සඳහනක් ඉස්ලාමය ඉදිරිපත් නොකරයි.  එහෙයින් ඉස්ලාමීය මුලාශ්‍ර  මිහිතලයේ හැඩය පිළිබඳ ව ඉදිරිපත් කරන කරුණු ගැන විමසා බලමු.

අල් කුර්ආනය පහළ කරන ලද හත් වන සියවසේ මිනිසාගේ විශ්වාසය වුයේ පොළොව අද්දර පිහිටි කුලුනු  දෙකක් බඳු වූ කඳු දෙකක් මත පෘථිවිය පිහිටා ඇති බවය. මේ අනුව පොළොව සමතලා එකක් බව ඔවුන්ගේ විශ්වාසය විය. එම යුගයේ මිනිසාගේ අවිද්‍යාත්මක පිළිගැනීම් ප්‍රතික්ෂේප කොට නිවැරදි මතයන් ස්ථාපිත කරන්නට අල් කුර්ආනයේ පණිවිඩය කටයුතු කොට ඇත.

“ඔහු ඔබ දකින කුලුනු කිසිවක් නොමැති ව අහස් නිර්මාණය කළේය.  පොළොව ඔබ හා නොසැලෙනු පිණිස ඔහු තිරසාර හෙල් ස්ථාපිත කළේය”. (අල්කුර්ආන් 31:10)

මිහිතලයේ හැඩය කුමන ආකාරයේ එකක් ද යන්න විද්‍යාඥයින් නිශ්චිත ව සනාථ කර ගන්නේ ඉතිහාසයේ ශත වර්ෂ පහකට අඩු කාලයක් ඇතුළතය. අල් කුර්ආනය හැරෙන්නට කිසිදු ආගමික හෝ ආගමික නොවන ග්‍රන්ථයක් හෝ දහමක් ඉදිරිපත් කළ අයෙකු හෝ ඉතාමත් විද්‍යානුකූල ආකාරයට මිහිතලයේ හැඩය විග්‍රහ කොට නොමැත. අල් කුර්ආනය විවිධ වැකි මගින් නිශ්චිත වශයෙන් ම පෘථිවිය පැතලි එකක් නොවන බව  පැහැදිලි වන ආකාරයට කරුණු ඉදිරිපත් කොට ඉන් පසුව එක් වැකියකින්  එහි නිශ්චිත හැඩය විග්‍රහ කොට ඇත. ලොව අවසන් වීමෙන් පසු දෙවිඳුන් විසින් පවත්වනු ලබන විනිශ්චය දිනයේ  දී පෘථිවිය කුමක් බවට  පත්වන්නේ ද යන්න පහත වැකියෙන් පැහැදිලි කොට ඇත.

“පොළොව සමතලා තත්ත්වයට පත් කළ කල්හි” (අල් කුර්ආනය 84 : 3)

පොළොව දැනට සමතලා තත්ත්වයේ තිබේ නම් විනිශ්චය දිනයේ දී නැවත එම තත්ත්වයට පත් කිරිමේ අවශ්‍යතාවක් පැන ‍නොනගි. මෙම වැකියෙන් ඉතා පැහැදිලි ව දක්වා ඇත්තේ දැනට පෘථිවිය පැතලි එකක් නොවන බවය.

“ඔහු (අල්ලාහ්) අහස් ද පොළොව ද සත්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කළේය. ඔහු දවාල රැයෙහි ඇතුළු කරන්නේය. රැය දවාලෙහි ඇතුළු කරන්නේය”. (අල් කුර්ආන් 39 :5)

දවාල රැයෙහිද රැය දවාලෙහිද ඇතුළු කරන්නේය යන්න පියවරෙන් පියවර සෙමින් සිදු වන ක්‍රියාවලියකි. පැතලි සමතලා පොළොවක එය එසේ සිදුවිය නොහැක. මෙයිනුත් අපට පැහැදිලි කර දී ඇත්තේ පොළොව සමතලා එකක් නොවන බවය. මේ සියල්ලටම වඩා වැදගත් ඉතා නිශ්චිත හා විද්‍යානුකුල ලෙස  පොළොවේ හැඩය පැහැදිලි කරන වැකිය දෙස අපගේ අවධානය යොමු  කරමු.

“ඉන්පසු ඔහු (අල්ලාහ්) භුමිය ව්‍යාප්ත කළේය”. (අල් කුර්ආන් 79 : 30)

ව්‍යාප්ත කළේය යන වචනය සදහා උපයෝගි කොට ඇති ආරාබි වචනය වන්නේ “දහාහා” ය. මහාචාර්ය මොහමඩ් මොහර් අලි තම ‘The Quran and the Orientalist’ යන ග්‍රන්ථයේ විග්‍රහයක් කරමින් ‘දහාහා’ යන අරාබි වචනයට ව්‍යාප්ත කළේය, දිග හැරියේය, පැතිරෙව්වේය, යනාදි අර්ථ ඇති අතර එහි වඩාත්ම නිවැරදි අර්ථය වන්නේ ‘බිත්තරයක හැඩය’ යන්නය. මෙම වචනයේ නාම පදය වු ‘දහියාහ්’ යන්නෙහි අර්ථය බිත්තරය වේ. මෙහි වඩාත් සුවිශේෂිතාව නම් ‘දහියාහ්’ යන්න යොදන්නේ ‘පැස්බරාගේ බිත්තරයට’ වීමය. පෘථිවිය කිකිළි බිත්තරයක හැඩයකින් නොමැත. විද්‍යානුකුල භුගෝලිය හැඩය වන්නේ නිරක්ෂය ප්‍රදේශයෙන් මදක් නෙරා ගොස් උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන්හි පැතලි ස්වභාවයක් තිබිමය. පැස්බරාගේ බිත්තරයේ නිශ්චිත ස්වභාවය මේ ආකාරයේ එකකි. මෙයින් පැහැදිලි වන්නේ නුතන විද්‍යාව මිහිතලයේ හැඩය නිවැරදි ව සොයා ගන්නට ශත වර්ෂ   ගණකට පෙරම එහි නිර්මාතෘ විසින් ඉතා නිවැරදි ආකාරයෙන් අපට අල් කුර්ආනය මගින් දන්වා තිබිම නොවේ ද? එසේ නම් අල් කුර්ආනයේ අඩංගු අනෙකුත් සත්‍යයන් අපි කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නෙමු ද?

මිහිතලය පිළිබඳ විද්‍යාත්මක තොරතුරු

අප ඉහතින් සඳහන් කළ පරිදි මෙයට පෙර කිසිවෙකු නොදැන සිටි හා මෙයට පෙර කිසිවෙකු නොදුටු යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය හා එහි ව්‍යුහය දන්නේ නියත වශයෙන් ම එහි නිෂ්පාදකයා හෝ නිර්මාතෘ බව පිළිගත් පදනම මත පිහිටා විශ්ව නිර්මාණයේ විස්තර  ඉතාමත්ම නිරවද්‍යතාවකින් හා විද්‍යාත්මක පදනමකින්  යුක්ත ව මෙයට අවුරුදු 1400 කට පෙර යමෙක් පවසන්නේ නම් ඔහු නිසැකවම එහි නිර්මාතෘ බවට පිළිගැනිමට අපට කිසිදු අපහසුවක් හෝ බාධාවක් තිබිය නොහැක යන මතය ඉදිරිපත් කළෙමු. එලෙසම විශ්වය පිළිබඳ ව පමණක් නොව අප පය ගසා ජීවත් වන මිහිතලය ගැන ද බොහෝ ආගමික මුලාශ්‍ර එම මුලාශ්‍ර බිහි වූ යුගයේ ප්‍රචලිත ව පැවති අවිද්‍යාත්මක තොරතුරු සත්‍යයන් ලෙස සලකා අන්තර්ගත කොට තිබීමෙන් එම මුලාශ්‍රයන්ගේ වලංගුභාවයට ඉමහත් හාණියක් සිදු කොට ඇත. මේ පිළිබඳ බොහෝ තොරතුරු අප වෙත ඇතත් ආගමික සංවේදීතාවන් සැලකිල්ලට ගෙන ඒවා මෙහි ඇතුළත් නොකරන්නට තීරණය කළෙමු.

අල් කුර්ආනය මේ පිළිබඳ ව ඉදිරිපත් කරන තොරතුරු වලින් බිඳක් ඔබගේ බුද්ධිමය විචාරයට ඉදිරිපත් කරන්නට අදහස් කළේ සත්‍යය හා අසත්‍යය හඳුනා ගැනීම පහසු කිරීමේ අවංක චේතනාවෙනි.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් ය. සැබැවින් ම නුඹ (ඒ පිළිබඳ ව) සැක කරන්නන් අතුරින් අයෙකු නොවවූ”. (අල් කුර්ආන්  2 : 147)

“අල් කුර්ආනය ඔවුන් (විශ්වාස නොකරන්නන්) පරිශීලනය නොකරනුයේ මන්ද? එය අල්ලාහ්ගෙන් නොවී වෙන කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් (හා වැරදි) දකිනු ඇත”. (අල් කුර්ආන්  4:82)

අල් කුර්ආනය යනු දෙවිඳුන් විසින් මනුෂ්‍යය වර්ගයාට නිවැරදි මඟ පෙන්වීම උදෙසා පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගෝපදේශයයි. මිනිසා මිහිතලය මත තම ජීවිතය ආරම්භ කළ පළමු දිනයේ සිට වරින් වර මිනිසුන්ගෙන් තෝරා ගනු ලැබූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට දෙවිඳුන් විසින් නිවැරදි මාර්ගෝපදේශයන් පහළ කොට මිනිස් වර්ගයා ව යහ මගට ආරාධනා කිරීම ඉතිහාසය තුළින් අප දක්නා සත්‍යයකි. අල් කුර්ආනය පහළ කරනු ලැබුවේ දැනට වර්ෂ 1450 කට පමණ පෙර මක්කාහ් නගරයේ ජීවත් වූ කිසිදු සම්මත අධ්‍යාපනයක් නොලැබූ අනාථ දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු මුහම්මද් තුමාණන්ගේ හතළිස් වන වියේ සිට එතුමාණන් මෙලොවින් සමු ගත් හැට තුන් විය දක්වා වූ අවුරුදු විසි තුනක කාල පරාසයක් තුළය.

“(නබිවරය) මෙය (අල් කුර්ආනය) ට පෙර නුඹ කිසිදු පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට  ඉඩ තිබිණි”. (අල් කුර්ආන් 29 : 48)

අවසන් දිව්‍යමය මාර්ගෝපදේශනය මනුෂ්‍යය වර්ගයාට ලබා දීම පිණිස මුහම්මද් තුමාණන් ව (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) දෙවිඳුන් විසින් තෝරා ගැනීම හේතුවෙන් එතුමාණන් අවසන් ධර්ම දුතයාණන් බවට පත් විය. “නබි” හා “රසුල්” යන අරාබි වචනයන්ගෙන් අවධාරණය කරනු ලබන්නේ ද “ධර්ම දූතයාණන්” යන අර්ථයයි. මෙය අල් කුර්ආනය පිළිබඳ ඉතාමත්ම සංක්ෂිප්ත හැඳින්වීමකි.

(මතු සම්බන්ධයි)

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *