මහ පොළොව හා කඳු
ලොව බොහෝ විශ්ව විද්‍යාලයන්හි භූ විද්‍යාව හදාරණ සිසුන් භාවිත කරන පෙළපොතක් වන ‘පෘථිවිය’ (The Earth) ග්‍රන්ථයේ එක් කර්තෘවරයෙකු වු මහාචාර්ය ෆ්රෑන්ක් ප්‍රෙස් (Frank Press) හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ විද්‍යා උපදේශකයා ව සිටි අතර ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ (National Science Academy of U.S.A.) සභාපති ලෙස අවුරුදු 12 ක් කටයුතු කළ අයෙකි. මෙම ‘පෘථිවීය’ නම් ග්‍රන්ථයේ 435 වන පිටුවේ සඳහන් වන්නේ විශාල කඳු වැටි වලට පොළොව අභ්‍යන්තරයට දිව යන මුල් ඇති බවය. මෙම මුල් ඉතා තදින් පොළොව හා බද්ධ වී ඇති අතර එය කුඤ්ඤයක් (peg) ලෙස කටයුතු කරමින් පොළොවෙහි ස්ථායිභාවයට උපකාරි වන බවයි. ටර්බක් (Tarbuck) හා ලුට්ජෙන්ස් (Lutgens) විසින් ලියන ලද ‘භූ විද්‍යාව’ (Earth Science) නැමැති ග්රන්ථයේද 157 පිටුවෙහි මෙවැනිම අදහසක් මහා කඳු සම්බන්ධ ව සදහන් කොට ඇත. පෘථිවි තැටි (Plate Tectonics) භු විද්‍යාඥයින් විසින් පෘථිවිය සම්බන්ධ ව සොයා ගත් ඉතා නුතනම සොයා ගැනීමයි. මෙම තැටි ස්ථායි තත්ත්වයේ තබා ගැනිමටත් කඳු උපකාරි වන බව විද්‍යාඥයින්ගේ මතය වේ.
“ඔබ හා පොළොව කම්පා නොවන පරිදි විශාල කඳු ද පිහිටෙව්වේය” (අල් කුර්ආනය 16 :15)
“අප පොළොව ඇතිරිල්ලක් ලෙස ද කඳු කුඤ්ඤයක් ලෙස ද (නොකළෙම් ද?) (අල්කුර්ආන් 78 : 6 -7)
විශ්වයේ කොටසක් වූ අප පය ගසා ජීවත් වන පෘථිවියේ සැකසුම පිළිබඳ ව ඇති ඉතාම නූතන විද්‍යාත්මක සොයා ගැනීම් වර්ෂ 1450 ක් පමණ පැරණි අල් කුර්ආනයේ අංශු මාත්‍රයක පරස්පරතාවකින් තොරව සඳහන් වී තිබේ නම් අල් කුර්ආනයේ කර්තෘවරයා හා විශ්වයේ නිර්මාතෘවරයා එක් අයෙකු බව පිළිගැනීමට කා හට නම් අපහසුතාවක් තිබිය හැකි ද?
නැවතත් සඳහන් කළ යුතුව ඇත්තේ මෙතරම් සූක්ෂම අයුරින් මහත් පරිශ්‍රමයක් හා නවීනතම විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමින් සොයා ගනු ලබන නව්‍ය සොයාගැනීම් ශත වර්ෂ ගණනාවකට පෙර පාරිශුද්ධ අල් කුර්ආනය කිසිදු පරස්පරතාවකින් තොරව සුමට සරල ලෙස පවසා සිටීම තුළින් විශ්වයේ නිර්මාතෘ හා සත්‍යය එකම දෙවිඳුන් අල්ලාහ් බවත් සර්වඥානී අල්ලාහ් විසින් මිනිස් වර්ගයාට නිවැරදි දිවි පෙවෙත පෙන්වා දීම තකා තෝරා පත් කර ගනු ලැබූ මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් ලෝ වැසි සැමට සුරම්‍ය නිවැරදි සුමග පවසා සිටින හා පෙන්වා දෙන පාරිශුද්ධ අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් එය මිනිසෙකුගේ නිර්මාණයක් නොවන බවත් සක්සුදක් සේ මොනවට පැහැදිලි වෙයි.
මහා සාගරයේ අන්ධකාරය
සාගරය පිළිබඳ ව කුර්ආනය පවසන කරුණු කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වි මීටර් 1000 ක් ගිය විට එහි සම්පුර්ණයෙන්ම අඳුර පවතින තත්ත්වයක් දැකිය හැක. මේ බව Elder සහ Pernetta විසින් ලියන ලද ‘The Oceans’ නම් ග්‍රන්ථයේ 27 වන පිටුවේ සඳහන් වේ. මිනිසාට කිමිදුම් උපකරණයන් හි ආධාරය නොමැති ව මීටර් 40 කට වඩා කිමිදිය නොහැකිය. විද්‍යාඥයින් ඉතා මෑතකදි සබ්මැරින් හා අධිතාක්ෂණ උපකරණයන්හි ආධාරයෙන් ගැඹුරු සාගරයේ මෙම අන්ධකාරය සොයා ගත් අතර එයට අමතර ව ගැඹුරු සයුරේ අභ්‍යන්තර ජල රළ ඇති බව ද සොයා ගන්නා ලදි. මේවා සියල්ල නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මේ සම්බන්ධ ව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
“(ප්‍රතික්ෂේප කරන්නන්ගේ තත්ත්වය) ගැඹුරු මුහුදේ අන්ධකාරය බඳුය. එය රළෙන් වැසි ඇත. ඒ මත රළකි. ඒ මත වලාකුළුය. එකක් මත එකක් වන සේ අන්ධකාරයය. යමෙක් ඔහුගේ හස්තය දික් කරන්නේ ද ඔහු එය නොදකින්නේය. අල්ලාහ් යමෙකුට ආලෝකය නොදෙන්නේ ද ඔහුට ආලෝකයක් නොමැත”. (අල්කුර්ආන් 20 : 40)
අල් කුර්ආනය මිනිසාගේ පියවි ඇසින් නිරීක්ෂණය කොට නිගමනය කර ගැනීමට නොහැකි ආකාරයේ ඉතා සුවිශේෂී තොරතුරු පෘථිවිය අභ්‍යන්තරය හා සාගර පත්ල පිළිබඳ ඉතාම නිවැරදි හා නුතන විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් කරුණාකර ඔබට එළඹිය හැකි නිගමනය කුමක් ද යන්න කරුණාකර සිතා බලන්න.
මෙම වැකියේ විද්‍යාත්මක ප්රාතිහාර්යයට වඩා වැදගත් වන්නේ මිනිස් ජීවිතයේ ආලෝකය අත්පත් කර ගැනීම පිණිස අප විසින් කළ යුතුව ඇති කාර්යයන් පිළිබඳ සිතා බැලීම නොවේ ද?
‘සත්‍යය’
අල් කුර්ආනයට පසුව විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන්ගෙන් මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්විම සදහා තවත් දහමක් හෝ පණිවිඩයක් පහළ නොවන බව අල් කුර්ආන් වැකි මගින් දෙවිඳුන් ම සහතික වී ඇත. එසේ නම් අල් කුර්ආනය මිහිතලයේ හා විශ්වයේ අවසානය දක්වා මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්වන ග්රන්ථයක් විය යුතු අතර එය එසේ විමට නම් අනිවාර්යයෙන්ම කරුණු දෙකක් සත්‍යය විය යුතුය. පළමුවැන්න නම් එහි අඩංගු උපදෙස් මඟ පෙන්වීම් හා ඉන් පෙන්වනු ලබන ජීවන රටාව කාලයාගේ ඇවෑමෙන් යල්පැනගිය එකක් බවට පත් නොවිය යුතුය. දෙවැනි සාධකය නම් මෙම පණිවිඩය පහළ කළ භාෂාව සදා ජීවමාන භාෂාවක් ව පැවතිය යුතුය.
අප බෙහෙතක් මිල දී ගන්නා විට එය කුමන රෝගය සඳහා උචිත ද පාවිච්චි කළ යුතු ක්‍රමය, එහි මුලික ඖෂධ සුත්‍රය කුමක් ද, එහි අයහපත් ඵල කුමක් ද යනාදී විස්තර අඩංගු පත්‍රිකාවක් එම ඖෂධයේ නිෂ්පාදකයා විසින් සපයන බව අපි දනිමු. එය අපට එම ඖෂධය පිළිබඳ ව මඟ පෙන්වීමක් ලබා දෙයි. භාණ්ඩයක් මිල දී ගන්නා විට එය ප්‍රයෝජනයට ගත යුතු ආකාරය, ඒ සම්බන්ධ ව නොකළ යුතු දෑ ආදී විස්තර අඩංගු අත්පොතක් හෝ ‘කැටලොගයක්’ සපයනු ලැබේ. එහි අඩංගු විස්තර අපට එම භාණ්ඩය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට මඟ පෙන්වයි. එහෙත් මිනිසා තමා කවුද, පැමිණියේ කුමක් සඳහා ද යනාදී ප්‍රශ්නයන්ට පැහැදිලි පිළිතුරු නොදැන මෙලොව පහළ වු මිනිසාට පිළිතුරු සපයන අත්පොතක් හෝ මඟ පෙන්විමක් ඔහු සමග පැමිණියේ නැත. මේ හේතුවෙන් ජීවිතයේ අත්‍යවශ්‍ය යථාර්ථය නොදන්නා මිනිසා තමා ගැන, මිහිතලය හා අහස ගැන විවිධ මත ඇති කර ගනියි. තමා ගැන බලන කළ මවිත කරවන බුද්ධියක් හා ශාරීරික ශක්තියක් ඔහු දකී. එහෙත් තම උපත ගැන කිසිදු තීරණයකට ඔහු සම්බන්ධ වුයේ නැත. බාහිර ලොව දෙස බලන මිනිසා විස්තර කළ නොහැකි තරම් විශාල විශ්වය සහ අසීමිත සම්පත් එහි දකී. මේවා මොනවාද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු කිසිවක් ඔහු නොදනී. ඔහුට දෑස් තිබෙන නමුත් සියලු දැයෙහි බාහිර පැත්ත පමණක් ඔහුට පෙනේ. ඔහුට බුද්ධිය තිබෙන නමුත් මිනිසාගේ බුද්ධිය ඔහු ගැන දන්නේ ඉතා අල්පයකි. එමෙන්ම මනසේ ස්වභාවය හෝ එය ක්‍රියා කරන්නේ කෙසේ දැ’යි මිනිසා නොදනී. මෙවන් නොසෑහෙන ඉන්ද්‍රීය ශක්තිය ඇති මිනිසා තමා ගැන නිවැරදි නිගමනයකට බසින්නට හෝ විශ්වය ගැන අවබෝධ කර ගන්නට තම ස්වයං බුද්ධිය පමණක් පදනම් කරමින් තීන්දු තීරණ ගත්ත ද එය සාර්ථක නොවේ. මන්ද මිනිසාට තාර්කික ලෙස සිතාමතා නිවැරදි තීරණයන්ට එළඹීම සඳහා කිසියම් දිව්‍යමය අනුග්‍රහයක් තිබිය යුතුමය.
මෙයට පෙර සාගරයේ ගැඹුර පිළිබඳ සඳහන් අල් කුර්ආන් වැකියේ ද සඳහන් වන්නේ මෙම අදහසමය. දෑස් තිබූ පමණින් ම අපට දැකීමේ අවස්ථාව උදා නොවේ. දැකීමට නම් ආලෝකයත් තිබිය යුතුය. එම අල් කුර්ආන් වැකියේ සඳහන් වන්නේ දිව්‍යමය ආලෝකය පිළිබඳව ය.
මිනිසා මුහුණ දෙන මෙම ප්‍රහේලිකා සියල්ල අල්ලාහ්ගේ ග්‍රන්ථය විද්‍යාත්මක පදනමකින් යථාර්ථයට එකඟ විය හැකි අයුරින් විචාර බුද්ධියට අනුකුලව හා තර්කයට ගෝචර වන අයුරින් පහදා දෙයි. ජීවිතයේ සියලු යථාර්ථයන් ගැන පැහැදිලි දැනුම සැපයිය හැකි එකම ග්‍රන්ථය අල් කුර්ආනය පමණක් බව සැකයෙන් තොරව පැවසිය හැක. අල් කුර්ආනයේ මඟ පෙන්වීමකින් තොරව මිනිසාගේ මුලික යථාර්ථය හා විශ්වය තේරුම් ගන්නට උත්සාහ කළ අය අලියාගේ සිරුරේ විවිධ අවයවයන් ස්පර්ශ කරමින් අලියාගේ ස්වභාවය ගැන විග්රහ කරන්නට උත්සාහ කළ අන්ධ පිරිස හා සමානය. විශ්වය හා එහි අඩංගු සියලු දෑ නිර්මාණය කොට පාලනය කරන්නා වු පරම අධිපතිගේ මඟ පෙන්වීමෙන් තොරව කටයුතු කරන චින්තකයින්ගේ හා දර්ශනවාදින්ගේ ස්වභාවය ද මෙවැනි වේ.
‘සත්‍යය’ ස්ව උත්සාහයෙන් සොයන්නට තම මුළු ජීවිත කාලයම කැප කළ අය කිහිපදෙනෙක් සිටි අතර තම වෑයම අසාර්ථක වු බව දැක ඇතැමුන් තම ජිවිතය පවා අවසන් කරගන්නා තත්ත්වයකට පත් වුහ. තවත් පිරිසක් සත්‍යය සොයන්නට නොහැකි ව අනුමානය හා කල්පිතයන් මත පමණක් පදනම් වු චින්තන මිශ්‍රණයක් ලොවට ඉදිරිපත් කළහ. එක් පිරිසක් වැරදි අනුමානයන් මත පදනම් වී ලොවට තම නිගමනයන් ඉදිරිපත් කළ අතර තවත් පිරිසක් තම අසරණභාවය දරා ගත නොහැකි ව මෙම ගුප්ත ලෝකය හැර දමා ගියහ. මෙම දෙපිරිසට යථාර්ථය සොයා ගත නොහැකි වුයේ ජිවිතයේ සියලු රහසෙහි උල්පතේ හිමිකරුගේ මඟ පෙන්වීම හා සහය නොමැති ව එහි අප්රකාශිත කොටස දැනගන්නට උත්සාහ කිරිම නිසාය. මිනිසාට සිතීමට හා අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙන බව සැබෑ වුවත් දෑස් තිබු පමණින් ම දැකීමේ හැකියාව නොමැති බව අප අවබෝධ කර ගත යුතු වෙයි. දැකීමේ හැකියාව ලැබෙන්නේ අන්ධකාරය දුරලන බාහිර අලෝකය ලැබුනහොත් පමණක් වන තත්ත්වය හා සමාන තත්ත්වයකි. ආලෝකය ඇති විට දැකීමේ හැකියාව ඇසට ලැබේ. විශ්වයේ නිර්මාතෘගේ මග පෙන්වීමෙන් තොරව මිනිසාට තම බුද්ධිය පමණක් උපයෝගි කර ගෙන ජිවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට නොහැකි අතර එය පෙනීම ඇති දෑසට ආලෝකය නොමැති ව අන්ධකාරයේ සිට ගෙන සියල්ල දැක ගැනිමට දරන්නා වු ප්රයන්තයක් හා සමානය.
එහෙයින් මිනිසාට මිහිතලය මත වූ තම කෙටි ජිවිතය සාර්ථක ව හා අර්ථවත් ලෙසින් වත්මන් හා අනාගත යන කුමන යුගයක වුවත් සකස් කර ගන්නට අල් කුර්ආනයේ මඟ පෙන්වීම යල්පැන ගිය එකක් බවට පත්නොවී සදාජීවමාන සහ සදා අර්ථවත් එකක් බවට අනිවාර්යයෙන් ම සකස් වි ඇත. දැනට අවුරුදු 1400ට පෙර පහළ වු මෙම ඉගැන්වීම් හා මඟපෙන්වීම් වලින් එකකුදු නුතනයට නුසුදුසු හෝ ඔබින්නේ නැති එකක් බවට පත් වි ඇත් දැ’යි අපි ඔබෙන් ඉතා කාරුණික ව විමසන්නට කැමැත්තෙමු. එහි අඩංගු ඇතැම් කරුණු ඔබගේ පාරම්පරික සම්මතයන්ට පටහැණි බව එහි පෘෂ්ඨය පමණක් දකින්නෙකුට හැඟෙන්නට ඉඩ තිබේ. ඉස්ලාමය එක් ප්‍රදේශයකට හෝ නිශ්චිත ජන කොට්ඨාසයකට පමණක් සිමා වු එකක් නොවේ. එය විශ්ව දහමකි. එහි නිතිරීති හා මඟ පෙන්වීම් මිහිතලය මත සියලු ජනයාට එකඟ විය හැකි හා සුදුසු එකක් ලෙසින් සකස් වි තිබිය යුතුය. එහෙයින් ඔබගේ සීමිත කෝණයෙන් නිරික්ෂණය කරන විට එහි ඔබගේ සම්මත චින්තනයට පටහැණි කරුණු තිබෙන බව හැඟෙන්නට ඉඩ තිබේ. නමුත් ඉස්ලාමීය ඉගැන්වීම් හි හරය නිවැරදි ව විද්යානුකුල ව හා ගැඹුරින් විමසා බලන්නෙකුට එහි සියලු ඉගැන්වීම් හි නිශ්චිත සදා වලංගුභාවය මෙන්ම හරවත් භාවය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
විශ්වය පිළිබඳවත් විශේෂයෙන්ම හිරු සඳු පෘථිවිය ආදිය ගැන අල් කුර්ආනයේ සඳහන් මිනිසා මවිතයෙනුත් මවිතයට පත් කරවන විද්‍යාත්මක තොරතුරු රාශියක් තවත් ඉදිරිපත් කළ හැක. මෙම ලිපිය එමගින් දීර්ඝ නොකොට ඉහතින් ඉදිරිපත් කොට ඇති සාධක අවංක ලෙසම සත්‍යය ගවේෂණයක යෙදෙන්නෙකුට පරම සත්‍යය කුමක් ද යන්න වටහා ගැනීමට හොඳටම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
(මතු සම්බන්ධයි)
සකස් කිරීම: ඉබ්නු මන්සූර්
www.yayuthumaga.com