ඉස්ලාම් යන වචනයේ අර්ථයම සාමයයි. එහි තවත් අර්ථයක් වන්නේ දෙවියන්ගේ අණට කීකරු වීමයි. මේ දෙකෙන් කොයි එක බැලුවත් එහි ත්‍රස්තවාදයට ඉඩක් නොමැත. තවද ත්‍රස්තවාදය බිහි වන්නේ අල්-කුරානය පහල වී සියවස් ගණනාවක් ගෙවී ගිය පසුවය. ඒ අනුව ත්‍රස්තවාදය සහ ඉස්ලාම් දහම අතර සම්බන්දයක් පැවතීමට කිසිම හේතුවක් නොමැත.අල්-කුරානයට අනුව එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම ලෝවැසියන් සියලුදෙනාම ඝාතනය කලාට සමානය. එසේම එක් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම ලෝවැසියන් සියළු දෙනා බේරාගැනීමට සමානය. මෙම කුර්ආන් වැකිය පහත දැක්වේ.“නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු”(කුරානය 5:32).

මෙවැනි වගන්තියක් ඉස්ලාම් දහම හැර වෙනත් කිසිම දහමක දැකිය නොහැකිය. එසේ තිබියදී බස්නැවතුම් පොලක හෝ සාප්පු සංකීර්ණයක බෝම්බ පුපුරා අහිංසක මිනිසුන් ඝාතනය කිරීම කෙසේ නම් ඉස්ලාම් දහමින් අනුමත කල හැකිද? එවැනි ක්‍රියාවක් ඉහත දැක්වෙන කුර්ආන් වගන්තියට කොතරම් පටහැනි වනවාදැයි බැලිය යුතු නොවේද?

කිසිවෙකුට අල්-කුරානය තමන්ගේ හිතු මතේට අර්ථ කථනය කල නොහැකිය. එහි විවරණය ඇත්තේ නබි වදන් වන හදිස්වලය. මේ නිසා ඉස්ලාම් දහම තුල ෆික් නීතියක් තනි මිනිසෙකුගේ උවමනාව පරිදි සම්පාදනය කල නොහැකිය. ඉස්ලාමිය නීතියක් වලංගු වීම සඳහා මුස්ලිම් විද්වතුන්ගේ ඒකමතික අවසරය තිබිය යුතුය. ඒ අනුව යම් කිසි කෙනෙකුට කුමන හේතුවක් නිසාවත් අල්-කුරානයේ හෝ අල්-හදිස් මුලාශ්‍ර නොමැතිව ඉස්ලාම් දහම තුල නීතියක් සම්පාදනය කල නොහැකිය. උදාහරණයකට උසාමා බින් ලාඩන්ට ඔහුගේ හිතු මතයට ත්‍රස්තවාදයක් නිර්මාණය කොට එය ජිහාද් සංවිදානයක් ලෙස නම් කල නොහැකිය. එසේම ISIS ත්‍රස්තවාදීනට ඔවුන්ගේ උවමනාවන් පරිදි සංවිදාන ඇතිකළ නොහැකිය.

ජිහාද් යන වචනයට ඉස්ලාම් දහමින් නියම කරන ලද පුළුල් අර්ථයක් තිබේ. මේ නිසා ඉස්ලාම් දහමට දොස් පැවරීමට පෙර එම දහම නිවැරදිව හැදෑරීම අත්‍යවශ්‍ය වේ. හජ් වන්දනය ඉටුකිරීම මෙන්ම දෙමව්පියන්ට සැලකීමද උතුම් ජිහාද් ක්‍රියාවන් වේ.

ඉස්ලාම් දහමින් අවසර දෙන යුද්ධයකදී පවා පිළිපැදිය යුතු නීති මාලාවක් ඇත. ඒ අනුව යුද්ධයට සම්බන්ද නොවන අය හෝ කුඩා දරුවන් හෝ කාන්තවන් හෝ පල දරන ගස් කෝලන් හෝ විනාශ කිරීම බලවත් වරදකි. එබැවින් එම නීති උල්ලංගනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වන්නේය.

කෙසේ වෙතත් මුස්ලිම්වරුන් අතර ත්‍රස්තවාදින් දැකීමට ලැබීම ඉස්ලාම් දහමට පමණක් අයත් ප්‍රශ්නයක් නොවේ. සෑම ජාතියකම සහ සෑම ආගමකම ත්‍රස්තවාදී සංවිදාන දැකිය හැකිය. එබැවින් ත්‍රස්තවාදීන් ඇතිවීමට  හේතු සොයා බලා ඒවා වැළැක්වීමට ගත  හැකි සෑම පියවරක්ම ඒ ඒ රජයන් විසින් සිදු කල යුතුය. එසේ තිබියදී යම් කණ්ඩායමක් කරන වැරදි නිසා ඉස්ලාම් දහමට වරදක් කිව නොහැකිය.

ඇතැම් අය ඕනෑකමින්ම කුරානයට වැරදි අර්ථ කථනයන් දෙන්නේය. එහෙත් අල්-කුරානය තේරුම් ගැනීමට පිළිවෙලක් ඇත. එය මග හරිමින් තමන්ට උවමනා පරිදි කුර්ආන් වැකි අතරින් පතර තෝරාගෙන තමන්ට උවමනා පරිදි ඒවාට අර්ථ කතන දීම බලවත් වරදකි. මින් සිදු වන්නේ ජාතින් අතර අසමගිය ඇති වීම පමණි.

By Fasy Ajward.B.Sc(special)Hons,

Ex: Research officer at former Scientific and Industrial Research Institute.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *