2019 ජුලි මස 28 වැනි ඉරිදා දිවයිනට “ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ” යන මාතෘකාව යටතේ ලිපියක් පළකරන ආචාර්ය සුරිය ගුණසේකර මහතා අපුරු හා මනඃකල්පිත මතයන් රාශියක් ඉදිරිපත් කරමින් ඉස්ලාමයට එරෙහිව බරපතල චෝදනාවක් ගොනුකරන්නට උත්සාහ කොට ඇත. ආචාර්ය කෙනෙකු ලෙස තමාව හඳුන්වා ගනිමින් සුරිය ගුණසේකර මහතා විසින් මුළුමහත් යුදෙව්, කිතුනු හා මුස්ලිම් ප්‍රජාවම තම දහමට අයත් නොවන්නන් ඝාතනය කිරීමට තම දහමින් ඉගැන්වීම් ලද අය බව හුවා දක්වන්නට උත්සාහ කොට ඇත. මෙම දහම් පිළිබඳ නිවැරදි දැනුමකින් තොරව මෙලෙස කිසිදු මුලාශ්‍රයක් හුවා දක්වන්නේ නොමැතිව ඉතා වෛරී මත ඉදිරිපත් කිරීම ඔහුගේ බුද්ධියේ දරිද්‍රතාව හා චින්තනයේ රෝගී බව හුවා දක්වන්නක් මිස අන් කිසිවක් නොවේ. ගුණසේකර මහතා ඉදිරිපත් කළ පදනම් විරහිත විකෘති මතයන් කිහිපයක් පිළිබඳ කරුණු දැක්වීමක් පමණක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු.
කුර්ආනය මුහම්මද් තුමාණන්ගේ නිර්මාණයක් ලෙසත් දක්වන්නට උත්සාහ කොට ඇත.කරුණාකර පහත සඳහන් කරුණු ඉතා ඉවසීමකින් යුක්තව කියවා බලන්න. කිසිදු සාක්ෂරතාවක් මුහම්මද් තුමාණන්ට නොතිබූ බව අල් කුර්ආනය සාක්ෂි දරයි.
“(නබිවරයාණෙනි,) මෙය (අල්කුර්ආනය) ට පෙර නුඹ කිසිම පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට ඉඩ තිබිණි”. (අල්-කුර්ආන් 29:48)
මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය සකස් කල කිතුනු කන්‍යා සොයුරියක්ව සිටි කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ (Muhammed – A Prophet for our Time) “මුහම්මද් – අපගේ යුගය සඳහා වූ නබි වරයෙක්” යන ග්‍රන්ථයේ ප්රස්තාවනාවට සපයා ඇති තොරතුරු වලින් බිඳක් ඔබගේ අවධානයට ඉදිරි පත් කරන්නට කැමැත්තෙමු.
“මුහම්මද් නබි තුමාගේ ජීවිතය පිළිබඳව ලියු පළමු මුස්ලිම් ඉතිහාසඥයින් වන්නේ මුහම්මද් ඉබ්න් ඉෂාක් (ක්‍රි. ව. 767) මුහම්මද් ඉබ්න් උමර් අල් වකීදී (ක්‍රි. ව. 820) මුහම්මද් ඉබ්න් සාද් (ක්‍රි. ව. 845) සහ අබු ජරීර් අල් තබාරී (ක්‍රි. ව. 923) යන අයය. මෙම ඉතිහාසඥයින් තමන්ගේ මතකයන් හා හැඟීම් මත පමණක් විශ්වාසය නොතබා සැබෑ ඵෙතිහාසික පුනර්නිර්මානයක නියැලුණහ. ආරම්භක වකවානුව ට අයත් ලේඛන හා වාචික සාක්ෂි එහි මුලාශ්‍රයන් දක්වා විමසා නිවැරදි ලෙස සොයා බලා කරුණු අන්තර් ගත කළහ. මුහම්මද් තුමා කෙරෙහි දෙවිඳුන්ගේ නබිවරයා වශයෙන් ඔවුන්ගේ සිත්තුල අති විශාල ගෞරවයක් තිබුනද, තමන්ගේ ලේඛන සහමුලින්ම විවේචනයෙන් තොරවුවක් නොවුවේය. ඔවුන්ගේ මෙම අවංක උත්සාහය නිසා ලොව අනිකුත් ප්‍රධාන ආගම් කර්තෘ වරුන් සම්බන්ධව ඇති තොරතුරු වලට වඩා නිවැරදි තොරතුරු මුහම්මද්තුමා සම්බන්ධයෙන් අපි දන්නෙමු. මෙම ආරම්භක මුලාශ්‍රයන් ඕනෑම අයෙකුට මුහම්මද්තුමා පිළිබඳව චරිතාපදානයක් ලිවීමේදී කොහෙත්ම නොසලා හැරිය නොහැක” (14 වන පිටුව)
කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය මෙයින් දන්වා සිටින්නේ නුතනයේ මුහම්මද් තුමා සම්බන්ධව ඇති තොරතුරු ආරම්භක කාලයේ සිටම නිවැරදිව ලේඛන ගත කොට සුරක්ෂිතව පවතින බවය. කිසිවෙකුගේ මනඃකල්පිතයන්ට මෙහි කොහෙත්ම ඉඩක් නොමැති බව ඇය සාක්ෂි දරන්නීය. මෙවන් තත්වයක් අනෙකුත් ආගමික නායකයින් සමබන්ධව නොමැති බවද ඇය අදහස් ඉදිරිපත් කරන්නීය. අල් කුර්ආනය අසත්‍යය ග්රන්ථයක් නම් එය ඔප්පු කිරීමේ මාර්ගය ද අල් කුර්ආන ය පෙන්වා දෙයි.
“ඔවුන් (විශ්වාස නොකරන්නෝ) මෙම අල්කුර්ආනය ගැඹුරින් අධ්‍යායනය කළ යුතු නොවේද? මෙය අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් පහළ වු පුස්තකයක් නම් මෙහි අන්තර්ගතයේ (වැරදි හා) පරස්පරයන්ද ඔවුන් විසින් දකින්නට තිබුණි”. (අල්කුර්ආනය 4:82) ගුණසේකර මහතාණෙනි මෙය ඔබතුමා වෙත ඉදිරිපත් කළ අභියෝගයක් ලෙස ගෙන කරුණාකර කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කරන්න. තවත් විද්වත් මතයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
මධ්‍යස්ථ විග්රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීන විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකේල් තම ග්‍රන්ථයේ (The Bible Quran and Modern Science නැමැති ග්‍රන්ථය 1978) පහත සදහන් අයුරින් කරුණු පැහැදිළි කිරීමක යෙදින.
“අල් කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව ශත වර්ෂ දාහතර කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේද?” (125 පිටුව)
ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් යන චෝදනාව වෙත යොමු වෙමු.
ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කරන ලද පර්යේෂණයක් අනුව 2015 සිට 2060 කාලය තුල දහම් වර්ධනයේ ප්‍රතිශතය අනුව ඉස්ලාමය 70% ක වර්ධනයක් ඇතිකර ගනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. නුතන ලෝකයේ සීඝ්රයෙන් ම වර්ධනයක් ලබමින් පවතින දහම ලෙස ඉස්ලාමය නම් කොට ඇත. මෙම වාර්තාගත වර්ධන වේගය කිසිදු ආකාරයක බලපෑමක් ඇති කොට කරන්නක් බව කිසිදු චෝදනාවක් දක්නට නොමැත.
එසේ නම් ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත කළ බවට චෝදනා මතුකරන්නන් සඳහන් කරන්නේ ඇයි? පහත සඳහන් කරුණු මෙයට හේතු ලෙස අප දකින්නෙමු.
1. ඉස්ලාමය අපකීර්තියට පත් කිරීමේ වෛරී හා ද්වේෂ සහගත චේතනා
2. අල් කුර්ආනය බිහිවූ යුගයේ ඉස්ලාමයට එරෙහිවුවන් ඉස්ලාමිකයින් ව විනාශ කිරීම සඳහා කළ විවිධ යුද්ධ අල් කුර්ආනයේ සඳහන් වන අතර ඒවා පිළිබඳව වැරදි අවබෝධය හේතුවෙන් හෝ චේතනාන්විතව ඉස්ලාමයට එරෙහි හේතුවක් ලෙස මෙම යුද්ධ හුවා දක්වන්නට දරන වෑයම.
3. ඉහත සඳහන් යුද්ධ මුස්ලිම්වරුන් විසින් ඉස්ලාමය ව්‍යාප්ත කිරීම සඳහා කළ ක්‍රියාවන් ලෙස වැරදි අර්ථදක්වීමක් ඇතැමුන් විසින් ලබා දීමට කරන උත්සාහය
4. වර්ෂ 1450කට පෙර පහළ වූ අල් කුර්ආනය පදනම් කරගෙන වර්තමාන ලෝකයේ බිලියන 1.8ක් පමණ ඉස්ලාමිකයින් සිටීම ඉස්ලාමය ලද ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් හෙයින් ඒ සඳහා හේතු සොයන්නන් විසින් ගොතන ලද මනඃකල්පිත හේතුවක් වීම
ඉහතින් ඉදිරිපත් කරන ලද පිව් පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව මෙම සියවසේ මැද භාගයට පෙරම පළමු ස්ථානයේ සිටින්නා වූ කිතුනු දහම අබිභවා ඉස්ලාමය ලොව අංක එකේ ප්‍රධානතම දහම ලෙස පත්වනු ඇති බව ඔවුන් විසින් දක්වා ඇත. මෙලෙස වීමට ප්‍රධානතම හේතුව කඩුව හෝ අන් ආකාරයක බලපෑමක් නොව ජනයා විසින් සත්‍යය අවබෝධය ලබා ගැනීම බව තර්කයෙන් තොරව ඉදිරිපත් කළ හැකි සාධකයයි.
ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත කරන ලද්දක් බවට මතු කරන අර්ථ විරහිත චෝදනාවට ලොව ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකුවූ ඩි ලාසි ඔලියරි (De Lacy O’Leary) තමන්ගේ Islam at the cross road” නම් ග්‍රන්ථයේ 8 වැනි පිටුවේ පහත සඳහන් අයුරින් අදහස් දක්වයි.
“කෙසේ නමුත් ඉතිහාසය පැහැදිලි කරන අන්දමට භක්තියෙන් මුසපත් වූ මුස්ලිම්වරුන් තම යටත් වැසියන් වෙත අසිපත දිගු කරමින් ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බලපෑම් කිරීම තරම් අභූත මිත්‍යාවක් ඉතිහාසඥන් විසින් පුනරුච්චාරණය කර නොමැත”
මුස්ලිම්වරුන් ස්පාඤ්ඤය අවුරුදු 800ක් පාලනය කළහ. ඉස්ලාමිකයින් නොවූ ස්පාඤ්ඤ වැසියන් ව අසිපතින් බලපෑම් කොට ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස දක්වන කිසිදු වාර්තාවක් නොමැත. පසුව කිතුනු කුරුස ක්‍රියාකාරකයින් විසින් මුස්ලිම් පාලනය අවසන් කරන ලදී.
මුස්ලිම්වරුන් වර්ෂ 1400ක් පමණ මුළුමහත් අරාබි දේශය ම පාලනය කළහ. කෙටි කාලයක් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බලය මෙම ප්‍රදේශයේ පැවතිනි. නමුත් අදත් අරාබිවරුන් අතරේ පාරම්පරික කොප්ටික් කිතුනුවන් මිලියන 14ක් ජීවත් වෙති. මුස්ලිම්වරුන් අසිපත යොදා ගනිමින් දහම ප්‍රචාරය කරන්නට කටයුතු කළේ නම් එකම කිතුණුවෙක් හෝ අරාබිවරුන් අතරේ නොසිටිනු ඇත.
අවුරුදු 1000ක් පමණ මුස්ලිම්වරුන් ඉන්දියාව පාලනය කළහ. නමුත් අදත් ඉන්දියාවේ මුළු ජනගහනයෙන් 80% පමණ ඉන්නේ මුස්ලිම් නොවන්නන් බව අප සැවොම දන්නා කරුණකි. මෙම සියළු මුස්ලිම් නොවන්නන් සිටීම තුළින් අප වෙත දන්වා සිටින පණිවිඩය නම් ඉස්ලාමීය ප්‍රචාරය අසිපත හෝ වෙනත් ආකාරයක බලකිරීමක් මත සිදු නොවන බවයි.
වර්තමානයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රට ඉන්දුනීසියාවයි. මැලේසියාවේ බහුතරය මුස්ලිම් වරුන් ය. මෙහිදී මතු කළ යුතු ප්රශ්නය වන්නේ කුමන මුස්ලිම් හමුදාවද ඉන්දුනීසියාව හා මැලේසියාව වෙත පැමිණියේ යන්නයි.
ඉස්ලාමීය ප්‍රචාරය කළ යුත්තේ කෙලෙසද යන්න අල් කුර්ආනය පැහැදිලි කරයි.
“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16:125)
මෙහි බලපෑම් කරමින් ඉස්ලාමය වෙත ආරාධනා කරන්නට කිසිම ආකාරයක අදහසක් නොමැත. සැබවින් ම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව දහම පිළිබඳ ව බලපෑම් කිරීම සහමුලින් ම තහනම් කොට ඇත.
“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල් කුර්ආන් 2:256)
දහම සම්බන්ධව ඇති නිදහස පිළිබඳ ව ද අල් කුර්ආනය කරනු පැහැදිලි කරයි.
“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29)
බලපෑම් කිරීම කෙසේ වෙතත් කිසිම දහමකට අපහාස කිරීම ද අල් කුර්ආනය විසින් සම්පුර්ණයෙන් ම තහනම් කොට ඇත.
“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)
දහම හේතුවෙන් මුස්ලිම්වරුන් සමග ගැටුම් හා අපරාධ ක්‍රියාවන් හි නිරත නොවූ යහ මුස්ලිම් නොවන්නන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස ඉස්ලාමය උගන්වයි.
“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60:8)
එහෙයින් ඉස්ලාමීය ව්‍යාප්තිය පිළිබඳ ව වැරදි මතයන් ඉදිරිපත් කරමින් මුස්ලිම් භීතිකාවක් ඇති කිරීමට උත්සාහ දරන්නන්ගේ අසත්‍යය ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමු. සැබවින් ම සීඝ්‍ර ඉස්ලාමීය ව්‍යාප්තියට ප්‍රධාන හේතුව ජනයා විසින් සත්‍යය අවබෝධ කර ගැනීම මිස අන් හේතු නොවන බව ඉතාමත් පැහැදිලි කරුණක් බව මෙයින් ඔප්පුවේ. පහත සඳහන් අල් කුර්ආන් වැකි කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.
“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5:32)
“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2:190)
“(නබිවරය) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල භාර කරවු. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය, සර්ව ඥානීය”. (අල් කුර්ආන් 8:61)
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41:34)
“නුඹලාගෙන් ඔවුන් (සටන් කිරීමෙන්) ඉවත් වී නුඹලා සමග කිසි විටෙක සටන් නොවැද නුඹලා වෙත සාමය ඉදිරිපත් කරන්නේ නම් ඔවුනට එරෙහිව (සටන් කිරීමට) නුඹලාට කිසිම මඟක් අල්ලාහ් ඇති නොකරන්නේය”. (අල් කුර්ආන් 4:90)
මහාත්මා ගාන්ධිතුමා මුහම්මද් තුමාගේ චරිතය පිළිබඳව “Young India” සඟරාවට අදහස් දක්වමින්:
“අද ලොව සිටිනා දස ලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැන ගැනීමට මට අවශ්‍ය විය. එය කියවනවිට ඉස්ලාම් ධර්මය බහුතරයක් මනුෂ්‍ය හදවත්වල විශේෂ තැනක් ගැනීමට හේතු වුයේ අසිපත නොවන බව වැටහුණි. එයට හේතුවුයේ නබිවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටෙක නොතකන පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දු වලට එතුමා දැක්වූ වැදගත් කමයි. එතුමාගේ සගයින්ට හා අනුගාමිකයින්ට එතුමා දැක්වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථිර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණු කෙරෙහි එතුමාට තිබුණු අධිෂ්ඨානය යනාදිය එතුමන් ඉදිරියේ තිබු සියලු බාධක සුනුවිසුණු කළා මිස එය කලේ අසිපත නොවේ. නබිතුමාගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කල විට, එතුමා ගැන මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්වීමි.”
By: අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com