අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව මුස්ලිම් නොවන්නන් දුටු තැන ඝාතනය කරන ලෙස දන්වා තිබෙනවා නොවේද?-1

අල් කුර්ආනය පිළිබඳ වැරදි අර්ථ දැක්වීම් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර හා ජාතික සමාජ මාධ්‍ය ජාලා මගින් මෙම චෝදනා ඉදිරිපත් කොට ඇති බව අපි දනිමු. මෙමගින් ඉස්ලාමය හා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ පදනම් විරහිත බියක් ඇති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව ද දනිමු. ඔවුන් මේ සඳහා උපුටා දක්වන අල් කුර්ආන් වැකි පිළිබඳ නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට පෙර අල් කුර්ආනය පිළිබඳ අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීමේ දී පොදුවේ අනුගමනය කළයුතු නීති රීති හා සම්ප්‍රදායන් පිළිබඳ ව පළමුව විමසා බලමු.

අල් කුර්ආනය පිළිබඳව අර්ථ දැක්වීමකදී අනුගමනය කළ යුතු නීති රීති හා සම්ප්‍රදායන් පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

අල් කුර්ආනය හැදෑරීමේ දී එක් වැදගත් නීතියක් වූ සන්දර්භයේ වැදගත්කම විදහා දක්වන පහසු උදාහරණයක් අල් කුර්ආනයෙන්ම පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“සලාතය ඉටු කරන්නන් හට විනාශය අත් වේවා” (අල් කුර්ආන් 107:4)

මෙම අල් කුර්ආන් වැකිය පමණක් කියවා තේරුම් ගන්නා අයෙකු කිසි දිනෙක සලාතය එනම් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව දෛනිකව පස් වතාවක් ඉටු කළ යුතු අනිවාර්ය නැමදුම ඉටු නොකරනු ඇත. මෙම වැකිය නිවැරදිව අවබෝධ කර ගැනීම පිණිස එයට පෙර හා පසු වැකියන් කියවා අවබෝධ කර ගැනීම (සන්දර්භය) අත්‍යාවශ්‍ය වෙයි. එනිසා මෙම වැකියට ආශ්‍රිත 5 හා 6 වැනි වැකියන් විමසා බලමු.

“සලාතය ඉටු කරන්නන් හට විනාශය අත් වේවා” (අල් කුර්ආන් 107:4).

“ඔවුහුමය ඔවුන්ගේ සලාතය පිළිබඳව නොසැලකිලිමත් ව සිටින්නෝ” (අල් කුර්ආන් 107:5).

“ඔවුහුමය (තම ක්‍රියාවන් අන් අයට) පෙන්වන්නෝ” (අල් කුර්ආන් 107:6).

විනාශයට යොමු වන ලෙස සලාතය ඉටු කරන්නන් කවරෙකුද යත් නොසැලකිලිමත්ව හා අන් අයට පෙන්වීම සඳහා සලාතය ඉටු කරන්නන් බව එම පරිච්ඡේදයේම 5 හා 6 වැනි වකියන්ගෙන් ඉතා පැහැදිළිව විග්‍රහ වේ. මේ අනුව අල් කුර්ආන් අර්ථ දැක්වීමක යෙදෙන්නට නම් පහත සඳහන් වැදගත් නීති රීති පිළිබඳ නිවැරදි දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙයි.

I. අල් කුර්ආනය අවබෝධ කර ගැනීම පිණිස ඉහත විග්‍රහය අනුව සන්දර්භයේ ඉතා වැදගත්වේ. එහෙයින් වැකියක් පිළිබඳ විමසුමක යෙදෙන විට සන්දර්භය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කරුණකි.

II. අල් කුර්ආනය අවුරුදු 23ක් තිස්සේ ඒ ඒ අවස්ථාවට අනුකූලව හා අවශ්‍යතාවට අනුව මුළු මිනිස් වර්ගයාගේ මඟ පෙන්වීම සඳහා අල්ලාහ් විසින් මුහම්මද් තුමාණන්ට පහල කරනු ලැබීය. එබැවින් අල් කුර්ආනය පිළිබඳ අර්ථ විග්‍රහයක් කිරීමට නම් ඉස්ලාමීය ඉතිහාසය පිළිබඳ ගැඹුරු හා නිවැරදි දැනුමක් තිබීම ඉතා වදගත් වේ. මෙ ආකාරයෙන්ම නබි වදන් විග්‍රහ කිරීමේදී පවා ඉතිහාසය හා එම අවස්ථාවන් පිළිබඳ දැනුමක් තිබීම අත්‍යාවශ්‍යවේ.

III. එලෙසම සමහර අල් කුර්ආන් වදන් සඳහා විග්‍රහ එහි සන්දර්භයෙන් බැහැර අනෙකුත් අල් කුර්ආන් වදන් හි ද අන්තර්ගතව ඇත. එහෙයින් අල් කුර්ආනය නිවැරදිව අවබෝධ කර ගැනීම පිණිස සම්පුර්ණ කුර්ආනය පිළිබඳ දැනුමක් තිබීම ඉතාම වැදගත් සාධකයක් බව සඳහන් කළ යුතුව ඇත. මත්පැන් තහනම් කිරීම පිළිබඳව අල් කුර්ආන ඉගැන්වීම සම්පුර්ණ ලෙස අවබෝධ කර ගැනීමට නම් මෙ සම්බන්ධයෙන් ඇති වැකි සියල්ල සමස්තයක් වශයෙන් හා එහි කාලවකවානු අනුව අවබෝධ කරගත යුතු වෙයි. මෙ පිළිබඳව ඇති ඉගැන්වීම් අල් කුර්ආනයේ විවිධ පරිච්ඡේදයන්හි අන්තර්ගත වී ඇති අතර සම්පුර්ණ අල් කුර්ආනය පිළිබඳ දැනුමකින් තොරව මෙ පිළිබඳව ඇති එක් වැකියක් පමණක් ගෙන විග්‍රහයක යෙදීම විකෘති මතයක් ඇති වීමට නියත වශයෙන්ම හේතු වෙයි.

IV. තවත් විටෙක අල් කුර්ආන් වැකි පිළිබඳ විග්‍රහයක් නබි වදන් හි තිබිය හැක. එහෙයින් අල් කුර්ආන් පිළිබඳ නිවැරදි අවබෝධයක් සඳහා නබි වදන් පිළිබඳ දැනුම ද වැදගත් සාධකයකි. සලාතය, උපවාසය, සකාතය හා හජ් වැනි ඉස්ලාමයේ වැදගත් ආගමික පිළිවෙත් පිළිබඳව අල් කුර්ආනය ඉතා කෙටි විග්‍රහයක් ලබා දෙන අතර ඒවා ඉටු කිරීමේ සම්පුර්ණ ක්‍රමවේදය නබි වදන් හි අන්තර්ගත වී ඇත.

V. අල් කුර්ආන් වැකි පහළ කළ ඓතිහාසික සන්දර්භය හා හේතුව (අස්බාබ් අල් නුසුල්) දැන සිටීම ද වැදගත් වේ. කවුරුන් සඳහා කුමන අවස්ථාවක කුමක් සඳහා පහල කරන ලද්දේද යන්න පිළිබඳ නිවැරදි දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

VI. අල් කුර්ආනයේ අරාබි භාෂා යෙදුම ඉතාම උත්තරීතර තත්ත්වයකින් යුක්ත වන අතර එයට සම කළ හැකි භාෂා ශෛලියක් මුළු අරාබි සාහිත්‍යයේම නොමැති බව මුස්ලිම් හා මුස්ලිම් නොවන අරාබි භාෂා විශේෂඥයින් ගේ මතයයි. එම භාෂා දැනුම නොමැතිව අල් කුර්ආනයට අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීම බරපතල අර්ථ විකෘතිවීම්වලට හේතු විය හැක. එහි යොදා ඇති වාක්‍යයන් පිළිබඳ අර්ථ රාශියක් තිබිය හැකි අතර පරිපුර්ණ අල් කුර්ආන් පිළිබඳ සම්මත නීති රීතීන් (Sciences of Al Quran) නොදැන අර්ථ දැක්වීම නුසුදුසු ක්‍රියාවකි. ඉස්ලාමයට එරෙහිව විවේචන හා චෝදනා නගන්නන් අතුරින් අති මහත් බහුතරයක් උපයෝගී කර ගනුයේ අරාබි භාෂාවෙන් ඇති ඉස්ලාමීය ප්‍රධාන මුලාශ්‍රයන්ගේ පරිවර්තනයන් ය. අරාබි භාෂාවේ එක් වදනක් හෝ වැකියක් එක් සන්දර්භයක දී දෙන අර්ථයට වඩා වෙනත් අර්ථයක් වෙනත් සර්දර්භයකදී ලබා දෙයි. එහෙයින් පරිවර්තකයින් විසින් ඇතැම් අවස්ථාවන්හිදී වැරදි පරිවර්තනයන් ඉදිරිපත් කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව අධිකය. එහෙයින් විවේචකයින් උපුටා දක්වන අල් කුර්ආන් හා හදීස් වැකි පිළිබඳ නිවැරදි අර්ථය දැනගැනීම පිණිස අරාබි භාෂාව පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති විද්වතෙකුගේ උපකාරය ලබාගත යුතු වෙයි.

VII. අල් කුර්ආන් අර්ථ දැක්වීම පිළිබඳ විශේෂඥයින් ගේ හා අනෙකුත් ඉස්ලාමීය විද්වතුන්ගේ විග්‍රහයන් ද ඉතාම වැදගත් ය. රටක ක්‍රියාත්මක සාමාන්‍ය නීතිය විග්‍රහ කිරීමේදීත් එම නීතිය සම්පාදන කිරීමට හේතු වූ පසු බිම, එය එක් සංසිද්ධියක් උදෙසා පමණක් සීමා වුවක් ද, එම නීතිය සම්මත කිරීමේදී ඉදිරිපත් කරන ලද අරමුණු, එම නීතිය උපයෝගී කරගනිමින් දෙන ලද නඩු තීන්දු, නීති විශාරදයින් විසින් දෙන ලද විග්‍රහයන් හා එම නීතිය ට අදාළ භාෂාමය විග්‍රහයන් ආදිය ගැන සලකා බැලීම සාමාන්‍ය සම්ප්‍රදායකි.

VIII. එක් හදීස් වදනක් මගින් අදහසක් හෝ මතයක් ඉදිරිපත් කොට ඇත්නම් එම මාතෘකාවට අදාළ අනෙකුත් හදීස් පිළිබඳ ව සොයා බැලිය යුතුය. බොහෝ විට එක් හදීස් වදනකින් ම මතු කොට ඇති කරුණු නිවැරදි අයුරින් විග්‍රහ නොවෙනවා විය හැක. මාතෘකාවට අදාළ අනෙකුත් වදන් සියල්ල සමස්තයක් වශයෙන් ගෙන විමසුමක යෙදීමේදී වඩාත් නිවැරදි අර්ථ දැක්වීමක් කළ හැකි වනු ඇත. මෙවන් කටයුතු කිරීමේදී පරිනත ඉස්ලාමීය විද්වතුන්ගේ (ආලිම් වරුන්ගේ) උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් කරුණකි.

IX. බොහෝ චෝදනා හා විවේචන ඉදිරිපත් කොට ඇත්තේ මුහම්මද් ධර්ම දූතායාණන් ජීවත් වූ ඓතිහාසික පරිසරය පදනම් කර ගෙනය. එම ඓතිහාසික සන්දර්භය තුල ඉස්ලාමයට පෙර සිට පැවත ආ සමාජ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ දැනුමකින් තොරව වර්තමානයේ සිට විවේචනයන් ඉදිරිපත් කිරීම කිසිසේත්ම බුද්ධිමය පිළිවෙතක් නොවේ. මෙම විවේචන ඉදිරිපත් කරන්නන්ගේ ශාස්තෘවරුන් ජීවත් වූ ඓතිහාසික පරිසරය තුල තිබු වත්පිළිවෙත් ද බොහෝ විට වර්තමාන සමාජ මානයන් උපයෝගී කරගෙන සාකච්ඡා කිරීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව අපි දකින්නෙමු. බෞද්ධ ඉතිහාසය තුළින් බුදුන් දවස සිටි කොසොල් රජතුමාට බිසෝවරුන් 500 ක් සිටි බව සඳහන් වේ.
“ඒ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි.” (පුජාවලිය – 422 වැනි පිටුව). මෙම කරුණ වර්තමාන සමාජ මානයන් අනුව විවේචනයට ලක් කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බව අපගේ මතයයි.

X. බොහෝ අවස්ථාවන් හි ඇතැම් මුස්ලිම්වරුන්ගේ අසම්මත හා නොහොබිනා ක්‍රියාවන් ඉස්ලාමීය ඉගැන්වීම් හා සම්බන්ධ කොට දැක්වීමට දරන උත්සාහයන් අපට දැක ගත හැක. මෙවන් චෝදනා පිළිබඳ ව ඇති ඉස්ලාමීය ඉගැන්වීම් පැහැදිලි කොට විවිධ පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් ගැන වගකීම එම පුද්ගලයා සතු බව පැහැදිලි කර දිය යුතු වෙයි. මෙය අනෙකුත් දහම් සම්බන්ධයෙන් ද අදාළ වන ආකාරය විස්තර කිරීම වඩාත් සුදුසු යැයි සිතන්නෙමු. ඉස්ලාමීය හැසිරීම හා ආචාර ධර්ම සම්බන්ධයෙන් අති උත්තරීතර පරමාදර්ශය මුහම්මද් ධර්ම දුතයාණන් බව පෙන්වා දිය යුතු ව ඇත. කිතුනුවෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ක්‍රියාකාරකම් කිතුනු දහමේ ඉගැන්වීම් හා සම්බන්ධ කොට විග්‍රහ කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් ඇතැයි අපි නොසිතන්නෙමු.

XI. ඉස්ලාම් විරෝධීන් මතු කරන්නා වූ චෝදනා හා විවේචන සම්බන්ධව කටයුතු කිරීමේ දී පහත සඳහන් මහා කාරුණික අල්ලාහ් ගේ අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනය මගින් දී ඇති උත්තරීතර ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය.

“විශ්වාසවන්තයිනි, නපුරු අයගෙන් කවුරුන් හෝ ඔබ වෙත යම්කිසි ප්‍රවෘත්තියක් ගෙන එනු ලැබුවහොත් (එහි සත්‍යය දැන ගැනීම පිණිස එය) හොඳින් විමසා (සත්‍යය කුමක්ද යන්න) දැන ගනු. (නොඑසේ නම් ඔහුගේ කියමන විශ්වාස කළ ඔබ) නොදැනුවත්කම නිසා යම්කිසි ජනතාවකට විපතක් සිදු කර පසුව ඔබ කළ දැය පිළිබඳ ව පසුතැවිලි වන්නට සිදු විය හැක” (අල් කුර්ආන් 49:6).

“නුඹලා දැනගෙන සිටින තත්ත්වයේ අසත්‍යය සමග සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු.” (අල් කුර්ආන් 2:42).

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) කවරක් යහපත් වන්නේ ද එයින් (අයහපත) වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම තිබුණේ ද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේ ය.” (අල් කුර්ආන් 4:34)
“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත.” (අල්-කුර්ආන් 2:256).

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)
“(ප්‍රතික්ෂේප කළ) ඔවුන් පවසන දෑ පිළිබඳ ව නුඹ ඉවසිලිමත් වවු. අලංකාර වැළකීමකින් නුඹ ඔවුන්ගෙන් නුඹ වැළකී සිටිවූ”. (අල් කුර්ආන් 73:10).

“සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ”. (අල් කුර්ආන් 7:199).

“නුඹලාගේ සම්පත් තුළින් ද නුඹලා තුළින් ද සැබැවින්ම නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නේමය. තවද නුඹලාට පෙර පුස්තක ලද්දන්ගෙන් ද ආදේශ තැබුවන්ගෙන් ද අධික පීඩාකාරී වදන් වලට සැබැවින්ම නුඹලා සවන් දෙන්නේහුමය. නුඹලා ඉවසා බිය භක්තිමත් වන්නෙහු නම් සැබැවින්ම එය ස්ථාවර කරුණු වලින් යුක්තය”. (අල් කුර්ආන් 3:186).

මුහම්මද් ධර්ම දුතයාණන්ගේ උපදෙස් කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.

“සත්‍යය නියත වශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියත වශයෙන්ම සත්‍යවාදියෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියා ගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියත වශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියත වශයෙන් ම මිනිසෙකු අසත්‍යවාදියෙකු ලෙස අල්ලාහ් විසින් ලියා ගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින් ම සිටියි.’ (බුහාරි හා මුස්ලිම්).

මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ: “තමා හරි වුවද එය වෙනුවෙන් කලහකම් කර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයා ට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවට ද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවට ද, තම චරිතය යහපත් ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවට ද මම සහතික වන්නෙමි.” (සුනාන් අබු දාවුද්).

මහා කාරුණික අල්ලාහ්ගේ දහම, අල් කුර්ආනය හා මුහම්මද් ධර්ම දුතයාණන් ව අපහාසයට හා සමච්චලයට ලක් කරන්නන් පිළිබඳ සානුකම්පිත අයුරින් කටයුතු කොට ඔවුන්ට සත්‍යයේ භාග්‍ය උදා කරදෙන ලෙස මහා කාරුණික අල්ලාහ්ගෙන් ඇයද සිටීම අපගේ වගකීම වෙයි.

1. ඉස්ලාම් භීතිකා ක්‍රියාකාරකම් අහඹු තනි සිදුවීම් ලෙස නොසිතා අල් කුර්ආනයට, මුහම්මද් ධර්ම දුතයාණන්ට, ඉස්ලාමීය ආගමික වතාවත් වලට හා ඉස්ලාමීය ඇඳුම් පැලඳුම් වලට අපහාස හා සමච්චල් කිරීම ඇතුළු මස්ජිඩ් මද්රසා ආදියට එරෙහි ව ක්‍රියා කිරීම මෙම අප්‍රසන්න හා දුෂ්ට පිළිවෙතේ කොටස් ලෙස සැලකිය යුතු වෙයි.

2. සියලු මාධ්‍ය හා සියලු මුස්ලිම් නොවන්නන් මෙම ක්‍රියාවලියේ ආධාරකරුවන් ලෙස නොසැලකිය යුතුය. සැබැවින්ම බොහෝ මාධ්‍ය හා මුස්ලිම් නොවන පුජක පක්ෂය ඇතුළු බුද්ධිමත් ගිහි පිරිස මෙයට එරෙහි ව ප්‍රසිද්ධියේ තම මතය ප්‍රකාශ කොට ඇති අතර මුස්ලිම් ප්‍රජාව වෙත ඔවුන්ගේ සහයෝගය ද දක්වා ඇත. ඔවුන් සමග නිරතුරු ව සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

3. ඉස්ලාම් භීතිකා ව්‍යාපාරයන් ජාතිවාදී හා අන්තවාදී ව්‍යාපාරයන් ය. එහෙයින් ඒ අයුරින් ම මෙම ව්‍යාපාරයන් හඳුන්වා දෙන්නට කටයුතු කළ යුතුය.

4. ඔබ අන්තර් ආගමික සාකච්ඡා වලට සහභාගී වන අවස්ථාවන් හි ඉස්ලාම් භීතිකා කටයුතු පිළිබඳ අන් ආගමිකයින් දැනුවත් කරන්නට කටයුතු කරන්න. ඉස්ලාම් භීතිකා කටයුතු පොදු වශයෙන් හෝ නිශ්චිත සිදුවීම් හෙළා දැක මෙම සංවිධාන මගින් මාධ්‍ය නිවේදන නිකුත් කරවා ගැනීමට කටයුතු කරන්න.

5. ඉස්ලාම් භීතිකා ව්‍යාපාර මගින් ඉදිරිපත් කරන පදනම් විරහිත චෝදනා බොහෝමයකට දැනට සිංහල බසින් පැහැදිලි කිරීම් අලංකාර අයුරින් සකස් කොට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී ඇති හෙයින් මෙම පොත් මුස්ලිම් නොවන සංවිධාන, මහජන පුස්තකාල, පාසල් පුස්තකාල හා ආගමික නායකයින්ට ලබා දෙන්නට සැලසීම. දේශපාලන නියෝජතයින්ටත් පිටපත් ලබා දී අවශ්‍ය නම් පැහැදිලි කිරීම් ලබා දෙන්නට සුදසු පුද්ගලයින් යොදවා ගන්න.

6. ඉස්ලාම් භීතිකා සිදුවීම් වාර්තා සකස් කිරීමට කටයුතු කරන්න. සෑම සිදුවීමක් පිළිබඳ ව ම පුවත්පත් කර්තෘවරුන්ට හා පාඨක ප්‍රතිචාර තීරුවට ලිපි සකසා යැවීම. මෙම ලිපි සැකසීමේ දී ඉස්ලාමීය සාරධර්ම හා අගයන් ආරක්ෂා වන අයුරු සකස් කළ යුතු ව ඇත. කිසිවෙකුගේ සිත් රිදවීමක් සිදු නොවන අයුරු කටයුතු කිරීමට වග බලා ගත යුතු ව ඇත.

7. ඔබ ප්‍රදේශයේ මස්ජිදය මුල් කරගෙන ජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන්න. මෙම සාකච්ඡා සඳහා මුස්ලිම් හා මුස්ලිම් නොවන ප්‍රජාව හා ආගමික නායකයින් සුදුසු පරිදි සහභාගී කර ගැනීමට කටයුතු කරන්න.

8. ඉස්ලාම් භීතිකා ව්‍යාපාර හා කටයුතු පිළිබඳ හඬ නගන්නන් හට ස්තුති වන්ත වීමට අමතක නොකරන්න. එම ක්‍රියාවන් නිසාම වර්තමානයේ මුස්ලිම් ජනයා තුළ විශාල පිබිදීමක් ඇති වීමට හේතුවී ඇති බව මෙයට ප්‍රධාන හේතුවයි.

9. මෙම පිළිකුල් සහගත ක්‍රියාවන්හි යෙදී සිටින්නන් හට සත්‍යය අවබෝධ කර ගැනීමට අවස්ථාව ඇති වීමටත් ඔවුන්ට යහ චින්තනය ලැබී මුස්ලිම් ප්‍රජාව සමග සුහදත්වය අන්‍යෝන්‍ය අවබෝධය හා සමාජ සංහිඳියාව ඇති වීමටත් මහා කාරුණික අල්ලාහ්ගෙන් ඇයද (දුආ) සිටින්න. මෙම කටයුත්ත සඳහා සෑම මුස්ලිම්වරයෙකුම දැනුවත් කිරීමට කටයුතු කරන්න.

සත්‍යය සැමදා වසන් කොට තැබිය හැක්කක් නොවේ. සත්‍යය විකෘති කිරීම ද ආයුෂ අඩු ව්‍යාපෘතියක් බව සැවොම දන්නා පරම සත්‍යයකි. එහෙයින් ඉදිරි ලිපි මගින් දැනට ඉස්ලාම් විවේචකයින් විසින් විකෘති කොට ඉදිරිපත් කොට ඇති අල් කුර්ආන් වැකි පිළිබඳ ව නිවැරදි විග්‍රහයන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

By: Ibnu Mansoor
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *