මනුෂ්‍යය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් ඔවුන් අතරේ ස්ත්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතාවෙන් ප්‍රජනනය සිදුවිය යුතු ව ඇත. සත්ව ලෝකයේ අන් කිසිදු සතෙකු අනුගමනය නොකරන, විවාහය පදනම් කරගෙන මිනිසා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව පවත්වාගෙන යයි.
ස්ත්‍රිය ස්වභාවයෙන්ම පිරිමියාට වඩා දුර්වල ස්වභාවයකින් යුක්ත වන හෙයින් මෙම දුර්වලත්වය තම වාසියට උපයෝගී කරගැනීම බොහෝ පුරුෂෝත්තම සංස්කෘතීන්හි සම්ප්‍රදායානුකුලව සිදුවන්නක් බව අප සැවොම දන්නා කරුණකි. පාලනයකින් තොර වූ මෙන්ම අයුක්තිය හා අසාධාරණය මත පදනම් වූ බහුභාර්ය සේවනය විවිධ සංස්කෘතීන්හි ඇති වීමට හේතු වූ ප්‍රධාන සාධක නම් ස්ත්‍රියගේ ස්වභාවික දුර්වලත්වය උපයෝගී කරගැනීම හා ස්ත්‍රිය ලිංගික තෘප්තිය සඳහා පමණක් වූ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කිරීම බව බහුතරයකගේ මතයයි. මෙහි දී ඉස්ලාමයේ ස්ථාවරයද ඉන්පසුව අනෙකුත් සංස්කෘතීන් වල මෙම පිළිවෙත ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විමසා බැලීමක් කරන්නට අදහස් කරන්නෙමු. මෙසේ කිරීමට ප්‍රධාන හේතුව බවට පත් වී ඇත්තේ විවිධ ක්ෂේත්‍රයන් මගින් ප්‍රකාශිත අදහස් අනුව බහු ස්ත්‍රී විවාහය ලොවට හඳුන්වා දුන්නේ ඉස්ලාමය බව පෙන්වා දීම නිවැරදි කිරීමේ අවශ්‍යතාවය මතුවී ඇති හෙයිනි. අනෙකුත් සංස්කෘතීන් වල පැවති බහු ස්ත්‍රී විවාහ පිළිබඳව විමසා බලන්නේ විවේචනය හෝ අපහාසය පදනම් කරගෙන නොවන බව කරුණාකර සලකන්න.
අනාදිමත් කාලයේ සිට පැවත ආ බහු ස්ත්‍රී විවාහය පිළිබඳව ඉස්ලාමයේ ස්ථාවරය පැහැදිලි කළ විට එමගින් කාන්තා අයිතිවාසිකම් පමණක් නොව කාන්තාවගේ ගෞරවය කෙතරම් දුරට සුරැකී ඇත්තේ දැයි අවබෝධ කර ගැනීමට හැකි වේ යයි සිතන්නෙමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකිය විමසා බලමු.
“අනාථයින් විෂයයෙහි නුඹලා විසින් යුක්ති ගරුකව කටයුතු නොකරනු ඇතැයි නුඹලා බිය වන්නේ නම් ස්ත්‍රීන් අතුරින් නුඹලා ට ප්‍රිය මනාප අය අතුරින් දෙදෙනෙකු, තිදෙනෙකු හෝ සිව්දෙනෙකු ලෙසින් විවාහ කර ගනිවු. නුඹලා විසින් සාධාරණය ඉටු නොවනු ඇතැයි නුඹලා බිය වන්නේ නම් එක් ස්ත්‍රියක් (පමණක්) හෝ නුඹලාගේ දකුණත සතුකරගත් (වහල්) අය (ප්‍රමාණවත්)ය. එය නුඹලා අසාධාරනකම් නොකිරීමට ඉතා සමීපය. .” (අල් කුර්ආන් 4::3)
අල් කුර්ආනය පහළ කළ යුගයේ, එනම් දැනට ශත වර්ෂ 14 කට පෙර අරාබි හා ලොව අනෙකුත් සමාජයන්හි ස්ත්‍රීන් අසීමිත සංඛ්‍යාවක් විවාහ කර ගැනීම සාමාන්‍යය සම්ප්‍රදාය බවට පත්ව තිබිණ. ඉහත අල් කුර්ආන් වැකිය මගින් මෙම වැරදි සමාජ සම්ප්‍රදාය නිවැරදි කිරීමට ලොව පළමු පියවර හා මග පෙන්වීම ඉදිරිපත් කරන ලදී. එම යුගයේ ඉස්ලාමයට විරුද්ධව විවිධ යුද්ධ ඇතිවූ අතර සෑම යුද්ධයක් අවසානයේදීම පිරිමින් විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් වැන්දඹු වූ ස්ත්‍රීන් හා අනාථ වූ දරුවන් විශාල පිරිසක් බිහි වූ අතර ඔවුන් රැක බලා ගැනීම සමාජයේ ජීවත් වුවන්ගේ වගකීම බවට පත්විය. මෙම වැකිය මගින් පළමුව දන්වා සිටින්නේ අනාථ දරුවන් යහ අයුරින් රැක බලා ගැනීමේ වගකීම නිසි ලෙස ඉටුකිරීම මුල් කරගෙන බහු ස්ත්‍රී විවාහය සඳහා යොමු වන ලෙසය. එවක මතු වූ සමාජ ප්‍රශ්නයක් සඳහා වූ විසඳුමක් ලෙසටයි මෙම අනුමැතිය ලබා දෙනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ මෑතකදී අවසන් වූ දශක තුනක ත්‍රස්තවාදී ගැටුම අවසානයේදී ජීවිතයේ හෙටක් පිළිබඳ විශ්වාසය අහිමි වූ අති විශාල වැන්දඹු වූ කාන්තා පිරිසක් සමාජයට එකතු වී සිටිති. ඔවුන් සම්බන්ධයෙන් විසඳුමක් දීමට රටේ පවතින නීතියට හැකියාවක් නොමැත. ඔවුන් පිළිබඳව යහ විසඳුමක් ලබාදීමේ මඟ විවෘතවී ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් තුළ පමණක් බව මෙම ලිපියේ කරුණු මධ්‍යස්ථව විමසා බලන අයෙකුට පෙනී යනු ඇත. යුද්ධයෙන් පසු ස්ත්‍රී පුරුෂ අනුපාතයද උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වෙනස් වී ඇති බව සත්‍යයකි.
මෙමගින් බහු ස්ත්‍රී විවාහයකට අනුමැතිය ලබාදුන්නද ඒ සඳහා වැදගත් කොන්දේසි කිහිපයක් පනවා ඇත. මෙම වැකියෙන් මිනිස් ඉතිහාසයේ පළමු වරට බහු ස්ත්‍රී විවාහය හතර දක්වා සීමා කර ඇත. මෙම අල් කුර්ආන් වැකියේ ඉතාමත්ම වැදගත් කොන්දේසිය වන්නේ බහු ස්ත්‍රී විවාහය අනුමත වුවද තමන්ගේ බිරියන් අතර යුක්තිය හා සාධාරණය ඉටුකරන්නට නොහැකිකමක් ඇතැයි තමන් බිය වන්නේ නම් එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගන්නා ලෙසය. එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන එකම ආගමික ග්‍රන්ථයද අල් කුර්ආනයයි. ස්ත්‍රීන් අතර යුක්තිය හා සාධාරණය ඉටුකිරීම පිළිබඳව මිනිසාගේ දුර්වලකම් ඉතා හොඳින් දන්නා මිනිසාගේ නිර්මාතෘ මෙම දුර්වලතාව පිළිබඳවද මිනිසාව දැනුවත් කරයි.
“නුඹලා කොතෙක් ආශා කළද බිරියන් අතර යුක්ති සහගත සමානාත්මතාවකින් කටයුතු කිරීමට නුඹලාට නොහැක්කේමය. (එකියෙකු වෙත පමණක්) පුර්ණ නැඹුරු වීමකින් නැඹුරු වී (අනෙක් බිරිය විවාහ ජීවිතය හා දික්කසාදය අතර) එල්ලෙන (අවිනිශ්චිත) දෙයක් මෙන් නුඹලා අතහැර නොදමවූ.” (අල් කුර්ආන් 4:129)
මෙයින් පැහැදිළි කරනුයේ මිනිසා කොතෙක් උත්සාහ කළද බිරියන් අතර සෙනෙහස පිළිබඳව සමානාත්මතාවක් පවත්වා ගෙන යෑමට මිනිසාට ඇති නොහැකියාවයි. ඉස්ලාමයේ ඉගැන්වීම් මෙම නොහැකියාව යථාර්ථයක් බව පිළිගන්නා අතර සෙනෙහස දැක්වීමේදී එක් බිරියක් සහමුලින්ම නොසලකා හැර තවත් බිරියක් වෙත අසීමිත ලෙස සෙනෙහස දැක්වීමේ තත්වයට පත් නොවන ලෙසය. මේ පිළිබඳව සමීප සමානාත්මතාවක් පවත්වාගෙන යෑමට නිරන්තරයෙන් උත්සාහ කළ යුතු වෙයි. නමුත් බිරියන් අතර ගත කරන කාලය හා භෞතික සම්පත් ලබා දීම පිළිබඳව සමානාත්මතාවයක් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතුය. මෙම කොන්දේසි දෙස බලන විට බහු ස්ත්‍රී විවාහයකට අවතීර්ණ වන්නට පෙර පුරුෂයෙකු විසින් දෙවරක් නොව කිහිප වාරයක්ම නැවත නැවත සිතා බැලිය යුතු බව පැහැදිලි වනු ඇත.
විවාහ ගිවිසුම ඇති කර ගන්නා අවස්ථාවේ දී එම ගිවිසුමෙහි මනමාලිය ජීවත් ව ඉන්නා කල් දෙවන විවාහයක් කර නොගන්නා බවට මනමාලයා ගිවිස ගත්තේ නම් ඔහු එම කොන්දේසිය අනුව කටයුතු කළ යුතු වෙයි. එනම් අදාළ විවාහ ගිවිසුමේ මනමාලිය ජීවත් ව සිටිනා තෙක් දෙවන විවාහයක් කර නොගන්නා බවට මනමාලයා එකඟ වුයේ නම් ඔහු ඒ අනුව කටයුතු කළ යුතු වෙයි. මේ මගින් ද බහු ස්ත්‍රී විවාහය පාලනය කිරීමට ඉස්ලාමීය විවාහ සම්ප්‍රදායෙහි ප්‍රතිපාදන සලස්වා ඇත.
බහු ස්ත්‍රී විවාහයට ඉස්ලාමය තුළ අනුමැතිය තිබුණද එය අනිවාර්ය කටයුත්තක් ලෙස කිසිසේත්ම සලකනු නොලැබේ. බහු ස්ත්‍රී විවාහය අවශ්‍ය වන තත්ත්වයන් ඉහත කරුණු වලට අමතරව අනෙකුත් පුද්ගලික හා සමාජ හේතුන් මත ඇතිවිය හැක. එම කරුණුද විමසා බලමු.
බොහෝ සමාජයන්හි කාන්තා ජනගහන ප්‍රතිශතය පුරුෂයින්ට වඩා වැඩිය.
“ඇමෙරිකානු එක්සත් ජනපදයේ පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් මිලියන අටක් සිටිති. ගිනීයා රටේ පිරිමින් 100 දෙනෙකුට ස්ත්‍රීන් 122 දෙදෙනෙකු ද ටැන්සානියාවේ අනුපාතය පිරිමින් 95.1 ට ස්ත්‍රීන් 100 ලෙසද සිටිත්.” (‘Polygamy Reconsidered: African Plural Marriage and the Christian Churches – New York – Page 88-93)
ඉහතින් සඳහන් කළාක්මෙන් යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශයේද කාන්තා ජනගහන ප්‍රතිශතය පුරුෂයින්ට වඩා වැඩි වී ඇත. යුද ගැටුම් අනතුරු මත්පැන් දුම්බීම වැනි කටයුතුවලින්ද බහුලව මිය යන්නේ පිරිමින්ය. මෙවන් තත්ත්වයන් තුළ ස්ත්‍රී ජනගහනයෙන් කොටසකට පුරුෂයින් ලබාගැනීමේ නොහැකියාවට විසඳුම් ලෙස යෝජනා කිහිපයක් විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරිපත් විය හැක. එවැනි යෝජනා කිහිපයක් ගැන සලකා බලමු. බ්‍රහ්මචර්යාව රැකීම, දැනට ඉන්දියාවේ බහුලව සිදුවන අයුරින් ස්ත්‍රී බිලිඳු ඝාතනය, ලිංගික අපචාරය හා බහු ස්ත්‍රී විවාහය අනුමත කිරීම මෙම යෝජනා අතුරින් කිහිපයකි. නුතන මනෝවිද්‍යාත්මක මතයන් අනුව බ්‍රහ්මචර්යාව රැකීම පවසන තරම් පහසු කාර්යයක් නොවේ. බ්‍රහ්මචර්යාව රකින්නට ඉදිරිපත් වී ඇති අය අතුරින් ඇතැම් අය රහසිගත සමලිංගික මෙන්ම විෂමලිංගික වශයෙන් ඔවුන්ගේ ලිංගික ක්‍රියාවලිය පවත්වාගෙන යන බව හෙළි වී ඇත. සමලිංගික ක්‍රියාවලිය විකෘති දෙයක් ලෙස මෙන්ම මිනිසාගේ ස්වභාවිකත්වයට හා පැවැත්මට හානිකර දෙයක් නිසා බහුතරයක් ජනයා හා දහම්ද එය අකුසලයක් ලෙස දකියි. රහසිගත විෂමලිංගික ක්‍රියාවලියෙන් එයට සහභාගී වන ස්ත්‍රියට බිරියක් ලෙසින් උරුම අයිතිවාසිකම් කිසිවක් ලබාගැනීමට හැකියාවක් නොමැත. ඇගෙන් බිහිවන දරුවන්ගේ තත්ත්වය මෙයට වඩා භයානකය. එනිසා ස්ත්‍රී පුරුෂ අනුපාතයේ ඇතිවන අසමානත්වයට පිළියමක් ලෙස බ්‍රහ්මචර්යාව යහ විසඳුමක් ලෙස පිළිගැනීමට ඇති හැකියාව ප්‍රතික්ෂේප කරන්නට සිදුවෙයි.
මීළඟ විසඳුම ලෙස ඇත්තේ ස්ත්‍රී බිලිඳු ඝාතන සිදුකිරීමයි. මෙය දෙයාකාරයෙන් දැනට සිදුවෙමින් පවති. දරුවා බිහිවන්නට පෙර පරිලෝකනය (Scanning) කර බැලීමෙන් කලලය ස්ත්‍රී ලිංගික එකක් බව දැනගත් විට ගබ්සාවක් මගින් එය විනාශ කර දැමීම මෙහි පළමු වැන්නය. දෙවැන්න, බිලිඳු වයසේදීම, බොහෝ විට උපන් විගස මරණයට පත් කරවීමය. මේ කරුණු දෙකම බරපතල අපරාධයන් නිසා සදාචාර සම්පන්න කිසිම සමාජයක් අනුමත නොකරන ක්‍රියාවන්ය. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකියන් විමසා බැලීම වඩාත් සුදුසුයි කියා සිතන්නෙමු. අල් කුර්ආනය පහළ කරණු ලැබූ යුගයේ අරාබි සමාජයේ පැවති එක් වැරදි ක්‍රියාවක් වූ තම පළමු දරුවා ගැහැණු දරුවෙක් වූ බොහෝ පවුල්වල එම දරුවාව පන පිටින් වළලා දැමීම සිරිතක්ව පැවත ඇත. ඒ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකි විමසා බලමු.
“ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැණු දරුවෙකු ලැබුණා යැයි සුභාරංචි කිවහොත් ඔහුගේ මුහුණ (ශෝකයෙන් හා) කෝපයෙන් අඳුරු වන්නේය. (ගැහැණු දරුවෙකු ප්‍රසුත වුනේ යැයි) ඔහුට කියනු ලැබූ මෙම නපුරු සුභාරංචිය ගැන (පිළිකුලෙන්) ‘අවමානයට ලක්වූ එය තබා ගන්නේද? නැතහොත් (පණ පිටින්) එය පස් යට වළලා දමන්නේදැ”යි (දුක් වී) ජනතාව ඉදිරියට නොගොස් සැඟවී සිටින්නෝය….” (අල්-කුර්ආන් 16:58-59)
“පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවන්ගෙන් ‘කුමන වරදක් නිසා ඔබ (පණ පිටින් වළලනු ලැබ) ඝාතනය කරණු ලබුවෙහුදැ’යි අසනු ලබන්නේය. (අල්-කුර්ආන්” 81:9)
මීළඟ විසඳුම වන්නේ ලිංගික අපචාරයේ යෙදීමය. මෙයද සදාචාර විරෝධී ක්‍රියාවක් යන්න පිළිබඳව කිසිම මතභේදයක් නැත. එපමණක් නොව, අති භයානක සමාජ රෝගයන්ටත් බිලිවිය හැකි තත්ත්වයක් මෙමගින් ඇතිවිය හැක. නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති ඒඩ්ස් රෝගය බෝ වන්නේත් ලිංගික අපචාරයෙන් බව සැවොම දන්නා කරුණකි. මේ පිළිබඳව ඉතාමත්ම ප්‍රාතිහාර්ය ජනක අනාවැකියක් මුහම්මද් නබි තුමාණන් විසින් මෙයට වර්ෂ 1450 කට පෙර ප්‍රකාශ කර තිබීම ඉබ්න් මාජා හා අල් හාකිම් ග්‍රන්ථයන්හි සටහන් කොට ඇත.
“දුරාචාරය ජනයා අතර විවෘතව හා ප්‍රචලිතව සිදුවන්නක් බවට පත්වූ විට විවිධ වසංගත රෝග හා මෙයට පෙර නොදැන සිටි රෝගයන් ජනයා අතර පැතිරෙන්නට පටන් ගනීවි”. (ඉබ්න් මාජා, අල් හාකිම්)
දුරාචාරය නිසා ඇති වූ හා පැතිරෙමින් පවතින මාරාන්තික රෝගයක් වූ “ඒඩ්ස්” මෙයට පෙර විසු ජන සමාජයන් දැන නොසිටි රෝගයකි. වර්ෂ 1450 කට පෙරම මෙම රෝගය පිළිබඳව නිවැරදි අනාවැකිය මුහම්මද් නබි තුමාණන් විසින් ප්‍රකාශ කර තිබීම සැබවින්ම ප්‍රාතිහාර්ය ජනක නොවන්නේද? මෙය එතුමාණන් සත්‍යය වශයෙන්ම දෙවිඳුන්ගේ අවසාන ධර්ම දුතයානන් බව සහතික කරන එක් වැදගත් සාධකයක් බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේද?
අවසාන වශයෙන් ඇත්තේ යුක්තිය හා සාධාරණය මත පිහිටා නීත්‍යනුකුලව කරගන්නාවූ බහු ස්ත්‍රී විවාහයකට අවතීර්ණ වීමය. මෙයින් කාන්තාවට බිරියක් වශයෙන් ලැබිය යුතු සියලු අයිතිවාසිකම් ලැබෙන අතර දරුවන්ටද අයිතිවාසිකම් මෙන්ම නීත්‍යනුකුලභාවයක් හිමිවේ.
බහු ස්ත්‍රී විවාහයක් සිදුකර ගැනීම සාධාරණීය කරන තවත් සාධක කිහිපයක් උදාහරණ මගින් පෙන්වා දිය හැක. තම බිරියට දරු සම්පත නොමැති අවස්ථාවන්හි දරුවෙක් අපේක්ෂා කරන පුරුෂයින් සමහර අවස්ථාවන්හි අපේක්ෂා භංගත්වයට පත් වී ඉතාමත් පීඩාකාරී මෙන්ම වේදනාකාරී තත්වයන්ට පත්වනු අප දැක ඇත. මෙවන් තත්වයන්හිදී දරු සම්පත නොමැති තම බිරිය දික්කසාද කොට තවත් විවාහයකට ඉදිරිපත් වීම අප දැක ඇති සාමාන්‍යය සමාජ සත්‍යයකි. දහසක් බලාපොරොත්තු ඇතිව විවාහ දිවියට පිවිසි මෙවන් ස්ත්‍රීන්ට අනාගතයක් සහතික කිරීම ඉතාමත්ම දුෂ්කර කාර්යයකි. දික්කසාද වූ ස්ත්‍රියක් නැවත විවාහ වීම අප සමාජ ක්‍රමය තුළ එතරම් පහසු කාර්යයක් නොවේ. නමුත් බහු ස්ත්‍රී විවාහ නීතිය ක්‍රියාත්මක නම් ඇයට එවන් අවාසනාවන්ත තත්වයකට පත්වීමට අවශ්‍යතාවක් නොමැත. මෙවැනි කරුණු රාශියක් මගින් බහු ස්ත්‍රී විවාහය කාන්තාවගේ අයිතිවාසිකම් සුරැකීමේ පිළිවෙතක් මිස එය කාන්තාවගේ අයිතිවාසිකම් විනාශ කිරීමේ මගක් නොවන්නක් බව පෙන්වා දිය හැක. මෙයට පෙර පෙන්වා දුන් පරිදි බහු ස්ත්‍රී විවාහය ඉස්ලාමය විසින් ලෝකයාට හඳුන්වා දුන්නක් නොවන බවත්, ඉස්ලාමීය ඉගැන්වීම් මගින් මෙම පිළිවෙත මනුෂ්‍ය වර්ගයාගේ යහපතට මෙන්ම කාන්තාවගේ අයිතීන් සුරැකෙන පරිදි සකස් කර දීම පමණි කර ඇත්තේ.
වෙනත් සංස්කෘතීන්හි බහු ස්ත්‍රී විවාහය පැවති බවට ඇති සාධක ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මෙහිදී අපගේ මතයන් ප්‍රකාශ නොකොට මුලාශ්‍රයන්ගෙන් උපුටා දැක්වීම පමණක් කර ඇත්තෙමු. මෙය එම සංස්කෘතීන් විවේචනය කරන්නට දරන වෑයමක් ලෙස නොසිතා මිනිස් ඉතිහාසයේ යථාර්ථයන් අවබෝධ කරගන්නට උත්සාහ කරමු.
කිතුනු සංස්කෘතිය
“ඔහුට (සලමොන් රජුට) රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝය.” (ශුද්ධ බයිබලය – 1 රාජාවලිය – 11:3)
“දාවිත් හෙබ්රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන්ද භාර්යාවන්ද ජෙරුසලමෙන් පාවාගත්තේය.” (ශුද්ධ බයිබලය – 2 සාමුවෙල් – 5:13)
බෞද්ධ සංස්කෘතිය
“ඒ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි.” (පුජාවලිය – 422 වැනි පිටුව).
By: එම්. අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com