කැමති උනත් නැතත් යම් දවසකදී සෑම කෙනෙකුටම මෙලොව හැර යාමට සිදුවන්නේය. එබැවින් මෙලොව උපදින සෑම මිනිසෙකුම ඊට සුදානම් විය යුතුව තිබේ. එම කරුණ අල්-කුරානයේ මෙලෙස සඳහන් වේ.“සෑම ආත්මයක්ම මරණයට පත්වනු ඇත. විනිශ්චය දිනයේදී නුඹලාගේ කුලිය පූර්ණව දෙනු ලබන්නේය. කවරෙක් නිරයෙන් ඈත් කරනු ලැබ ස්වර්ගයෙහි ඇතුලත් කරනු ලබයිද ඔහු සත්‍යවශයෙන්ම ජයග්‍රාහකයා වේ. මෙලෝ ජීවිතය මුලාවට පත්කරවන ආස්වාදයක් මිස වෙන කිසිවක් නොවේ” (කුරානය 3:185).

එසේ තිබියදී බොහෝ අයගේ ජිවිතයෙන් වැඩිපුර කාලයක් ගත කරන්නේ ආස්වාදයන් සඳහාය. එහෙත් ඒවා තාවකාලික දේවල් පමණි. මිනිසාට ඉතිරි වන්නේ ඔහු කළ පින් (ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති නැමදීම, උපවාසය, zසකාත් සහ හජ් ඇතුළු අනෙක් සැම හොඳ ක්‍රියාවක්ම) හෝ පව් (දෙවියන් තහනම් කොට ඇති මහා පාප ක්‍රියාවන් ඇතුළු බොරුකීම, කේලම් කීම, ඕපාදුප වැනි දේවල්) පමණි.  අනෙක් සියළුම දේවල් මරණයත් සමග මිනිසාව හැර යන්නේය.

මරණයෙන් පසු මුල් අදියර ආරම්භ වන්නේ සොහොනේදිය. නබිවදනක සඳහන් වන අන්දමට එහිදී දේවදුතයින් දෙදෙනෙකු පැමිණ ප්‍රශ්න කරනු ලබේ. ඒවාට සාර්ථකව මුහුණ දීමට ලැබුනේ නම් ඉන් එහා ඇති සෑම අදියරක්ම ජය ගත හැකි වන්නේය. එය කළ හැකි වන්නේ ඊට සුදානම් වූ අයට පමණක් බව අමතක නොකළ යුතුය. සොහොන් ජීවිතය බොරුවක් යැයි සිතු අය එම අවස්ථවේදී ඉතාමත්ම අසීරුතාවයට පත් වනු නියතය.

මිහිපිට සිටින ජීවින් අතුරින් මිනිසා සුවිශේෂි වන්නේ මිනිසා මෙලොවදී කරන ක්‍රියාවන් අනුව නිමක් නැති මතු ජීවිතයේ ස්වර්ගය හෝ නිරය ලැබෙන නිසාය. එම ජීවිතය ජය ගැනීම සඳහා මිනිසාට මෙලොවදී නියම කොට තිබෙන ප්‍රධාන කාර්යන් අතරින් එකක් වන්නේ දෙවියන්ව විශ්වාස කිරීමය. එහෙත් අවාසනාවකට මෙන් මිනිසුන්ගෙන් අතිබහුතරයක් මෙතරම් පහසු දෙයක් ඉෂ්ට කරන්නේ නැත. එහි පාඩුව ඔවුන්ටම බව තේරෙන්නේ මරණයට මුහුණ දුන් පසුවය.

මිනිසාට මරණයෙන් පසු ජීවිතය ජය ගැනීම සඳහා මාර්ගය කියා දීම සඳහා මිනිසුන් අතරින් තෝරාගන්නා ලද නබිවරුන් සිය ලක්ෂයකට වඩා මෙලොවට පැමිණ ඇත. මෙලෙස අවසාන වශයෙන් පැමිණි නබි වරයා මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාය. සියළු මිනිස් වර්ගයාටම යහ මග පෙන්වීම සඳහා වූ අල්-කුරානය පහළ වුයේ එතුමාටය. අල්-කුර්ආන් පණිවිඩයෙන් පසු ඉස්ලාම් දහම සම්පුර්ණ විය.

අල්-කුරානයට අනුව මිනිසාව මවා ඇත්තේ පරීක්ෂා කොට බැලීම සඳහාය. ඒ අනුව මිනිසාට වෙන සත්වයින්ට නොමැති බුද්ධියක් සහ ස්වයං තීරණයක් ගැනීමට හැකියාවක් ලබා දී ඇත. මේ අනුව මිනිසා කරන හොඳ හෝ නරක අනුව මරණයෙන් පසු ඔහුගේ ස්වර්ගය හෝ නිරය තීරණය වන්නේය. ඊට සුදානම් නොවූ අයට විනිශ්චය දිනයේදී දුක් වීමට සිදු වනු ඇත. කිසිවෙකුට එම දිනයේදී දෙවියන්ගේ තීරණයට එරෙහි විය නොහැකිය. එම දිනයේදී දෙවියන්ගේ තීන්දුව අවසාන තීන්දුව වනු ඇත. එම විනිශ්චයෙන් පසු මිනිසා හැර සෙසු ජීවින් දුවිලි බවට පත් වන්නේය. මිනිසාට සහ ජින්වරුන්ට පමණක් ස්වර්ගය හෝ නිරය ලබා දෙනු ඇත.

නබිතුමාගේ හදීසයක මෙසේ සඳහන් කොට ඇත: “අල්ලාහ් ඔහුගේ මැවීම් වන ජින්, මිනිසුන් සහ සතුන් අතර විනිශ්චය කරනු ඇත. එම දිනයෙහිදී අං ඇති සතෙක් අං නොමැති සතෙකුට හිංසා කොට තිබුනේ නම් එම දිනයේදී ඒවා සමතයකට පත් කොට ඉන් අනතුරුව ඒවා දුවිලි බවට පත්කරන්නේය. එම අවස්ථාවේදී දෙවියන්ව ප්‍රතික්ෂේප කල අය, දෙවියනි! මාද දූවිලි මෙන් විය යුතු නොවේදැ’යි පවසනු ඇත. (ෂේක් අල්-අල්බානි මෙම හදිසය සහිහ් බව පවසා ඇත. සිල්සිලා අල්-සහිහා, 4 වන කොටස, පිටු අංකය. 966, හදිස් අංක 1966).
එම දිනයේදී දෙවියන්ව ප්‍රතික්ෂේප කල අය කුමක් පැවසුවත් ඔවුන්ට ගැලවුමක් නොමැත. මරණයෙන් පසු සෑම කෙනෙක්ගෙම ඇසට දමා තිබුණු තිර ඉවත් කරනු ඇත. එවිට ඔවුන් සිය දෑසින් සියළු දේ ඉතා පැහැදිලිව දකිනු ඇත.

“(එම දිනයේදී පව් කළ වුන්ට මෙසේ කියනු ඇත) ‘නියතවශයෙන්ම නුඹලා මේ ගැන උදාසීනව සිටියෙහිය’ එබැවින් අපි නුඹලාගේ තිරය නුඹලාගෙන් ඉවත් කළෙමු, (එබැවින්) අද දවසෙහි නුඹගේ පෙනීම තියුණුව තිබෙන්නේය” (කුරානය 50:22).

එම දිනයේදී සිදුවීමට යන දේ දැකීමෙන් පසු පව් කළ අය නැවතත් මනු ලොවට පැමිණීමට වරමක් ඉල්ලා සිටිනු ඇත. එහෙත් කිසිවෙකුට ඊට අවසර ලැබෙන්නේ නැත. ඇතැම් අය තමන් කල වරදට වන්දි වශයෙන් කන්දක් තරම් රත්‍රන් තිබුනොත් එය දීමෙන් ගැලවීමට සිතනු ඇත. එහෙත් එම දිනයේදී කිසිම දෙයක් වන්දි වශයෙන් ලබා ගන්නේ නැත.

මේ ලෝකය මවා ඇත්තේ අල්ලාහ් ය. අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැත. එබැවින් අල්ලාහ් හැර වෙනත් දෙවිවරු මැවූ ලෝකයක් හෝ ජීවින් නොමැත. මෙලොවට පහල වූ කිසිම ආගමික සාස්තෘවරුන් විසින් ද කිසිම දෙයක් මවා නොමැත. ඔවුන්ම දෙවියන්ගේ මැවීම් වේ. ඔවුන් දෙවියන් ගේ උදව් ඇතිව ජිවත් වුහ. මරණයට පත්වුහ. විනිශ්චය දිනයේදී ඔවුන්වද දෙවියන් ඉදිරියට කැඳවනු ලබන්නෝය. එසේ තිබියදී මුසා නබිතුමා හෝ ජේසු තුමා හෝ මුහම්මද් නබිතුමා හෝ දෙවිවරු වන්නේ නැත. ඔවුන් සියළුදෙනාම සාස්තෘවරුන් පමණි.

මෙලොවට පහල වූ අවසාන නබිවරයා මුහම්මද් නබි තුමාය එසේම අවසාන දේව පණිවිඩය අල්-කුරානයයි. මේ හේතුවෙන් මුහම්මද් නබිතුමාගෙන් පසු වසර 1450 ගෙවී ගියත් වෙනත් දහමක් පහළ වුයේ නැත. එම හේතුවෙන් අද ජිවත් වන අය කුරානය අනුව ජිවත් වීමෙන් ස්වර්ගය අත්කර ගත හැකි වන්නේය. මේ බව අල්-කුරානයේ මෙන්ම නබි වදන්වල සඳහන් වේ.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *