වහබ්වාදය ගැන පැහැදිලි කිරීමට පෙර ඉස්ලාම් දහමේ බෙදීම් වල ආරම්භය ගැනත් යමක් පැවසීම වැදගත් යැයි සිතමි. ඉස්ලාම් දහමේ මුල් අවදියේදී එහි කිසිම පිල්බෙදීමක් තිබුනේ නැත. එකල ජීවත්වූ සියළුදෙනාම පිලිපදිනු ලැබුවේ අල් කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම පමණි. මෙම ක්‍රමය නබිතුමාගේ අභාවයෙන් පසු පරම්පරා තුනක් යන තුරුම ආරක්ෂා වී තිබුනේය. ඉන්පසු නොයෙකුත් හේතුන් නිසා මුස්ලිම්වරුන් අතර සිවිල් යුද්ධයන් ඇතිවූ අතර දේශපාලනික වශයෙන් ප්‍රධාන කණ්ඩායම් දෙකක් බිහිවිය. ඉන් එකක් ෂියා ලෙසද අනෙක කවාරිජ් ලෙසද හඳුන්වනු ලැබුවේය. මෙම කණ්ඩායම් දෙක පසු කලකදී ආගමික නිකායන් බවට පත් වූ අතර නබිතුමා පෙන්වා නොදුන් බොහෝ අළුත් ඇදහිලි ඔවුන් විසින් පෙන්වා දුන් ඉස්ලාම් දහම තුලට ඇතුලත් කලෝය. කෙසේ වෙතත් නබිතුමා සහ ඔහුගේ සහාබාවරුන් අනුගමනය කළ නිවැරදි දහම වෙන් කොට හඳුන්වා ගැනීම  සඳහා ‘අහුළුල් සුන්නා වල් ජමාඅ’ යන නම උපයෝගී කරගනු ලැබුවේය.

ෂියා වරුන් ඉස්ලාම් දහම තුලාට අළුතින් ඇතුලත් කළ දේවල් අතර මළවුන්ගෙන් උදව් පැතීම ඇතුළු තවත් බොහෝ දේවල් විය. එම යුගයේදී ඔවුන් විසින් හජ් වන්දනාවට වඩා ඉහල වටිනාකමක් දෙනු ලැබුවේ සොහොන් කොත් වන්දනාව සඳහාය. මේ අනුව ඇතැම් සොහොන් වලට කඃබාවට වඩා ඉහල ගෞරවයක් දෙනු ලැබිය. මේවායින් නොනැවතුණු ඔවුහු දෙවියන් විසින් අනිවාර්ය කළ සලතය ඉටු කිරීමට වඩා වැඩි වටිනාකමක් මළවුන් වන්දනාව සඳහා ලබා දුන්නෝය. එම හේතුවෙන් එම කාලයේදී මක්කමේ පිහිටි ප්‍රධාන දේවස්ථානය වන කඃබාවේ නැමදීමට සිටියේ ඉතා සුළු පිරිසකි. එහෙත් සොහොන් කොත් ආශ්‍රිත උත්සව සඳහා විශාල ලෙස පිරිස එකතු විය. ඇතැම් අය දෙවියන්ගෙන් ආරක්ෂාව පතනවා වෙනුවට යන්ත්‍ර සහ මන්ත්‍ර ඇසුරින් පිහිට පතුවෝය. කොටින්ම කිවහොත් ඔවුන් නැවතත් දෙවියන්ට සමානයන් තැබීමේ කාර්යන්වල නිරත වුහ.

ඉහත සඳහන් දේවල් දැකීමෙන් මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් නමැති විද්වතා බොහෝ සෙයින් කළ කිරුනේය. ඔහුට උවමනා වුයේ නැවත ඉස්ලාම් දහම නිවැරදි ලෙස ජනතාව අතර ගෙන යාමටයි. එම අභිලාහය ඉටු කර ගැනීම සඳහා ඔහුට විශාල වෙහෙසක් දැරීමට සිදු විය. එහෙත් ඔහුගේ එම උත්සාහයට මළවුන් වන්දනා කරන අයගෙන් විශාල භාධාවන් එල්ල විය. කෙසේ වෙතත් ඔහු ගෙන ගිය උත්සාහය මගදී අත්හැරියේ නැත.

මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් නමැති මෙම විද්වතා නබිතුමාගේ හදිස් අනුව යමින් මිනිසුන් විසින් වැඳුම් පිදුම් කළ ඇතැම් සොහොන් කොත් පොළවට සමතලා කිරීමට කටයුතු කළේය. එකල සන්නිවේදය අද මෙන් නොදියුණු වුයෙන් මෙම පුවත ඔහුට විරුද්ධව ප්‍රචාරයන් කිරීම සඳහා ප්‍රභල ආයුදයක් ලෙස යොදා ගනු ලැබුවේය. ඒ අනුව මිනිසුන් අතර පැතිරී ගියේ ඔහු සහාබාවරුන්ගේ සොහොන් විනාශ කරන බවයි.

මෙම කර්තව්‍ය සිදු කලේ මුහම්මද් නමැති කෙනා වුවද ඔහුට විරුද්ධව ගෙන යන ප්‍රචාරය සඳහා ඔහුගේ පියා වන අබ්දුල් වහ්හාබ් නැමැත්තාගේ  නම යොදා ගනු ලැබිය. ඒ අනුව මෙම ව්‍යාපාරය “වහාබ් වාදය” ලෙස නම් කරනු ලැබුවේය. කෙසේ වෙතත් මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් ලියා ඇති පොත්පත් වල කුරානයට හෝ නබිවදන්වලට එරෙහි කිසිම සඳහනක් දැකිය නොහැකිය.

මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් යන විද්වතා කළ සේවය නිසා ඉස්ලාම් දහමේ විශාල පිබිදීමක් සිදු විය. එහෙත් මෙම පිබිදීම දැකීමට අකමැති බොහෝ මුස්ලිම් නොවන අය එතුමාට විරුද්ධව  විශාල භීතියක් ජනතාව අතර දියත් කොට තිබේ. එම හේතුවෙන් ඇතැම් උදවිය එතුමාගේ නම ඇසීමෙන්ම භීතියට පත්වන තත්වයක් උදාවී ඇත. කෙසේ වෙතත් ඉස්ලාම් දහම නිවැරදිව පිළිපැදීමට අවශ්‍ය අය කළ යුත්තේ අල් කුරානය සහ නබිතුමා පෙන්වා දී ඇති මාර්ගය අනුගමනය කිරීමය. මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් පෙන්වා දෙන්නේද එයම වේ.

කෙසේ වෙතත් හාස්‍යජනක කරුණ වන්නේ බහාබ් වාදය ගැන කතා කරන බොහෝ අය ඒ ගැන කිසිම දෙයක් දැනගෙන නොසිටීමයි.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *