ඉස්ලාම් දහමේ අන් සෑම කටයුත්තක් මෙන්ම අවමංගල චාරිත්‍ර විදි ද දහමේ එක් අංගයකි. ඊට සහභාගිවීම කුසල් ක්‍රියාවකි. මරණයට පත්වූ තැනැත්තාගේ අවසන් කටයුතු සිදු කිරීම පව්ලේ ලඟම ඥාතීන්ට පැවරෙන අතර එවැනි කෙනෙක් නොමැති නම් ගමේ සියළුම දෙනා වෙත එය පැවරෙන්නේය. එහෙත් යම් පිරිසක් විසින් එම වගකීම ඉටුකළේ නම් ඔවුන් සියළුදෙනාම එම වගකීමෙන් නිදහස් වන්නේය. 

මුස්ලිම්වරයෙකුගේ මරණයක් හැකි ඉක්මනින් භූමදානය කළ යුතුය. එබැවින් එය එම්බාම් කරමින් දින ගණන් තබාගැනීම හෝ මරණය වෙනුවෙන් ශබ්ද නගා හඬා වැළපීම කළ නොහැකිය. මරණය සුසාන භුමිය වෙත ගෙන යාමේදී කාන්තාවන් ඊට සහභාගී වන්නේ නැත. මේ නිසා මරණය සුසාන භුමිය දක්වා ගෙන යනු ලබන්නේ පිරිමි පාර්ශවය විසිනි. හැකි සෑම විටම මරණය අතින් ඔසවාගෙන යනු ලැබේ. මරණය රැගෙන යන අවස්ථාවේදී නිශ්ශබ්දතාවය රැකගත යුතුය. මේ නිසා බෙර වාදනය හෝ නලා වාදනය හෝ සිදු කරනු ලබන්නේ නැත. එම අවස්ථවේදී විශේෂයෙන් පාරායනය කලයුතු කිසිම දෙයක් නබිතුමා උගන්වා නොමැත. තවද මල් වඩම් හෝ වෙන යමක් එම අවස්ථවේදී ගෙන යනු ලබන්නේ නැත.
මුස්ලිම්වරයෙකුගේ මරණය භුමිදානය කිරීමට පෙර නෑවීම අනිවාර්ය වේ. ඉන් පසු සුදු රෙදි කඩ තුනකින් එම මරණය ඔතනු ලැබේ. මෙලෙස භූමිදානය සඳහා සුදානම් කළ මරණය සියලු දෙනාට දැක ගැනීමට ඉඩ සැලසීමෙන් පසු මරණය ඔසවාගෙන ගොස් යම් තැනක තබා මරණය වෙනුවෙන් දේව මෙහෙයක් සිදු කරනු ලැබේ. බොහෝ විට මෙය මස්ජිදය තුලදී සිදු කරනු ලැබේ. ඉන්පසු එය භූමිදානය කරන්නේය.
ඉහත සඳහන් කළ ක්‍රමය ඇති නැති සියලුදෙනාටම පොදු වූ ක්‍රමයකි. එබැවින් එය කිසිවෙකුට විශාල වියදම් දැරීමට සිදුවන ක්‍රියාවක් නොවේ.
මුස්ලිම්වරුන්ගේ මරණයක් ආදාහනය කරනු ලබන්නේ නැත. එසේම මරණය වටා ස්ථිර ගොඩනැගිලි ඉදි කරන්නේද නැත. මේ නිසා ටික කලකදී එක් මිනියක් භූමිදානය කළ ස්ථානයේ තවත් දේහයක් මිහිදන් කිරීමට හැකිය. මේ හේතුවෙන් මුස්ලිම් සුසාන භූමියක ඉඩ කඩ ප්‍රශ්නයක් මතුවන්නේ නැත. මෙම ක්‍රමය නිසා පරිසරයට කිසිම හානියක් සිදු වන්නේද නැත.
මුස්ලිම්වරයෙකුගේ මරණයක් භුමිදානය කළ පසු එම ස්ථානයේදී ඔහුගේ ගුණ වර්ණාවක් සිදු කරන්නේ නැත. ඔහුට ඉතිරිවන්නේ ඔහු කළ පින් හෝ පව් පමණි.
භූමිදාන කටයුතු අවසාන කිරීමෙන් පසු මිය ගිය තැනැත්තා වෙනුවෙන් එහි පැමිණ සිටින අය තනි තනිවම ප්‍රාර්ථනා කළ පසු එහි සිටින අය තම තමන්ගේ නිවෙස්වලට යන්නේය. හිතවතුන්ට මළ ගෙදරට ගොස් ඔවුන්ගේ ශෝකය පල කළ හැකි අතරම නබිතුමා පෙන්වා දුන් ප්‍රාර්ථනය ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකිය. හැකිනම් අසල්වැසියන් විසින් මළ ගෙදර අයට පමණක් කෑම පිළියෙළ කොට දීම වඩා සුදුසුය. මෙය නබිතුමාගේ හදිසයක දැක්වෙන්නේය. මේ හැර මළ ගෙදර අයගේ වියදමින් පැමිණ සිටින සියළුදෙනාටම ආහාරවලින් සංග්‍රහ කළ යුතු නැත.
By Fasy Ajward. B.Sc(Special) Hons.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *