නබිතුමාගේ අනුගාමිකයින් සිය කෙවිට බිම වැටුනත් එය සිය අතින්ම අසුලාගත්හ. එවැනි අවස්ථාවන්හි දී තවත් කෙනෙකුගෙන් උදව් ඉල්ලීම වරදක් නොවුවද ඇතැම් සහාබාවරු ඊට කැමැත්තක් දැක්වුයේ නැත. එසේ තිබියදී අප අතර සිටින සමහරු අල්ලාහ්ගෙන් උදව් පැතීම වෙනුවට මිනිසුන්ගේ හැකියාවෙන් කල නොහැකි දේවල් සඳහා අල්ලාහ් නොවන කෙනෙකුගෙන් උදව් ඉල්ලා සිටීම බලවත් වරදකි. මෙය ප්‍රධාන පෙලේ ෂිර්ක් ක්‍රියාවක් වේ. උදාහරණයක් වශයෙන් විපතකදී තමන් ළඟ නොසිටින කෙනෙකුගෙ නම කියා එවෙලේම ඔහුගෙන් උදව් පැතීම, දරුපල නොමැති කෙනෙක් දරුවෙක් ලබා දෙන මෙන් ෂෙයික්වරුන්ගෙන් ඉල්ලා සිටීම, වෛද්‍යවරුන්ට සුව කල නොහැකියැයි නිගමනය කල ලෙඩක් සුව කර දෙන ලෙස ෂෙයික්වරුන්ගේ ඉල්ලා සිටීම පෙන්වා දිය හැකිය.
අල්ලාහ්ට පමණක් කළ හැකි දේවල් ඔහුගේ මැවීම් වලටත් කළ හැකි යැයි විශ්වාස කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමකි. මේ අනුව මළවුන්ගෙන් හෝ ෂෙයික් වරුන්ගෙන් ඔවුන්ගේ හැකියාවෙන් ඔබ්බට යන දේවල් සඳහා උදව් පැතීම ඉස්ලාම් දහම අනුව විශාල වරදක් වේ. එවැනි දේවල් දැන දැනම සිදු කරන තැනැත්තා ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. ඉහත සඳහන් කළ දේවල් සඳහා දුආ ප්‍රර්ථනා කළ යුත්තේ අල්ලාහ්ගෙන් පමණි. එබැවින් මෙවැනි වරදක් කළ කෙනෙක් ඔහුගේ මරණයට පෙර අල්ලාහ්ගෙන් සමාව ගෙන නොතිබුනේ නම් ඔහු සදාකල් නිරයට පාත්‍ර වනු ඇත.
අල් කුරානයට අනුව කෙනෙකුගේ මරණයත් සමගම ඔහුටත් මෙලොවටත් ඇති සම්බන්දය සිඳී යන්නේය. එහෙත් නබිතුමා වෙනුවෙන් යම් කෙනෙක් සලවාතයන් පැවසුවොත් එය සුරදුතයින්ගේ මාර්ගයෙන් එතුමාට දැනුම් දෙන බව හදිස් වල සඳහන් වේ. ඒ අනුව නබිතුමාට පවා ලොව කොතැනක හෝ සිටින නෙනෙකුගේ වදන්වලට ඍජුවම සවන් දිය නොහැකිය. තවද එතුමාගේ මරණයෙන් පසු ඔහුට මේ ලෝකයේ සිදුවන දේවල් වලට මැදිහත් වීමට නොහැකිය. මේ හේතුවන් එතුමාගේ වියෝවෙන් පසු සහාබවරුන් අතර ඇතිවූ කිසිම ආරවුලකට එතුමා මැදිහත් වුයේ නැත. තවද නබිතුමාගේ වියෝවෙන් පසු ඇතිවුණු ඉඩෝරයක් සඳහා සහාබාවරු උදව් පැතුවේ ජිවතුන් අතර සිටි එතුමාගේ ඥාතින් හරහා අල්ලාහ්ගෙන් බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වේ.
අද බොහෝ අය යම් විපතක් සිදුවූ වහාම “යා මුහියද්දීන්” යැයි විලාප තබති. එසේ කරන්නේ ඔහුට එම විපත සඳහා උදව් කළ හැකිය යන මතයේ සිටගෙන නම් එය බලවත් වරදකි. එනම් ප්‍රධාන පෙලේ ෂිර්ක් ක්‍රියාවකි. කෙසේ වෙතත් එවැනි ක්‍රියාවන් සඳහා මුහියද්දීන් අබ්දුල් කාදීර් ජිලානි තුමා අනුබල දී නොමැති බව ඔහු විසින් රචනා කොට ඇති “ෆත්හුල් ගයිබ්” යන ග්‍රන්ථය අනුව පැහැදිලි වේ. එම ග්‍රන්ථයට අනුව ඔහු මිය යන අවස්ථවේදී ඔහුගේ වැඩිමහල් පුත් ඔහුගෙන් උපදෙස් ඉල්ලු විට ඔහු පවසා ඇත්තේ සෑම දෙයකටම අල්ලාහ්ගේ පමණක් උදව් පතන ලෙසයි. ඔහු පමණක් නොව සෑම ඉස්ලාමිය විද්වතෙකුගේම උපදේශයත් එයම වේ.
ඇතැම් අය තම දරුවන් ලෙඩ වූ විට ඔවුන්ගේ අතේ මතුරන ලද නුල් බඳිති. ඇතැම් අය සුර බඳිති. ඒවා ෂිර්ක් ක්‍රියා බව හදිස්වල සඳහන් වේ. එවැනි අවස්ථවලදී කුරානයේ ඇති සුරාවන් වන 1, 113, 114 ප්‍රයෝජනවත්වන බව හදිස් වල සඳහන් වේ.
බොහෝ අය අල්ලාහ්ගෙන් උදව් පැතීම වෙනුවට ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයින්ගෙන් උදව් පතන්නේ අල්ලාහ් ගැන නිවැරදි අවබෝදයක් නොමැති කම නිසාය. අල්ලාහ් සෑම කෙනෙකුම කරන දේවල් නිරීක්ෂණය කරන්නේය. ඔවුන්ගේ යැදීම් වලට කන් දෙන්නේය. කෙනෙකුට කෙනෙක් උදව් කළ හැක්කේ අල්ලාහ්ගේ අනුමැතිය ලැබුනොත් පමණි. එබැවින් මිය ගිය අයගෙන් උදව් පැතීම වෙනුවට අල්ලාහ්ගෙන් උදව් පැතීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමකි. ඇයිද යත් ප්‍රාර්ථනා කිරීම ඉබාදතයකි, සෑම ඉබාදතයක්ම කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙන් පමණි.
By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *