ඉස්ලාම් ඒකදේව විශ්වාසය මත පදනම් වූ දහමකි. ඒ අනුව විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා රක්ෂණය කරමින් පාලනය කරනු ලබන්නේ අල්ලාහ් යන විශ්වාසය එම දහමින් උගන්වනු ලැබේ. ඒ අනුව කිසිම මුස්ලිම්වරයෙකුට අල්ලාහ් හැර වෙනත් කිසිම දෙයකට නැමදිය නොහැකිය. මේ සම්භන්දයෙන් ලුක්මාන් තුමා තම පුතුට කල අවවාදය මෙසේය.
“ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, ‘මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි (යනුවෙනි)” (කුරානය 31:13).
මේ නිසා කිසිම සාතෘවරයෙකුට හෝ ඔවුන්ගේ සොහොන්වලට හෝ ගොස් ප්‍රාර්ථනා කිසිම දෙවියන්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. ඇයිද යත් මුස්ලිම්වරුන්ගේ ප්‍රාර්ථනයන් යොමු කල හැක්කේ අල්ලාහ්ට පමණක් වන නිසාය. මෙවැනි වරදක් දැන දැන සිදු කරන්නේ නම් ඔහුට දෙවියන්ගෙන් සමාවක් ලැබෙන්නේ නැත. එවැනි කෙනෙක් සිය මරණයට පෙර දෙවියන්ගෙන් සමාව නොගත්තේ නම් සදාකල් නිරයට පාත්‍ර වනු ඇත.
“නියතවශයෙන්ම අල්ලාහ් ඔහුට (වෙන දෙයක්) සම කරනු ලැබීම ක්ෂමා නොකරන්නේය. එය හැර අනෙක්වා ඔහුගේ අභිමතය පරිදි ක්‍ෂමා කරන්නේය. කවරෙක් (නැමදීමේ දී) අල්ලාහ්ට (යමක්) ආදේශ කරයිද ඔහු නියතවශයෙන්ම මහා පාපයක් ගොතන ලද්දෙක් වේ” (කුරානය 4:48).
එසේ තිබියදී ඇතැම් මුස්ලිම්වරුන් මළවුන් හරහා දෙවියන්ගෙන් උදව් පතති, මළවුන් වෙනුවෙන් පඬුරු දමති, මළවුන් වෙනුවෙන් පහන් පත්තු කරති, මළවුන් වෙනුවෙන් වසරක් පාසා උත්සව පවත්වා දාන මාන දෙති. එහෙත් මෙවැනි දේවල් කිරීම සඳහා කුරානයේ හෝ හදිස්වල මුලාශ්‍රයන් දැකිය නොහැකිය. ඒ වෙනුවට අල්කුරානයේ මෙසේ සදහන් වේ.
“නුඹගේ ‘රබ්’ (lord) ඔහුට හැර (වෙන කිසිවෙකුටත්) නැමදුම් නොකළ යුතු යැයි නියෝග කරයි” (කුරානය 17:23).
කුරානයේ මෙසේද සඳහන් කොට ඇත;
“අවංක ලෙස අල්ලාහ්ට පමණක් මිස වෙන කිසිවෙකුට නැමදුම් කරන ලෙස ඔවුන්ට නියෝග කෙරුවේ නැත” (කුරානය 98:5).
මේ අනුව සොහොන් වලට ගොස් උදව් පැතීම ඉස්ලාම් දහමට අළුතින් එකතුකරන ලද ඒවාය. දහමට අළුතින් එක්කරන සියළුම දේවල් වැරදි මාර්ගයේ බවත් ඒවා සියල්ල නිරයට මාර්ගය බවත් නබිතුමා ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත.
මළවුන්ගෙන් ප්‍රර්ථනා කිරීම හෝ ඔවුන් හරහා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කිරීම හෝ නබිතුමා සහ ඔහුගේ අනුගාමිකයින් විසින් පෙන්වා දී නොමැත. එසේ තිබියදී එවැනි වැරදි හිතා මතාම සිදු කරන්නේ නම් ඔහු දහමින් බැහැර වන්නේය. එවැනි කෙනෙක් ඉටුකරන සලාතයට හෝ උපවාසයට හෝ අනෙක් පින් දහම් වලට හෝ කුසල් ලැබෙන්නේ නැත. කෙනෙකුගේ කුසල් අල්ලාහ් වෙත පිලිගැනීම සඳහා තිබිය යුතු මුලික කොන්දේසිය වන්නේ ඔහු අල්ලාහ්ට සමානයන් නොතැබීමය.
“ඔබ පිළිම වන්දනාවේ යෙදෙනවා නම්, නුඹලාගේ සියලු ක්‍රියා නිෂ්ඵල වන්නේය. තවද ඔබ පරාජිතයින් සමඟ සිටින්නෙහිය” (කුරානය 39:65).
ඉස්ලාම් දහම තුල පිළිම වන්දනයක් නොමැත. ඒ අනුව මුහම්මද් නබිතුමාගේ හෝ වෙනත් සාස්තෘවරුන්ගේ පිළිම මුස්ලිම් දේවස්ථානවල දැකිය නොහැකිය. මුස්ලිම්වරුන් ඍජුවම නමදින්නේ සර්වබලධාරී අල්ලාහ්ටය. සැබවින්ම පිළිමවලින් මිනිසාගේ උවමනාවන් ඉටු කල නොහැකිය. අනෙක් අතට පිළිම නඩත්තු කල යුත්තේ මිනිසාමය. එබැවින් මිනිසා විසින් සාදන ලද පිළිම වලින් මිනිසාගේ උවමනාවන් ඉටු කළ නොහැකිය. මේ නිසා ජිවිත කාලය මුළුල්ලේම නැමදුම් කලත් පිළිමවලින් මිනිසාගේ උවමනාවන් ඉටු කලනොහැකිය.
By Fasy Ajward.B.Sc(Sp.Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.