පාඨ සංඛ්‍යයාව 6 කි. මක්කාවෙහි පහළවූ පරිච්ඡේදයකි

‫سورة الكافرون‬‎ க்கான பட முடிவு

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

1- (ශාස්තෘවරයානනි) පවසන්නඃ ප්‍රතික්ෂේපකයිනි!

2- ඔබලා නමදින දේ මා නොනමදිමි.

3- මා නමදින දේ ඔබලා නොනමදින්නේය.

4- ඔබලා නමදින දේ මා නමදින්නෙකු නොවෙමි.

5- මා නමදින දේ ඔබලා නොනමදින්නේය.

6- ඔබලාගේ දහම ඔබට මගේ දහම මට.

මෙම පරිච්ඡේදය අනාවරණයවූ හේතුව:

එවකට මක්කාවේ ජීවත්වූ නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ගේ සතුරන් මිථ්‍යයා දෘෂ්ටිකයින් ඉස්ලාම් දහමට එරෙහිව කළ හැකි සියළු සතුරුකම් කළහ නමුත් ඒ සියල්ල නිෂ්ඵල වූ විට එතුමන් සමග ගිවිසුමකට එළඹීමට තීරණය කළහ. දෙපාර්ශවයම අප අතර ඇති මත භේද අමතක කර එකමුතුව ජිවත්වීමට ගිවිසුමක් ඉදිරිපත් කළහ. මුහම්මද්! ඔබ යාඥා කරන අල්ලාහ්ට අපිත් අවුරුද්දක් යාඥා කරන්නෙමු. ඉන් පසු එළඹෙන අවුරුද්දේ අපේ දෙවිවරුන්ට ඔබ යාඥා කළ යුතුයි. එවිටයි අප අතර එක්සත් භාවය ඇතිවන්නේ. ඔවුන්ගේ මෙම ගිවිසුමට පිළිතුරු වශයෙන් මෙම පරිච්ඡේදය පහළ කර ඒක දේවත්වය සමග කොහෙත්ම ෂිර්ක් (සමාන ගැනීම) එක් නොවේ යනු නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ට තදින්ම කියන ලෙස නියෝග කරනු ලැබිනි. (තෆ්සීර් ඉබ්නු කසීර් 4- 561).

පහත සඳහන් අවස්ථාවන්හීදි මෙම පරිච්ඡේදය
පාරායනය කිරීම යහපත්ය (සුන්නත්ය):

1- තවාෆයෙන් පසු ඉටු කරන සලාතයෙහි ප්‍රථම රක්අතයෙහි.

2- ෆජ්ර් හි හා මඃරිබ් හි ඉටු කරන සුන්නත් සලාතයන්හි ප්‍රථම රක්අතයෙහි.

3- විත්ර් සලාතයෙහි දෙවැනි රක්අතයෙ හි.

මෙම පරිච්ඡේදයේ සුවිශේෂත්වයඃ

කිසිසේත්ම ෂිර්ක් හා ඒක දේවත්වය එක් නොවෙයි යනුවෙන් පවසා, අල්ලාහ්ට සමානයන් ගැනීමේ මහත් පාපයෙන් සමාජය මුදවයි.

මෙම පරිච්ඡේදයෙහි අන්තර්ගතවූ කරුණුඃ

අල්ලාහ් හැර ඔබ නමදින සියළු දෙයින් මා මුළුමනින් ඉවත්වුනෙමි, තවද මාගේ ප්‍රතිපත්තිය හා ඔබේ ප්‍රතිපත්තිය කොහෙත්ම එක් නොවන්නේය යනුවෙන් ප්‍රසිද්ධියෙහි හා දැඩිව පවසන ලෙස අල්ලාහ් ශාස්තෘවරයානන්ට නියෝග කළේය.

ඔවුන් අල්ලාහ්ට යාඥා නොකරයි, මන්ද එය අල්ලාහ් වෙනුවන් යන පිවිතුරු චේතනාවෙන් ඉටු කළ යුතු නිසා, ඔවුන්ගේ යාඥාවන් සියල්ල ෂිර්ක් සමග බැඳී පවති, ඔවුන් අලල්හ් පිළිගන්නා බව කියන ඒ අතර තුරම ප්‍රතිමාවන් 360 ටත් යාඥා කරයි, මෙවැනි මිශ්‍ර යාඥා ක්‍රමයක් අල්ලාහ්ට අවශ්‍ය නොවෙයි. එය යාඥාවක්ද නොවන්නේය. මා යාඥා කරන දේට ඔබ යාඥා නොකරන්නේය. යනු දෙවරක් සඳහන් වීම තුළින් අදහස් කෙරෙන්නේ ඔවුන් ප්‍රතිමාවන්ට යාඥාවන් කරන අතර තුර අල්ලාහ් පිළිගැනීමට කිසිදූ හරයක් නොමැත යනු ඇඟවීමටත්, සමානයන් තබන ඔවුන් එක් දෙවියෙකුගෙන් සෑහීමට පත් නොවන්නේය, මන්ද ඔවුන් තුළ බහු දේව වාදය ආක්‍රමණය කළ ඇත. එය සම්පූර්ණයෙන් මුලිනුපුටා දමන තෙක් ඔවුන්ට විමුක්තියක් නැත යනු ඇඟවීමටත් වේ. එබැවින් දෙපාර්ශවය අතර පවතින කැපී පෙනෙන වෙනස පැහැදිළ කළ අතර පහත සඳහන් පාඨයෙන් එම පරිච්ඡේදයේ නිම කළේය.

ඔබේ දහම ඔබට මගේ දහම මට.

මෙම පරිචිඡේදයෙන් අපි උගත යුතු දේඃ

1- පවිත්‍ර චේතනාවෙන් යුතුව අල්ලාහ් වෙනුවෙන් පමණක් යාඥා කිරීමෙහි අවශ්‍යතාවය මොනවට පෙන්නුම් කරයි.

2- කලා කද්ර් අල්ලාහ්ගේ නියමය පිළිබඳ විශ්වාසය සිහිපත් කෙරෙයි. කව්රුන් ඉස්ලාම් දහම වැළඳ ගන්නේ, කව්රුන් මිථ්‍යා දෘෂ්ටිකයින් වශයෙන් මරණයට පත්වන්නේ යන දැනුම පූර්වයෙන්ම අල්ලාහ් සතුය. එබැවිනුයි මා යාඥා කරන දේට ඔබ යාඥා නොකරන්නේය. යනු පැවසීමට අල්ලාහ් නියෝග කරන්නේ.

3- ෂිර්ක් (අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ) වැරදි සංකල්පයෙහි සිටින්නන්ගෙන් ප්‍රතිපත්තිමය වශයෙන් අප වෙන්වී සිටිය යුතුයි යනු පැහැදිළි වේ.

4- වෙනත් දහම් කෙරෙහි සමීපවීමට කෙරෙන ඇරයුම මුළුමනින් ප්‍රතික්ෂේප කිරීම, සැබවින්ම අල්ලාහ් සත්‍ය හා අසත්‍ය පැහැදිළි කළේය. ඉස්ලාම් සත්‍යවූ එකම මගයි. ඒ හැර සෙසු සියළු සංකල්ප අසත්‍ය වේ.

5- ලකූම් දීනුකුම් වලිය දීන් ඔබේ දහම ඔබට මගේ දහම මට යන පාඨයෙන් ඉමාම් ෂාෆිඊ (රහ්) තුමා ගන්නා සාධකය නම්ඃ නියතයෙන්ම කුෆ්ර් (ප්‍රතික්ෂේපත්වය) යනු එකම ආගමයි. මෙයට නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ගේ ප්‍රකාශයන්හිද සාධක පවති.

6- අල්ලාහ්ගේ සුවිශේෂ ආරක්ෂාව නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ට ඇති බවට මෙම පරිච්ඡේදයත් එක් සාධකයකි. මිථ්‍යා දෘෂ්ටිකයින්ගේ එම ගිවිසුම පිළිබඳ නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන් කල්පනා කිරීමට පෙරම අල්ලාහ් එය එසේ විය නොහැක යන්නට මෙම පරිච්ඡේදය පහළ කළේය.

තවද කෙනෙකු තමන් පිළිගත් සත්‍යයෙහි ස්වථීරව සිටිය යුතු යැයි මෙම පරිච්ඡේදය උගන්වයි. සමහරුන් තුළ පවතින වැරදි ආකල්පයක් නම් සමාජ යහපත උදෙසා හැම ආගමක්ම ඇදහිය යුතුයි, එයයි පරාර්ථකාමිත්වය යනුවෙන් පවසති. නමුත් අපි මදකට කල්පනා කරන්නේ නම්, මෙම තර්කය කෙතරම් සාවද්‍ය එකක්ද යනු තේරුම් ගත හැක. සෑම ආගමක්ම ඇදහිය යුතු බව තර්ක කරන කෙනෙකු තුළ මොනම ආගමක් පිළිබඳ හෝ සැබෑ විශ්වාසයක් නැත. තමන් සිටින සංකල්පයම අසත්‍ය එකක් බව පවසන්නයි ඔහු මෙයින් වෙර දරන්නේ. පැහැදිළිව පරස්පරව පවතින සංකල්පයන් දෙකක් එකම වේලාවක කෙසේ නම් කෙනෙකු පිළිගනීද? එක් සංකල්පයක්ඃ ප්‍රතිමාවන්ට, රූපයන්ට යාඥා කිරීම මහත් පාපයකි. ඒකීය මැවුම් කරුවෙකුට පමණයි යාඥා කළ යුත්තේ යනුවෙන් පවසයි. තවත් සංකල්පයක්ඃ ප්‍රතිමාවන්ට, රූපයන්ට යාඥා කිරීමයි උතුම් යාඥාව යනුවෙන් පවසයි. මෙසේ පරස්පරව පවතින සංකල්පයන් දෙකක්, එකම අවස්ථාවක කෙසේ කෙනෙකු පිළිගත හැකිද? සෑම ආගමක්ම ඇදහිය යුතුයි යනුවෙන් පවසන්නන්, තමන්වම මුලාකරගැනීම පමණයි කරන්නේ. සමාජයේ සාමය, සාමූහිකත්වය, එකමුතුකම, සහජීවනය ගොඩැනගීමට අපේක්ෂා කරන්නන්, ඉස්ලාම් දෙන මෙම විසඳූම ක්‍රියාවට නැංවිය යුතුයි එනම්ඃ කෙනෙකු අදහන සංකල්පය ඔහුට කිසදූ බාධාවකින් තොර ඇදහීමට නිදහස ලබාදීමත්, ඔහුගේ මතයට ගරු කිරීමත් වේ.

By: අස්හර් යූසුෆ්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *