සකස් කිරීම: ඉබ්නු අබ්දුර්රහ්මාන් – බදුල්ල

අර්රහ්මාන් – උසස්වු අල්ලාහ්ගේ විශේෂ ගුණාංගයන් කියාපාන ශුද්ධවූ නාමයකි. එනම් අර්රහ්මාන් යනු අපිරිමිත අසමසම මහා කරුණාන්විතය. අල්ලාහ්ගේ දයාව, කරුණාව, මෛත‍්‍රිය, පරිමිතයක් දිය නොහැකි තරම් සීමා රහිතය. අසමසමය.

අල්කුර්ආනයේ “අල්ෆුර්කාන්” නම් වු 25 වන පරිච්ඡේදයේ 63 වැනි වගන්තියේ සිට අර්රහ්මාන්ගේ දාසයන් සතු ගුණාංග සවිස්තරාත්මකව සඳහන්වේ:

63 වන වගන්තියෙන්:

1- ඉබාදුර් රහ්මාන් – රහ්මාන්ගේ දාසයෝ අල්ලාහ්ව තම ස්වාමියා ලෙසද තමා ඒ අර්රහ්මාන්ගේ යටහත් වහල්ලූ, දාසයන් ලෙසද පිළිගනිති.

2- අපිරිමිත කරුණාවන්තයාගේ දාසයන් වන බැවින් ඔවුන් ඉතා දයාවෙන් පිරි කරුණාවෙන් මෛත‍්‍රියෙන් පිරි සිටිති. සමාජයේ සියල්ලන්ටම මෛත‍්‍රි කරති, දයාව, කරුණාව දක්වති.

3- ඔවුන් මහ පොළොව මත ගමන් කිරිමේදී හා ජීවත්වීමේදී උඩඟුකමින් තොරව ඉතා විනීතව යටහත් පහත්ව හැසිරෙති.

4- අනවශ්‍ය ලෙස තර්ක වලට නොයති. අඥාණවන්තයින් තර්ක කළ විටද සලාම් (ඔබට සාමය යනු) පවසා ඉවත්ව යති.

64 වන වගන්තියෙන්:

5- ඔවුන් තම පරම ස්වාමියාණන්ට සිරස පොළොව් තබමින් ද සීරුවෙන් සිටිමින් ද තම රාත‍්‍රි කාලයේ (සලාතයේ) යාඥාවේ යෙදෙති.

65, 66 වන වගන්තියෙන්:

6- අකුසල් කළවුන් වෙනුවෙන්ම සූදානම් කර ඇති නිරය පිළිබඳ ඔවුන් බියෙන් පසුවෙති. එම නිරයෙන් ආරක්‍ෂාවීම සඳහා ඔවුන් අකුසල්වලින් මිදෙන අතර, අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ප‍්‍රාර්ථනා කරති. එම නිරයේ දිගු කලක් හෝ සුළු මොහොතක් පිවිසීමවූව ද ඉතා භයංකර ව්‍යසනයකි. ඉතා නින්දි වූ දුෂ්කර වූ තත්ත්වයකි.

67 වන වගන්තියෙන්:

7- අවශ්‍යතාවය සඳහා වියදම් කිරිමේ දී ඔවුන් මසුරුනොවන අතර, අනවශ්‍ය ලෙස ද වියදම් නොකරති.

68 වන වගන්තියෙන්:

8- අසමසම අල්ලාහ් සමඟ තවත් කෙනෙකුව නොපතති. ඔහුගෙන් හැර අන් අයගෙන් ප‍්‍රාර්ථනා නොකරති.

9- අන් අයගේ ජිවිතවලට හානි නොකරති.

10- දුරාචාරයේ නොහැසිරෙති.

70, 71 වන වගන්තිවලින්:

11- තමන් විසින් සිදුවන වැරදි, අකුසල් වෙනුවෙන් අවංක ලෙස පශ්චාත්තාපයෙහි යෙදෙන අතර, යහපත් කි‍්‍රයාවන්හි නියැලෙති.

72 වගන්තියෙන්:

12- සාක්ෂිකරුවන් ලෙස බොරු සාක්ෂි නොදෙති. (අසත්‍ය වෙනුවෙන් පෙනී සිටීමෙන් වැළකෙති).

13- අනවශ්‍ය, අකුසල් ක‍්‍රියාවන්ගෙන් වැළකී සිටිති, එසේ ඒ හරහා යෑමට සිදුවූවද ගෞරවාන්විතව එයින් ඉවත් වෙති.

73 වන වගන්තියෙන්:

14- පරම ස්වාමියාණන් වු අල්ලාහ්ගේ වදන් මඟින් දේශනා කළ විට අන්ධයන්, බිහිරන් මෙන් නොහැසිරෙති. නිසිලෙස වටහාගෙන හරි හැටි ඔවදන් පිළිපදිති.

74 වන වගන්තියෙන්:

15- තවද ඔවුන් තමන්ට, තම භාර්යාවන් හා දූ දරුවන්ට යහමග පතා මෙසේ ප‍්‍රාර්ථනා කරති.

“පරම ස්වාමියාණෙනි, අපේ භාර්යාවන් හා අපේ දූ දරුවන් අපේ දෙනෙත්වලට අස්වැසිල්ලක් වූ සිසිලක් කර දෙනු මැන.  තව ද අපව බිය බැතියන්ට මඟ පෙන්වන ප‍්‍රමුඛයින් බවට පත්කරවනු මැන. මෙවන් යහපත් ගුණාංගයෙන් හෙබි අය, ඔවුන් සියළුම දුක් ඉවසා සිටී නිසා ඔවුන් හට ඉතා උසස් මාළිගාවන් (විනිශ්චය දිනයේ දී) තිළිණයන් ලෙස පිරිනමනු ලබන්නේය. එහි ඔවුන් පිළිගනුලබන්නේ ශාන්තිය හා සුභාශිංසනය මඟිනි. ඔවුන් එම උසස්වූ සර්වර්ගයන්ට සදාකල් හිමිකම් කියති. සුළු මොහොතක් හෝ දිර්ඝ කාලයක් එහි රැඳී සිටීම ඉතා උසස්වූ භාග්‍යයකි.

කවුරුන් මෙවන් උසස් ගුණාංගයන්ට හිමිකම් කියයිද ඔවුන්ට සර්ව බල සම්පන්න අල්ලාහ් ඉදිරියෙහි සූදානම් කර ඇති භාග්‍යයන් අසීමීතය, සදාතනිකය.

හිමියනි! අප සැම එවන් වු යහගුණාංගයෙන් හෙබි ඔබ වහන්සේගේ දාසයන් කරවනු මැනව!

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *