අල් කුර්ආනය පහළවීමත් සමගම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එබැවින් ලෝකය අවසාන වන තුරු කිසිවෙකුට අල්ලාහ් පහළ කල ඉස්ලාම් දහම තුල කිසිම අළුත් ඇදහිල්ලක් ඇතුලත් කිරීමට හෝ එහි ඇති දෙයක් වෙනස් කිරීමට හෝ නොහැකිය. මෙම කරුණ අල් කුරානයේ ඇති වදන් වලින් සහ නබි තුමාගේ හදිස් වලින් පැහැදිලි කොට ඇත.ඉස්ලාම් දහම තුලට අළුතින් එකතු කරන ඇදහිලි අරාබියෙන් බිදඅ’ත් යැයි පැවසේ. බිදඅ’ත් යන්නට ශබ්ද කෝෂයේ දැක්වෙන භාෂාමය අරුත නව නිර්මාණ යන්නයි. එහෙත් ෂරියාවෙන් ඊට ලබා දී ඇති අරුත දෙවියන්ට සමීපවීමේ අරමුණ ඇතුව මුලාශ්‍රවලින් තොරව දහම තුලට අළුතින් යමක් එකතු කිරීමයි (Al-I’tisaam of ash-Shaatibee (1/37).

නබිතුමා පවසා ඇති ආකාරයට සෑම බිද්අත් ක්‍රියාවක්ම කෙනෙක්ව නොමග යවන්නේය (අබුදාවුද් 4607). තවත් හදිසයක සඳහන් වන ආකාරයට සෑම බිද්අතයක්ම නිරයට මාර්ගය වේ (අන් නසායි 1/224). මෙතරම් දරුණු ලෙස බිදඅ’ත් වලට එරෙහිව කරුණු පෙන්වා තිබියදීත් ඇතැම් අය දහමට අළුතින් කොටස් එකතු කරති. ඒවා ඔවුන් විසින් සිදු කරන විශාල අකුසල් ක්‍රියාවන් වේ.

දහමට අළුත් කොටස් එකතු කිරීමෙන්  බොහෝ අය බලාපොරොත්තුවන්නේ අල්ලාහ්ට සමීප වීම ය. එසේම ස්වර්ගය අත්කර ගැනීමය. ඔවුන් එසේ බලාපොරොත්තු වුවත් නබිතුමා පවසා ඇති ආකාරයට බිදඅත් ක්‍රියා නිසා ඒවා සිදු කරන අය දෙවියන්ගේ කෝපයට පාත්‍ර වන්නෝය. මෙම කරුණ පහත දැක්වෙන හදිසයෙන් පැහැදිලි වේ. කව්රුන් හෝ බිදඅත් ඇති කරයිද නැතහොත් බිදඅ’ත් ඇතිකළ කෙනෙකුට උදව් කරයිද ඔහු අල්ලාහ්ගේ ද ඔහුගේ සුර දුතයින්ගේද විශ්වාසවන්තයින්ගේ ද ශාපයට පාත්‍ර වන්නෝය (බුහාරි 12/41 සහ මුස්ලිම් 9/140).

නබිතුමා හරහා දහම සම්පුර්න කොට ඇති බැවින් දහමට අළුතින් කොටස් එකතු කල නොහැකිය. එසේ තිබියදී යම් කෙනෙක් දහමට අළුත් කොටස් එකතු කරන්නේ නම් එමගින් ඔවුන් නොකියා කියන්නේ නබිතුමා දහම සම්පුර්න නොකළ බවයි. ඒ අනුව දහමට අළුතින් කොටස් එකතු කළ තැනැත්තාට ඔහු කල වරදට දඬුවම් විඳීමට සිදු වන අතරම ඔහු විසින් අළුතින් එකතු කළ ක්‍රියාවන් අනුගමනය කරන අයගේ පව්වලටද වග කීමටසිදුවේ.

දහමට අළුතින් කොටස් එකතු කිරීම නිසා දහමේ ඇති දේවල් සදහටම තුරන් වන බව නබිතුමා පවසා ඇත. එබැවින් දහමට අළුතින් කොටස් එකතුකිරීම ඉතා භයානක ක්‍රියාවකි. එවැනි අයට විනිශ්චය දිනයේදී නබිතුමාගේ හව්සුල් කව්සර් තටාකයෙන් ජලය පානය කිරීමට නොලැබෙන බව නබි වදන්වල සඳහන් කොට ඇත. දහම තුල බිදඅත් ඇති කල අයව දේවදුතයින් විසින් නබිතුමාගේ තටාකය දෙසට යාමට නොදී වළක්වන්නේය. එවිට නබිතුමා ඔවුන් කව්රුන්දැයි දේවදුතයින්ගෙන් විමසනු ඇත. එවිට ඔවුන් නබිතුම මිය ගිය පසු දහම තුල අලුතින් කොටස් එකතු කල අය බව දැනුම් දෙනු ලැබේ. එවිට නබිතුමා ඔවුන්ව තමාට නොපෙනෙන ලෙස ඉවත් කරන මෙන් දන්වා සිටිනු ඇත.

නවීන පහසුකම් අනුව දහම් දැනුම ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබියදීත් බොහෝ අය බිද්අ’ත් ක්‍රියාවන් සිදු කරති. එමගින් ඔවුන් සිදු කරන්නේ විශාල වරදකි. ඇතැම් ආගමික උගතුන් පවා එම වරදේ නියැලෙති. මේ හේතුවෙන් නුගත් අය තව තවත් වැරදි මාර්ගයේ ගමන් කිරීමට ඒවා හේතුවක් වන්නේය.

නවීන සමාජයේ බහුලව දැකිය හැකි බිදඅත් කියාවන් මෙලෙස පෙළ ගැස්විය හැකිය. නබිතුමාගේ උපත් දිනය සැමරීම, මළවුන් වෙනුවෙන් උත්සව පැවැත්වීම, කාන්තාවන් එකතුවී සලාතුන් නාරියා ගායනා කිරීම, සලාතය අවසාන කළ පසු සාමුහිකව දුආ ප්‍රාර්ථනා කිරීම, අසාන් පැවසීමට පෙර නබිතුමා වෙනුවෙන් සලවාත් පැවසීම, ජනාසාවක් ගෙන යාමේදී ශබ්ද නගා සිzක්ර් කිරීම, යම් ආගමික කටයුත්තක් කිරීමට පෙර ෆාතිහා සුරාව කියැවීම, මළවුන් වෙනුවෙන් දින නියම කර ගනිමින් දාන දීම මේවායින් සමහරකි. එවැනි කිසිම ක්‍රියාවක් නබිතුමා සිදු කල බවට හෝ එසේ කිරීමට නියෝග කල බවට හෝ මුලාශ්‍රයන් නොමැත. එසේම කිසිම ඉමාම් වරයෙකු විසින් එවැනි ඇදහිලි සිදු කිරීමට පෙන්වා දී නොමැත. යම් කිසි කෙනෙක් මෙම කරුණු දහමින් අනුමත දේවල් යැයි පවසන්නේ නම් ඔහු කල යුත්තේ ඒ සඳහා මුලාශ්‍ර සැපයීමයි.

කරුණු එසේ තිබියදී ඇතැම් උදවිය බිද්අත් ක්‍රියාවන් කොටස් දෙකකට බෙදා ඉන් එකක් බිද්අත් හසනා නොහොත් අලංකාර බිද්අත් ලෙසත් අනෙක නොමග ගිය බිද්අත් ලෙසත් නම් කරති. මොවුන් බිද්අත්හසනා සඳහා උදාහරණයට ගනු ලබන්නේ  නබිතුමාගෙන් පසු අල්කුරානය එක් ග්‍රන්ථයක් ලෙස සකස් කිරීම සහ උමර් රලි තුමා විසින් සාමුහික තරවී සලාතය ඇති කිරීම  වේ. එහෙත් කරුණු දෙකක් නිසා ඔවුන්ගේ තර්කය පිළිගත නොහැකිය. ඇයිද යත් නබිතුමා පවසා ඇති පරිදි කුලෆා රශිදින් වරුන් කරන දේවල් පිළිපැදිය හැකිය. අනෙක් කරුණ නම් උමර් රලි තුමා සිදු කල දේ දහමට අලුත් දෙයක් නොවන නිසාය. එම ක්‍රියාව නබිතුමා ජිවතුන් අතර සිටියදී කිහිප වතාවක් සිදු කරන ලද්දකි. එසේම කුරානය එක් ලස්කිරිම බිදයතයක් නොවන්නේ එය කුලෆා රාශිදින්වරුන් කල නිසාද එමගින් දහමට කිසිම අලුත් නීතියක් එකතු නොවන නිසාද වේ. එහිදී සිදුවී ඇත්තේ නබිතුමාගේ කාලයේදී සම්පුර්ණ කරන ලද අල්කුරණය එක් ග්‍රන්ථයක් ලෙස ලිවිම පමණි. අද එය සංයුක්ත තැටිවල පවා ලියැවී ඇත. එමගින් දහමට අලුත් දෙයක් එකතු වන්නේ නැත.

ඉහත දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී නබිතුමා පෙන්වා නුදුන් දේවල් ඉටු කිරීමට වඩා නබිතුමා දහම ලෙස පෙන්වා දී ඇති දේවල් සුළුවෙන් හෝ ඉටු කිරීමෙන් බොහෝ ආනිසංස ලැබිය හැකි බව වැටහෙනු ඇත. ඒවා ස්වර්ගයට මාර්ගය ද  පාදන්නේය. එසේම එය අල්ලාහ් වෙත ලංවීමට හේතුවක් ද වන්නේය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *