බිදඅ’ත් යන්නට ශබ්ද කෝෂයේ දැක්වෙන භාෂාමය තේරුම නව නිර්මාණ යන්නයි. එහෙත් ෂරියාවෙන් ඊට ලබා දී ඇති තේරුම දෙවියන්ට සමීපවීමේ අරමුණ ඇතුව මුලාශ්‍රවලින් තොරව  දහම තුලට අළුතින් එකතු කළ දේවල් ලෙසයි (Al-I’tisaam of ash-Shaatibee (1/37). 

බොහෝ අයට අළුතින් දහම තුලට ඇතුලත් කර ඇති ඇදහිලි සම්බන්දයෙන් හරියාකාර අවබෝදයක් නොමැත. එබැවින් ඔවුන් සිතන්නේ ඒවායින් දහමට හානියක් නොවන බවයි. කෙසේ වෙතත් නබිතුමා පවසා ඇත්තේ සෑම බිද්අත් ක්‍රියාවක්ම නොමග යාමක් බවයි (අබුදාවුද් 4607). නබිතුමාගේ තවත් හදිසයක දැක්වෙන්නේ සෑම බිද්අතයක්ම නොමග යන අතරම ඒවා නිරයට මාර්ගය පාදන බවත්ය (අන් නසායි 1/224).

දහමට අළුතින් ඇදහිලි ඇතුලත් කිරීමෙන් බොහෝ අය බලාපොරොත්තුවන්නේ එමගින් දෙවියන්ට සමීප වීමය. එසේත් නැතහොත් ස්වර්ගය අත්කර ගැනීමය. එහෙත් ඉන් සිදුවන්නේ ඔවුන් බලාපොරොත්තු වන දෙයට හාත්පසින්ම වෙනස් දෙයකි. දහමට අළුතින් කොටස් එකතුකළ අය දෙවියන්ගේ සහ ඔහුගේ දුතයානන්ගේ කෝපයට පාත්‍ර වන්නෝය. කව්රුන් හෝ බිදඅත් ක්‍රියාවන් අළුතින් ඇති කරයිද එසේත් නැතහොත් බිදඅ’ත් ඇතිකළ කෙනෙකුට උදව් කරයිද ඔහු අල්ලාහ්ගේ ද ඔහුගේ සුර දුතයින්ගේද සෑම මිනිසේකුගේමද ශාපයට පාත්‍ර වන බව නබිතුමාගේ හදිසයක සඳහන් වේ (බුහාරි 12/41 සහ මුස්ලිම් 9/140).

දහමට අළුතින් දෙයක් ඇතුලත් කිරීමෙන් අදහස් වන්නේ නබිතුමා දහම සම්පුර්ණ නොකළ බවයි. ඇයිද යත් නබිතුමා දහම සම්පුර්න කොට තිබුනේ නම් කිසිවෙකුට එහි අළුතින් ඇදහිලි එකතු කිරීමට අවශ්‍ය වන්නේ නැත. දහමට අළුතින් දෙයක් එකතු කළ තැනැත්තාට ඔහු විසින් අළුතින් එකතු කළ ක්‍රියාව අනුගමනය කරන අයගේ පව්වලට ද වග කිව යුතු වන්නේය.

දහමට අළුතින් දෙයක් එකතු කිරීමෙන් දහමේ ඇති දෙයක් සදහටම ඉවත්වන බව නබිතුමා පවසා ඇත. එබැවින් දහමට අළුතින් කොටස් එකතුකිරීම ඉතා භයානක ක්‍රියාවක් වන්නේය. අද තිබෙන සමාජය බිද්අ’ත් ක්‍රියාවන්වලින් පිරීගොස් ඇත. එබැවින් ඒවා තෝරා බේරා දැනගැනීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමකි. උදාහරණයක් වශයෙන් සලාතය ආරම්භ කිරීමේදී නියතය තැබිය යුත්තේ සිතින් වුවත් අද එය මුවින් ශබ්ද නගා කීමට පුරුදු වී ඇත. එහෙත් නබිතුමා එවැනි දෙයක් උගන්වා නොමැත. තවද සලාතය අවසාන කළ පසු නබිතුමා කිසිම දිනක සාමුහිකව දුආ ප්‍රාර්ථනා කොට නැත. එහෙත් අද එය සෑම මස්ජිදයකම සිදු වන්නේය. දුආ ප්‍රාර්ථනයන් සිදු කළ යුත්තේ තනි තනිවම බව නබිතුමාගේ හදිස්වලින් පැහැදිලි වේ. තවද ජනාසාවක් ගෙන යාමේදී නිශ්ශබ්දතාව රැකිය යුතුය. එහෙත් අද ජනාසාවන් ගෙන යන්නේ ශබ්ද නගා සික්ර් කිරීමෙන් ය. නමුත් එවැනි දෙයක් නබිතුමා පෙන්වා දී නොමැත. තවද මරණයක් සිදුවූ පසු දින නියම කරගනිමින් දානමය පින්කම් සිදු කිරීම නබිතුමා පෙන්වා දුන් ක්‍රියාවක් නොවේ. එය පසුකාලීනව ඇතිවූ බිද්අ’ත් ක්‍රියාවකි. තවද කාන්තාවන් එකතුවී සලාතුන් නාරියා යැයි සලවාතයක් ඇතිකොට තිබේ. එය ඉතා මෑත කාලීනව ඇතිවූ බිද්අ’ත් ක්‍රියාවකි. නවීන සමාජය බිද්අ’ත්වලට එරෙහිවන්නන් ව දකින්නේ මුස්ලිම් විරෝදින් ලෙසය. එය ඉතා කනගාටුදායක තත්වයකි.

මුස්ලිම්වරුන් පිළිම වන්දනා නොකරන බව සාතන් ඉතා හොඳින් දන්නේය. එබැවින් ඔහු කරන්නේ මුස්ලිම්වරුන්ව බිද්අ’ත් ක්‍රයාවන් වෙත යොමුකර ස්වර්ගයට යාමෙන් වැළැක්වීමට ක්‍රියා කිරීමයි. මේ නිසා ඇතැම් උදවිය නබිතුමා පෙන්වා නොදුන් ඇතැම් බිද්අ’ත් දේවල් බිද්අ’ත් හසනා යැයි නම් කොට ඇත. එහෙත් නබිතුමා එවැනි දෙයක් පෙන්වා දුන්නේ නැත. එතුමා පැවසුවේ පොදුවේ සියළුම බිද්අ’ත් ක්‍රියාවන් නිරයට මාර්ගය බවයි.

ඉස්ලාම් දහමේ විශේෂත්වයක් වන්නේ එහි ඇති සෑම දෙයක්ම ඉතා හොඳින් ලේඛන ගත කොට ආරක්ෂා කොට තිබීමයි. එබැවින් ඕනෑම කෙනෙකුට දහමට අළුතින් එකතුකළ දේවල් කුමක්දැයි පහසුවෙන්ම සොයා ගැනීමට හැකි වන්නේය. ඒ අනුව අළුතින් යම් දෙයක් දහමට එකතු කොට තිබේ නම් ඒ සඳහා මුලාශ්‍ර ඇත්දැයි සොයා බැලිය හැකිය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *