ලෝකයේ ඇති සෑම දෙයක්ම යම් කිසි අරමුණක් සඳහා මවා තිබේ. සත්වයින්ද එසේමය. එහෙත් එම අරමුණු ගැන නිවැරදි ලෙස දන්නේ එහි මැවුම්කරු පමණි. කෙසේ වෙතත් මිනිසා ඒ අතර සුවිශේෂී තැනක් උසුලන්නේ මිනිසා වෙනුවෙන් සෑම දෙයක්ම මවා ඇතැයි කුරානයේ සඳහන් වන නිසාය. මිනිසාගේ ක්‍රියාවන් දෙස බලන කලත් කුරානයේ ඇති කරුණ සනාථ වන්නේය.පරිසරයේ යහ පැවැත්ම සඳහා සෑම සතෙකුගෙන්ම ඉටු විය යුතු කාර්යයන් හරියාකාරව ඉටු විය යුතුය. ඒවා නිසි ලෙස ඉටු නොවන විට පාරිසරික ගැටළු ඇති විය හැකිය. එසේ තිබියදී එක් ජීවියෙක් තවත් ජිවියෙකුගේ ගොදුර කර ගැනීම දෙවියන්ගේ සැලැස්මකි. එය කිසිවෙකුට වෙනස් කල නොහැකිය. මේ අනුව ඇතැම් සත්වයින් මාංශ බක්ෂක වේ. ඇතැම් සතුන් ශාක භක්ෂක වේ. ඇතැම් ජීවින් ශාක සහ සත්වයින් මත යැපෙන සර්ව භක්ෂක වේ. මිනිසාද එම ඝනයට වැටෙන්නේය. මෙය දෙවියන් මවා ඇති ලෝකයේ සවහාවයයි. එම ක්‍රමය මිනිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතුමය. මිනිසා සත්ව කරුණාව දැක්විය යුත්තේ මේවා ගැන අවබෝදයක් ඇතිවය. එසේ තිබියදී ඉස්ලාම් දහම මාංශ අහාර අනුමත කොට ඇතත් විනෝදය පිණිස දඩයම් කිරීම තහනම් කොට ඇත. තවද ඉස්ලාම් දහම අනුව අහාරය පිණිස උරු මස් තහනම් කොට තිබුනත් හේතුවක් නොමැතිව උරා මරා දැමීම වරදක් ලෙස පෙන්වා දෙන්නේය. අනෙකුත් සතුන් ගැනත් එසේමය.

අල්කුරානයට අනුව ඇතැම් සතුන් මවා තිබෙන්නේ විශේෂ හේතුන් මතය. ඒ අනුව අශ්වයා, ඔටුවා, ගවයා වැනි සතුන් මිනිසාගේ ප්‍රවාහන කටයුතු සඳහා මවා තිබේ. තවද ඔටුවා සහ ගවයා මිනිසාට කිරි දෙන අතර අහාරය පිණිස ද  ගත හැකිය. මෙය දෙවියන්ගේ නියමයකි. එය වෙනස් කිරීම සත්ව කරුණාවට වඩා දෙවියන්ගේ සැලැස්මට එරෙහි වීමකි. කෙසේ වෙතත් නිකරුනේ සතුන්ට හිංසා කිරීම නබිතුමා අනුමත කලේ නැත.  ඒ අනුව සත්වයින්ට ඉසිලිය හැකි බරට වඩා වැඩි බරක් උන්ගේ පිටේ පැටවීම නබිතුමා අනුමත කලේ නැත. එපමනක් නොව සත්වයින්ගේ පිටේ වාඩිවී වැඩි වෙලාවක් කතා කරමින් සිටීමද නබිතුමා තහනම් කළේය. ඇයිද යත් ඔවුන්ව මවා තිබෙන්නේ ප්‍රවාහනයට මිස ආසනයක් ලෙස භාවිතා කිරීමට නොවන බව නබිතුමා පැවසුවේය.

එක් දිනක් නබිතුමා සිය අනුගාමිකයින් සමග ගමනක් යමින් සිටි අතරවාරයේදී ඔහු යම්කිසි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් නැවත පෙරලා පැමිණි විට සහාබාවරු මව් කිරිල්ලියගෙන් උගේ පැටව් දෙදෙනා උදුරාගෙන සිටිනු දැක තිබේ. එම අවස්ථාවේදී මව් කිරිල්ලී උගේ පැටවුන් නැතිවුණු ශෝකයෙන් අහසේ පියාසර කරමින් සිට ඇත. මෙම සිද්ධිය දුටු නබිතුමා ‘මෙම කිරිල්ලීට වේදනාව ගෙන දෙන එම ක්‍රියාව කලේ කව්දැ’යි විමසා බලා වහාම එම කුරුළු පැටවුන් නිදහස් කරන ලෙස නියෝගකොට තිබේ (සහිහ් මුස්ලිම්). තවත් අවස්ථාවකදී නබිතුමා ඔහුගේ අනුගාමිකයින් අමාතා, “යම්කිසිවෙකු සෙල්ලමට හෝ ගේ කුරුල්ලෙකු මරා දැමුවේ නම්, එම ගේ කුරුල්ලා විනිශ්චය දිනයේදී, ‘දෙවියනි! මොහු නිකරුනේ මාව මරා දැමුවා! ඔහු කිසිම වැදගත් කමකට මාව මැරුවේ නෑ’ යනුවෙන් පවසන බව දැනුම් දුන්නේය. (සුනන් අන් නිසායි). තවත් හදිසයක දැක්වෙන අන්දමට බනී ඉස්රායිල්වරුන්ට අයත් කාන්තාවක් බළලෙකුට නිදැල්ලේ යන සතුන් ආහාරයට ගැනීම වළක්වාලමින් ඌ සිරකොට තැබීම හේතුවෙන් එම බළලා කුසගින්නෙන් මිය ගොස් ඇත. මේ නිසා එම කාන්තාව කොතරම් පින් දහම් කර තිබුනත් නිරයට යන බව නබිතුමා පැවසුවේය. මේ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ පින් දහම් කලත් තමන් අහිසක සතුන්ට හිංසා කිරීමෙන් දෙවියන්ගේ කෝපයට පාත්‍ර වන බවයි.

එසේ තිබියදී අවශ්‍යතාවයක් සඳහා සතෙක් ඝාතනය කිරීමත් සත්ව කරුණාවත් පටලවා ගත යුතු නැත. එවැනි ක්‍රියාවකින් සිදු වන්නේ ජිවත් වීමට මාර්ගයක් නොමැති වීමයි. මේ නිසා මිනිසාට ශාක හෝ සත්ව හෝ ඒ දෙකම අහාරයට ගැනීමට දී තිබෙන නිදහස අනුව ජිවත් විය යුතුය. මිනිසා කුමන දේ ආහරය පිණිස ගත්තත් යම් ජිවිතයක් නැති නැති කල යුතු වන්නේය. ඇයිද යත් සතුන්ට මෙන්ම ශාකවලටද පණ ඇති නිසාය.


By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *