“රාවය” පුවත් පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින් 2013 ජුනි ඉරිදා කලාපයට “හරක් මස් වාදය” නමින් ඉදිරිපත් කළ ලිපියෙන් උපුටා ගත් කොටසක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

“පසුගිය වෙසක් පොහෝ දිනයේදී ගව ඝාතනයට හා හරක් මස් කෑමට විරෝධය පළකරමින් භික්ෂුන්වහන්සේ නමක් දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබා ගනිමින් දිවි නසා ගත්තේය. එක් දේශප්‍රේමී දේශපාලන ලේඛකයෙකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක්‍රියාව හඳුන්වා තිබුනේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක්‍රියාවක් වශයෙනි. කිරිපිටි ආනයනය වෙනුවෙන් දැවැන්ත ධනස්කන්ධයක් රටට දරන්නට සිදුවී තිබෙන බැවින් රටට අවශ්‍ය කිරි රටේම නිපදවා ගතයුතුයැ’යි කියා බෙරිහන් දෙන්නෝද මේ දේශප්‍රේමීහුය. හරක් මස් විරෝධී ප්‍රතිපත්තියක් රටේ කිරිපට්ටි පාලනය කම්මුතු කිරීමට හේතුවන බව ඔවුන්ට නොපෙනෙන්නේය.

පව් නැති කුකුළු මස්.

ගව පට්ටි පාලනය ගැන කතා කිරීම මොහොතකට පසුවට තබා අපට මෙම සාකච්ඡාව කුකුළු පාලනයෙන් ආරම්භ කළ හැකිය. කුකුලන්ගෙන් සාකච්ඡාව ආරම්භ කිරීම වැදගත් වන්නේ භේදයකින් තොරව සියලු ජනවර්ගද සියලු ආගම්වලට අයත් අයද අන් සියල්ලන්ටත් වඩා සියලු ආගම්වලට අයත් පැවිද්දන්ද කුකුළු මස්ද බිත්තරද ආහාරයට ගන්නා නිසාය. අනෙක් අතට පැවිද්දන් හැර සියලු ආගම්වලට අයත් ජනයා කුකුළු පාලනයේ යෙදෙන නිසාය.

කුකුලාද පණ ඇති ජීවියෙකි. කුකුලන් මරන ආකාරයද ලස්සන නැත. බෙල්ල කැපු පසුද මැරෙන තෙක් කරන උගේ දැඟලිල්ල දකින කෙනෙකු තුළ මහත් සංවේගයක් ඇතිවිය හැකිය. කුකුලන් මරන ස්ථානවල වටාපිටාවද ඒ ස්ථාන පිරිසිදු කරන තෙක් අවලස්සනය. ඒ සියල්ල එසේ තිබියදීත් බෞද්ධයන්ද ඇතුළු ලංකාවේ සියලු ආගම් අදහන්නෝ කුකුළු මස් ආහාරයට ගන්නෝය. සියලු ආගම්වලට අයත් පුජකයෝද කුකුල් මස් ආහාරයට ගන්නෝය. වෙනත් කිසිම මසක් සේ ම කුකුළු මස් ද නොකන අය සිටිය හැකිමුත් ඔවුන්ගේ සංඛ්‍යාව විශාල නැත. අද ගම්බද අධිශීතකරණ යන්ත්‍ර ඇති පුංචි කඩවල පවා කුකුළු මස් විකුණන්නේය. කුකුළු බිත්තරද ලංකාවේ ජනප්‍රිය ආහාරයකි. බිත්තර හිඟ කාලවලදී අසහනයක් ඇතිවීම වළකනු පිණිස ආණ්ඩුව පිටරටවලින් ද බිත්තර ආනයනය කරන්නෙහිය.

කුකුළු පාලනය සිය ආර්ථික මාර්ගය කොටගත් විශාල ජනතාවක් රටේ සිටින්නේය. ඔවුන්ට එසේ කිරීමට හැකිවී තිබෙන්නේ කුකුළු මස් හා බිත්තර කන ජනතාවක් රටේ සිටින නිසාය. කුකුලන් මැරීම තහනම් කළහොත් හෝ කුකුළු මස් හා බිත්තර කෑමෙන් මේ රටේ ජනතාව වැළකී සිටින තැනකට ගියහොත් රටේ කුකුළු පාලනය තේරුමක් නැති ඵලරහිත දෙයක් බවට පත්වන්නේය.

කුකුලාගේ තත්වයට වඩා හරකාගේ තත්ත්වය ලංකාවේදී වෙනස්ය. හරකාගේ කිරිවලට නම් මතභේදයක් නැත. රටේ සියලු ජනවර්ගවලට හා ආගම්වලට අයත් ජනයා පොදුවේ කිරි බොති. අමු කිරි නොවේ නම් ආනයනය කළ කිරිපිටි හෝ බොති. එහෙත් හරක් කිරිවලට ඇති පොදු බව හරක් මස්වලට නැත. හින්දුහු පොදුවේ ගව මස් නොකති. එහෙත් ඔවුහු කුකුළු මස් හා එළුමස් කති. බෞද්ධයන් අතර ද ගවමස් නොකන පිරිසක් සේ ම කන පිරිසක් ද සිටිති. හරියටම සංඛ්‍යාලේඛන නැතත් සමහරවිට නොකන අයගේ ප්‍රමාණය වැඩිවිය හැකිය. ක්‍රිස්තු භක්තිකයෝ ද ගව මස් කති. ගව මස් මුස්ලිම් ආගමිකයින්ගේ ජනප්‍රියම ආහාරය ලෙස සැලකිය හැකිය හැකිය.

සියලුදෙනාට කිරි අවශ්‍යය. ඒ ගැන කාටවත් මතභේදයක් නැත. රටට අවශ්‍ය කිරි රටේම නිපදවා ගතහැකි නම් කිරිපිටි ආනයනය සඳහා වැයකෙරෙන දැවැන්ත විදේශ මුදල් කන්දරාව වෙනත් ප්‍රයෝජනවත් දෙයක් සඳහා යොදා ගත හැකිය. ඒ මගින් ගවපට්ටි පාලනය රටේ වැදගත් ආර්ථික මාර්ගයක් බවට පත්කර ගත හැකිය. අමු කිරීවලට ලැබී තිබෙන ඉහළ සහතික මිල, ගවයන් රක්ෂණය කිරීමට ලැබී තිබෙන ඉඩ, ගම්වල බොහෝ කුඹුරු ඉඩම් වගා නොකොට පුරන් වීමට ඉඩ හැර තිබෙන තත්ත්වයක් යටතේ ඒ ඉඩම් පහසුවෙන් තණබිම් බවට පත්කර ගැනීමේ හැකියාව යන සාධක සැලකිල්ලට ගත්විට ගව පට්ටි පාලනය ලාභදායී ආර්ථික මාර්ගයක් බවට පත්කළ හැකිය.

මස් නැතිව කිරි තිබිය හැකිද?

එහිදී මතුකළ හැකි මුලික තර්කයක් වනුයේ හරක් මස් කර්මාන්තයක් නැතිව කිරි ආර්ථික වශයෙන් ලාබදායි කර්මාන්තයක් බවට පත්කළ හැකිද යන ප්‍රශ්නයයි. ඕනෑම සත්ව පාලනයකදී මස් ප්‍රයෝජනයට නොගන්නේ නම් එම සත්ව පාලනය ආර්ථික වශයෙන් ඵලදායී විය නොහැකිය. එය පිළිගත් රීතියකි. මස් පිණිස නොගෙන බිත්තර සඳහා පමණක් කුකුලන් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ නැත. මස් ප්‍රයෝජනයට නෙගෙන කිරි සඳහා පමණක් හරකුන් ඇති කිරීම ද ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ නැත.

රට කිරි වලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය නම් දිනකට ලීටර 20ත් 25ත් අතර ප්‍රමාණයකින් කිරි ලබාගත හැකි හොඳ වර්ගවල හරකුන්ගෙන් සමන්චිත කිරිපට්ටි පාලනයකට රට යොමු කළ යුතුය. එක යායට පුරන් වී තිබෙන කුඹුරුවල ප්‍රමාණය සැලකිල්ලට ගත්විට ඒවා හරකුන්ට තණ නිපදවන තණ පිට්ටනි බවට පත්කළ හැකි නම් ඒවා ද ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට හැරවිය හැකිය. එහෙත් දියුණු හරකුන්ගෙන් යුත් ගවපට්ටි පාලනයකට මිනිසුන් මුදල් ආයෝජනය කරනු ඇත්තේ කරනු ලබන ආයෝජනයන්ට සරිලන ලාභයක් උපයාගත හැකි නම් පමණය. උසස් වර්ගයේ හරකුන් 100කගෙන් යුතු ගවපට්ටියක් කිසියම් කෙනෙකු ආරම්භ කළායැ’යි උපකල්පනය කරමු. හොඳ වර්ගයේ එක හරකෙකු සඳහා ඔහුට රුපියල් ලක්ෂයක් දෙකක් අතර මුදලක් වැය කරන්නට සිදුවේ. හරකුන්ගේ වයස අවුරුදු තුනේදී උන්ට පැටව් ලැබී කිරි ලබාගත හැකි තත්ත්වයක් ඇතිවේ. එහෙත් එම හරකුන්ගෙන් ඔහුට කිරි ලබාගත හැක්කේ අවුරුදු හතක් තරම් කාලයක් පමණය. ඉන් පසු කිරි ලබාගත නොහැකි අඩුවෙන් කිරි ලබාදෙන ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙනුන් බවට පත් වෙති. ඉන් පසු ඒ හරක් 100ට ඔහු කරන්නේ කුමක්ද? ඔවුන් මැරෙන තුරු නඩත්තු කළ යුතුද? එසේ කළහොත් ඔහුගේ ගවපට්ටි පාලනය අලාභදායී එකක් බවට පත්වන්නේය. හරකෙකුගේ ජීව බර කිලෝ 500ක් ලෙස සලකතොත් මස් පිණිස ජීවබරට දීමෙන් රුපියල් 75,000ක් පමණ උපයා ගත හැකිය. එවිට සිය දෙනාගෙන් උපයා ගත හැකි ආදායම රුපියල් ලක්ෂ 75කි. එම ලක්ෂ 75 ආදායමක් බවට හරවා නොගෙන ඔහුගේ කිරිපට්ටි කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබා ගත හැක්කේ කෙසේද? ඔහුට තම කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නම් එම හරක් 100 විකිණිය යුතුමය. රටේ ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත්තේ කිරි ලබා ගත නොහැකි හා ප්‍රමාණවත් තරමකින් කිරි ලබාගත නොහැකි දෙනුන් මස් පිණිස විකිණීමට පුළුවන්කමක් ඇත්නම් පමණය. එවැනි හරකුන්ට ඉල්ලුමක් තිබිය හැක්කේ රටේ හරක් මස් කර්මාන්තයක් තිබේ නම් පමණය.

ඉන්දියාවේ හරක් මස් නොකන හින්දුන්ට ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන්නේ හරක් මස් කන මුස්ලිම් ජනතාවක් රටේ සිටින නිසාය. මසට හරක් මැරීම තහනම් කිරීමකින් විය හැක්කේ රටේ මුළු කිරිපට්ටි කර්මාන්තයම නැතිභංග කිරීමය. දැන් අපට මේ වාදයේම කොණක තිබෙන නිර්මාංශවාදය සාකච්ඡාවට ලක් කළ හැකිය.

නිර්මාංශවාදය හා ප්‍රෝටීන් 

ජීවයේ රසායනික පදනම ලෙස සැලකිය හැක්කේ ප්‍රෝටීන්ය. සියලුම ප්‍රෝටීන් වර්ග සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල වලිනි. හැම ජීවියෙකුටම සිය පැවැත්ම සඳහා ප්‍රෝටීන් අත්‍යාවශ්‍යය. තමන්ට අවශ්‍ය සියලු ප්‍රෝටීන් නිපදවා ගැනීමේ හැකියාව ලැබී ඇත්තේ ගස්කොළන් වලට පමණය. ගස්කොළන් පොළොවෙන් ලැබෙන නයිට්‍රජන් වාතයෙන් ලැබෙන කාබන් හා හිරු එළියෙන් ලැබෙන ශක්තිය එකට එකතු කරගැනීම මගින් තමන්ට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවා ගනී. අනෙකුත් සියලු සත්වයන් ඔවුන්ට අවශ්‍ය කරන විවිධ වර්ගවල ප්‍රෝටීන් නිපදවා ගැනීමට අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල වර්ග ලබා ගන්නේ ආහාර වලිනි.

මිනිස් සිරුරේ පැවැත්මට හා වර්ධනයට අවශ්‍ය සමහර ඇමයිනෝ අම්ල වර්ග අභ්‍යන්තරික වශයෙන් නිපදවා ගැනීමේ හැකියාවක් නැති ආහාර මාර්ගයෙන්ම ලබාගත යුතු ඇමයිනෝ අම්ල දහයක් හඳුනාගෙන තිබේ. ඒ අම්ල දහයේ නම් මෙහි සඳහන් කිරීම අනවශ්‍යය. ප්‍රෝටීන ආහාර ගැන කතා කරන විට පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ “සම්පුර්ණ ප්‍රෝටීන” ලෙස සැලකෙන්නේ එම ඇමයිනෝ දහයම ඇතුළත් ආහාර වර්ගය. එම ඇමයිනෝ අම්ල දහයම ඇතුළත් වන්නේ සත්ව ප්‍රෝටීන්වල පමණය. ශාක ප්‍රෝටීනවල ඇත්තේ මිනිසාට අවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග දහයෙන් එකක් හෝ කිහිපයක් පමණය. පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ශාක ගණයට වැටෙන ප්‍රෝටීන් “අසම්පුර්ණ ප්‍රෝටීන්” ලෙස හඳුන්වන්නේ ඒ නිසාය අපේ ශරීරවල බරෙන් ජලය හැරුණු විට ඊළඟ ලොකුම පංගුව සමන්චිත වන්නේ ප්‍රෝටීන් වලිනි. ඊට පේශි, අස්ථි, සන්ධි, ඉන්ද්‍රියයන්, ග්‍රන්ථි, නියපොතු, රෝම ඇතුළත්ය. ශරීරයේ ඇති ද්‍රවවලද ප්‍රෝටීන් ඇතුළත්ය. ශරීරය සෞඛ්‍ය සම්පන්නව හා නිසි ක්‍රියාකාරිත්වයක තබා ගැනීම සඳහා ඉහත කී ඇමයිනෝ අම්ල දහයම ඇතුළත් සම්පුර්ණ ප්‍රෝටීන් ආහාර ආහාරයට ගැනීම අත්‍යාවශ්‍යය. එළවළු ආහාරද වැදගත්ය. එහෙත් ශාක ප්‍රෝටීන් ආහාරවලින් පමණක් එම අවශ්‍යතාවය සම්පුර්ණ කළ නොහැකිය. නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියක තිබෙන අවුල ඇත්තේ එතැනය.

ආගම් මිනිසුන්ට වැදගත්ය. අපේ ශරීරවලට අදාළ ප්‍රශ්නවලදී වැදගත් වන්නේ ආගමික උපදෙස් නොව වෛද්‍ය උපදෙස්ය. සිංහල වර්ගයාට මස් මාළු කෑමෙන් වැළකී නිර්මාංශ අනුභව කරන ලෙසට දේශනා කරන්නන්ගෙන් වැඩිදෙනෙකු අන්ත සිංහලවාදීන් ලෙස සලකිය හැකිය. එහෙත් ඔවුන් දැන හෝ නොදැන තමන් ආදරේ කරන වර්ගයා තල්ලු කරන්නේ ක්‍ෂේම භූමියකට නොව මහා අගාධයකටය. ඉන් සිදුවිය හැක්කේ රෝගී ජාතියක් ඇති වීමය.

ආහාර අන්තවාදය

අතීත සිංහල බෞද්ධයෝ අන්තවාදී ආකල්ප දරන්නෝ නොවුහ. ඔවුහු වාරි කර්මාන්තයට ශුරයෝ වුහ’යි කිව හැකිය. ඔවුහු එම වැව් වලින් අල්ලා ගන්නා මාළු ආහාරයට ගත්තෝය. පන්සලේ පංගුව ද පන්සලට ලබා දුන්නෝය. උගුලක්‌ අටවා මුවෙකු ගෝනෙකු හෝ වල් ඌරෙකු අල්ලා ගත්විට ඒ මස් කෑවේ බෙදාහදාගෙනය. කුරහන් තලප කන්නට තිබෙන හොඳම ව්‍යංජනය ලෙස සලකන ලද්දේ දඩමස්ය. රජ මාලිගයට දඩමස් සැපයීමේ රාජකාරිය පැවරී තිබුණේ වැද්දන්ටය. මහාවංශයට අනුව මිහිඳු හිමියන් සෘද්ධි බලයෙන් මිහින්තලා පර්වතයට වැඩම කළේ දේවානම්පියතිස්ස රජු මුව දඩයමේ යෙදෙමින් සිටි අවස්ථාවකදීය. බුද්ධාගම වැළඳ ගැනීම නිසා රජවරුන් දඩයම් කිරීමේ සම්ප්‍රදාය මුළුමනින් අත්හරින ලද බවක් පෙනෙන්නට නැත. ශ්‍රේෂ්ඨ බෞද්ධ රජෙකු ලෙස සැලකෙන පළමු වන පරාක්‍රමබාහු (1153 – 1186) රජතුමාද සිය අගබිසව හා රජවාසල නිළධාරීන් සමග ගෝන දඩයමේ ගිය බව චුලවංශයේ සඳහන්වේ.

‘රාවයේ’ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ බිරිඳක් මීට වසර දෙක තුනකට ඉහත දී රෝගාතුරව මිය ගියාය. ඇය මියයන්නට පෙර වෛද්‍යවරයා රෝගය හඳුනාගෙන තිබුණේ සිරෝසියාව ලෙසය. එම රෝගය සාමාන්‍යයෙන් සැලකෙන්නේ අධික මත්පැන් පානය කරන්නන්ට හැදෙන රෝගයක් ලෙසය. එහෙත් ඇගේ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එය නිර්මාංශ ආහාර වලට සීමා වීම නිසා ඇතිවී තිබෙන දෙයක් ලෙසය. ඇය ගුරුවරියකි. ඇගේ සැමියාට අනුව ඇය දැඩි ලෙස නිර්මාංශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය කාන්තාවකි. ඇය එම රෝග තත්වයෙන් ගොඩගැනීම සඳහා විශාල වියදමක් දරා සිංගප්පුරුවට රැගෙන යෑමට සැලසුම් කර තිබුණ ද එහි ගෙනයෑමට නියමිතව තිබු දිනට පෙර දින මිය ගියාය.

ප්‍රසිද්ධ ලේඛකයෙකුගෙන් මට අසන්නට ලැබුණු කතාවක් මෙසේය. ඔහුගේ බිරිඳ එක් අවස්ථාවකදී මාංශ ආහාර ගැනීම මුළුමනින් නවතා නිර්මාංශ ආහාර පමණක් ආහාර ප්‍රතිපත්තියකට මාරුවිය. ඉන් ටික කලකට පසුව ඇය නිතර නිතර ලෙඩ වන තත්ත්වයක් ඇතිවිය. ප්‍රංශයට ගිය අවස්ථාවකදී ඇය එහි වෛද්‍යවරයෙකුට පෙන්වන ලදී. ඇය පරීක්ෂා කිරීමෙන් පසු ඇගේ ආහාර පුරුදු ගැන කරන ලද කරුණු විමසීමකින් පසුව ඇතිවී තිබෙන රෝගී තත්ත්වයට හේතුව වශයෙන් වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ එය මාංශ ආහාර මුළුමනින් නවතා නිර්මාංශ ආහාර වලට මාරුවීම නිසා ඇතිවී තිබෙන විශේෂ තත්වයක් ලෙසය. නැවත සුපුරුදු මාංශ ආහාර පරිභෝජනයට මාරුවන ලෙසට වෛද්‍යවරයා ඇයට උපදෙස් දී ඇති අතර ඉන්පසු ඇය මාංශ ආහාර පරිභෝජනයට යොමුවූ බවත් ඉන්පසු නිතර නිතර ලෙඩවන ගතියෙන් ඇය නිදහස් වූ බවත් ඔහු කීවේය.

ඉන්දියාවේ නම් නිර්මාංශ ආහාර වලට සීමාවූ අය සඳහා ගොඩ නැගුණු ශක්තිමත් ආහාර සංස්කෘතියක් පවතී. එහි ඔවුන්ගේ ආහාර වේලකට ධාන්‍ය වර්ගයක්, අල වර්ගයක්, රනිල ගණයට වැටෙන ආහාර වර්ගයක්, එළවළු වර්ග කිහිපයක් හා මෝරු ඇතුළත්ය.. එය මස් මාංශ ද ඇතුළත් මිශ්‍ර ආහාර වේලක් තරම් පෝෂ්‍යදායී නැතත්, ශ්‍රී ලංකාවේ නිර්මාංශ ආහාරවලට සීමාවී සිටින අය සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ආහාර වේලකට වඩා පෝෂ්‍යදායකය. ඉන්දියාවට සාපේක්ෂව ගත් කල අපේ රටේ නිර්මාංශ ආහාර සංස්කෘතිය තිබෙන්නේ ඉතාමත් දුප්පත් තත්ත්වයකය.

හරක් මස් හා වර්ග වාදය

දැන් අපට හරක් මස් විරෝධී වාදය යට ඇති වර්ගවාදී මුලයක් වෙත ආ හැකිය. අනගාරික ධර්මපාල තුමා හරක් මස් කන්නන් හැඳින් වුයේ වසලයන් ලෙසය. එතුමාගේ හරක් මස් විරෝධය තුළ යම් පමණක බ්‍රිතාන්‍ය විරෝධයක් තිබුනා සේම ඊටත් වඩා මුස්ලිම් විරෝධයක් තිබුණි.

ඉංග්‍රීසීහු ද හරක් මස් කෑවෝය. ක්‍රිස්තියානි සිංහලයන් සේ ම සමහර සිංහල බෞද්ධයෝ ද හරක් මස් කෑවෝය. ඒ සියලුදෙනාට වඩා හරක් මස් වැදගත් කොට සැලකුවේ මුස්ලිම් ජනයාය. අනගාරික ධර්මපාල තුමා සුළු ජාතිකයින් සේ ම සුළු ආගමිකයින් ද පහත් කොට සැලකුවේය. මුස්ලිම් ජනවර්ගය එතුමාගේ වැඩිම විරෝධයට ලක්වූ ජනවර්ගය ලෙස සැලකිය හැකිය. නුතන සිංහල වර්ගවාදයේ නිර්මාතෘ වරයා වශයෙන් සැලකිය හැක්කේ අනගාරික ධර්මපාල තුමාය. ඔහු සිංහල වර්ගවාදී අදහස් වලට රාමුවක් දී එය පෝෂණය කොට සිංහල ජනයා අතර පතළ කළේය. 1915 දී ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලය කෙරෙහි ඔහු සිංහල ජනයා අතර වැපිරූ මුස්ලිම් විරෝධී අදහස් බලපෑවේය.

මුස්ලිම් විරෝධී සිංහල අන්තවාදී කොටස් දැන් උත්සාහ කරමින් තිබෙන බව පෙනෙන්නේ ද නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයකට රට තල්ලු කිරීමටය. ඒ නිසා රටට හා ජනතාවට විය හැකි විනාශයේ තරම ගැන ඔවුන්ට නිසි අවබෝධයක් තිබෙන බවක් ද පෙනෙන්නට නැත. දෙමළ ජනයා සම්බන්ධයෙන් සාධාරණ නොවී අන්තවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යෑමෙන් රටට හා සමාජයට සිදුවූ විනාශය සුළුපටු නැත. ප්‍රභාකරන් පරාජය කර ඇතත් දෙමළ ආරාවුල විසඳා ගැනීමට තවමත් හැකිවී නැත. එම තත්ත්වය අන්තර්ජාතික තලයේ අප කෙරෙහි බලපාන මහා අවුල් ඇති කිරීමට හේතුවී තිබෙනවා සේ ම එම තත්ත්වය පෙරළා රටේ ඉදිරි ගමන අවුල් කිරීමට ද හේතුවී තිබේ.

1956 දී භාෂා ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී අන්තවාදී තැනකට නොගොස් දෙමළ ජනයා සම්බන්ධයෙන් සාධාරණව ක්‍රියා කිරීමට අපි සමත් වීමු නම් දෙමළ ප්‍රශ්නය ආශ්‍රයෙන් මේ සා විශාල අර්බුදයක් හෝ විනාශයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. සිංහල අන්තවාදය දෙමළ අන්තවාදය පෝෂණය කළේය. අවසානයේ සිංහල දෙමළ දෙජනතාවට සිංහල හා දෙමළ අන්තවාදයන් වෙනුවෙන් අති විශාල වන්දියක් ගෙවන්නට සිදු විය.

ඇතිවූ ඒ සියලු අභාවවාචක අත්දැකීම් වලින් නිසි පාඩම් ඉගෙන නොගෙන දෙමළ ප්‍රශ්නයට අතිරේකව මුස්ලිම් ප්‍රශ්නයක් ද ඇති කර ගන්නා තැනකට ගියහොත් ඒ වෙනුවෙන් රටට හා සමාජයට ගෙවන්නට සිදුවන වන්දියේ ප්‍රමාණය දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් ගෙවන ලද වන්දියේ ප්‍රමාණයටත් වඩා හුඟක් විශාල විය හැකිය. ඇතිවිය හැකි තත්ත්වයේ බිහිසුණු කමේ තරම පෙන්නුම් කර දීම සඳහා මට ඉදිරිපත් කළ හැකි සරල තර්කයක් මෙසේය.

ප්‍රශ්න දෙකේ තරමේ වෙනස 

ලංකාවේ සිංහල දෙමළ වාර්ගික අන්තර් සම්බන්ධය තුළ සිංහලයන් තුළ එකවිට මහා ජාතික මානසිකත්වයක් සේ ම සුළු ජාතික මානසිකත්වයක් ද තිබුණි. සිංහලයන් රටේ බහුතරය වුවද උතුරේ දෙමළ ජනයා හා දකුණු ඉන්දියාවේ දෙමළ ජනයා එකට ගත් විට සිංහලයන්ට තමන් පෙනුනේ තමන් සුළුතරයක් ලෙසය. අනෙක් අතට දමිළයන් ලංකාවේදී සිංහලයන්ට සාපේක්ෂව සුළුතරයක් වුවද ඉන්දියාවේ හා ලෝක දෙමළ ජනගහනය සමග ගත්විට සිංහලයන්ගේ ප්‍රමාණයට වඩා විශාල වීම නිසා ඔවුන් තුළද මහජාතික මානසිකත්වයක් තිබුණි. ආරාවුලේ සංකීර්ණභාවය කෙරෙහි ඒ තත්ත්වයද බලපෑවේය.

ලෝක මට්ටමින් ගත්විට ලෝක දෙමළ ජනගහනයේ ප්‍රමාණය මිලියන 79 කි.. එය ලෝක ජනගහනයේ අනුපාතිකයක් වශයෙන් ගත්විට සියයට 1.14 කි. ලෝකයේ දෙමළ බහුතරයක් සහිත එකම රටක්වත් නැත. විවිධ රටවල ජනගහනයේ අනුපාතිකයක් වශයෙන් ගත්විට වැඩිම දෙමළ අනුපාතිකයක් සිටින රට ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවය. ලංකාවේ දෙමළ ජන අනුපාතිකය සියයට 18 කි. ඊළඟට ජනගහනයේ වැඩිම දෙමළ ජන අනුපාතිකයක් තිබෙන රට වන්නේ මුරුසියස් රටය. එහි අනුපාතිකය සියයට 8.01 කි තුන්වන ස්ථානය හිමි වන්නේ මැලේසියාවටය. එහි අනුපාතිකය සියයට 7.20 කි. හතරවන ස්ථානය හිමි වන්නේ සිංගප්පුරුවටය. එහි අනුපාතිකය සියයට 7.10 කි. පස්වැනි ස්ථානය හිමිවන්නේ ඉන්දියාවටය. එහි අනුපාතිකය සියයට 5.63 කි. දෙමළ ජනයා ජීවත්වන අනෙකුත් සියලුම රටවලට දෙමළ ජන අනුපාතිකයක් තිබෙන්න්නේ සියයට එකකටත් වඩා අඩු මට්ටමකය.

අනෙක් අතට ගත්විට මුළු ලෝකයේම දෙමළ ජනගහනයෙන් සියයට 91 ක්ම (දශ ලක්ෂ 72 ක්) ඉන්නේ ඉන්දියාවේය. ඊළඟට ලොකුම දෙමළ ජනගහනයක් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේය. එය දශලක්ෂ 3 කි. එය ලෝක දෙමළ ජනගහනයෙන් සියයට 2.3 කි. තුන්වැනි තැන හිමිවන්නේ මැලේසියාවටය. එහි වෙසෙන දෙමළ ජනගහනය දශලක්ෂ 1.8 කි. එය ලෝක දෙමළ ජනගහනයෙන් 1.42 කි.

දැන් අපට මුස්ලිම් ප්‍රශ්නයේ තරම සොයා බැලිය හැකිය. ලෝක දෙමළ ජනගහනය මිලියන 79 ක් වන විට ලෝක මුස්ලිම් ජනගහනය මිලියන 1619 කි. ලෝක මුස්ලිම් ජනගහනයේ ප්‍රමාණය ලෝක දෙමළ ජනගහනයේ ප්‍රමාණයෙන් විසිගුණයකටත් වඩා විශාලය. දෙමළ ජනයා ලෝක ජනගහනයෙන් සියයට 1.14 ක් වනවිට මුස්ලිම් ජනයා ලෝක ජනගහනයෙන් සියයට 23 කි. ක්‍රිස්තියානි ගණයට වැටෙන ආගම් අදහන ජනයා (ඔවුහු ලෝක ජනගහනයෙන් සියයට 31 කි) හැරුණු විට ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන ආගම ලෙස සැලකිය හැක්කේ මුස්ලිම් ආගමය.

මුස්ලිම් බහුතරයක් සිටින රටවල් සංඛ්‍යාව 49 කි. රටේ ජනගහනයෙන් සියයට 80 කට වඩා මුස්ලිම් ජනයා සිටින රටවල් සංඛ්‍යාව 38 කි. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන්නේ අරාබි හෝ මැද පෙරදිග රටවල නොව අප ජීවත්වන කලාපය ලෙස සැලකිය හැකි දකුණු හා අග්නිදිග ආසියාවේය. එම කලාපයේ පමණක් ජීවත්වන මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩිය. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය සිටින රට වන්නේ ඉන්දුනීසියාවය. එහි වෙසෙන මුස්ලිම් ජනගහනයේ ප්‍රමාණය මිලියන 204 කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ අසල්වැසි රටක් වන පාකිස්තානයේය. එය ගණනින් මිලියන 178 කි.. ඊළඟ ලොකුම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන රට වන්නේ අපේ ලඟම අසල්වැසියා වන ඉන්දියාවේය. එය ගණනින් මිලියන 177 කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ තවත් ළඟ අසල්වැසි රටක් ලෙස සැලකිය හැකි බංගලිදේශයේය. එහි ජීවත්වන ගණන මිලියන 148 කි.

අපට (සිංහලයන්ට) වඩා ප්‍රමාණයෙන් තරමක් ලොකු වුව ද මුස්ලිම් ලෝක ප්‍රජාවගේ ප්‍රමාණය සමග සසඳා බලන විට දෙමළ ලෝක ප්‍රජාවගේ ප්‍රමාණය හුඟාක් පොඩිය. එසේ තිබියදීත් දෙමළ ප්‍රජාව සමග අවුලක් ඇති කර ගැනීමෙන් අපට සිදුවූ හානිය හා ගෙවන්නට සිදුවූ වන්දිය දැවැන්තය. අප එම අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන නොගෙන ලෝක මට්ටමින් දෙමළ ප්‍රජාව මෙන් විසි ගුණයකට වඩා විශාල මුස්ලිම් ප්‍රජාව සමග ද අවුලක් ඇතිකර ගන්නට යන්නේ නම් අපට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිය වඩා දැවැන්ත වනු නොවැළැක්විය හැකිය. විනාශයක් ඇති කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රඥාව නොව ආවේගයන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *