මෙම ප්‍රශ්නය දෙස අවධානය යොමු කිරීමේ දී ඉස්ලාමය ඉතා අකාරුණික දහමක් ලෙස යමෙකුට සිතෙන්නට ඉඩ ඇත. ඇත්ත වශයෙන් ම ජෛන දහම හැරෙන්නට ලොව අනෙකුත් සියලු දහම් මාංශ අනුභවය අනුමත කොට ඇත. ඇතැම් දහම් මාංශ අනුභවය අනුමත කොට ඇතත් ඒ සඳහා සතුන් කැපීම තහනම් කොට ඇත. පළමුව ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳ ව කෙටියෙන් අදහස් කිහිපයක් ඉදිරපත් කරන්නට කැමැත්තෙමු.
ඉස්ලාමය හා සත්ව කරුණාව
මුහම්මද් නබිතුමාණන් පැවසු බව බුහාරි හදීස් ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392) දක්වා ඇති පරිදි:
“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”
සියලු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වෙයි. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබිතුමාණන්ගේ ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“මෙයට පෙර ජීවත් වූ නබිවරයෙකු ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියලු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටි මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)
ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමි වී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම් වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කළ යුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා ලිපියක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. සතුන් සම්බන්ධව හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත් කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුණේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුලු කුඩු වලින් පැටවුන් පැහැර ගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත් කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල තැබීම, කිරි දෙමින් සිටිනා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නා වූ හිංසනයන් දුටු විට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නා වූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව ‘සහිහ් මුස්ලිම්’ හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන් කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම් කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නා වූ (කර ඇඹීම) වණ්ධ්‍යකරණයද ඉස්ලාමය තහනම් කර ඇත.
සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිසංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුළ විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි සුනඛයෙකු සම්බන්ධව එක් පාපතර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ළිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම සුනඛයාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියලු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)
එලෙසම සතුන්ට කරන්නා වූ හිංසනයන්ට ලබා දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළැකී ජීවත් වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි.
“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදු වූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).
සත්ව ඝාතනය හා මාංශ අනුභවය
මාංශ අනුභවය හා සතුන් කැපීම පිළිබඳ මාතෘකාව සාකච්ඡා කිරීමේ දී නිරායාසයෙන් ම බහුතරයකගේ ඇඟිල්ල දිගු වන්නේ ඉස්ලාමය හා මුස්ලිම්වරුන් වෙත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙයින් පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන් හා විචාරයෙන් තොර වූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්තව යථාර්ථය, විචාරය, බුද්ධිය හා විද්‍යාව පදනම් කරගෙන කරන්නා වූ විමසුමකට අවංක සිතින් අප හා එක්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. මාංශ අනුභවය ඉස්ලාමයේ අනිවාර්ය කරුණක් නොවන අතර ඉස්ලාමීය වත්පිළිවෙත් හි සතුන් කැපීම පිළිබඳව ඇති කරුණු කෙරෙහි ද අපගේ අවධානය මෙම සාකච්ඡාවේදී යොමු කරමු.
විශ්වීය බලපෑම
- මෙම මාතෘකාව පිළිබදව විශ්වීය දැක්මකින් යුක්තව සාකච්ඡාව ඇරඹීම වඩාත් උචිත යැයි අපි සිතන්නෙමු. එහෙයින් පළමුව නිර්මාංශ අනුභවය පමණක් ලෝක යථාර්ථයක් ද යන්න විමසා බලමු.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2013 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat) කි. ග්‍රෑ. 43.1 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 19.7 ක් ලෙස දක්වා ඇත. බිලියන 7.181 (USCB) ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2013 වර්ෂය සඳහා වූ මාංශ හා මත්ස්‍ය පරිභෝජන ප්‍රමාණයන් ලබාගත හැක.
මාංශ පරිභෝජනය = 7.181 X 43.1 = කි. ග්‍රෑ. බිලියන 309.50
මත්ස්‍ය පරිභෝජනය = 7.181 X 19.7 = කි. ග්‍රෑ. බිලියන 141.47
මෙම දත්තයන් අපට හඬනගා කියන්නේ කුමක් ද? මෙවන් විශාල මාංශ හා මත්ස්‍ය පරිභෝජනයක් වෙනුවට කෘෂි නිෂ්පාදන ආදේශ කරන්නට යෑමෙන් සිදුවන අතුරු අනිසි විපාක පිළිබඳව බුද්ධිමත් යමෙකුට සිතා බලන්නටවත් හැකියාවක් තිබේ ද? ඉතා පටු චින්තන රාමුවක් තුළ කොටු වී දුර දක්නා දැනුමකින් තොරව ආවේගශීලීව කටයුතු කිරීම ලෝක යථාර්ථයට එකඟ නොවන ක්‍රියාවක් බව ඕනෑම අයෙකුට පෙනී යායුතු සත්‍යයක් නොවේ ද? සමස්තයක් වශයෙන් ලෝක යථාර්ථය දෙස බලන විට මාංශ හා මත්ස්‍ය අනුභවයෙන් තොර තත්ත්වයක් අපේක්ෂා කිරීම පැහැදිලි මුළාවක් බව අපට ඉහත දත්තයන් පැහැදිලි කරනවා නොවේ ද?
සත්ව ඝාතනයෙන් තොර තත්ත්වයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්ත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේ ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැනින් පමණක් ජීවත්වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුව ද කිරීමට අපට හැකියාව තිබේ ද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පළිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. මෙසේ කිරීම ද අපගේ අත්දැකීම් අනුව සැමවිටම ප්‍රායෝගික නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පළිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනා ගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ උපක්‍රමයන් ගොවියා උපයෝගී කර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා ක්‍රියා කරයි. මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කර ගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේ ද? මෙම ලෝක යථාර්ථය ප්‍රතික්ෂේප කළ හැක්කේ කවරෙකුට ද? දෙවනු අපි ශ්‍රී ලංකාව තුළ සත්ව ඝාතනයේ යථාර්ථය විමසා බලමු.
දේශීය සමාජයීය බලපෑම
ශ්‍රී ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් පමණ ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්‍රදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා තැනැත්තාගෙන් එම පළාත් පාලන ආයතනය විශාල මුදලක් අය කර ගනී. ගවයින් කැපීම නතර කිරීමට යමෙකුට අවංක අවශ්‍යතාවක් ඇත්නම් කළ යුත්තේ තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට මෙම අවසර පත් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටීමය. මෙය අතහැර මුස්ලිම් හා කිතුනුවන් ඉලක්ක කරගෙන උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු ද යන්න කරුණාකර සිතා බලන්න. මෙසේ කිරීම හේන මුවන් කද්දී ගෙදර ඇති මුව හමට තඩි බෑමක් ලෙස සඳහන් කළ හැක. මෙම ගවයින් කපන අවසර පත් ලද ස්ථාන 300 මගින් දිනකට ගවයින් 5000ක් පමණ කපන බව සංඛ්‍යා ලේඛන අනුව දැන ගත හැක. මේ පිළිබඳව පශු සම්පත් අමාත්‍යංශය මගින් වැඩි දුර තොරතුරු ලබා ගත හැක. පෝය දින 12 අතහැර වර්ෂයකට සාමාන්‍ය වශයෙන් දින 350 කදී බලපත්‍ර ලබා ඇති ස්ථාන මගින් පමණක් කපන ගවයින් සංඛ්‍යාව පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
5000 X 350 = 1,750,000
මෙය වර්ෂයක් තුළ බලපත්‍ර සහිතව කපන සංඛ්‍යාවය. බලපත්‍ර නොමැතිව ද නීතියට පටහැනිව ගවයින් කැපීම අප සැම දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙයට අමතරව දැනට ජීවතුන් අතර ඉන්නා ගවගහනයත් සැළකිල්ලට ගත් විට ගවයින් කැපීම නතර කළ හොත් වර්ෂ හයකට වඩා අඩු කාලයක් ඇතුළත ජනගහනයට වඩා ගවගහනය වැඩි විය හැකි බව බුද්ධිය ඇති සැමට ඉතාම සරලව වටහා ගත හැකි සත්‍යයකි. මෙයින් සිදුවිය හැකි පාරිසරික අසමතුලිතතාවය ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දිය හැක්කක් බව ඕනෑම අයෙකුට පැහැදිළි වන කරුණකි. මාංශ අනුභවය විශ්වයේ නිර්මාතෘ විසින් මිනිසාට අනුමත කර ඇත්තේ එහි ඇති යථාර්ථය පදනම් කරගෙන බව මෙයින් පැහැදිළි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. උද්වේගය හෝ තවත් ආගමික-වාර්ගික කොටසක් කෙරෙහි ඇති පදනම් විරහිත වෛරය මුල් කරගෙන අර්ථ ශුන්‍ය උද්ඝෝෂණයන් හි නිරත නොවී ලෝක යථාර්ථය අවබෝධ කරගෙන සුහදත්වයෙන් ජීවත් වන්නට අදිටන් කර ගනිමුයි කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
දේශීය ආර්ථික බලපෑම
තවත් මුලික තර්කයක් වනුයේ හරක් මස් කර්මාන්තයක් නැතිව කිරි කර්මාන්තය ආර්ථික වශයෙන් ලාබදායි එකක් බවට පත්කළ හැකිද යන ප්‍රශ්නයයි. ඕනෑම සත්ව පාලනයකදී මස් ප්‍රයෝජනයට නොගන්නේ නම් එම සත්ව පාලනය ආර්ථික වශයෙන් ඵලදායී විය නොහැකිය. එය පිළිගත් රීතියකි. මස් පිණිස නොගෙන බිත්තර සඳහා පමණක් කුකුලන් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ නැත. මස් ප්‍රයෝජනයට නොගෙන කිරි සඳහා පමණක් හරකුන් ඇති කිරීම ද ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ නැත.
කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය නම් දිනකට ලීටර 20ත් 25ත් අතර ප්‍රමාණයකින් කිරි ලබාගත හැකි හොඳ වර්ගවල හරකුන්ගෙන් සමන්විත කිරිපට්ටි පාලනයකට රට යොමු කළ යුතුය. එක යායට පුරන් වී තිබෙන කුඹුරුවල ප්‍රමාණය සැලකිල්ලට ගත්විට ඒවා හරකුන්ට තණ නිපදවන තණ පිට්ටනි බවට පත්කළ හැකි නම් ඒවා ද ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට හැරවිය හැකිය. එහෙත් උසස් වර්ගයේ හරකුන්ගෙන් යුත් ගවපට්ටි පාලනයකට මිනිසුන් මුදල් ආයෝජනය කරනු ඇත්තේ කරනු ලබන ආයෝජනයන්ට සරිලන ලාභයක් උපයාගත හැකි නම් පමණය. උසස් වර්ගයේ හරකුන් 100කගෙන් යුතු ගවපට්ටියක් කිසියම් කෙනෙකු ආරම්භ කළායැ’යි උපකල්පනය කරමු. හොඳ වර්ගයේ එක හරකෙකු සඳහා ඔහුට රුපියල් ලක්ෂයක් දෙකක් අතර මුදලක් වැය කරන්නට සිදුවේ. හරකුන්ගේ වයස අවුරුදු තුනේදී උන්ට පැටව් ලැබී කිරි ලබාගත හැකි තත්ත්වයක් ඇතිවේ. එහෙත් එම හරකුන්ගෙන් ඔහුට කිරි ලබාගත හැක්කේ අවුරුදු හතක් තරම් කාලයක් පමණය. ඉන් පසු කිරි ලබාගත නොහැකි අඩුවෙන් කිරි ලබාදෙන ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙනුන් බවට පත් වෙති. ඉන් පසු ඒ හරක් 100ට ඔහු කරන්නේ කුමක්ද? ඔවුන් මැරෙන තුරු නඩත්තු කළ යුතු නොවේ ද? එසේ කළහොත් ඔහුගේ ගවපට්ටි පාලනය අලාභදායී එකක් බවට පත්වන්නේය. හරකෙකුගේ ජීව බර කිලෝ 500ක් ලෙස සැලකුවහොත් මස් පිණිස ජීවබරට දීමෙන් රුපියල් 100,000 ක් පමණ උපයා ගත හැකිය. එවිට සිය දෙනාගෙන් උපයා ගත හැකි ආදායම රුපියල් ලක්ෂ 100 කි. එම ලක්ෂ 100 ආදායමක් බවට හරවා නොගෙන ඔහුගේ කිරිපට්ටි කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබා ගත හැක්කේ කෙසේද? ඔහුට තම කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නම් එම හරක් 100 විකිණිය යුතුමය. රටේ ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත්තේ කිරි ලබා ගත නොහැකි හා ප්‍රමාණවත් තරමකින් කිරි ලබාගත නොහැකි දෙනුන් මස් පිණිස විකිණීමට පුළුවන්කමක් ඇත්නම් පමණය. එවැනි හරකුන්ට ඉල්ලුමක් තිබිය හැක්කේ රටේ හරක් මස් කර්මාන්තයක් තිබේ නම් පමණය. කිරි ගොවියා ආරක්ෂා කිරීමේ මෙම ප්‍රශ්නයට අර්ථවත් විකල්ප විසදුමකින් තොරව පෙර සඳහන් කළ ගවයින් කපන ස්ථාන 300 වසා දැමීමට කටයුතු කිරීම බුද්ධිමත් ක්‍රියාවක් ද යන්න කරුණාකර සිතා බලන්න.
මෑතක සිට සංචාරක කර්මාන්තය වර්ධනය වීමෙන් විදේශ විනිමය ඉපැයීම, නව රැකියා අවස්ථා බිහිවීම හා විදේශ ආයෝජනය වැඩිපුර සිදුවෙමින් පවතී. මෙම විදේශ සංචාරකයින්ට තරු පහේ හෝටල් වලින් දිය හැක්කේ නිර්මාංශ ආහාර පමණක් යන ප්‍රවෘත්තිය ජාත්‍යන්තරව ප්‍රචාරය වුවහොත් සංචාරක කර්මාන්තයට සිදුවිය හැක්කේ කුමක්ද? විදේශ සංචාරකයින්ගේ ජනප්‍රියතම භෝජනය Beef Steak නොහොත් තෙම්පරාදු කළ ගව මස් පෙත්ත බව නොදන්නෙක් නැති තරම්ය. ඔවුන්ට පමණක් දේශීය වශයෙන් හෝ ආනයනය කළ ගව මස් සපයන්නේ නම්, එය ගව මස් අනුභවය කැමති වූ දේශීය ජනයාගේ මුලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් බවට පත් නොවන්නේද? ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් මේ සම්බන්ධව ඉදිරිපත් වුවහොත් ඇති විය හැකි තත්ත්වය කුමක්ද? ගව මස් ආනයනය කළවිට අප නැවත වරක් දේශීය කිරි ගොවියාට ආර්ථික ප්‍රහාරයක් එල්ල කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීමට කටයුතු කරනවා නොවේ ද?
සත්ව තෙල් විවිධ කර්මාන්තයන්ට උපයෝගී කර ගැනීමක් සිදු වේ. සත්ව ඝාතනයෙන් තොරව දේශීය සත්ව තෙල් සැපයුමට සිදුවන්නේ කුමක්ද? මේ සඳහා විකල්ප විසඳුමක් තිබේ ද? සත්ව ඝාතනයෙන් තොරව සත්ව සමින් නිෂ්පාදිත පාවහන් කර්මාන්තයට පමණක් නොව අනෙකුත් සම් භාණ්ඩ කර්මාන්තයටද ඉතා විශාල හානියක් සිදු වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. මෙම කරුණ ද අප සැළකිල්ලට ගත යුතු නොවේ ද? මෙම මාතෘකාව පිළිබඳව ඇති පුද්ගල හා සමාජයීය බලපෑම් කෙරෙහි ද අවධානය යොමු කරමු.
දේශීය සෞඛ්‍ය බලපෑම්
අප රට විවිධ වසංගත රෝගයන්ට මුහුණ පා ඇත. 19 වන සියවසේ ආරම්භයේ ඇතිවූ මැලේරියා වසංගතයෙන් ජනගහනයෙන් කොටසක් මියගිය අතර රටවැසියන් මේ හේතුවෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වූහ. දැනට අප මුහුණපාමින් සිටින්නේ තවත් වසංගත රෝග රැල්ලකටය. ඩෙංගු හා බරවා වැනි වසංගත රෝග මුළු රටටම ඉතා විශාල අභියෝගයක් බවට පත්ව ඇත. ඩෙංගු වසංගතයෙන් මිය යන සංඛ්‍යාව දිනපතා පුවත්පත් මගින් කියවනවිට අප පත්වන්නේ ඉතාමත් කම්පනීය තත්ත්වයකටය. මෙම වසංගත රෝග බෝකරන විෂබීජ මිනිසාගේ ශරීරයට ඇතුලත් වන්නේ මදුරුවන් මාර්ගයෙනි. මෙම රෝගකාරක විෂබීජ ශරීරගත කරන මදුරුවන් මරා දමන්නට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විවිධ වැඩ සටහන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මදුරුවන් මරාදමන්නට අප ඉදිරිපත් නොවුනානම් සිදුවන විනාශකාරී තත්ත්වය යමෙකුට සිතාබලන්නට බැරි තරම් බරපතල හා භයානක එකක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. මෙයිනුදු සනාථවන ලෝක යථාර්ථය කුමක්ද? මේ සඳහා විකල්ප විසඳුමක් තිබේ ද?
නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි ආසාධනයන් ඇතිවූ විට අපට ප්‍රති ජීවක (Antibiotic) බෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන්නේය. මෙම ප්‍රති ජීවක බෙහෙත් මගින් සිදු වන්නේ ශරීර ගතවී ඇති කෝටි ගණන් රෝගකාරක විෂබීජ නසා දමා අපට දිවි රැක ගැනීමට උපකාරී වීමක් නොවේ ද?
මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත් මෙන්ම මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් ද මිනිසාට තිබේ. ජීරණ පද්ධතිය ද මිනිසාගේ සකස්වී ඇත්තේ කෘෂි මෙන්ම මාංශ ආහාර ජීරණය කළහැකි වන අයුරිනි. මෙයිනුත් පෙනීයන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සතෙක් බව නොවේද?
මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණ වල යෙදෙමින් වෛද්‍ය විද්‍යාව උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග සිදුවී හා සිදුවෙමින් පවතී. පරාණ ඝාතනය සම්පුර්ණයෙන්ම වැරදියි යන මතයේ අප එල්බ ගෙන සිටියේ නම් වෛද්‍ය විද්‍යාව අදත් ප්‍රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්ත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත.
පොදු සාධක
සත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතා කරනුයේ ගවයින් කැපීමට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාව විය හැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇති වීම ද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිම සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. ඒ අතරම මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය.
ජලය හිඟ කටුක කාන්තාරයේ ජීවත්වන්නාට හා වසරේ දින 365 ම හිම මත ජීවත්වන්නාවූ එස්කිමෝ වරුන්ට මාංශ අනුභවයෙන් වැළකෙන ලෙස දේශනා කරන්නට අපට සදාචාරාත්මක අයිතියක් තිබේද? නිර්මාංශ ආහාර ප්‍රතිපත්තිය ඔවුන්ට කෙසේ නම් වලංගු විය හැකිද? කරුණාකර සිතා බලන්න. නිර්මාංශ ආහාර ප්‍රතිපත්තිය විශ්වීය උපයෝගිතාවකින් බැහැර වුවක් බව මෙම කරුණු ඔප්පු කරනවා නොවේද?
මෙම මාතෘකාව පිළිබඳව ආගමික දැක්ම
ඉන්දියාව හින්දු භක්තිකයින් බහුතරයක් ජීවත්වන විශාලතම රටය. හින්දු දහමේ ගවයාට දේවත්වයට සමීප තත්ත්වයක් ලබා දී ඇත. එහෙත් ඉන්දියාවේ ගවයින් කැපීම බොහෝ ප්‍රදේශයන්හි සිදුවෙමින් පවතී. ජෛන දහම හැර ලොව අන් කිසිම දහමක් මාංශ අනුභවය තහනම් කොට නොමැති බව නැවතත් සඳහන් කරන්නට කැමැත්තෙමු.
අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු ආගමික සමාජයකය. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඉස්ලාමිකයින් ඌරු මස් අනුභව නොකරති. එහෙත් කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිති. බහු ආගමික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේ ද? බහු ජනවාර්ගික හා බහු ආගමික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ චර්යාවන් හා වත්පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේ ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1) වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.
3 – 10”සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.
3 – 14. (1) “සෑම පුරවැසියකුටම – ( ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; ( ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; හිමිකම ඇත්තේ ය”.
ඉස්ලාමීය ඉගැන්වීම්
ඉස්ලාමය මාංශ අනුභවය අනුමත කළ ද සතුන් පිළිබඳව කටයුතු කිරීමේදී උපදෙස් රාශියක් ඉදිරිපත් කොට ඇත. ගිනියම් වූ යකඩයක් උපයෝගී කරගෙන කරන්නාවූ හංවඩු ගැසීමේ ක්‍රියාව සහමුලින්ම තහනම් ය. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේ දී සිදුවන අවම වේදනාවට වඩා දසදහස් වාරයක වේදනාවක් ගෙනදෙන කෲර ක්‍රියාවක් ලෙස මෙය ඉස්ලාමය හඳුන්වයි.
“මළ සතුන් ද රුධිරය ද සුකර මාංශ ද අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා (ඒවායෙහි නාමයෙන්) භාර කරනු ලැබූ දෑ ද ගෙල මිරිකා මරන ලද සතුන් ද පහළට වැටී මරණයට පත් සතුන් ද ඇනීමෙන් මරණයට පත් සතුන් ද තවද නුඹලා (ඉස්ලාමීය) අනුමත ක්‍රමයට අනුව කැපීමෙන් මිස තිරිසන් සතුන් ආහාරයට ගත් දෑ ද පිළිම වෙනුවෙන් කපනු ලැබූ දෑ ද ඊතල මගින් පංගු තීන්දු කිරීම ද නුඹලාට තහනම් කරනු ලැබ ඇත….” (අල් කුර්ආන් 5:3)
මේ අනුව අපට ආහාරය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ඉස්ලාමීය පිළිවෙත අනුව කපනු ලැබූ අනුමත සතුන්ගේ මාංශ පමණි. ඉහත අල් කුර්ආන වැකියේ සඳහන් අනෙකුත් සියලුම ක්‍රමයන් සත්ව හිංසනයට හේතුවන බව ඔබට පැහැදිලිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු. විසිඑක් වන සියවසේ සතුන් කැපීම පිළිබඳව අප රටේ ඇති නීතිරීහි හා ශත වර්ෂ දාහතරකට පෙර ඉස්ලාමය පැනවූ පිළිවෙත් අතරේ සමතාවක් ඇති බව ඔබට පෙනී යනු නිසැකය.
හිංසනයෙන් තොරව සතුන් කැපීම
මාංශ අනුභව නොකර සිටින්නට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් කිසිම තර්කයකට එකඟ නැති, පදනම් විරහිත අයුරින් මෙය සටන් පාඨයක් කර ගෙන කරන්නාවූ හිස් ක්‍රියාවන් කිසිම යහ පුරවැසියෙකු අනුමත කරන ක්‍රියාවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලොව අද පවතින සියලු ප්‍රධාන දහම් මාංශ අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්ථයක් බව පිළිගෙන ඇති නිසා බව විය හැක. නමුත් මාංශ අනුභවය හා ඒ වෙනුවෙන් සතුන් කැපීම පිළිබඳ ඉතා පරිපුර්ණ මඟපෙන්වීම් ඇත්තේ ඉස්ලාමය තුළ පමණි. සතුන් කැපීම පිළිබඳ ඉස්ලාමය ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟතාවක් ඇති මෙන්ම හිංසනයෙන් තොර වූ ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ඝ විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ජර්මානු සත්ව සුබ සාධන පනත (Animal Welfare Act of 24th July 1972) අනුව සතුන් පිළිබඳව ක්‍රියා කිරීමේදී උද්වේගයට වඩා විද්‍යාත්මක සාධක මත පදනම් වී කටයුතු කළ යුතු බව සඳහන් වී ඇත. මෙම පනත අනුව හිංසනයෙන් තොරව සතුන් කැපීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාව මතුකොට තිබිණ. මේ අනුව මහාචාර්ය W. ෂුල්ට්ස්, H. ෂුල්ට්ස්, A.S. හාසිම්, හා R. ග්‍රොස් යන විද්‍යාඥයින් විසින් ජර්මනියේ හැනොවර් විශ්ව විද්‍යාලයේදී විද්‍යාත්මක පර්යේෂණයක් පවත් වන ලදී. බටහිර දැනට භාවිතයේ ඇති සියලු ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පවත්වා එමගින් මරණයට පත්වීමට පෙර සතාට විඳින්නට සිදුවන වේදනාවන් පිළිබඳව විද්‍යානුකුල තක්සේරුවක් කර ගන්නා ලදී. මෙම ක්‍රමය තුළින් සනාථ වූ ප්‍රධාන සාධක නම්, සතුන් විශාල ලෙස කලබලයට පත්වීම, විද්‍යුත් මස්තිෂ්ක රේඛය (Electro Encephalogram – EEG) අනුව සතුන් දැඩි වේදනාවකට පත් වීම හා හෘද ස්පන්දනය සැනින් නතර වී යෑම හේතුවෙන් ශරීරයෙන් රුධිරය ඉවත් වීම අවමවීම යන කරුණුය. මෙම කරුණු වලින් පෙනී යන්නේ සතාට දැඩි වේදනාවක් මෙන්ම සතාගේ ශරීරයෙන් රුධිරය පිටවීම අවම වීම හේතුවෙන් එම මාංශය සෞඛ්‍යයට එතරම් හිතකර එකක් නොවන බවය.
මෙම පර්යේෂණයට විද්‍යුත් මස්තිෂ්ක රේඛය (Electro Encephalogram – EEG), විද්‍යුත් කන්තු රේඛය (Electro Cardiogram-ECG), රුධිර පීඩන මාපකය ආදිය ඇතුළු ව තවත් සංකීර්ණ උපකරණ උපයෝගී කර ගන්නා ලදී. විශේෂයෙන්ම EEG මගින් වේදනාවක් ඇති වන විට මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මැනීමට හැකියාවක් තිබිණ. මෙම පර්යේෂණය ඉතා සංකීර්ණ තාක්ෂණික විස්තරයන්ගෙන් යුක්ත වුවක් වන අතර එමගින් සොයාගත් කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේදී හෙළි වු කරුණු අනුව:-
- ඉතා මුවහත් වූ පිහියකින් කැපීමේදී කැපීමට පෙර හා පසු EEG මානයේ එක සමාන කියවුම් දක්නට ලැබිණ. කැපීමේ කාලයේදී දක්නට තිබු සුළු ප්‍රතික්‍රියාව පහත සඳහන් අයුරින් විය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහා තත්පර 4 සිට 6 දක්වාද ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 10 ට වැඩි නොවන අයුරින් එම ප්‍රතික්‍රියා කාලය විය.
- ශුන්‍ය රේඛනයක් EEG මානයේ එළුවන් හා බැටළුවන් සඳහා තත්පර 13 කට පසුවද, ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 23 කට පසුවද දක්නට ලැබිණ.
- තාප වේදනා උත්තේජකයේ (Thermal Pain Stimuli) කිසිදු වෙනසක් දක්නට නොතිබිණ.
- ගවයින් වැනි ලොකු සතුන් කැපීමෙන් තත්පර 40 කට පසු හෘද ස්පන්දන වේගය මිනිත්තුවකට 240 දක්වාත් එළුවන් බැටළුවන් වැනි සතුන්ගේ හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 280 දක්වාත් වැඩි විය. මෙසේ හෘද ස්පන්දනය වැඩි වන්නේ සතාට ජීවය ඇති නිසා හෝ වේදනාව දැනෙන නිසා හෝ නොවන බව සොයා ගන්නා ලදී. මෙයට හේතුව පහතින් දක්වා ඇත්තෙමු.
ඉහත නිරීක්ෂණයන් පදනම් කරගෙන පහත සඳහන් නිගමනයන්ට එළඹීමට ජර්මන් විද්‍යාඥයින්ට හැකි වූ බව සඳහන් කොට තිබිණ.
- ඉහත සාධකයන් අනුව නියමිත ආකාරයට කැපීම සිදු කළහොත් පිහිය තබා කපන තත්පර කිහිපයක ප්‍රතික්‍රියාව හැර අන් කිසිම වේදනාවක් දැරීමට සිදු නොවන බව විද්‍යාත්මකව ඔප්පු විය. මෙසේ කිරීමේදී මොළයට රුධිරය සපයන ප්‍රධාන නාලයන් විසන්ධි වන හෙයින් මොළය අක්‍රීය තත්වයට පත් වෙයි. ශරීරයෙන් මොළයට පණිවිඩ ගෙන යන නාල සියල්ල විසන්ධි වීම හේතුවෙන් සතාට වේදනාව දැනීමේ හැකියාව නැති වී යන්නේය. ශ්වාසනාලයද විසන්ධි වන හෙයින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් සතා නිර්වින්දන තත්වයකට පත්වන්නේය.
- කැපීමෙන් පසු හෘදස්පන්දනය ඉහළ යෑමට හේතුව මොළයේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිදුවන්නාවූ මාංශ පෙශීන්ගේ ප්‍රතීක (Reflex) ක්‍රියාකාරිත්වයක් බව සොයා ගන්නා ලදී. මේ හේතුවෙන් ශරීරය තුළ ඇති රුධිරයෙන් අති විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට හැකියාව ඇති වී තිබේ.
- අධික රුධිරය අඩංගු මාංශය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන හෙයින් රුධිරය බැහැර කිරීමේ ක්‍රියාවලියෙන් ඒ අයහපතද ඉවත් කර ගන්නට හැකියාව ඇති වී තිබේ.
ඉහත විද්‍යාත්මක පර්යේෂණයෙන් සොයා ගත් කරුණු වලින් ඉතා මැනවින් ඔප්පු වන්නේ ඉස්ලාමීය අනුමත ක්‍රමය හිංසනයෙන් තොර වූ හොඳම ක්‍රමය බවය. මේ අනුව අප විසින් නැවත වරක් අවධාරණය කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත.
- ඉස්ලාමය මාංශ අනුභවය අනුමත කර ඇතත් එය අනිවාර්ය කාර්යයක් නොවේ. මාංශ අනුභවයෙන් තොරව යහ මුස්ලිමයෙකු වීමට කිසිම බාධාවක් නොමැත.
- සත්ව ඝාතනයෙන් තොරව මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම කිසිසේත්ම සිදුවිය නොහැක්කක් යන්න ලෝක යථාර්ථයක් බවට පත්ව තිබේ. හෘදසාක්ෂියට එකඟව බුද්ධිය හා විචාරය මෙහෙයවා කරුණු විමසන්නෙකුට මෙම සත්‍යය අවබෝධ කර ගැනීමට කිසිසේත්ම අපහසුතාවක් නොමැත.
- සතුන් කැපීම අවශ්‍ය වූ විටක එය හිංසනයෙන් තොරව කිරීමට ඇති හොඳම ක්‍රමය ඉස්ලාමය අනුමත කොට ඇති පිළිවෙත බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.
සතුන් කැපීමේදී අනුගමනය කළ යුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ.
- සත්වයාට හොඳින් ආහාර හා ජලය ලබා දීම.
- කලබලකාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.
- පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබීම.
- කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු වීම.
- කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කළ යුතුය. සියලු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නා වූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
- කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කිරීම.
- කැපීමෙන් ශ්වාසනාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යා යුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
- එක් සතෙකු ඉදිරියේ තවත් සතෙකු නොකැපිය යුතුය.
- සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
- සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරුතාවකින් නොසිටිය යුතුය.
- කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යෑමට සැලසිය යුතුය.
- තම පැටවුන්ට කිරි ලබා දෙන සතුන් නොකැපිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වෙයි.
උලුහිය්යා
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හිජ්ජා මාසයයි. හජ් නැමදුම ඉටු කරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාලවකවානුවේදීය. ඉබ්‍රාහිම් නබි තුමා පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ඨ පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති. සතෙකු කපා අසරණ හා දුගී ජනයාට මෙන්ම අසල්වැසි හා හිතවතුන්ට දානයක් ලෙස පිරිනැමීම “උලුහිය්යා” නමින් හැඳින් වේ. මෙය අල්තාරයක් හෝ පිළිරුවක් ඉදිරියේ කරන්නාවූ බිලි පුජාවක් හෝ බිලි දීමක් නොවේ. ඉතාමත් පිරිසිදු චේතනාවෙන් දෙවිඳුන්ගේ නාමයෙන් පෙර පැවසුවාක් මෙන් දුගීන්ට, අසරණයින්ට, යාචකයින්ට, අසල්වැසියන්ට හා නෑ හිතවතුන්ට ආහාරය පිණිස දීම සඳහා කරන්නා වූ දානමය ක්‍රියාවකි.
ඉස්ලාමයේ සියලු ක්‍රියාවන් මිනිසාගේ යහපත පදනම් කර ගෙන යහ චේතනාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ ක්‍රියාවන් වන අතර එහි අන්තර්ගතයේ විද්‍යාත්මක හා යථාර්ථවාදී පදනමක් නිරන්තරයෙන් දක්නට ඇත. ඉහත කරුණු වලින් පැහැදිලි වන තවත් සත්‍යයක් නම් ඉස්ලාම් යනු තවත් දහමක් නොව එය සැබැවින්ම සියලු මනුෂ්‍ය අවශ්‍යතාවන්ට නිසි මග පෙන්වන පරිපුර්ණ ජීවන සැලැස්මක් බවය.
ඉහතින් ඉදිරිපත් කළ සියලු කරුණු සමස්තයක් වශයෙන් සමාලෝචනය කර බැලීමේදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව මතු වී තිබු වැරදි අවබෝධයන් ඉවත් කොට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත් විය හැකි සාමකාමී හා සුහදත්වයෙන් යුත් සමාජයක් බිහි කිරීමට අප සැමට හැකිවේ යැයි ඉතා අවධාරණයෙන් යුක්තව විශ්වාස කරන්නෙමු. බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධ වන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විශ්වාසයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදු වන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදු වී එකිනෙකාගෙන් ඈත් වූ සමාජයක් ඇති වීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතු වන අනර්ථකාරී වෛරය ඉවත් කොට සැමට සතුටින් එකට ජීවත් විය හැකි, සුහදත්වය හා මිනිසත්කම පදනම් කර ගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.
එනිසා අපි සත්‍යය අවබෝධ කර ගනිමු. දැනුවත් වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු. ඉදිරි පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් යුත් රටක් ගොඩනගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට අදම අධිෂ්ඨාන කර ගනිමු.
By එම්. අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com