මක්කාවේ සිට ජෙරුසලමට සත්වයෙකුගේ පිටේ නැගී යෑම සති කිහිපයක් ගතවන ඉතා වෙහෙසකර ගමනකි. එහෙත් අල්ලාහ්ගේ සැලසුම අනුව එවැනි ගමනක් පවා ඉතා කෙටි කාලයකින් සිදු කල නොහැකි දෙයක් නොවේ. කෙසේ වෙතත් මිහ්රාජ් ගමන නබිතුමා සිදු කලේ අල්ලාහ්ගේ අනුහසිනි. එය ආත්මය සහ ශරීරය යන දෙකෙන්ම සිදු කල එකක් වන්නේය. එම ගමන ගැන කුරානයේ මෙලෙස සඳහන් වේ.“ශුවිශුද්ධවන්තයා වන ඔහු තම ගැත්තාව මස්ජිදුල් හරාම්හි සිට අවට පරිසරය භාග්‍යවත් කල මස්ජිදුල් අක්සා තෙක් ආශිර්වාද ලත් එම රාත්‍රියෙහි කැඳවාගෙන ගියේ අපගේ සාක්ෂින් පෙන්වීම සඳහාය” (කුරානය 17:1).
කෙසේ වෙතත් අල්ලාහ්ගේ මහඟු භාවය ගැන අවබෝදයක් හෝ විශ්වාසයක් නොමැති අයට නම් මෙවැනි ගමනක් ගැන අදහාගැනීමට පවා නොහැකි කාරනාවක් වනවාට කිසිම සැකයක් නොමැත. මේ බව දන්නා නබිතුමා එම ගමන සිදු කල පසු පසුවදා අවදි වුයේ ඉතා විශාල කනස්සල්ලකිනි. නබිතුමා එසේ සිටින අතර වාරයේ දී ඉස්ලාම් දහමට එදිරිවාදියෙක් වන අබු ජහිල් නබිතුමා අසලින් යන විට ඔහු ළඟ වාඩි ගෙන, “අළුත් යමක් නැද්දැයි” අපහාසාත්මකව විමසා ඇත. එවිට නබි තුමා අළුත් සිදු වීමක් ඇතැයි පවසා මෙම ගමන ගැන ඔහුට සැලකොට ඇත. අබු ජහිල් මෙය විශ්වාස නොකලත් ඊට හොඳින් සවන් දුන් අතර එම විස්තරය අනෙක් අය ඉදිරියේත් මේ අකාරයටම පැවසිය හැකි දැයි නබිතුමාගෙන් විමසා ඇත. ඊට නබිතුමා ‘ඔව්’ යැයි පිළිතුරු දීමෙන් අබු ජහිල් ඔහුගේ සගයන් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන එම පුවත ඔවුන් ඉදිරියේ පැවසීමට සැලැස්සුවේය. ඊට සවන්දුන් අබු ජහිල්ගේ සගයින් මහා හඬින් සිනාසෙන්නට පටන් ගත් අතර නබිතුමාගෙන් ජෙරුසලම පිතිටි දේවස්ථානය ගැන ප්‍රශ්න කිරීමට ද පටන්ගත්තෝය. නබිතුමා ඊට පෙර කිසිම දවසක ජෙරුසලමට ගොස් නැතත් එහි ඇති මස්ජිදුල් අක්සා දේවස්ථානය ගැන ඔවුන් අසන සෑම ප්‍රශ්නයකටම ඉතා නිවැරදිව පිළිතුරු දුන්නේය. මෙම පිළිතුරු ඇසීමෙන් ඔවුන්ට කිසිවක් කර කියා ගත නොහැකිව යන්ට ගියෝය.
කෙසේ වෙතත් නබිතුමා බොරු කාරයෙක් බව ඔප්පු කිරීමට මෙය කදිම අවස්ථාවක් ලෙස සැලකු අබු ජහිල් නබිතුමාගේ හිත මිත්‍රයෙක් වන අබු බක්කර් රලි තුමා වෙත ගොස් මෙම පුවත සැල කොට ඇත. එවිට ඔහු පවසා ඇත්තේ මෙය මුහම්මද් (ﷺ) තුමාම පවසන ලද දෙයක්ද යන්නයි. අබු ජහිල් “ඔව්” යැයි පැවසූ විට එසේ නම් කිසිම දවසක බොරුවක් කියා නැති මුහම්මද් (ﷺ) තුමා පවසන දේ සැබෑවක්ම විය යුතු බව පවසා ඇත. එතැන් පටන් අබු බක්කර් රලි තුමාට සිද්දීක් යන නම පට බැඳුනේය.
මුහම්මද් (ﷺ) තුමා මෙම ගමන ගොස් ඇත්තේ ජිබ්රිල් දේවදුතයා ස්වර්ගයෙන් රැගෙන පැමිණි බුරාක් නම් සත්වයාගේ පිටෙහි ය. එම සත්වයාගේ වේගය ගැන නබි තුමා පවසන විට එය විස්තර කොට ඇත්තේ ඇසට පෙනෙන දුරට උගේ පිම්ම තබන බවයි. මෙම ගමනේදී බොහෝ දේවල් සිදු වී ඇත. නබිතුමා මස්ජිදුල් අක්සා හිදී ඔහුට පෙර පැමිණි සෑම නබිවරයෙකුටම නායකත්වය දෙමින් සලාතය ඉටු කර ඇත. එහි සිට අහස් හතක් තරණය කොට ඇති අතර ඒ එක් එක් අහසේදී නොයෙක් නබිවරුන් මුණ ගැසී ඔවුන්ට සලාම් පවසා ඇත. මෙම ගමනේදී නබිතුමා බයිතුල් මාමුර් දේවස්ථානය ද දැක තිබේ. එපමනක් නොව නිරයට අධිපති මාලික් දේවදුතයා ද දැක ඇත. ස්වගයේ සහ නිරයේ ඇතැම් සිදුවීම් ද දැක ඇත. නබිතුමා ආපසු පැමිණෙන විට පංච කල සලාතය සහ සුරා බකරාහි අවසාන වක්ක්යය ද රැගෙන පැමිණ ඇත.
මිහ්රාජ් ගමන සිදුවූ දිනය සම්බන්දයෙන් නොයෙකුත් මත දැකිය හැකිය. මේ නිසා ඒ සම්බන්දයෙන් ඉස්ලාමිය විද්වතුන්ගේ විවිධ මත පලකොට තිබේ. අත් තබරි තුමාගේ මතය අනුව එය සිදුවී ඇත්තේ නබිත්වය සිදු වූ වසරේදීය. නවවි සහ අල් කුර්තුබි යන දෙදෙනාගේ මතය අනුව එය නබිත්වයෙන් වසර 5 කට පසුව සිදු වී ඇත. මේ හැර තවත් විවිධ මත දැකිය හැකිය.
මෙම සිදුවීම ගැන මුස්ලිම් නොවන ඇතැම් අයට පුදුම ගෙන දිය හැකිය. ඇයිද යත් එවැනි දෙයක් ඔවුන්ගේ බුද්ධියෙන් තේරුම් ගැනීමට නොහැකි නිසාය. කෙසේ වෙතත් නබිවරුන්ට සාමාන්‍ය මින්සුන්ට කල නොහැකි බොහෝ දේවල් සිදු කල හැකිය. ඔවුන්ට අල්ලාහ්ගෙන් දේව පණිවිඩ ලැබෙන්නේය. අපට දැකිය නොහැකි දේවදුතයින්ව සහ ජින්වරුන්ව ඔවුන්ට දැකිය හැකිය. නබිවරුන් හරහා බොහෝ ප්‍රාතිහාරයන් සිදු කොට පෙන්වා ඇත. උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන් නැගිටුවා ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත. තොටිල්ලේදීම කතා කොට ඇත. මුසා නබි තුමා මුහුද දෙබෑ කොට ඇත. ඔහුගේ බස්තම නාගයෙකු බවට පත්කොට ඇත. මුහම්මද් නබිතුමා ද බොහෝ ප්රාතිහාර්යන් සිදු කොට ඇත. අල් කුරානය අදටත් අප අතර ඇති ප්‍රාතිහාරයකි. ඒ අනුව මෙම සිදුවීම ද සත්‍යයක්ම වන්නේය.
මිට වසර කිහිපයකට පෙර ජීවත්වූ කෙනෙකුට අද සිදුවන දේවල් අදහා ගැනීම පවා අසීරු දෙයක් වනවාට කිසිම සැකයක් නොමැත. ඊට හේතුව එදා පැවති තාක්ෂණයේ නොදියුණු කමයි. එහෙත් අද සිටින පාසැල් යන දරුවෙකු පවා එදාට වඩා බොහෝ දේවල් ගැන දැනගෙන ඇත. ඊට හේතුව කාලයත් සමග මිනිසා ලබා ඇති දියුණුව බව නොරහසකි. කෙසේ වෙතත් නබිවරුන්ගේ අත්දැකීම් සාමන්‍ය මිනිසෙකුට අත්විඳිය නොහැකිය. එබැවින් ඔවුන් ඒවා විශ්වාස කරීම පමණක් කල යුතුව ඇත. කෙසේ වෙතත් නබිවරුන් පවසන දේවල් සත්‍ය කරුණු බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඔවුන් ඉදිරිපත් කොට තිබීම අමතක නොකළ යුතුය.
By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.J.Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.