ඉස්ලාමයේ මුලික කරුණු විශ්වාසය මත ගොඩනැගී ඇත. එම කරුණු පිලිබඳව ලබාගන්නාවූ සාක්ෂිවල තරම අනුව කෙනෙකුගේ විශ්වාසයේ තරමද වැඩිකර ගත හැකිය. 
ඉස්ලාමිය විද්වතුන් පෙන්වා දෙන අන්දමට කෙනෙකුගේ විශ්වාසය මෙම කරුණු මත පිහිටා තිබිය යුතුය. එනම් අඥානකමින් තොර දැනුම, සැකයෙන් තොර විශ්වාසය, අවංක සහ පිරිසිදු චේතනාවේ සිටිමින් දෙවියන්ට සමානයන් නොතැබීම, කුහකත්වයෙන් තොර විශ්වාසවන්තකම, දෙවියන් පහළ කළ දහම පිළිකුලෙන් තොරව ආදරයෙන් සහ භක්තියෙන් පිළිගැනීම, අකීකරු නොවී දෙවියන්ට යටත් වීම. 
නබිතුමාට දෙවියන්ගේ පණිවිඩ ලැබෙන අවස්ථාවේදී සහාබවරුන් දහම ගැන කිසිවක් දැනගෙන සිටියේ නැත. එහෙත් එම පණිවිඩ කොටස් වශයෙන් අවශ්‍යතාවය අනුව පහළ වූ බැවින් සහාබාවරුන්ට ඒවායේ ගැඹුර හොඳින් තේරුම් ගැනීමට හැකි විය. මේ නිසා ඔවුන් කුරානය පිලිබඳ මනා දැනුමක් ලබාගෙන තිබුනේය. තවද නබිතුමාගේ අනුගාමිකයින් ඇතැම් අවස්ථාවන්හිදී දේවදුතයින්ව මිනිස් රුපයෙන් දැක ඇත. එසේම නබිතුමාගේ ප්‍රාතිහාරයන් එක එල්ලේම දැක ඇත. මේ සෑම දෙයකින්ම ඔවුන්ගේ විශ්වාසය වඩා හොඳින් තහවුරු වීමට හේතුවක් විය.
සහාබාවරුන් ඍජුවම නබිතුමාගෙන් දහම ලබාගත් බැවින් ඔවුන්ගේ විශ්වාසය තුල කිසිම සැකයකට ඉඩක් තිබුනේ නැත. ඔවුන් කිසිම විටක අල්ලාහ්ට සමානයන් තැබුවේ නැත. යම් පිරිසක් හැරුණු විට සහබාවරුන් අතර කුහකයින් සිටියේ නැත. ඔවුන් දහම ඉතා ඕනෑකමින් අනුගමනය කලෝය. නබිතුමාගේ සුන්නාවන් ඉතා ඕනෑකමින් පිලිපැද්දෝ ය. මේ නිසා සහාබාවරුන් පිලිබඳව කුරානයේ සහතිකයක් ද දැකිය හැකිය.
අද ජිවත්වන කිසිවෙකු නබිතුමාව හෝ ඔහුගේ ප්‍රාතිහාර්යන් හෝ දේවදුතයින්ව හෝ දැක නැත. එහෙත් ඒවා සියල්ලම විශ්වාස කරති. එබැවින් නබිතුමා අප ගැනත් ඉතා ඉහලින් වර්ණනා කොට ඇත.
මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීම වන්නේ ඉස්ලාම් දහම ගැන හොඳින් ඉගෙනගැනීමය. එසේ කිරීමෙන් විශ්වාසයේ ගුණාත්මක බව ඉහළ නැංවිය හැකිය. මේ සඳහා සෑම පහසුකමක්ම අද අප සතුව තිබේ. ඒවා උපරිම වශයෙන් භාවිතා කළ යුතුය. එවිට අප කරන පින් දහම්වල ගුණාත්මක බව වැඩි දියුණු කළ හැකි වන්නේය. එසේම දෙවියන්ට සමීප වීමට අවස්ථාවක් උදාවන්නේය. මරණයෙන් පසු මුහුණ දෙන අවස්ථාවන්ට නොසැලී මුහුණ දීමට හැකිවන්නේය. සාතන්ගේ උප්පරවැටි වලින් මිදීමටත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය. ඇයිද යත් සාතන්ට වඩා පහසුවෙන් දැනුම  නැති අයව නොමග යැවීමට හැකි නිසාය.
By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *