සෑම කෙනෙකුට ම දෙවියන්ගේ දයාව කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිය. දෙවියන් මිනිසා කෙරෙහි ඉතා කාරුණිකය. එබැවින් මිනිසා කොපමණ වැරදි කළත් සියළුදෙනාගේම උවමනාවන් මෙලොවදී ඉටුකර දෙන්නේය. එහිදී විශ්වාසවන්තයෙකු වීම හෝ එසේ නොවීම හේතුවක් නොවේ.
කෙසේ වෙතත් මිනිසා කරන ලොකුම වරද ලොව මවා පාලනය කරන්නාවූ දෙවියන්ව විශ්වාස නොකර සිටීමය. එවැනි කෙනෙක් වුවද සිය මරණයට පෙර දෙවියන්ව විශ්වාස කළේ නම් ඔහු එතෙක් මෙතෙක් කළ සියළුම පව් සමා කිරීමට තරම් දෙවියන් කාරුණිකය. මින් ප්‍රයෝජන ලැබීම මිනිසා සතු කාර්‍යයකි. එය පැහැර හැරීමෙන් සිදුවන පාඩුව මිනිසටමය.
කෙනෙක් අහස උසට වැරදි කලත් දෙවියන්ගේ සමාව ඊටත් වඩා විශාලය. එබැවින් කිසිවෙකු දෙවියන්ගේ කරුණාව කෙරෙහි බලාපොරොත්තු සුන්කර ගත යුතු නැත. දෙවියන්ගේ කරුණාව සහ සමාව ගැන අවිශ්වාස කිරීම විශාල වරදකි. දෙවියන්ගේ සමාවෙන් වඩාත් ප්‍රයෝජන ගත හැක්කේ වැඩියෙන්ම වැරදි කරන අයටය.
ලොව මවා පාලනය කරන්නාවූ දෙවියන්ව විශ්වාස නොකර මොනතරම් පින් දහම් කලත් ඒවාට දෙවියන්ගෙන් කුලියක් ලැබෙන්නේ නැත. දෙවියන්ගෙන් කුලිය ලැබීමට මුලික සුදුසුකම වන්නේ ඔහුව විශ්වාස කිරීමය. එහෙත් එය කළ යුතු අකාරයට කළ යුතුය. ඒ අනුව ඔහුට සමානයන් තැබීමෙන් වැලකී දෙවියන්ව පමණක් විශ්වාස කළ යුතුය.
මිනිසා කුමන වරදක් කලත් ඔහුගේ මරණය දක්වා සමාව ගැනීමට වරම් තිබේ. එහෙත් මරණය ලඟා වූ පසු සමාවේ දොරටු වැසි යනු ඇත. මේ බව අල් කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් වේ. එබැවින් එම අවස්ථාව උදාවන තෙක් බලා සිටීම මුග්ධ කමකි. දෙවියන්ගේ සමාව දීමේ ගුණය ගැන නබිතුමා පහත දැක්වෙන කතා පුවත ඔහුගේ අනුගාමිකයින් සමග පවසා ඇත.
නබිතුමාට පෙර කාලයේ ජීවත්වූ කෙනෙක් මිනිස් ඝාතන 99ක් සිදු කිරීමෙන් පසු ඔහු කළ වරද ගැන ලතවෙමින් ඔහුට සමාව ඇත්දැයි සෙවීමට පටන් ගෙන ඇත. ඔහු එසේ යන ගමනේදී එක්කෙනෙක් පවසා ඇත්තේ ඔහු වැනි මිනිස් ඝාතකයෙකුට සමාවක් නොමැති බවයි. එම පිළිතුරෙන් කිපුණු ඔහු එම පුද්ගලයාවත් ඝාතනය කොට මිනිස් ඝාතන 100 සම්පුර්ණ කොට තිබේ. කෙසේ වෙතත් ඔහු තමන් කළ මිනිස් ඝාතනවලට සමාව ඇත්දැයි සෙවීමේ කාර්ය අත්හැර නැත. එසේ තිබියදී කෙනෙක් පවසා ඇත්තේ ඔහුට සමාව ඇති බවත් එම සමාව ගැනීම සඳහා ඔහු දැනට සිටින ගමින් බැහැරවී ඔහු කියන ගමට යා යුතු බවත්ය. එම අවවාදය පිළිගත් ඔහු තමන් සිටින ගමින් පිටත්ව එම පුද්ගලයා පැවසූ ගමට යෑම සඳහා ගොස් ඇත. කෙසේ වෙතත් ඔහු යන අතර මගදී ඔහුගේ මරණය සිදුවී ඇත. එම හේතුවෙන් ඔහුට තම ඉලක්කය වෙත යාමට හැකිවී නොමැත. කෙසේවෙතත් ඔහුගේ අවංක චේතනාව පිළිගත් දෙවියන් ඔහුගේ උත්සාහයට කුලිය වශයෙන් සමාව පිරිනමා ඇත (සහිහ් බුහාරි).