සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.  මිනිසා ඇතුළු සත්ව ලෝකයේ සෑම සතෙකුම තම වර්ගයාගේ පැවැත්ම සහතික කර ගැනීම පිණිස ලිංගික ක්‍රියාව මත පදනම් වූ ප්‍රජනන කටයුතු වල නියැලෙති. මේ සඳහා පෙළඹවීම සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇතිවන ලිංගික උත්තේජනය   මගිනි.

ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ හේතු නිසා හෝ ඒ ආශ්‍රිත වෙනත් හේතු නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ. මල්වර වයසට අවතීර්ණය වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලිංගික උත්තේජනය සිදුවෙයි. නමුත් ලිංගික ක්‍රියාවලිය විවාහ බන්ධනය තුල සිදුවිය යුත්තක් බවට ඉස්ලාමය අවධාරණය කරයි.

“මුහම්මද් තුමාණන් වරෙක පවසා සිටියේ, අහෝ තරුණයිනි! විවාහ වීමට පහසුකම් ඇත්තා විවාහ වෙත්වා, පහසුකම් නොමැත්තා උපවාසයෙ (සව්ම්) හි යෙදෙත්වා, එය ඔහුට පලිහක් වනු ඇත, යනුවෙනි.” (සහීහ් බුහාරී 4778 – මුස්ලිම් 1400)

ලිංගික ආශාවන් විවාහ ජීවිතය තුළින් සන්තර්පණය කර ගත යුත්තක් වන අතර එවැනි බැඳීමකට  යොමු විය නොහැකි තරුණයින්ට උපවාසය නිර්දේශ කොට ඇත්තේ තම මනසේ ඇතිවන එම ආශාවන් පාලනය කර ගැනීමේ මාර්ගයක් ලෙසිනි. ඒ සඳහා තාරුණ්‍යට විශාල චෛතාෂික ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවනු නොඅනුමානය. විවාහ බන්ධනයෙන් භාහිරව ලිංගික ක්‍රියාවේ නොයෙදී හැකි පමණ තරුණ වයසේදීම විවාහ වීමට දිරි දීමක් ඉස්ලාමය මගින් සිදුවෙයි. එනම් ලිංගික ක්‍රියාවලිය පවුල් ජීවිතය ආරම්භවනවාත් සමග සිදු විය යුත්තක් ලෙසයි ඉස්ලාමය දකින්නේ. පවුල යන සමාජ සම්මත සීමාමායිම් තුල මිස ඉන් භාහිරව සිදුවිය හැකි ලිංගික ක්‍රියාවලිය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැක. දරුගැබක් ඇති වුවහොත් ගැටලුව වඩාත් සංකීර්ණ විය හැක. එයටත් වඩා ගැටළුකාරී තත්ත්වයන්ට මෙමගින් මුහුණ පාන්නට ඇති හැකිවායන් ද බොහෝ ය. එපමණක් නොව විවාහ ජීවිතය අසාර්ථක වීමට ද මෙය එක හේතුවක් විය හැක. විවාහයෙන් පසු විවාහයට පෙර ලද ලිංගික වින්දනයන් සොයා යෑමට ප්‍රවණතාවක් ඇති වුවහොත් පවුල බිඳ වැටෙන්නට එය හේතු සාධක විය හැක.

පවුලක් යනුවෙන් අප අර්ථ දක්වන්නේ දෙමව්පියන් හා දරුවන්ගෙන් සංයුක්ත වන ඒකකයටයි. සමාජයක් සෑදෙන්නේ මෙවන් පවුල් රාශියක් ඒකරාශී වීමෙනි. නීත්‍යානුකුල ලෙස ‘නිකාහ්’ නම් විවාහ ගිවිසුමට එළැඹුණු පිරිමියෙකුගෙන් හා ස්ත්‍රියකගෙන් ඉස්ලාමීය පවුලක් ආරම්භ වෙයි. ඔවුන්ට දාව උපදින දරුවන් එම පවුලේ සාමාජික සාමාජිකාවන් වෙති.  විවාහයට අවතීර්ණ වන්නන් තම ආගමික වගකීම්වලින් අඩක් සම්පුර්ණ කළ අය බව වරෙක මුහම්මද් තුමාණන් පවසා සිටියහ.

“තවද නුඹලා සහකාරියන් තුළින් සැනසුම ලබනු පිණිස නුඹලා වෙනුවෙන් නුඹලා අතුරින්ම ඔවුන් ව මවා නුඹලා අතර ආදරයක් හා කරුණාවක් ඇති කිරීමද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින් ම ගැඹුරින් සිතා බලන පිරිසකට මෙහි සංඥාවක් ඇත”. (අල් කුර්ආන් 30:21)

මෙම අල් කුර්ආන් වැකිය පවුල් ජීවිතය සම්බන්ධව ඉතා වැදගත් කරුණු කිහිපයක් අපට දන්වා සිටියි. සතුට හා සැනසීම එයින් එක් වැදගත් සාධකයකි. විවාහ ජීවිතය සාර්ථක වීමට නම් එමගින් සතුට හා සැනසීම  අත්විඳින්නට හැකිවිය යුතුයි. සතුට හා සැනසීම විවාහ ජීවිතයේ මුලික පදනමක් වනවිට බිරිඳ හා සැමියා අතර ඉතා සමීප බැඳියාවක් අනිවාර්යයෙන් ම ඇතිවනු ඇත. මෙම අල් කුර්ආන් වැකිය අපට දන්වා සිටින මීළඟ වැදගත් සාධකය නම් ආදරය හා කරුණාවයි. විවාහ ජීවිතයෙන් ලබන සතුට හා සැනසීම මෙන්ම ආදරය හා කරුණාව ද විවාහ ජීවිතයේ සාර්ථකත්වය සඳහා අවශ්‍යය වැදගත් සාධකයන් ය.  බිරිඳ හා සැමියා අතර ආදරය හා කරුණාව නොමැති විට පවුල නමැති නෞකාව ඉදිරියට යාත්‍රා කරවීම ඉතාම දුෂ්කර කාර්යයක් වනු ඇත. සැමියා හා බිරිඳ අතර බැඳියාව ආදරය හා කරුණාව මත පදනම් ව සැකසී ඇති විට දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වඩාත් සාර්ථක අයුරින් ඇති වීමට හේතු සාධක වනු ඇත. අන්‍යෝන්‍ය අවබෝධය නොමැති විට ඇතිවිය හැක්කේ සමථයකට පත්කිරීම ඉතා දුෂ්කර වූ මත ගැටීම් ය.

“මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පවසා සිටියහ, ස්ත්‍රියක් ව විවාහ කර ගැනීම කරුණු හතරක් මත සිදු කෙරේ. ඇගේ ධනය, ඇගේ පවුල් තරාතිරම, ඇගේ රුපාලංකාරය, ඇහේ දහම (දැහැමිකම). මෙයින් ඔබ විවාහ විය යුත්තේ දැහැමි ස්ත්‍රියක් සමගය. එසේ නොවුවහොත් ඔබ අසාර්ථක විය හැක”. (බුහාරි 4802, මුස්ලිම් 1466)

ස්ත්‍රියක් ව විවාහය සඳහා තෝරා ගැනීමේ දී ඇගේ දැහැමිකමට ප්‍රමුඛතාවක් දිය යුතු බව මෙයින් දැක්වේ. අනෙකුත් සාධක කෙරෙහි ද සැළකිල්ලක් දැක්වීම තහනම් නොවන අතර නමුත් සාර්ථක විවාහ ජීවිතයක් සඳහා දැහැමිකම  මගින් ලැබෙන්නේ ඉතා විශාල දායකත්වයකි.

සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමේ දී ….

  1. තමන්ට සුදුසු නොවන අයෙකු බව වැටහේ නම් එම විවාහ කටයුත්ත සඳහා ඔබගේ අනුමැතිය ලබා දීමෙන් වැළකී සිටින්න. එසේ නොවුවහොත් ඔබ විසින්ම අසාර්ථකත්වය සඳහා ආරාධනා කළා වන්නකි සිදුවන්නේ. කිසිවෙකුගේ බලපෑම් මත තීරණ ගන්නවාට වඩා තමන් විසින් ම ඉතා බුද්ධිමත් අයුරින් කරුණු සොයා බලා නිගමනයකට ඒමයි වඩාත් සුදුසු යන්න ගැන සැකයක් නොමැත.
  2. ඉහත නබි වදනින් සඳහන් කොට ඇති පරිදි දැහැමිකම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාව ලබා දී අනෙකුත් කරුණු තුනම හෝ ඉන් කිහිපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම පිළිබඳව සිතා බලන්න.
  • ඉස්ලාමය විවිධත්වය අගය කරයි. අප සැමවිට සමාන සමාජ ආර්ථික පසුබිමකින් යුක්ත වුවන් මෙන්ම එකම වාර්ගිකත්වයෙන් යුක්ත වුවන් පමණක් විවාහ වීම බහුත්වයකින් යුත් උම්මතයක් බිහිවීමට ඇති බාධාවක් වනු ඇත. බහුත්වය හොඳ දෙයක් වුවත් එහිදීත් තමන්ගේ කැමැත්ත කෙරෙහි ද අවධානය යොමු කරන්න.
  1. ඇතැම් විට ඇතැම් අය ආගමිකත්වය පිළිබඳ රඟපෑම් කළ හැක. විවාහයක් තීන්දු කර ගැනීම සඳහා ආගමිකත්වය ඉතා වැදගත් සාධකයක් බව හැමෝම දන්නා කරුණකි. එහෙයින් පෘෂ්ඨය මතු පිටට පෙනෙන දැයින් ඔබ්බට කරුණු සොයා බැලීමක් කරන්නේ නම් වඩාත් යෝග්‍යය වනු ඇත.
  2. විවාහයක් තීන්දු කර ගැනීමේ දී ඔබට අවශ්‍ය හා සුදුසු පරිදි කාලය උපයෝගී කරගන්න. මෙම කාලය තුල හැකි පමණ අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්න. විවාහය පිළිබඳ හදිසි තීරණ බොහෝ විට හානිකර විය හැක.

බිරිඳ හා සැමියාගේ වගකීම් හා අයිතිවාසිකම්

ඉස්ලාමීය පිළිවෙත අනුව පිරිමියෙකු හා ස්ත්‍රියක් අතර සිදුවන විවාහය ආර්ථික හෝ මුල්‍යමය හෝ ශාරීරික අවශ්‍යතාවන් මත පමණක් එක්ව විසීමක් නොවේ. එසේ එක්ව විසීම සඳහා  මහා කාරුණික දෙවිඳුන් විසින් ලබා දෙන ත්‍යාගයක් මෙන්ම එය පිවිතුරු ගිවිසුමකි. එමගින් ප්‍රීතිමත් තෘප්තිකර ජීවිතයක් සකස් කර ගනිමින් තම පරපුර පවත්වාගෙන යෑමට කටයුතු කිරීම  අපේක්ෂිතයි.  මුහම්මද් තුමාණන් වරෙක පවසා සිටියේ ඔබලා අතුරින් යහ මුස්ලිම්වරයා වන්නේ තම පවුලට යහ වූ පුද්ගලයාය.

සැමියාගේ ප්‍රධානතම වගකීම් වන්නේ තම බිරිඳට කරුණාව, ආදරය, ගෞරවයෙන් යුක්තව, හා ඉවසීමෙන් කටයුතු කිරීමයි.

“…… තවද යහ අයුරින් ඔවුන් සමග නුඹලා කටයුතු කරවූ. නුඹලා ඔවුන්ව පිළිකුල් කරන්නේ නම් (නුඹලා ඉවසීමෙන් සිටිවූ. මන්දයත්) නුඹලා යමක් පිළිකුල් කරන්නේ ද එහි අල්ලාහ් වැඩි යහපතක් තැබීමට ද පුළුවන”. (අල් කුර්ආන් 4:19)

බිරිඳගේ පුර්ණ ආර්ථික වගකීම පැවරෙන්නේ සමියාටය. බිරිඳට ආදායම් මාර්ග තිබුනත් ඒවා ඇගේ අනුමැතියෙන් තොරව ගැනීමට සැමියාට අයිතියක් නොමැත.

බිරිඳ විසින් තම සැමියාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි තම පතිවත රැකගෙන කටයුතු කළ යුතු වෙයි. තම සැමියාගේ වස්තුව හා ධනය ආරක්ෂා කිරීමට ද ඇය බැඳී සිටියි.

“….. ඔවුනට (ස්වාමි පුරුෂයින් සඳහා කළ යුතු වගකීම්) තිබෙන්නාක් සේ යහ අයුරින් ඔවුන් සඳහා (ස්වාමි පුරුෂයින්ගෙන් ලැබිය යුතු නිසි අයිතිවාසිකම්) ද ඇත. (එහෙත්) ඔවුනට වඩා පුරුෂයින්ට තරාතිරමක් ඇත. අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්‍රඥාවන්තය”. (අල් කුර්ආන් 2:228)

බිරිඳට ජීවත්වීම පිණිස නවාතැනක් (නිවසක්), ඇඳුම් පැළඳුම්, පෝෂණය, රෝගී අවස්ථාවන් හි උපස්ථානය  මෙන්ම යහපත් අයුරින් සියල්ල ඉටු කිරීම සැමියාගේ වගකීම් වෙයි.

සැමියා විසින් තම බිරිඳ සම්බන්ධව ඉටු කළ යුතු දෑ

  1. මහා කාරුණික අල්ලාහ් විසින් ස්ථාපිත නීතිය අනුව තම බිරිඳ සම්බන්ධව ස්වාමියා විසින් සාධාරණ හා යුක්ති සහගත අයුරින් කටයුතු කළ යුතු වෙයි.
  2. ඇගේ හැඟීම් සම්බන්ධව ගරුකිරීමක් මෙන්ම අවධානයෙන් යුතුව කටයුතු කරන්න. ඇය සමග කාරුණිකව කටයුතු කරන්න.
  • ඇය පිලිබඳ පිළිකුලක් හෝ දෙගිඩියාවකින් හෝ අව්නිශ්චිතභාවයකින් කටයුතු නොකරන්න.
  1. ඇයට හිංසනයක් කිරීමේ චේතනාවෙන් ඇයව රඳවා නොතබාගන්න. ඇගේ සාධාරණ හා යුක්ති සහගත නිදහසට බාධා නොකරන්න.
  2. විවාහ බන්ධනයෙන් ඇය තෘප්තිකර නොවන්නේ නම් හෝ සැමියා ඇයට ආදරය හා දයාවක් නොදක්වන්නේ නම් විවාහ බන්ධනයෙන් නිදහස් වීමට ඇයට අවස්ථාව ලබා දෙන්න.

බිරිඳ විසින් තම සැමියා වෙනුවෙන් ඉටු කළ යුතු දෑ

  1. විවාහයේ කොටස් කාරියක් ලෙසින් පවුලේ සතුට හා සාර්ථකත්වය උදෙසා ඇය විසින් තම දායකත්වය ලබා දිය යුතුය.
  2. තම සැමියාගේ හැඟීම් සම්බන්ධව අවබෝධයෙනඅවධානයෙන් හා පංගු කාරියක් ලෙසින් කටයුතු කළ යුතුය
  • තම සැමියාගේ සතුට හා සැනසීම පිළිබඳ ව ඇය වඩාත් උනන්දුවෙන් කටයුතු කළ යුතුය. තම සැමියා සම්බන්ධයෙන් හිංසාකාරී හෝ පීඩාකාරී අයුරින් කටයුතු නොකළ යුතුය. මේ පිළිබඳ වඩාත් සුදුසු අයුරින් අල් කුර්ආනය කරුණු දක්වා ඇති අයුරු වෙත අපගේ අවධානය යොමු කරමු.
  1. “තවද ඔවුහු කවරහුදයත්, ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ පරම්පරාවෙන් ද අපට නෙත් පිනවීම ලබාදෙනු මැනව! තවද අපට බිය භක්තිකයින් ලෙස මෙහෙයවන්නෙකු බවට පත් කරනු මැනව! යැ’යි පවසන්නන්ය”. (අල් කුර්ආන් 25:74)
  2. ඉහත දක්වන අයුරු වීමට නම් සැමියා හා බිරිඳ එකිනෙකාට ලැදිව, විශ්වසනීයත්වය රැක ගනිමින් හා අවංක අයුරින් කටයුතු කළ යුතු වෙයි. මෙය අන්‍යෝන්‍ය වශයෙන් බලපාන සාධකයන් ය.
  3. තම සැමියාහට පමණක් ඇති අයිතීන් ලෙස සැලකෙන දෑ සම්බන්ධව අන් කිසිදු පිරිමියෙකුට සමීපතාවක් හෝ ප්‍රවේශයක් ලබා ගැනීමට ඉඩ නොහැරිය යුතුය. විශේෂයෙන් ම ලිංගික සම්බන්ධතාව පිළිබඳ ව මෙය ඉතා වැදගත් අයුරින් ම ක්‍රියාත්මක කළ යුතුය. තම සැමියා අකැමැති කිසිවෙකු ව ඇය විසින් තම නිවසට නොකැඳවිය යුතුය.

තව බොහෝ කරුණු මෙයට එකතු කිරීමට ඇතත් ඉහත කරුණු පිළිපදින්නේ නම් සඳහන් නොකළ කරුණු නිරායාසයෙන්ම ඉවත්ව යනු ඇත. පවුල් ජීවිතයක් අසාර්ථක වීමෙන් තමන්ගේ දරුවන් මානසික වශයෙන් පත් වන්නේ ඉතා කම්පනීය තත්ත්වයකටය. අප සිතේ ඇතිවන උද්වේගය අනුව ක්‍රියා නොකොට නිතර ඉවසිලිවන්තව කටයුතු කරන්නේ නම් අපගේ ජීවිත ඉතා අලංකාර වනු නිසැකය.

(ඉහත ලිපියේ බොහෝ තොරතුරු විවිධ මුලාශ්‍රයන්ගෙන් ලබාගත් ඒවාය – සිංහල මාධ්‍යය පාඨකයාට නිවැරදි තොරතුරු ලබා දීම මෙම ලිපියේ අරමුණයි)

By: එම්. අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *