විදේශයෙන් ආනයනය කරන ලද ඉස්ලාමීය පොත්පත් රේගුවෙන් පිටතට ගැනීමේ දී මතුවිය හැකි ගැටලු පිළිබඳව පසුගිය මාස කිහිපයක් තිස්සේ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වූ බව අපි කවුරුත් දනිමු. මක්කම නුවර ජීවත්වන සාදික් හාජියාර් ශ්‍රී ලංකා මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ Zam ෆයිසල් තුමා වෙත යැවූ උතුම් අල් කුර්ආනයේ පිටපත් , එහි පරිවර්තන සහ ඉස්ලාමීය ග්‍රන්ථ රේගුවෙන් පිටතට ගෙන ඒම සම්බන්ධව මතු වූ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ යි. මෙහි දී අවධානය යොමු නොකළ සහ අවධානය යොමු කළ යුතු ක්‍ෂේත්‍රයන් පිළිබඳ විග්‍රහ කිරීමට කැමැත්තෙමි.
ඉස්ලාමීය ග්‍රන්ථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හෝ රැගෙන ඒම සම්බන්ධව අවසර දෙන පනත් කෙටුම්පතක් සම්පාදනය කර තිබේ. මෙම නීතිය මත ඉස්ලාමීය ග්‍රන්ථ පරීක්ෂා කර ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවසර දිය හැකි ද? නොහැකි ද ? යන්න තීරණය කිරීම සඳහා මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ගෞරවනීය ඉස්ලාමීය විද්වතුන් අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට තිබේ. මෙම කණ්ඩායමේ සිටින ඉස්ලාමීය විද්වතුන් විසින් මේ සම්බන්ධ නීති රෙගුලාසි සම්පාදනය කළේ ද ? එසේත් නොමැතිනම් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද්දක් ද ? එසේත් නොමැති නම් සංස්කෘතික දෙපාර්තමේන්තුවට ලබා දුන් විධානයක් මත මෙය ඉටු කරනවා ද යන විස්තරය මම නො දනිමි. මෙම නීතිය සම්පාදනය කොට ඇත්තේ හිටපු අධ්‍යක්ෂ අෂ්රෆ්ගෙ කාලවකවානුවේ යැයි පැවසේ. නමුත් මෙම පනත් කෙටුම්පත් දෙස බලන විට එය සකස් කළේ කවුරුන් ද යන්න සහ කුමක් සඳහා ද යන්න අනුමාන කළ හැකි ය. “ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම” මෙම කමිටුවේ වැදගත් අරමුණක් වන අතර ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම පනත මගින් ඇතැම් පුද්ගලයින්ගේ කෘතීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පත්හි මෙලෙස සඳහන් වේ. ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට හෝ රැගෙන ඒමට තහනම් ඉස්ලාමීය විද්වතුන්ගේ නම් ලැයිස්තුව යන මාතෘකාව යටතේ, ඉස්ලාමීය විද්වතුන් තිස්හත් දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් මෙහි දී ඉදිරිපත් කර ඇත. මෙහි දමිළ භාෂාව හසුරුවන පිරිස හඳුනන විද්වත්හු හතර දෙනකු ද අන්තර්ගත වෙති. මේ පිළිබඳව විස්තර බැලීමේ දී නීතියේ තියෙන අඩුව අපට මනා ලෙස ගම්‍ය වේ.
කොයිම්බතූර් (කෝවේ) අය්යූබ්
මෙහි දහතුන්වන පුද්ගලයා හැටියට කොයිම්බතූර් අය්යූබ් නැමැති ඉස්ලාමීය විද්වතාගේ නම යොදා ඇත. හාස්‍යයට කරුණ නම් මොහු කතෘවරයෙකු නොවන බව යි. මෙතුමන් විසින් ඉස්ලාම් දහම පිළිබඳ එකඳු කෘතියක් හෝ ලිපියක් රචනා වී නොමැත. මෙසේ තිබිය දී මොහුගේ කෘතීන් ලංකාවට රැගෙන ඒම තහනම් වන්නේ කෙසේ ද? මෙවැනි නීති සම්පාදනය කළ අයගේ ස්ථාවරය අපි සිතා බැලිය යුතු නො වේ ද?.
අබ්දුල් බාසිත් අල් බුහාරි
අබ්දුල් බාසිත් අල් බුහාරි නමැති මෙම ඉස්ලාමීය විද්වතාගේ නම දාහතරවන පුද්ගලයා හැටියට සඳහන් කොට තිබේ. ඔහු විසින් ද කිසිදු කෘතියක් රචනා වී නොමැති අතර අප දන්නා අන්දමින් ඔහු විසින් එකදු ලිපියක් හෝ රචනා වී නොමැත. එසේ තිබිය දී ඔහුගේ නම මෙම ලැයිස්තුවට අන්තර්ගත වන්නේ කෙසේ ද? මෙසේ බලන කල ඉස්ලාමීය කෘති සම්බන්ධ දැනුමක් නොමැති පුද්ගලයින් තමන්ගේ පෞද්ගලික ඕනෑ එපා කම් මත මෙම නම් ලැයිස්තු සකස් කර ඇති බව සක්සුදක්සේ පැහැදිලි ය.
මුජිබුර් රහ්මාන්
මුජිබුර් රහ්මාන්ගෙ නම දහසය වැනි පුද්ගලයා හැටියට සඳහන් වී ඇත. අපගේ දැනුමට අනුව ඔහු පරිවර්තනය කර ඇත්තේ හජ් උම්රා සහ සියාරාත් වන්දනාව පිළිබඳ එක් ග්‍රන්ථයක් පමණි. පොතක පරිවර්තකුගේ නම මෙම ලැයිස්තුවට අන්තර්ගත වූයේ කෙසේ ද? මෙහි දෙමළ ලේඛකයින් හතර දෙනෙකුගේ නම් සඳහන් වී තිබුණ ද ඔවුන්ගෙන් පී.ජේ නමැති ඉස්ලාමීය විද්වතා පමණි සැබෑ කතුවරයකු වන්නේ. මෙසේ තිබිය දී මෙම පනත් කෙටුම්පතේ සඳහන් වන කෘතීන් සහ කතුවරුන් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති ව පුද්ගලික වෛරය මත මෙය සම්පාදනය කොට ඇති බව මොනවට ගම්‍ය වේ.
මෙම කමිටුවේ අරමුණ වනුයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම නම්, එලෙස ජාතික ආරක්ෂාවට තර්ජනය විය හැකි කෘතින් තහනම් කිරීමට මොවුනට බලය ලබා දී තිබුණේ නම්, මොවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ තම චින්තනයට විරුද්ධ කෘති තහනම් කිරීම සඳහා පමණි. “ජාතිය යනු අප පමණි. අප මිස අන් කිසිවෙකුත් එයට ඇතුළත් නොවිය යුතුය” යන පටු චින්තනය කෙතරම් නිවැරදි ද යන්න ගැන සිතා බැලීමට අදාළ පාර්ශවය බැඳී සිටී. තම චින්තනයට වඩා වෙනස් චින්තනයක් දරන්නන්ගේ අදහස් යටපත් කිරීමේ මානසිකත්වයෙන් ක්‍රියා කරන මුස්ලිම්වරුන් අතර සිටින මෙවැනි පුද්ගලයින් කෙසේ නම් ජාතික සමගිය සහ සහජීවනය පිළිබඳ සලකයි ද? තමන්ට බලය ඇත්නම් මුස්ලිම් නොවන අනෙකුත් ආගමික කටයුතුවල දී ද ඔවුන් හැසිරෙන්නේ කෙසේ ද යන්න මෙමගින් අපට මනාවට ගම්‍ය නො වේ ද?
මීලඟට,එක ම පුද්ගලයෙකුගේ නම දෙවතාවක් සඳහන් කොට තිබේ.එනම් සාකිර් නායක්ගෙ නම විසිහයවන පුද්ගලයා හැටියටත් වෛද්‍ය සාකිර් නායක්ව තිස් හත්වන පුද්ගලයා හැටියටත් සඳහන් කොට තිබීම යි. මෙමගින් පෙනී යන්නේ මෙම නම් ලැයිස්තුව විධිමත් පර්යේෂණයකින් තොරව සකස් කර ඇති බව යි. මෙම තහනම් කතුවරුන්ගේ නම් ලැයිස්තුවේ මීළඟට සවුදි අරාබියේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වන අෂ් ශේක් බින්බාස්තුමාගෙ නම දහවන ස්ථානයේ සහ මුහම්මද් බින් සාලිහ් අල් උසෛමින් තුමාණන්ගෙ නම හත්වන ස්ථානයේ සඳහන් වී ඇත. ඔවුන් දෙදෙනා ම අන්තවාදයට හා ත්‍රස්තවාදයට එරෙහිව ආගමික මත ඉදිරිපත් කළ ඉස්ලාමීය ශ්‍රේෂ්ඨ විද්වත්හු වෙති. මෙලෙස රටක උසස් සහ ශ්‍රේෂ්ඨ ආගමික විද්වතුන් ලෙස සලකන සත්පුරුෂයින්ව සිය රටේ ආරක්‍ෂාවට තර්ජනයක් ලෙස ප්‍රකාශ කිරීම දෙරට අතර සම්බන්ධතාවයට විරසකයක් ඇති කළ හැකි සංකල්පයක් බව ජාතිය ගැන සිතන මෙම කණ්ඩායමට නො වැටහෙන්නේ ද?. මෙලෙස ජාතියේ යහපත ගැන නොසිතන, තමන් නොදරන චින්තනය තමන්ගේ චින්තනයට වඩා ශක්තිමත් නොවිය යුතුය යන්නෙන් ආත්මාර්ථකාමීව කටයුතු කරන යම් නිශ්චිත කණ්ඩායමක තීරණයක් බව මෙය සැලකිය හැකි ය. මෙම නාම ලැයිස්තුවේ ඉමාම් ඉබ්නුල් කෛයූම් තුමා වැනි අතීතයේ ජීවත් වූ විද්වතුන්ගේ නම් සහ නූතන විද්වතුන් බොහෝ දෙනෙකුගේ නම් අන්තර්ගත වේ.
කෙටියෙන් පවසන්නේ නම්, නූතන ඉස්ලාමීය විද්වතුන් කිසිවෙකුගෙත් අදහස් රට තුළට ඇතුළු නොවිය යුතුය යන දෘෂ්ටිකෝණයෙන් මෙය තීරණය කර ඇති බව ය.
තහනම් කරන ලද මද්හබ්(ඉස්ලාමීය නිකායන්) වලට අයත් කෘතීන්
මීළඟට අප සිතා බැලිය යුතු තවත් ක්ෂේත්‍රයක් සඳහන් කළ හැකි ය.එනම්,ඇතැම් ඉස්ලාමීය නිකායවලට අයත් කෘති ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට මෙහි පනත් කෙටුම්පත් සම්පාදනය කොට තිබේ. ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තහනම් කළ ග්‍රන්ථ ලැයිස්තුවේ හම්බලි සහ මාලිකි නිකායන්වලට අයත් කෘතීන් ද අන්තර්ගත වේ. සාමාන්‍යයෙන් නිකායන් අනුගමනය කළ යුතු යැයි පවසන විද්වතුන්ගේ මතය වන්නේ නිකායන් හතර ම පිළිගත යුතු බව ය. එබැවින් මෙම නීති කෙටුම්පත් කෙරෙහි අපක්ෂපාතීව අවධානය යොමු කිරීමෙන් එළඹිය හැකි නිගමනය වන්නේ මෙම නීති සම්පාදනය කොට ඇත්තේ ෂාෆි මද්හබය ( නිකාය) සහ අෂ් අරිය්යා (චින්තනය) ආරක්ෂා කිරීමේ අරමුණින් බවය.
වහාබි සහ සලාෆි වෛරය
මීළඟට මෙම පනතේ එක් අරමුණක් වනුයේ වහාබි සහ සලාෆි අන්තවාදී මතවාදය රට තුළට නොපැමිණීම සහතික කිරීම යි. අන්තවාදී මතය කුමන ප්‍රතිපත්ති මුහුණුවරකින් පැමිණියත් එය තහනම් කළ යුතු බව පිළිබඳ අපගේ කිසිදු විරුද්ධාතාවයක් නොමැත. මෙයට කිසිවෙකුටත් විරුද්ධ විය ද නො හැකිය.නමුත් වහාබි සහ සලාෆි යන නමින් අනිසි බියක් ඇති කළේ මන්ද?එසේ නම් මුල්ලා උමර් වැනි හනෆි සලාෆි නොවන ත්‍රස්තවාදී මතවාදයකට රටට ඇතුළු විය හැකි ද? වහාබි යන්නෙහි අර්ථකතනය කුමක් ද? තමන් අකමැති ඕනෑ ම කර්තෘවරයකුගේ කෘතියක් සලාෆි සහ වහාබි ගණයට ඇතුළත් කිරීමට මෙම කමිටුව සමත් වී තිබේ.
මෙලෙස තම මතවාදය පෙරදැරිකරගෙන වහාබි සහ සලාෆි ග්‍රන්ථ තහනම් කළ අය, ඉස්ලාමීය නීති කලාවට අනුව හම්බලි සහ මාලිකි නිකායට අයත් කෘතීන් තහනම් කළ අය, ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ව්‍යාපාර, සංවිධාන සහ ජමියතුල් උලමා සංවිධානයට අනුව මතවාදීමය වශයෙන් ඉස්ලාම් දහමෙන් බැහැර ගිය සංවිධාන යැයි සැලකෙන කිසිම කණ්ඩායමක් පිළිබඳ කිසිදු තහනමක් හෝ නියෝගයක් ඉදිරිපත් කර නොමැත. නිදසුනක් වශයෙන් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සියලු දෙනා දන්නා පරිදි ඉස්ලාම් දහමින් බැහැර වූ කණ්ඩායමක් ලෙස සලකන කාදියානිවරුන්ගේ කෘති තහනම පිළිබඳව හෝ අහ්ලුස් සුන්නාවට (උතුම් කුරානය සහ හදීස් අනුගමනය කරන උදවිය) පටහැනිව ක්‍රියාකරන ෂියාවරුන්ගේ කෘති තහනම පිළිබඳව හෝ ඉස්ලාම් දහම හැරගිය බවට සමස්ථ ලංකා විද්වතුන්ගේ සංගමය විසින් ම විනිශ්චය දෙනු ලැබූ (වහ්දතුල් වුජූද්) කණ්ඩායම පිළිබඳව හෝ කිසිදු තහනම් තොරතුරක් සඳහන් කර නොමැත. ඉහත සඳහන් කළ සංවිධානවලට අයත් කෘති තහනම් කිරීම රටේ ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වේ යැයි අපි නො පවසන්නෙමු. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් යම් තහනමක් කළ යුතු යැයි සලකන්නේ නම් මේවා පිළිබඳව ද සැලකිය යුතු නො වේ ද?. නමුත් අහ්ලූස් සුන්නා (උතුම් අල් කුරානය සහ හදීස් අනුගමනය කරන උදවිය)වෙහි මූලික සිද්ධාන්ත වලට පටහැනිව පවතින ප්‍රතිපත්ති ගැන ඔවුනට චකිතයක් නැත. ඔවුන්ගේ අරමුණ වනුයේ වහාබි ප්‍රතිපත්තියේ සිටින අය දියුණු නොවිය යුතු ය යන්න යි.මන්ද ඔවුන්ගේ පිබිදීම අපගේ පිරිහීමට හේතුවක් වන නිසාවෙනි.
උතුම් අල් කුරානය අවදානමක් වන්නේ කෙසේ ද?
මීළඟට, පනත් කෙටුම්පත්හි සඳහන් වන ආකාරයට ඉස්ලාමීය කෘති ශ්‍රේණිගත කර කොටස් දෙකකට බෙදා වෙන් කොට තිබේ. ඉන් එක් කොටසක් අඩු අවදානම් සහිත කොටස හැටියටත් අනෙක් කොටස ඉහළ අවදානමක් සහිත කොටස හැටියටත් වෙන් කොට ඇත.
මෙහි අඩු අවදානම් කොටසට අරාබි භාෂාවෙන් පමණක් මුද්‍රිත මුස්ලිම්වරුන් විසින් සමුදීරණය කරනු ලබන උතුම් අල් කුරානය ශ්‍රේණිගත කොට තිබේ. උතුම් අල් කුරානයේ පරිවර්තන ඉහළ අවදානමක් ඇති ශ්‍රේණිගනයට අන්තර්ගත කොට තිබේ. මෙම පනතේ අවදානමක් නැති වගන්තියට කිසිදු ඉස්ලාමීය කෘතියක් ඇතුළත් නො වේ. මෙම විද්වතුන් කණ්ඩායම උතුම් අල් කුරානය අඩු අවදානමක් සහිත ග්‍රන්ථයක් බව අර්ථ දැක්වීම පිළිගත්තේ කෙසේ ද යන්න පුදුමයට කරුණකි. මෙම නීති රීතිවලට අනුව ඔවුන් එකඟ නොවී සිටීම නොවේ ද විය යුත්තේ? එය යි අපගේ ස්ථාවරය. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ඇතමෙක් මෙලෙස නියැලෙන්නේ සියලු ඉස්ලාමීය පොත්පත් නොගෙන ඒමට වඩා අඩුම තරමින් ඉස්ලාමීය පොත්පත් කිහිපයක් හෝ ගෙන ඒමට උත්සාහ කිරීමේ යහපත් චේතනාවෙන් බව පෙන්වා දුන්හ.
මීළඟට උතුම් අල් කුරානයේ පරිවර්තනය ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කොන්දේසි කිහිපයක් පනවා ඇත. එනම් උතුම් කුරානයේ සඳහන් ජිහාද් හා සම්බන්ධ පදවලට පාද සටහන් යෙදීම ය. නියතවශයෙන් ම එවැනි පාද සටහන් යෙදීම ඉතා අගනා ක්‍රියාවකි. කෙසේ වෙතත් එලෙස සටහන් නොකළ අල් කුර්ආන් පරිවර්තන ජාතියේ ආරක්‍ෂාවට තර්ජනයක් යැයි දරන අදහස වැරදි ය. උතුම් අල් කුරානයේ පරිවර්තනය දෙස බලා කිසිවෙකුත් වැරදි නිගමනයට එළඹුනේ නැත. ඇතැම් ත්‍රස්තවාදීන් බිහිවූයේ අල් කුරානය වැරදි ලෙස අර්ථකථනය කිරීම නිසාවෙනි. අරාබි රටවල මිනිසුන් අරාබි අල් කුරානය කිසිදු අර්තකථනයකින් තොරව සමුදීරණය කරති. ඔවුන්ගෙන් කිසිවෙකුත් මුස්ලිම් නොවන අයව ඝාතනය කරන්න පෙළඹුණේ නැත. එසේ නම් උතුම් අල් කුරානයේ කිසිදු ගැටලුවක් නැත.ගැටලුවක් පැන නගින්නේ උතුම් අල් කුරානයට ලබා දෙන වැරදි අර්ථකථනයන් තුළ ය. කෙසේ වෙතත් උතුම් අල් කුරානය තවදුරටත් අර්ථ නිරූපණය කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් පුළුල් විය යුතු ය.
එහි සඳහන් වන තවත් කොන්දේසියක් නම්, අල් කුර්ආන් පරිවර්තන වල සඳහන් වන මුස්ලිම් චරිත සම්බන්ධයෙන් ආචාරශීලී වචන ප්‍රයෝග භාවිතා කිරීම පිළිබඳව යි. මා දන්නා පරිදි මෙම කොන්දේසිය අෂ් අරිය්යා චින්තනයට විරුද්ධව පරිවර්තනය කරනු ලැබූ අල් කුර්ආන් පරිවර්තන තහනම් කිරීම සඳහා පනවන ලද කොන්දේසියක් බව මොනවට පැහැදිලිය. අකීදා (මූලික ප්‍රතිපත්ති සංකල්ප) සම්බන්ධ කෘති කොටසේ අෂ් අරිය්යා සහ මාතුරූදිය්යා චින්තනයට අයත් නොවන කෘතීන් පර්යේෂණ වශයෙන් මිස අනුමැතිය ලබා නොදිය යුතුය යන නීතිය මෙය තවදුරටත් තහවුරු කරයි. මෙම නීතිය දෙස බලන කල යම් පිරිසක් පිළිබඳ වෛරය පිරිමහාගැනීමට තවත් පිරිසක් සූදානම් කර ඇති බවට හැඟීමක් ඇති වේ. මෙම නීති රෙගුලාසි සම්පාදනය කළේ කවුරුන් ද යන්න පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අපි නොදන්නා නමුත් එය අංග සම්පූර්ණ නීතිමය ලියවිල්ලක් නොවන බව අපට මෙමගින් තේරුම් ගත හැකි ය.
මෙයට විසඳුම කුමක් ද?
මේ සඳහා අපට කළ හැකි දේ පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. මෙම කෘතින් අපගේ ජනතාව අතර සංසරණය වේ. එසේත් නොමැති නම් ලංකීය ඉස්ලාමීය පොත් සාප්පුවලින් ද මිලදී ගැනීමට හැකිවේ. තහනම් කරන ලද කතුවරුන්ගේ කෘතීන් අන්තර්ජාලයෙන් බාගත කිරීමේ අවස්ථා ද තිබේ යනුවෙන් සිතා මේ පිළිබඳව තැකීමට අවශ්‍ය නැතැයි අපිට සිතිය හැකි ය. නමුත් අනාගතයේ දී ඇතැම් නූගතුන් විසින් යම් වැරදි ක්‍රියාවක නියැලුනේ නම් මද්‍රරසා පාසල් වල සහ ඉස්ලාමීය පුස්තකාලවල තහනම් පුද්ගලයින්ගේ පොත් ඇති බව පවසමින් මුස්ලිම් සමාජයට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. එබැවින් මේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ප්‍රථමයෙන් මේ පිළිබඳව අපි ඉස්ලාමීය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු ය. පසුව ඔවුන් මෙය බුද්ධ ශාසන අමාත්‍යාංශයටත් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයටත් වාර්තා කළ යුතු ය. මෙම නීති රෙගුලාසි තනි පාර්ශවයක පුද්ගලික වාසි තකා සම්පාදනය කරන ලද්දකි. මෙහි දී ජාතියේ යහපත අංග සම්පූර්ණයෙන් ම අපේක්‍ෂා නොකරන බව ද තේරුම් ගත යුතු ය. මෙයට සාමකාමී විසඳුමක් නොලැබුණේ නම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ පනත යටතේ නිත්‍යානුකූල තීන්දුවක් ද බලාපොරොත්තු විය හැකි ය.
මේ සියල්ල ඉටුකරන්නේ කවුද?
ශ්‍රී ලංකා තව්හීද් ව්‍යාපාරය අතර නිසි පරිපාලන ව්‍යුහයක් නොමැතිකම නිසා කිසිවෙකුත් මෙවැනි මහජන ප්‍රශ්න තම ගැටලුවක් ලෙස සලකන්නේ නැත. සෑම ආයතනයක් ම සෑම පරිපාලනයක් ම තමන්ට අවැසි ප්‍රමුඛතා න්‍යාය පත්‍රයක් සමඟ ක්‍රියා කරයි. කවුරුන් හෝ මහජන කමිටුවක් පත්කර ඔවුන් හරහා මහජන ප්‍රශ්නවලට ප්‍රවේශ විය හැකි යැයි සිතන්නේ නම්,මේ මහජන කමිටු අපව අභිබවා යනු ඇතැයි ඒ ඒ පාලන ආයතන අවබෝධ කරගන්නේය. එබැවින් මෙවැනි පොදු කටයුතු සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කරන තනතුරක් තව්හීද් ව්‍යාපාර කවය තුළ නොපැවතීම ආරෝග්‍ය සම්පන්න නො වේ. අපි අපගේ ප්‍රශ්නවලට මුහුණ නොදී බලධාරීන්ට දොස් පැවරීම ද නිවැරදි නො වේ. එබැවින් තව්හීද් ව්‍යාපාරය හා සම්බන්ධ සංවිධාන පොදු ප්‍රශ්නවලට ප්‍රවේශ වීමට නිසි සැලැස්මක් සකස් කිරීම යුගයේ මූලික යුතුකමක් මෙන් ම අවශ්‍යතාවයක් බව ද අප වටහා ගත යුතු ය.
තව්හීද් ව්‍යාපාර හා සම්බන්ධ සංවිධාන මේ ගැන අවධානය යොමු කරයි ද?
තහනම් කරන ලද ඉස්ලාමීය ලේඛකයින්ගේ විස්තර
බොහෝ සහෝදරයින්ගේ ඉල්ලීමට අනුව පනත් කෙටුම්පත්හි සඳහන් ආනයනය කළ නොහැකි සහ රැගෙන ඒමට තහනම් කරන ලද කෘතිවලට අයත් කතෘවරුන් පිළිබඳව තොරතුරු පහත සඳහන් වේ.
1.තකියුද්දීන් ඉබ්නු තෛමියා
2.ඉබ්නුල් කෛයූම් අල් ජව්සි
3.මුහම්මද් බින් අබ්දුල් වහ්හාබ්
4.අබ්දුල්ලාහ් බින් මුහම්මද් බින් අබ්දුල් වහ්හාබ්
5.සුලෛමාන් බින් අබ්දුල්ලාහ් බින් මුහම්මද් බින් අබ්දුල් වහ්හාබි.
6. අබ්දුර් රහ්මාන් බින් හසන් ආලූ ෂේක්
7. මුහම්මද් බින් අල් උසෛමින්
8. මුහම්මද් බින් ඉබ්‍රාහිම් ආලු ෂේක්
9. නාසිරුද්දීන් අල්බානි
10. අබ්දුල් අසීස් බින් බාස්
11. යූසුෆ් අල් කර්ලාවි
12. සල්මාන් අල් අවුදා
13. කොයිම්බතූර් අය්යූබ්
14. අබ්දුල් බාසිත් අල් බුහාරි
15. පී ජෛනුල් ආබ්දීන් ( pj)
16. මුජිබුර් රහ්මාන්
17. අයිමන් අල්ලවාහිරි
18. නු:මාන් අලි කාන්
19. අබූ මුහම්මද් අල් මක්දිසි
20. අබූ මුහම්මද් අල් ජුලනි
21. අබූ බක්කර් ෂේකෝ
22. අහ්මද් උමර්
23. බෂීර් අබූ බක්කර්
24. මුෆ්ති ඉස්මායිල් බින් මූසා මෙන්ක්
25. ආචාර්ය බිලාල් ෆිලිෆ්ස්
26. සාකිර් නායක්
27. හස්ලීන් බහරින්
28. ආයිල් කර්නි
29. ආචාර්ය උලිල් අෆ්සර් අබ්දුල්ලාහ්
30. අබ්දුල්ලා ෆා සෆර්
31. තාරික් රමලාන්
32. අබ්දුල් ජබ්බාර් නාසිර් කබරා
33. සෆ්වා අල් හිජාසි
34. මුහම්මද් අල් අරීෆි
35. කමාල් අල් මක්කි
36. සල්මාන් රුෂ්දි
37. වෛද්‍ය සාකිර් නායක්
මම මෙය පළ කළේ තොරතුරු දැන ගැනීම සඳහා පමණි. මා මෙහි (රහිමහුල්ලාහ්) යනුවෙන් හෝ ඉමාම් යන භාෂා ප්‍රයෝග භාවිතා නොකරීමට හේතුව, මෙම නම් සමඟ එවැනි ගෞරවාන්විත භාෂා ප්‍රයෝග මෙහි සඳහන් කර නොමැති නිසාවෙන් බව කරුණාවෙන් සලකන්න.
(එස්.එච්.එම් ඉස්මාඊල් සලෆි)
සිංහලෙන්, කැළණිය විශ්වවිද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ ශ්‍රාස්ත්‍රපති උපාධි අපේක්ෂක
අෂ් ශේක් නාසික් ෆාරුක් මදනි.