වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන්

සමාජ ස්ථරයන් හි වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් ඇති බව යථාර්ථයක් ලෙස පිළිගන්නේ නම් පමණක් සමාජ සංහිඳියාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මතුවේ. මෙම වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් සමාජ ඝර්ෂණයන් ලෙසට පරිවර්තනය වීම වළකා අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගා සමාජ විවිධත්වය තුළ සතුටින් සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් සැමට ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් ගොඩනැගීම වාර්ගික ආගමික සංහිඳියාවේ මූලික අරමුණ ලෙස දකින්නෙමු. පළමුව, ඉස්ලාමීය දැක්ම තුළ සමාජ ස්ථරයන් හි වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් යථාර්ථයක් බව පිළිගන්නා ඉගැන්වීම් කුමක් ද යන්න විමසා බළමු.

“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.”  (අල් කුර්ආන් 49:13)

ඉහත අල් කුර්ආන් වැකිය අපට මනුෂ්‍ය වර්ගයාගේ ඒකීයත්වය හා සමාජ ගත වෙනස්කම් කිහිපයක් දෙවිඳුන් අනුමත කළ යථාර්ථයන් බව දන්වා සිටී. මුළුමහත් මනුෂ්‍ය වර්ගයාම එක මවකගෙන් එක පියෙකුගෙන් පැවතෙන්නන් බව සඳහන් කොට තිබීමෙන් වෙනස්කම් යථාර්ථයක් වුව ද අප සැවොම එක පවුලක සාමාජිකයින් බව මතක් කර දෙයි. ජාතීන් හා ගෝත්‍රිකයින් ලෙස අප වෙන් කොට ඇත්තේ එකිනෙකා හඳුනා ගැනීම පිණිස මිස එකිනෙකා අතර උස් පහත් භේදයක් හෝ එකිනෙකා පිළිකුල් කිරීමට හෝ එකිනෙකාගෙන් දුරස්ථ වීම සඳහා හෝ නොවේ. මෙම අල් කුර්ආන් වැකියෙන් අවසාන වශයෙන් එකීයත්වයෙන් ආරම්භ වූ මිනිස් පරපුර නැවත එම ඒකීයත්වය කරා ගෙනයාමේ මාවත දන්වා සිටී. බියබැතිමත් කම තුළින් ඇති කර ගන්නාවූ සාරධර්ම සපිරි සදාචාරාත්මක ජීවිත පදනමකින් යුක්ත ව  සියලු වෙනස්කම් ඉවතලා ජාත්‍යන්තර ඒකීය ප්‍රජාවක් බවට පත් වීමේ  මඟ ඉස්ලාමය පෙන්වා දෙයි. මෙම ප්‍රජාව ‘උම්මතය’ නමින් හැඳින් වේ. මෙම අල් කුර්ආන් වැකියේ අර්ථය සනාථ කරන මුහම්මද් තුමාණන් ගේ ප්‍රකාශනයක් ද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361)

ජාතිවාදය හා වර්ණවාදය සහමුලින් ම ඉහත ඉස්ලාමීය මුලාශ්‍ර ප්‍රතික්ෂේප කරන අතර පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකියෙන් මිනිස් සමාජයේ ඇති විවිධ භාෂාවන් දෙවිඳුන් ගේ සාධකයක් ලෙස දන්වා සිටී. පනහේ දශකයේ ඇති වූ භාෂා ගැටුම මිනිස්කමට නොහොබිනා ක්‍රියාවක් ලෙස මෙමගින් අවබෝධ කරගැනීමට පහසුවනු ඇත.

“අහස් ද මිහිතලය ද නිර්මාණය කර ඇත්තේද, නුඹගේ භාෂාවන්හි ද වර්ණයන්හි ද විවිධත්වය ඔහුගේ (අල්ලාහ්ගේ) සාධකයන්ගෙන්ය. දැනුමැත්තන්ට නියත වශයෙන් ම එහි සාධකයන් ඇත.” (අල් කුර්ආන් 30:22)

ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේ දී සමාජ වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගනී. එහෙයින් මෙම වෙනස්කම් මැද සංහිඳියාව ඇති කිරීමට ඉස්ලාමය ඉදිරිපත් කරන ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරමු. සංහිඳියාව ස්ටාපිත කිරීමේ දී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් කෙරෙහි අවධානය යොමු කරමු.

තම පිළිවෙත පමණක් සත්‍ය යැයි පිළිගැනීම

තම පිළිවෙත පමණක් සත්‍යයැයි විශ්වාස කිරීමට, පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට කෙනෙකුට අයිතියක් ඇත යන්න ඉස්ලාමයේ මතයයි. එය එසේ වුවද එම සමාජ අවකාශය තුළ ම අනෙකුත් සංස්කෘතීන්, සම්ප්‍රදායන්, පිළිවෙත් හා විශ්වාසයන්ට ද කිසිදු ගැටුමකින් හෝ කිසිවෙකුගේ අයිතීන් උල්ලංඝනය කිරීමකින් තොරව එවැනිම මතයක් දැරීමේ හා ක්‍රියාත්මක වීමේ අයිතියක් ඇති බව පිළිගැනීම වාර්ගික – ආගමික බහුවිධතාවයේ (pluralism) යථාර්ථය බවත් සමාජ සංහිඳියාවේ නොබිඳිය හැකි පදනම බවත් ඉස්ලාමය අර්ථ දක්වයි. මෙය ලෝකව්‍යාප්ත යථාර්ථයකි.

ආගමික, වාර්ගික හා සංස්කෘතික බහුවිධතාව ලොව සැමතැන දැකිය හැකි යථාර්ථයක්  බවට පත් ව ඇත. එහෙයින් සමාජ සංහිඳියාව ඇති කිරීමට නම් බහුවිධතාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙයි.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29)

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10:41)

“තවද අපි ආදම්ගේ දරුවන් ව ගෞරවනීයත්වයට පත් කළෙමු.” (17:70)

ඉහත අල් කුර්ආන් වැකි සියල්ල මුස්ලිම්වරයෙකුට තම පිළිවෙත සත්‍ය යැයි පිළිගැනීමට ඇති අයිතිය හා සම අයිතියම් ඉස්ලාමිකයින් නොවන්නන්ට ද ඇති බව පිළිගනී. ඉස්ලාමිකයින් ව පමණක් ගෞරවනීයත්වයට පත් කොට ඇති බව සඳහන් නොකොට ආදම්ගේ දරුවන් සැවොම ගෞරවනීයත්වයට පත් කළෙමු යන්නෙන් අදහස් කොට ඇත්තේ මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවමය.

බහුවිධතාව හා අන්තර් ක්‍රියාකාරකම්

බහුවිධතාව සමාජ යථාර්ථයක් බව පිළිගන්නා ඉස්ලාමීය ඉගැන්වීම් තම පිරිස පොදු සමාජ ප්‍රවාහයෙන්  දුරස්ථ කොට වෙනම කණ්ඩායමක් ලෙස ජීවත්වීමට දිරිගන්වන්නේ නැත. ඉස්ලාමීය අනන්‍යතාව ආරක්ෂා කර ගෙන තම පිළිවෙත් නිසි අයුරු ඉටුකරමින් අනෙකුත් සියලු සමාජ ස්ථරයන් සමග අන්තර් ක්‍රියාකාරකම් හි යෙදෙන්නට ඉස්ලාමය දිරිගන්වයි.

බහුවිධතාව යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. පවතින සමාජ විවිධත්වය තුළ අර්ථවත් හා උද්‍යෝගිමත් අයුරින් අන්තර් ක්‍රියාකාරකම් හි යෙදීම බහුවිධතාවයේ ප්‍රධාන ලක්ෂණයකි. විවිධත්වය යනුවෙන් බොහෝ විට අදහස් කෙරෙන්නේ කිසිදු අන්තර් හෝ අන්තඃ ක්‍රියාකාරකමකින් තොරවූ ආගමික හෝ වාර්ගික පදනමකින් යුත් සමාජ ස්ථරයන්හි පැවැත්මය. වර්තමාන සමාජ සන්දර්භය තුළ ආගමික හා වාර්ගික විවිධත්වය නිරායාසයෙන් ම පවතින්නකි. නමුත් බහුවිධතාව අප විසින් ප්‍රයත්නයක යෙදීමෙන් යථාර්ථයක් බවට පත්කර ගන්නකි. සැබෑ අන්තර් ක්‍රියාකාරකමකින් හා සම්බන්ධතාවකින් තොර විවිධත්වය පමණක් පවතින අවස්ථාවන් හි සමාජ ඝර්ෂණයන් ඇතිවීමේ ප්‍රවණතාවන් අධික විය හැක. මෙවන් තත්ත්වයක් ඉස්ලාමය අනුමත නොකරයි.

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ”.  (අල් කුර්ආන් 29 – 46)

විශ්වයේ අධිපති දෙවිඳුන් තමන් යැයි ජනයා නොමග යවමින් සිටි පාරාවෝ වැන්නෙකු සමග ද අන්තර් ක්‍රියාකාරකම් හි යෙදිය යුතු පිළිවෙත මුසා (මෝසෙස්) හා හාරුන් ධර්ම දුතයන් වෙත දන්වා සිටි අයුරු පහත අල් කුර්ආන් වැකියෙන් පැහැදිළි වෙයි.

“එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරවූ”. (අල් කුර්ආන් 20 : 44)

ආගමික බැඳියාවන් ඇති සමාජයක ආගමික විශ්වාසය ඉතා සංවේදී සාධකයකි. ඉස්ලාමය ආගමික ප්‍රචාරණය අනුමත කරන අතර තමන් දේශනා කරන හෝ පහදා දෙන කරුණු අන් අය විසින් පිළි ගත යුතු යැයි බලපෑම් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මෙ මගින් චින්තන නිදහස සහතික කිරීමක් ඉස්ලාමීය ඉගැන්වීම් මගින් ඉදිරිපත් කරයි. ඉස්ලාමය පිළිබඳ කරුණු පහදා දීමේදී ඉතා ගෞරවනීය අයුරින් අන් අයගේ සිත් නොරිදවා  සුහදත්වය පදනම් වූ සංවාදයන් හි නියැළෙන ලෙස අල් කුර්ආනය උපදෙස් ලබා දෙයි.

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ. තවද (ගෞරවාන්චිත හා) අලංකාර ආකාරයෙන් ඔවුන් සමග තර්ක කරවූ.” (අල් කුර්ආන් 16 – 125)

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2:256)

ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. දහම පිළිබඳ ව ප්‍රචාරණ කටයුතු වල නියැළීම අල් කුර්ආනය අනුමත කරන අතර එය අන් අය ව පෙළීමකට ලක් නොකොට කළ යුතු කාර්යයක් වෙයි.

ඉස්ලාමය අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත කරන්නේ ද?

ඉස්ලාමීය ඉගැන්වීම් මිනිසාගේ ජාතික, ගෝත්‍රික, භාෂාමය හා ශාරීරික වර්ණමය විවිධත්වයන් මෙන්ම ආගමික බහුත්වය ද යථාර්ථයක් ලෙස පිළිගනී. නමුත් තම වාර්ගිකත්වය හෝ අනෙකුත් සාධකයක් හෝ ශ්‍රේෂ්ඨය යන මතයේ පිහිටා අන් වාර්ගිකයින් ව මෙන්ම ආගමිකයින් ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි.

කුලවාදය, වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කරවන මත වාදයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කිසිසේත්ම අන්තර්ගත වී නොමැත. මුස්ලිම් යනු වාර්ගික අනන්‍යතාවක් නොවේ. එය ආගමික අනන්‍යතාවක් පමණකි. මේ අනුව යුක්තිය, සාධාරණත්වය, නීති ගරුක බව මිනිසත්කම හා දේව භක්තිය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් හැඳින්වෙන විශ්ව මිනිස් සහෝදරත්වයේ එක් සාමාජිකයෙකු බවට සෑම ඉස්ලාමිකයෙකුම පත් වෙයි. එහෙයින් ඉස්ලාමිකයෙකුට වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක කොටස් කරුවෙකු විය නොහැක. වාර්ගිකත්වය යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගත්තත් ඉස්ලාමිකයින් අතරේ වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක් හෝ භේදයක් තිබිය නොහැක.

ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි.

මුහම්මද් තුමාණන් දේශනා කර ඇත්තේ තම අසල්වැසියා කුසගින්නේ සිටිය දී අප කුස පිරෙන්නට අනුභව නොකළ යුතු බවය. අසල්වැසියා මුස්ලිම් ද මුස්ලිම් නොවන්නෙක් ද යන්න වැදගත් කරුණක් නොවේ.

තවත් වරෙක මෘත දේහයක් රැගෙන යන පිරිසක් දුටු විට මුහම්මද් තුමාණන්  වහාම එයට ගෞරව පිණිස නැගී සිටි විට අසල සිටි මිතුරෙකු පවසා සිටියේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් බවයි. මෙයින් එම මිතුරා අදහස් කළේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් නිසා නැගී සිටීමට අවශ්‍ය නොවන බවයි. නමුත් මුහම්මද් තුමාණන් වහාම පවසා සිටියේ ඔහුත් මනුෂ්‍යයෙකු බවයි.

නීතිය යුක්තිය හා සාධාරණය

සාමයික සහජීවනය පිළිබඳ ව ඇති වැදගත් ඉස්ලාමීය ප්‍රතිපත්තියක් වන්නේ නීතිය යුක්තිය හා සාධාරණය සැමට සමසේ ඉටු වන සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමය.

අල් කුර්ආනය නීතිය යුක්තිය හා සාධාරණය පිළිබඳව මනුෂ්‍යය වර්ගයාට ඉදිරිපත් කළ ඉගැන්වීම් කුමක් ද කියා විමසා බලමු.

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16:90)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5 : 8)

“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)

“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60 : 8)

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 33)

සාමයික සහජීවනය සඳහා වූ අලංකාර පුර්වාදර්ශයන්  

වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට  දෙශාන්තරණය කිරීමට සිදුවිය. මදීනා නගරය මක්කාවේ සිට කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් තිස්සේ ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්‍රදේශයකි. මුහම්මද් නබි තුමාණන් මදීනා නගරයට ප්‍රවිෂ්ට වීමෙන් පසු වහාම කළ ක්‍රියාවන් කිහිපය අතුරින් වැදගත් ක්‍රියාවක් වුයේ දශක කිහිපයක් තිස්සේ විනාශකාරී ගෝත්‍රික ගැටුමකට මැදිහත් වී සිටි ‘අව්ස්’ හා ‘කස්රජ්’ නම් වූ ප්‍රධාන ගෝත්‍රික දෙපිරිසක් අතර සමගිය ස්ථාපිත කොට ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැගීමය.

මදීනා නගරය මුල්කර ගනිමින් බිහි වූ ඉස්ලාමීය ජන රජයේ ජනාධිපතිත්වය දැරුවේ ද මුහම්මද් තුමාණන් ය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු ලිඛිත රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එ මගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට එතුමාණන් වගකීම භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ මෙම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.

පැරණි ගෝත්‍රිය උස් පහත්කම්, ප්‍රබල දුබල වෙනස්කම්, කුල වාදය, වර්ණ වාදය, ප්‍රදේශ වාදය යනාදී මිනිසා දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ ඉවත් කොට මිනිස්කම බිය බැතිමත්භාවය හා සහෝදරත්වය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් වූ මෙම සදාචාර සම්පන්න එක්සත් මිනිස් පරපුර බිහි වීම ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ තවත් අති වැදගත්  සමාජ පෙරැළියකි.

අබ්දුල්ලාහ් බින් උබයි ඉස්ලාමයට සතුරු කම් කරමින් ඉස්ලාමිකයෙකු ලෙස වංචනික අයුරින් රඟ පාමින් කටයුතු කළ අයෙකි. ‘උහ්ද්’ නම් ස්ථානයේ දී ඉස්ලාමයට විරුද්ධ මක්කාවාසී ජනයා සන්නද්ධ ගැටුමකට මදීනා නගරයට පැමිණි විට අබ්දුල්ලාහ් බින් උබයි යටතේ සිටි 300 ක් පමණ වූ පිරිස ආරම්භයේ මුස්ලිම් පාර්ශවයට උපකාර කිරීමට පොරොන්දු වී සටන් බිමට පිවිස ගැටුමේ අතරමගදී සටන් බිමින් ඉවත් ව යමින් මුස්ලිම් වරුන්ව මහත් දුෂ්කරතාවකට පත් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකි. එයට අමතරව මුහම්මද් තුමාණන්ගේ බිරියක් වූ ආයිෂා තුමිය  පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන චරිත ඝාතන කටකතා පතුරුවමින් ඉතා විශාල හානියක් කිරීමට ඉදිරිපත් වූවෙකි. මෙලෙස නබිතුමාණන්ට ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට විශාල හානියක් සිදු කළ ඔහු මියගිය විට ඔහුගේ මෘතදේහය සඳහා වූ සලාතය ඉටු කිරීමට තරම් මෘදු හා කාරුණික හදවතක් මුහම්මද් නබිතුමාණන් හට තිබිණි. තමන්ට කළ හැකි පහත් ම හානිය සිදු කළ වංචනික පුද්ගලයාට පවා කාරුණික ලෙස කටයුතු කරන්නට තරම් කාරුණිකත්වයේ ශ්‍රේෂ්ඨතම සංකේතය ලෙස මුහම්මද් තුමාණන් සිටි බව මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වෙයි.

මුහම්මද් නබි තුමාණන් ගමන් ගන්නා මාර්ගයේ රැක සිට එතුමා වෙත කසළ වීසි කළ යුදෙව් කාන්තාවක් සිටියාය. මුහම්මද් තුමාණන් මෙම නොමනා ක්‍රියාව පිළිබඳව ඇය වෙත තම නොසතුට හෝ කෝපය දැක්වීමට කිසි දිනක කටයතු නොකළහ. දිනක් තමා වෙත කසළ වීසි කිරීම සිදු නොවූ හෙයින් මුහම්මද් තුමාණන් තම මිතුරන්ගෙන් කරුණු විමසු විට දැනගන්නට ලැබුණේ ඇය රෝගාතුරව සිටින බවය. මෙම තොරතුරු දැන ගත් විගස මුහම්මද් තුමාණන් තම මිතුරන් සමග සුවදුක් විමසීම පිණිස ඇගේ නිවසට ගිය අවස්ථාවේ දී මුහම්මද් තුමාණන් දුටු විගස මෙම කාන්තාව දැඩි ලෙස පශ්චාත්තාප වී තමා විසින් මෙතෙක් හිරිහැර කර ඇත්තේ මෙවන් උත්තමයෙකුටදැයි සිතා කඳුළු සලන්නට පටන් ගෙන ඇත.

ආගමික ස්ථානයක් තුළ එම ස්ථානයට අපහාස වන අයුරින් යමෙක් කටයුතු කළේ නම් අති මහත් නොසන්සුන්තාවක් ඇති වීම වැළක්වීම අති මහත් දුෂ්කර කටයුත්තක් බවට පත් වනු ඇත. එම ආගමික ස්ථානයේ දහමට පිටස්තර අයෙකුගෙන් එවැන්නක් සිදු වුවහොත් තත්ත්වය තවත් වඩාත් බරපතළ විය හැක. ආගමික ස්ථානයේ ශ්‍රේෂ්ඨත්වය කෙලෙසන පරිදි පිටස්තර ආගමිකයෙකු එම ස්ථානය මුත්‍රා කිරීම මලපහ කිරීම වැනි කටයුත්තකට යොදා ගත් විට සිදු විය හැකි අති භයානක තත්ත්වය අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නොවන තරමට ඉතාම පැහැදිලිය. දිනක් මුහම්මද් තුමාණන් හා මිත්‍රයින් මස්ජිදයේ සිටින අවස්ථාවක ඉස්ලාමිකයෙකු නොවන අයෙකු මස්ජිදයට ඇතුළු වී මුත්‍රා කරන්නට පටන් ගෙන ඇත. මෙය දුටු නබිතුමාණන්ගේ මිත්‍රයින් දැඩි කෝපයට පත් වී මෙම පුද්ගලයාට පහර දී පලවා හැරීමට ඉදිරිපත් වූ අවස්ථාවේ නබි තුමාණන් ඔවුන් ව වළක්වා මෙම පුද්ගලයාට නිදහසේ මුත්‍රා කිරීමට ඉඩ හරින ලෙස දන්වා සිටියහ. එම පුද්ගලයා මුත්‍රා කොට පිට ව ගියාට පසු එම ස්ථානය ජලය යොදා පිරිසිදු කරන ලෙස උපදෙස් දුන් නබි තුමාණන් මුස්ලිම් නොවන සමාජයෙන් ඇති වූ මෙවන් නොමනා ක්‍රියාවන් ඉවසීමෙන් හා බුද්ධිමත් අයුරින් පාලනය කර ගන්නට කටයුතු කළහ.

නබි තුමාණන්ගේ උපන් බිම මෙන්ම එතුමාණන් වඩාත් ප්‍රිය කළ මක්කාහ් නගරයේ වැසියන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට විවිධ ආකාරයේ හිංසනයන් සිදු කළ අතර අවසානයේ එතුමාණන් ව ඝාතනය කරන්නට ද කුමන්ත්‍රණය කළහ. මෙවන් හිංසනය හා භීෂණය හේතුවෙන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට මක්කාහ් නගරය අත හැර මදීනා නගරයට දෙශාන්තරණය කරන්නට සිදු විය. මෙම සිදු වීමෙන් වසර අටකට පසු කිසිම ගැටුමකින් තොරව ඉතා සාමකාමී අයුරින් මක්කාහ් නගරය මුස්ලිම් වරුන්ගේ පාලනය යටතට පත් විය. මෙසේ මක්කාහ් නගරය නිදහස් කර ගත් දින එහි සිටි වැසියන් තමන් විසින් මුස්ලිම් වරුන්ට පෙර කළ අපරාධයන් හේතුවෙන් බරපතළ දඬුවම් වලට මුහුණ දෙන්නට සිදු වේ යැයි මර බියෙන් පසු වුහ. නමුත් මුහම්මද් තුමාණන් ඔවුන් වෙත ප්‍රසිද්ධියේ පවසා සිටියේ “නුඹලා සැවොම අද දින නිදහස්” යනුවෙනි. මෙය මක්කාහ් වාසීන්හට කිසිසේත්ම අදහා ගත නොහැකි තත්ත්වයක් විය.

නබිතුමාණන්ට හා මුස්ලිම්වරුන්ට සතුරුකම් කළ මක්කාහ්වාසී කුරෛෂ් නායකයින්ගේ ප්‍රධානියෙකු වූ අබු සුෆ්යාන්ගේ බිරිය හින්දා නම් වුවාය. නබි තුමාණන්හට විශාල ශක්තියක් ව සිටි එතුමාණන්ගේ බාප්පා කෙනෙකු වූ හම්සා තුමාව උහ්ද් ප්‍රදේශයේ ඇති වූ සටනේ දී ඝාතනය කරන්නට සියලු සැලසුම් සකස් කොට එය ක්‍රියාත්මක කරන ලද්දේ හින්දා විසිනි. එතුමා ව ඝාතනය කළා පමණක් නොව මුස්ලිම්වරුන් කෙරෙහි ඇති වෛරය හා ක්‍රෝධය ප්‍රදර්ශනය කරමින් හින්දා විසින් හම්සා තුමාගේ ළය පෙදෙස පළා අක්මාව සපා කන්නට වුවාය. මිනිසත්කමට නිගාදෙන කිසිසේත්ම නොහොබිනා අයුරින් මුස්ලිම්වරුන්ගෙන් පළි ගැනීමට ඉදිරිපත් වූ හින්දාට ද මක්කාහ් නගරය සාමකාමී අයුරින් අත්පත් කර ගැනීමෙන් පසු නබිතුමාණන් විසින් සමාව ලබා දෙන ලදී.

“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.”  (අල් කුර්ආනය 7:199)

නබි තුමාණන්ගේ සාමයික සහජීවනය විදහා දක්වන තවත් අලංකාර උදාහරණයක් වන්නේ නජ්රාන් ප්‍රදේශයෙන් එතුමාණන් හමුවීමට පැමිණි කිතුනු පුජකවරුන්ගේ නියෝජිත පිරිස සමග එතුමා කටයුතු කළ ආකාරයයි. හැට දෙනෙකුගෙන් පමණ සමන්චිත වූ මෙම නියෝජිත පිරිස නවාතැන් ගත්තේ නබි තුමාණන්ගේ මස්ජිදයෙහි ය. දින කිහිපයක සාකච්ඡාවකින් පසු මුහම්මද් තුමාණන් හා නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණ කිතුනු නියෝජිත පිරිස අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අනුව නජ්රාන් ප්‍රදේශයේ කිතුනුවන් හට පුර්ණ ආගමික ආර්ථික හා අනෙකුත් සියලු සමාජයීය නිදහස හා අයිතිවාසිකම් සහතික කර දෙන ලදී.

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන සතුරන් හඳුනා ගනිමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත.

එහෙයින් වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් සපිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *