හැඳින්වීම
මිනිස් චෛතශිකයේ දයාව, කරුණාව ස්ථාපිත වී ඇත්තේ විශ්වයේ අධිපති, මහා කාරුණික දෙවිඳුන්ගෙන් ලද උත්තරීතර ආශීර්වාදයක් හා දායාදයක් ලෙසයි. අවාසනාවට එම චෛතශිකයේ ම කෲරත්වය, නපුරුකම හා දරුණුකම ද දකින්නට ඇත.
“තවද අපි ඔහුට (යහ හා අයහ පැහැදිළි) මාවත් දෙකක් පෙන්වා දුනිමු”. (අල් කුර්ආන් 90 : 10)
“අනතුරුව ඔහු (එම ආත්මය වෙත) එහි දුෂ්ටකම සහ එහි සැදැහැවත්කම කාවැද්දුවේය”. (අල් කුර්ආන් 91 : 8)
මිහිතලය මත මිනිසා ගතකරන්නා වූ කෙටි කාලයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ මෙම ධනාත්මක යහකම හා සෘණාත්මක අයහකම අතර තම චෛතසිකයේ සිදුවෙන්නා වූ අරගලයෙන් ධනාත්මක යහකම ජයග්‍රහණය ලැබ මහා කාරුණික දෙවිඳුන්ගේ තෘප්තියට හා ආශීර්වාදයට ලක් පුද්ගලයෙක් බවට පත්වීම බව පැවසීම නිවැරදි යැයි සිතන්නෙමු.
“කව්රුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කව්රුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)
“කවුරුන් දෙවිඳුන් අභියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත්වී තමන්ව වළක්වා ගන්නේද ඔහු ළඟාකර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41).
“(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයි ද නැත හොත් එය වටහා ගන්නේ යැයි ද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන් ය”. (අල් කුර්ආන් 25 – 43/44)
මුහම්මද් ධර්ම දුතයානන් වරක් පවසා සිටි පරිදි “සැබැවින්ම මාව (ධර්ම දුතයෙකු ලෙස) එවා ඇත්තේ සාරධර්ම පරිපුර්ණත්වයට ගෙන ඒම පිණිස මිස නැත” (අල් මුවත්තා)
තවත් වරෙක එතුමාණන් පවසා සිටි පරිදි “දහම පිළිබඳව වඩාත් ශ්‍රේෂ්ඨ බැතිමතා වන්නේ තම චර්යාවන් පිළිබඳ වඩාත් ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයාය” (අබුදාවූද් 2199).
අප මෙම මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ප්‍රධාන වශයෙන් ම ඉස්ලාමීය මුලාශ්‍ර දෙකකින් උපුටා දැක්වීම් සිදුකරනු ලබන අතර ඒවා පිළිබඳ ඉතාම කෙටි හැඳින්වීමක් පහතින් දක්වා ඇත්තෙමු.
මුලාශ්‍ර
ඉහතින් සඳහන් කළාක් මෙන් ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ අල් කුර්ආනයයි. විශ්වයේ අධිපති එකම සත්‍ය දෙවිඳුන්ගේ සෘජු වදන් මෙහි අන්තර්ගත වන අතර මුහම්මද් තුමාණන්ගේ හතලිස්වන වියේදී දෙවිඳුන්ගෙන් පහළවීමට ආරම්භ වූ අල් කුර්ආනයට පසුව ‘සුන්නා’ නමින් හැඳින්වෙන මුහම්මද් ධර්ම දුතයාණන්ගේ ක්‍රියා, ප්‍රකාශන හා අනුමත කළ දෑ අඩංගු දෙවන මුලාශ්‍රය වැදගත් වෙයි. මෙම කරුණු අඩංගු ග්‍රන්ථ (උදාහරණ: සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, ඉබ්නු මාජා, තිර්මිදී, නසායි, යනාදිය) ඉස්ලාමිය විද්වතුන්ගේ දැඩි සුපරීක්ෂාවට භාජනය කොට පිළිගත් වර්ගීකරණයක් අනුව සකස් කොට තිබේ. ‘හදීස්’ යන අරාබි වචනයට ප්‍රකාශනය, වදන, සිදුවීමක්, අලුත් යන අර්ථ ඇති අතර මෙම වචනය සුන්නා යන සංකල්පයට සමාන අරුත් ඇති පදයක් ලෙස භාවිත කෙරේ. සුන්නාව අන්තර්ගත ග්‍රන්ථ හඳුන්වන්නේ ද හදීස් ග්‍රන්ථ ලෙසිනි.
ඉහත මුලාශ්‍ර දෙකම මිනිසාට ලැබෙන්නේ මුහම්මද් තුමාණන් මාර්ගයෙනි. එහෙයින් මුහම්මද් තුමාණන් පිළිබඳ ව ද ඉතාම කෙටි සටහනක් පහතින් තබා ඇත්තෙමු.
මුහම්මද් තුමාණන්ගේ චරිතයෙන් බිඳක්
මුහම්මද් තුමාණන් බිහි වෙන්නට මාස කිහිපයකට පෙර ඔහුගේ පියා වූ අබ්දුල්ලාහ් මෙලොවින් සමු ගෙන තිබිණි. ඔහුගේ සීයා වූ අබ්දුල් මුත්තලීබ් විසින් මෙයට පෙර අරාබි සමාජයේ භාවිතයේ නොතිබූ ‘මුහම්මද්’ යන නම මෙම දරුවාට තබන ලදී. ‘මුහම්මද්’ යන්නෙහි සමීපතම සිංහල පරිවර්තනය ‘ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයා’ යන්නයි. අනාථ කම උපතින්ම උරුම කර ගෙන බිහි වූ මෙම දරුවා රැක බලා ගත්තේ එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ් විසිනි. වයස අවුරුදු හය වන විය ආදරණීය මවද මෙලොවින් සමුගත්තාය. එතුමාගේ අට වන වියේදී රැක බලා ගත් සීයාගේද මෙලොව ජීවිතයේ අවසානය ඇති විය. ඉන් පසු එතුමාව රැක බලා ගත්තේ පියාගේ සහෝදරයෙකු වූ අබු තාලිබ් විසිනි. කිසි සම්මත අධ්‍යාපනයක් නොලැබූ එතුමා එඬේර කම හා සුළු ව්‍යාපාරයන්ට සම්බන්ධ වීම තමාගේ ජීවිතයේ චර්යාව බවට පත් කර ගත්තේය.
උපතින්ම අනාථකම උරුම කරගෙන බිහි වී ජීවිතයේ අන් කිසිවෙකු බොහෝ විට අත් නොවිඳි දුෂ්කරතාවන්ට මුහුණ දුන් එතුමා වර්තමාන ලෝක ජනගහනයෙන් බිලියන 1.8 ක නැතිනම් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුගේ පරමාදර්ශී චරිතය පමණක් නොව අසමසම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ උතුම්ම මිනිසා බවට පත් ව ඇත.
මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය සකස් කළ කිතුනු කන්‍යා සොයුරියක්ව සිටි ප්‍රසිද්ධ ලේඛිකාවක් වූ කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ (Muhammed – A Prophet for our Time) “මුහම්මද් – අපගේ යුගය සඳහා වූ නබි වරයෙක්” යන ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවට සපයා ඇති තොරතුරු වලින් බිඳක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
“මුහම්මද් නබි තුමාගේ ජීවිතය පිළිබඳ ව ලියු පළමු මුස්ලිම් ඉතිහාසඥයින් වන්නේ මුහම්මද් ඉබ්න් ඉෂාක් (ක්‍රි. ව. 767) මුහම්මද් ඉබ්න් උමර් අල් වකීදී (ක්‍රි. ව. 820) මුහම්මද් ඉබ්න් සාද් (ක්‍රි. ව. 845) සහ අබු ජරීර් අල් තබාරී (ක්‍රි. ව. 923) යන අයය. මෙම ඉතිහාසඥයින් තමන්ගේ මතකයන් හා හැඟීම් මත පමණක් විශ්වාසය නොතබා සැබෑ ඵෙතිහාසික පුනර්නිර්මාණයක නියැලුණහ. ආරම්භක වකවානුව ට අයත් ලේඛන හා වාචික සාක්ෂි එහි මුලාශ්‍රයන් දක්වා විමසා නිවැරදි ලෙස සොයා බලා කරුණු අන්තර්ගත කළහ. මුහම්මද් තුමා කෙරෙහි දෙවිඳුන්ගේ නබි වරයා වශයෙන් ඔවුන්ගේ සිත් තුළ අති විශාල ගෞරවයක් තිබුණද, තමන්ගේ ලේඛන සහමුලින්ම විවේචනයෙන් තොර වුවක් නොවීය. ඔවුන්ගේ මෙම අවංක උත්සාහය නිසා ලොව අනිකුත් ප්‍රධාන ආගම් කර්තෘ වරුන් සම්බන්ධ ව ඇති තොරතුරු වලට වඩා නිවැරදි තොරතුරු මුහම්මද් තුමා සම්බන්ධයෙන් අපි දන්නෙමු. මෙම ආරම්භක මුලාශ්‍රයන් ඕනෑම අයෙකුට මුහම්මද් තුමා පිළිබඳව චරිතාපදානයක් ලිවීමේදී කිසිසේත්ම නොසලකා හැරිය නොහැක” (14 වන පිටුව)
කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය මෙයින් දන්වා සිටින්නේ නුතනයේ මුහම්මද් තුමා සම්බන්ධව ඇති තොරතුරු ආරම්භක කාලයේ සිටම නිවැරදි ව ලේඛන ගත කොට සුරක්ෂිතව පවතින බවය. මෙවන් තත්වයක් තුළ මුහම්මද් තුමා ඉපදුන යුගයේ එම සමාජයේ ස්වභාවය පිළිබඳව තොරතුරු අල්පයක් විමසා බැලීම වැදගත් යැයි සිතන්නෙමු. ගෝත්‍රික සමාජයක්වූ එහි ගෝත්‍ර අතරේ ඉතා සුළු සිදුවීම් ජීවිත රාශියකගේ විනාශයට හේතු වන වර්ෂ ගණනාවකට ඇදීයන ගෝත්‍රික ගැටුම් බවට පත්වීම, ගැහැනු දරුවන් පණපිටින් වළලා දැමීම, දුප්පතුන්ව හා ගෝත්‍රයන්ට සම්බන්ධ නොවුවන්ව අසීමිත ලෙස දුෂ්කරතාවන්ට පත් කිරීම, සුරාව, ලිංගික අපචාරය, අසීමිත ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම, වැනි භයානක සමාජ දුරාචාරයන්ගෙන් පිරුණු එකක් විය.
මෙම තත්වය ඉතා තියුණු ආකාරයකින් විස්තර කරන අයුරු ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon) විසින් වෙළුම් අටකින් ලියන ලද (Decline and Fall of the Roman Empire) එනම් “රෝම අධිරාජ්‍යයේ වැටීම හා විනාශය” යන අරුත ඇති ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජීවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස් ගත් තිරිසන් පිරිසක් පමණකි.”
මෙවන් වූ මිනිස් සමාජයක් එලෙස අතහැර දැමීම දෙවිඳුන්ගේ සැලැස්ම නොවන බව ඉන් පසු ඇති වූ සිදුවීම් වලින් මනාව ඔප්පු වෙයි. අල් කුර්ආනය පහළ වීමට පෙර තිබු සමාජ යථාර්ථයයි ඉහතින් විස්තර කරනු ලැබුවේ. අල් කුර්ආනය පහළ වීමෙන් පසු එනම් මුහම්මද් තුමාව දෙවිඳුන්ගේ අවසාන පණිවිඩය මිනිස් වර්ගයා වෙත දැන්වීමේ ධර්ම දුතයා ලෙස පත් කොට එමගින් සිදු වූ සමාජ විප්ලවය තවත් ඉතා ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් Heroes, Hero-Worship, and The Heroic in History නමින් පොතක් පළ කරමින් අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මඟ එළි පෙහෙළි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදී. ලොව බිහිවු දා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවී කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජීවත් වෙමින් සිටි දුගී එඬේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැමගේ අවධානය දිනාගන්නට සමත් වූ අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය.”
“(නබිවරය), තවද විශ්වයට දයාලුවක් (මෛත්‍රියක් හා කරුණාවක්) වශයෙන් මිස අපි නුඹව නොඑව්වෙමු” (අල් කුර්ආන් 21:107)
“සැබවින්ම, (මුහම්මද් නබිවරය) ඔබ ශ්‍රේෂ්ඨ වූ යහ චර්යාවන්ගෙන් යුක්තව සිටින්නේය” (අල් කුර්ආන් 68 : 04)
“(නබිවරය), අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුන් සමග මෘදු ලෙස කටයුතු කළෙහිය. නුඹ රුදුරුකමින් යුත් දැඩි හදවතකින් සිටියේ නම් ඔවුන් නුඹ සමීපයෙන් වෙන් වී යනු ඇත.” (අල් කුර්ආන් 3 : 159)
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)
නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහ: “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (මුස්ලිම්)
නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන්ගේ භාර්යාවක් වූ ආයිෂා තුමිය මෙසේ පැවසූවාය: “නබි තුමාණන්ගේ පාවහන් තමන්ම අලුත්වැඩියා කර ගන්නේය. එතුමන්ගේ ඇඳූම් තමන්ම මසා ගන්නේය. නිවසේ වැඩද අන් සැවොම කරන්නාක් මෙන් එතුමන්ද කරන්නේය. එතුමන් හැසිරුණේ සාමාන්‍ය කෙනෙකු මෙනි. තමන්ගේ ඉරුණු ඇඳූම් එතුමන්ම මසා ගන්නා අතර එළුවන්ගෙන් කිරි දෙවීමද එතුමන්ම කරමින් නිවසේ සියලුම වැඩ වල එතුමන්ද නිරත වන්නේය.” (අත්තිර්මිදි)
ආයිෂා තුමිය මෙසේ පැවසූවාය: “නබිතුමන්ගේ දියණිය ෆාතිමා තුමිය නිවසට පැමිණෙන විට නබි තුමන් හුන් අසුනින් නැගිට සිට ඇය සිප පිළිගෙන ඇයට අසුනක් පිරිනමනු ඇත. නබිතුමන් මරණාසන්නව ඔත්පළ වී සිටි විට ෆාතිමා තුමිය පැමිණි විට නබිතුමන් ඇය පිළිගෙන සිප ගත්තේය”. (අල් බුහාරි සහ මුස්ලිම්)
“අබ්දූල්ලාහ් ඉබ්නු හාරිත් මෙසේ දන්වා සිටියිඃ නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් තරම් නිතර සිනහ මුසු මුහුණින් සිටි තවත් කෙනෙකුව මා දැක නැත.” (අත්තිර්මිදී)
“නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහ: වියදම් කිරීමෙහි චාම් බවක් අනුගමනය කිරීම දිවි පෙවතෙන් අඩකි.” (බයිහකී)
“නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහ: උඩඟුකමින් ණය බරින් සහ වංචාව යනාදියෙන් තොරව මරණයට පත් වන්නෙක් නිශ්චය වශයෙන්ම ස්වර්ගයට ඇතුල්වනු ඇත”. (අද් දාරිමී, ඉබ්නු මාජා සහ අත් තිර්මිදි)
මිනිස් ඉතිහාසයේ සිදු වූ උසස්ම සමාජ විප්ලවය සඳහා මුල් වූ මෙම ශ්‍රේෂ්ඨ නායකයා පිලිබඳ විස්තර ඉහතින් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරමින් අපගේ ප්‍රධාන මාතෘකාව වෙත යොමු වන්නට අපේක්ෂා කරන්නෙමු.