ඉස්ලාමීය ඉගැන්වීම් මිනිසාගේ ජාතික ගෝත්‍රික භාෂාමය ශාරීරික වර්ණමය විවිධත්වයන් මෙන්ම ආගමික බහුත්වය ද යථාර්ථයක් ලෙස පිළිගනී. මෙම වාර්ගික ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන් ඉස්ලාමය ප්‍රතික්ෂේප නොකරන බව අවධාරණය කළ යුතුව ඇත. නමුත් තම වාර්ගිකත්වය හෝ අනෙකුත් සාධකයක් හෝ ශ්‍රේෂ්ඨය යන මතයේ පිහිටා අන් වාර්ගිකයින් ව මෙන්ම ආගමිකයින් ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි.
කුලවාදය, වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කරවන මත වාදයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කිසිසේත්ම අන්තර්ගත වී නොමැත. මුස්ලිම් යනු වාර්ගික අනන්‍යතාවක් නොවේ. එය ආගමික අනන්‍යතාවක් පමණකි. එනම් ඉස්ලාමය තම ජීවන මග ලෙස තෝරා ගත් අයෙකු බව හඳුනා ගැනීම පමණි එයින් දැක්වෙන්නේ. එහෙයින් යෝනක මුස්ලිම්, මැලේ මුස්ලිම්, ද්‍රවිඩ මුස්ලිම්, බර්ගර් මුස්ලිම් ආදී වශයෙන් ඇතැම් අවස්ථාවන්හි දී අපට අසන්නට ලැබුණ ද සැබැවින්ම ඉස්ලාමිකයෙකු අනිවාර්යයෙන්ම අල් කුර්ආනය හා නබි තුමාණන්ගේ පිළිවෙත (සුන්නා) පිළිගෙන ඒ අනුව ජීවිතය සකස් කර ගත යුතු වෙයි. මේ අනුව යුක්තිය, සාධාරණත්වය, නීති ගරුක බව මිනිසත්කම හා දේව භක්තිය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් හැඳින්වෙන විශ්ව මිනිස් සහෝදරත්වයේ එක් සාමාජිකයෙකු බවට සෑම ඉස්ලාමිකයෙකුම පත් වෙයි. එහෙයින් ඉස්ලාමිකයෙකුට වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක කොටස් කරුවෙකු විය නොහැක. වාර්ගිකත්වය යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගත්තත් ඉස්ලාමිකයින් අතරේ වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක් හෝ භේදයක් තිබිය නොහැක.
ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨ නබි වදන් අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි. ජාතිවාදය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරමු. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය රැකෙන පරිදි සියලු මිනිසුන් සමග සහෝදර බැඳීමකින් යුතුව කටයුතු කරමු.
ඉස්ලාමය හා සාමයික සහජීවනය
අප ජීවත් වන්නේ බහු සංස්කෘතික හා බහු ජනවාර්ගික සමාජයකය. මුහම්මද් තුමාණන් හා අල් කුර්ආනය අපට උගන්වන්නේ සෑම දෙනා සමග සමගියෙන් හා සාමයෙන් ජීවත් වන්නටය. ශ්‍රී ලාංකිකයින් ලෙසට අප පොදු කටයුතු වලදී සෑම ජන කොට්ඨාසයක් සමගම සහයෝගයෙන් කටයුතු කළ යුතු වන්නෙමු. විශේෂයෙන්ම මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් සමග අප ජීවත් වන පරිසරය තුළ ඇති වන සෑම පොදු කටයුත්තකදීම උපකාර කරමින් හා ක්‍රියාකාරී ලෙස සහභාගී වීම අප විසින් අනිවාර්යයෙන් ම කළ යුත්තක් බවට පත් වී ඇත. හදිසි ආපදාවක්, අසනීපයක් ව්‍යසනයක් හෝ වෙනත් කරදරයක් ඇති වූ විට උපරිමයෙන් උපකාරී වීම අපගේ වගකීමක් වෙයි.
මුහම්මද් තුමාණන් අපට දේශනා කර ඇත්තේ තම අසල්වැසියා කුසගින්නේ සිටිය දී අප කුස පිරෙන්නට අනුභව නොකළ යුතු බවය. අසල්වැසියා මුස්ලිම් ද මුස්ලිම් නොවන්නෙක් ද යන්න වැදගත් කරුණක් නොවේ. මෙයින් අප අවබෝධ කර ගත යුත්තේ අසල්වැසියාගේ අවශ්‍යතාව පිළිබඳ ව අප ශක්ති ප්‍රමාණයෙන් උපකාරී විය යුතු බවය.
තවත් වරෙක මෘත දේහයක් රැගෙන යන පිරිසක් දුටු විට මුහම්මද් තුමාණන් වහාම එයට ගෞරව පිණිස නැගී සිටි විට අසල සිටි සහාබි වරයෙකු (මිතුරෙකු) පවසා සිටියේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් බවයි. මෙයින් එම සහාබි වරයා අදහස් කළේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් නිසා නැගී සිටීමට අවශ්‍ය නොවන බවයි. නමුත් මුහම්මද් තුමාණන් වහාම පවසා සිටියේ ඔහුත් මනුෂ්‍යයෙකු බවයි. ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ මනුෂ්‍යත්වයට ගෞරව කිරීම මුල් කරගෙනය. එම නිසා අප ජීවත් වන පරිසරයේ සුහදත්වය ගොඩ නැගීම සෑම මුස්ලිම් වරයෙකුගේම වගකීම බවට පත් වී ඇත. අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නැගීමට මුල් පියවර අප විසින් ගත යුතු ව ඇත.
සාමයික සහජීවනය ස්ථාපිත කිරීම උදෙසා මග පෙන්වන මුලික ප්‍රතිපත්ති හතරක් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ ඇති බව අපි දකින්නෙමු. එම වැදගත් කරුණු කෙරෙහි අපගේ අවධානය පළමු ව යොමු කරමු.
දහම පිළිබඳව බලපෑමක් නොමැත
ආගමික බැඳියාවක් ඇති සමාජයක ආගමික විශ්වාසය ඉතා සංවේදී සාධකයකි. ඉස්ලාමය ආගමික ප්‍රචාරණය අනුමත කරන අතර තමන් දේශනා කරන හෝ පහදා දෙන කරුණු අන් අය විසින් පිළි ගත යුතු යැයි බලපෑම් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මෙ මගින් චින්තන නිදහස සහතික කිරීමක් ඉස්ලාමීය ඉගැන්වීම් මගින් ඉදිරිපත් කරයි. ඉස්ලාමය පිළිබඳ කරුණු පහදා දීමේදී ඉතා ගෞරවනීය අයුරින් අන් අයගේ සිත් නොරිදවා සුහදත්වය පදනම් වූ සංවාදයන් හි නියැළෙන ලෙස අල් කුර් ආනය උපදෙස් ලබා දෙයි.
“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16 – 125)
ආගමික බහුත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා ඉස්ලාමීය ඉගැන්වීම් සනාථ කරන අල් කුර්ආන වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2 : 256)
“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10:99)
“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18 : 29)
“ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දනිමු. නුඹ (නබිවරය) ඔවුන් කෙරෙහි බලපරාක්‍රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවූ.” (අල්-කුර්ආන් 50 : 45)
“එබැවින් (නබිවරය) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ උපදෙස් දෙන්නෙකුමය. ඔවුන් පිළිබඳව නුඹ වගකීම් දරන්නෙකු නොවේ.” (අල්-කුර්ආන් 88 : 21-22)
“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10 : 41)
“(දේව පණිවිඩය) දන්වා සිටීමේ වගකීම හැර අන් දෙයක් රසුල්වරයාට නොවීය. තවද අල්ලාහ් නුඹලා හෙළිකරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද දන්නේය”. (අල්-කුර්ආන් 5 : 99)
ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. දහම පිළිබඳ ව ප්‍රචාරණ කටයුතු වල නියැළීම අල් කුර්ආනය අනුමත කරන අතර එය අන් අය ව පෙළීමකට ලක් නොකොට කළ යුතු කාර්යයක් වෙයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ
මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1) වැනි වගන්තීන් පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.
3 – 10 “සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැලඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.
3 – 14. (1) “සෑම පුරවැසියකුට ම –
( අ) භාෂණයේ නිදහසට සහ ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; ( ආ) සාමකාමීව රැසවීමේ නිදහසට; ( ඇ) සමාගමෙයේ නිදහසට; ( ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට; ( ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; ( ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; ( උ) එකලාව හෝ අන් අය හා සමග යම් නීත්‍යනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට; (ඌ) ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට; සහ ( ඒ) ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේ ය”.
අල් කුර්ආනය වර්ෂ 1400 කට පෙර තහවුරු කර ඇත්තේ ද දහම පිළිබඳව මිනිසාට ඇති මෙම මුලික මිනිස් අයිතිවාසිකම් ය. ඉස්ලාමීය ඉගැන්වීම් හි යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොරව නගන්නා වූ චෝදනා පදනම් විරහිත බව මෙම සත්‍යය තොරතුරු විමර්ශනය කිරීමෙන් ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අනවබෝධය තුරන් කරමු. අන්‍යෝන්‍ය අවබෝධය තුළින් එකිනෙකාගේ වත්පිළිවෙත් වලට ගරු කරමින් සුහදත්වය හා සහෝදරත්වය මත පදනම් වූ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට සාමුහික ව කටයුතු කරමු.
අන් දහම් පිළිබඳව කටයුතු කිරීමේ පිළිවෙත
සාමයික සහජීවනය ස්ථාපිත කිරීමේ ඉස්ලාමීය දෙවන ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ අන් දහම් පිළිබඳව කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත පදනම් කරගෙනය. අප ජීවත් වන්නේ බහු ආගමික පරිසරයකය. මෙම දහම් අතුරින් ඉස්ලාම් කිතුනු හා යුදෙව් දහම් අතරේ යම් සමානකම් දක්නට ඇතත් ඒවා අතරේ ද මුලික විශ්වාසයන් හි හා ප්‍රතිපත්ති අතරේ වෙනස්කම් දක්නට ඇත. එමෙන් ම බෞද්ධ හින්දු හා ජෛන දහම් අතරේ ද යම් සමානකම් තිබුණ ද මුලික ප්‍රතිපත්ති අතරේ වෙනස්කම් බොහෝමයක් දක්නට ඇත. මිනිසා තම දහම සත්‍යයක් ලෙස විශ්වාස කරන අතර මෙම සත්‍යය අන් අයටත් පහදා දීමට නිරතුරු ව කටයුතු කරන්නට ඉදිරිපත් වෙයි. ඉහතින් උපුටා දැක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව මෙය අනුමත ක්‍රියාවකි. නමුත් මෙසේ කිරීමේ ක්‍රමවේදය තුළ බොහෝ විට සාමයික සහජීවනය බිඳ වැටෙන තත්ත්වයන් ඇති වීමට ඇති ඉඩකඩ එමටය. මෙවන් අන්තර් ආගමික සම්බන්ධතාවන් හි දී දහම් අපහාසයට ලක් වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම හා හැසිරීම බරපතළ කරුණක් බවට පත් ව ඇත. මෙවන් තත්ත්වයන් තුළින් අන්‍යෝන්‍ය සුහදත්වයට වඩා වෛරය හා ක්‍රෝධය වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති වීම නොවැළැක්විය විය හැකි කරුණකි. මෙලෙස අන් දහම් වලට අපහාස කිරීමේ තත්ත්වයක් කිසිසේත්ම ඉස්ලාමිකයෙකුගෙන් සිදු නොවිය යුතු බව අල් කුර් ආනය පැහැදිලි උපදෙස් ලබා දෙයි.
“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)
මෙය කිසිම ඉස්ලාමිකයෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ඉතාම පැහැදිලි මෙන්ම දැඩි උපදේශයකි. යම් ඉස්ලාමිකයෙකු මෙයට පටහැණිව කටයුතු කරන්නේ නම් එහි පුර්ණ වගකීම එම පුද්ගලයා සතු වන අතර මේ පිළිබඳව ඉස්ලාමය විවේචනය කිරීම නොකළ යුත්තකි. පහැදිලි ඉස්ලාමීය උපදේශයන්ට පරිබාහිරව කිසියම් හුදෙකලා පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කරණු ලබන එකී අශිෂ්ට ක්‍රියාවට පරිශුද්ධ ඉස්ලාම් දහමට හෝ සමස්ත මුස්ලිම් ප්‍රජාවට හෝ දොස් කීම හෝ දෝෂාරෝපණය කිරීම සදාචාර සම්පන්න හෝ බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවේ.
අන්තර් ආගමික සම්බන්ධතාවන් පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ යුතු යහ උපදෙස් අල් කුර්ආනය ලබා දෙයි.
“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද අපි විශ්වාස කරන්නෙමු. තවද අපගේ දෙවිඳුන් ද නුඹලාගේ දෙවිදුන් ද එකය. තවද අපි ඔහුට (අවනත වන්නන් වන) මුස්ලිම්වරුන් වන්නෙමු’ යැයි නුඹලා පවසවූ”. (අල් කුර්ආන් 29 – 46)
ඉහත වැකියෙන් විශේෂයෙන්ම කිතුනු හා යුදෙව් දහම් අනුගමනය කරන්නන් සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි උපදෙස් අන්තර්ගත කොට ඇත. ඔවුන් අතුරින් වූ යහ මිනිසුන් සමග යහපත් අයුරින් සංවාදයක යෙදෙන ලෙස උපදෙස් ලබා දී ඇත. ඊසා (ජේසුස්) නබිවරයා වෙත පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ සත්‍යය දහම ද මුසා (මෝසෙස්) නබිවරයා වෙත පහළ කරන ලද ‘තෞරාත්’ නම් වූ සත්‍යය දහම ද ඉස්ලාමිකයින් වන අපි විශ්වාස කරන බවට සඳහන් කිරීමෙන් ඔවුන් හා අප අතර ඇති සමීපතාව පළමුව අවධාරණය කොට ඇත. ඔවුන් හා අප විශ්වාස කරන්නේ සත්‍ය වූ එකම දෙවිඳුන් බව පැවසීමෙන් ඔවුන් හා අප අතර ඇති සමානතාවන් තවදුරටත් තහවුරු කර ඇත. කිතුනු හා යුදෙව් දහම් අනුගමනය කරන්නන් සමග සංවාදයක යෙදීමේ දී අනුගමනය කළ යුතු මුලික පිළිවෙත මෙමගින් පැහැදිලි කොට ඇත. පළමුව සමානතාවන් පිළිබඳව කරුණු පහදා දී ඔවුන් සමග සමීපතාවක් ගොඩ නගා ගැනීමෙන් පසු අනෙකුත් කරුණු සාකච්ඡා කිරීම වඩාත් උචිත පිළිවෙතයි. බෞද්ධ හින්දු හා ජෛන ආගමිකයින් සමග ද අනුගමනය කිරීමට වඩාත් උචිත පිළිවෙත මෙය බව අපි දකින්නෙමු.
එහෙයින් අන් දහම් අනුගමනය කරන්නන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ දහමට හෝ ශාස්තෘන්ට කිසිම ආකාරයක අපහාසයක් නොවන පරිදි මෙන්ම ඔවුන් අපහසුතාවකට පත් වන අයුරින් ක්‍රියා නොකොට ශ්‍රේෂ්ඨ චර්යාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නට ඉස්ලාමය උපදෙස් දෙයි. මෙම දෙවැනි ඉස්ලාමීය ප්‍රතිපත්තිය සාමයික සහජීවනය සහතික කරන වැදගත් පියවරකි.
විවිධත්වය යථාර්ථයක් බව පිළිගැනීම
සාමයික සහජීවනය පිළිබඳව වූ තුන්වැනි ඉස්ලාමිය ප්‍රතිපත්තිය කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. එය විවිධත්වය යථාර්ථයක් ලෙස පිළිගෙන එතුළින් සාමුහිකත්වයේ අලංකාරය ස්ථාපිත කිරීමයි.
“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.” (අල් කුර්ආන් 49:13)
මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම එක පවුලක් බව ඉස්ලාමය උගන්වයි. මිනිස් පරපුරේ වාර්ගිකත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා ඉස්ලාමය වාර්ගිකත්වය එකිනෙකා පිළිකුල් කරගැනීමට හෝ එකිනෙකාගෙන් දුරස්ථ වීමට සාධකයක් කර නොගත යුතු බවද උගන්වයි. මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ නිර්ණායකය ලෙස දක්වා ඇත්තේ අල්ලාහ් පිළිබඳව ඇති බිය බැතිමත්භාවය හැර අන් කිසිවක් නොවන බව ද මෙම අල් කුර්ආන් වැකිය අපට පැහැදිලි කර දෙයි.
අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව මුළු මහත් මනුෂ්‍ය පරපුරම එක් මවකගෙන් හා එක් පියෙකුගෙන් බිහි වූ එකම පවුලක සාමාජිකයින්ය. එහෙයින් ඉස්ලාමිකයෙකුට ජාතිවාදී වීමට කිසිසේත්ම ඉඩක් නොමැත.
“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361)
ඉහතින් උපුටා දැක්වුයේ මුහම්මද් නබි තුමාණන් තම අවසාන හජ් නැමදුම ඉටු කරමින් සියලු මුස්ලිම් වරුන් අමතා කළ ඓතිහාසික දේශනයෙන් කොටසකි.
“තවද අපි ආදම්ගේ දරුවන් ව ගෞරවනීයත්වයට පත් කළෙමු.” (17:70)
ජාති ආගම් කුල හෝ අන් කිසිදු සාධකයක් පිළිබඳ තැකීමකින් තොරව මුළුමහත් මනුෂ්‍ය වර්ගයාම ගෞරවනීයත්වයට පත් කර ඇතැයි ඉස්ලාමය උගන්වයි. මිනිසා ස්වභාවයෙන්ම විවිධත්වයන්ගෙන් යුක්ත වූවෙකි. එම විවිධත්වයේ කිසිදු සාධකයක් මිනිසාව එකිනෙකාගෙන් දුරස්ථ කිරීමට හෝ එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කිරීමට හෝ උපයෝගී කර ගැනීමට ඉස්ලාමිකයෙකුට කිසිසේත්ම අනුමැතියක් නොමැත.
“අහස් ද මිහිතලය ද නිර්මාණය කර ඇත්තේද, නුඹගේ භාෂාවන්හි ද වර්ණයන්හි ද විවිධත්වය ඔහුගේ (අල්ලාහ්ගේ) සාධකයන්ගෙන්ය.” (30:22)
භාෂාව හා වර්ණය පිළිබඳ ව ඇති විවිධත්වය දෙවිඳුන්ගේ සාධක ලෙස අල් කුර්ආනය අපට උගන්වන අතර විවිධත්වයේ අලංකාරය අප සියලු දෙනාම පරිසරයෙන් දකින වැදගත් ම සාධකයයි. නිදහස දිනා ගැනීමෙන් පසු බහු සංස්කෘතික හා බහු වාර්ගිකත්යකින් යුත් අපගේ මාතෘ භුමියේ ‘ශ්‍රී ලාංකේය’ පොදු අනන්‍යතාව තහවුරු කිරීමේ වගකීම පැවරුණු දේශපාලන නායකත්වය භාෂාව මුල් කරගෙන ආරම්භ කළ පටු දේශපාලනික ක්‍රියාවලියේ අවසාන මෙන්ම අවාසනාවන්ත ප්‍රතිඵලය වුයේ ලක් මවට තම දරුවන් දස දහස් ගණනින් අහිමි කළ දශක තුනක් තිස්සේ පැවති කෲර යුද්ධයයි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුගමනය කරන්නෙකුට භාෂාව පදනම් කරගෙන විරසකයක් ඇති කර ගන්නට කිසිසේත්ම අනුමැතියක් නොමැත. යමෙක් එසේ කරන්නේ නම් දෙවිඳුන් විසින් නිර්මිත විවිධත්වයේ සාධකයක් ප්‍රතික්ෂේප කිරීමක් බවට පත් වෙයි. විවිධත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා තැනැත්තෙකුට එම විවිධත්වයේ කිසිදු සාධකයක් සාමයික සහජීවනයට බාධාවක් ලෙස සැලකීමට හැකියාවක් නොමැත.
දකුණු අප්‍රිකාවේ හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙයට පෙර පැවති වර්ණ භේද ගැටුම් හේතුවෙන් අහිමි වූ ජීවිත අප්‍රමාණය. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් විවිධ ආකාරයේ පීඩාවන්ට පත් වූ ජන සංඛ්‍යාව ද අති විශාලය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මෙය කිසිසේත්ම අනුමත ක්‍රියාවක් නොවන අතර කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. ලෝවැසි ජනයාට සාමයෙන් සහෝදරත්වයෙන් හා සහජීවනයෙන් කටයුතු කිරීමට ඉස්ලාමීය අලංකාර ඉගැන්වීම් මගින් කර ඇති මග පෙන්වීම් කොතෙක් ඉවහල් වන්නේ ද යන්න මෙමගින් පැහැදිලි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
නීතිය යුක්තිය හා සාධාරණය
සාමයික සහජීවනය පිළිබඳ ව ඇති හතර වන ඉස්ලාමීය ප්‍රතිපත්තිය වන්නේ නීතිය යුක්තිය හා සාධාරණය සැමට සමසේ ඉටු වන සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමය. විවිධ මාධ්‍යය වාර්තා කිරීම් මගින් අප දුටුවේ නීතියේ හස්තය අබිබවා කටයුතු කිරීමට එක්තරා පිරිසක් කටයුතු කරන බවය. නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති පොලිස් නිලධාරීන් නිහඬ නිරීක්ෂකයින් බවට පත් කරමින් නීතියේ ආධිපත්‍යය බිඳ දමන්නට කරන්නා වූ මෙම හැසිරීම් රටාව ක්‍රමයෙන් රටේ වර්ධනය වෙමින් පවතින බව දක්නට ඇත. මෙය සාමයික සහජීවනයට කිසිසේත්ම උචිත ක්‍රියා පිළිවෙතක් නොවේ. නීතියේ ආධිපත්‍යය වෙනුවට ආගමික හා වාර්ගික නියෝජිතයින්ගේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම දශක තුනක අමිහිරි හා භයානක අත්දැකීම් අමතක කරමින් කරන්නා වූ ක්‍රියාවකි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ පිළිබඳ ව දක්වා ඇති ප්‍රතිපාදන කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 12 වැනි වගන්තිය පහත සඳහන් අයුරු සඳහන් කොට ඇත.
12. – (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
(2) කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය:
එසේ වුව ද, රජෙය් සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධුරයක කාර්ය ඉටු කිරීම සඳහා යම් තැනැත්තකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳ එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළ දී ලබා ගත යුතු යයි එවැනි තැනැත්තෙකුට නියම කිරීම නීත්‍යානුකූල වන්නේය.
එසේම තව දුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පිළිබඳ දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවසථාවල දී, ඒ සේවා නියුක්තියට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තෙකුට ඒ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යයි නියම කිරීම නීත්‍යානුකූල වන්නේය.
(3) වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමාගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධෙයන් යම් අශක්නුතාවකට, බැඳීමකට, සීමා කිරීමකට නැතෙහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේය.
රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ පවසා තිබියදී නීතිය අබිබවා යෑමට එක්තරා අන්තවාදී පිරිසකට ඉඩ හැර නීතිය නිහඬ නිෂ්ක්‍රිය තත්ත්වයකට පත් වන විට මුළු මහත් ලාංකේය ජනතාවම පත් වන්නේ දැඩි අපේක්ෂා භංගත්වයකට ය. නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ස්ථාපිත නොකොට සාමයික සහජීවනය ස්ථාපිත කළ නොහැක. වර්ෂ 1400 කට පෙර අල් කුර්ආනය නීතිය යුක්තිය හා සාධාරණය පිළිබඳව මනුෂ්‍යය වර්ගයාට ඉදිරිපත් කළ ඉගැන්වීම් කුමක් ද කියා විමසා බලමු.
“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16:90)
“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5:8)
“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)
“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහි ම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය, සර්ව ඥානීය.” (අල් කුර්ආනය 8:61)
“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60 : 8)
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 33)
මුහම්මද් ධර්ම දුතයාණන් ගේ ප්‍රකාශන කිහිපයකට ද අවධානය යොමු කරමු.
“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් – 3:1392)
“(තමන්ට කරනු ලබන උපකාරයන් වෙනුවෙන්) මිනිසුන්ට ස්තුති කිරීමට පසුබට වන්නා අල්ලාහ්ට ද ස්තුති වන්ත වීමට පසුබට වන්නෙකි” (අහමද් සහ අත්තිර්මිදී)
“යහ ක්‍රියාවන් අවංකව, නිසි ලෙස හා මධ්‍යස්ථභාවයකින් යුක්ත ව ඉටු කරන්න. ඔබගේ අපේක්ෂිත ඉලක්කය (ස්වර්ගය) කරා ළඟා වීම පිණිස සෑම ක්‍රියාවක් පිළිබඳවම (අන්තවාදී නොවී) මධ්යස්තවාදීව මැදුම් පිළිවෙතක් නිරතුරුවම අනුගමනය කරන්න” (සහීහ් බුහාරී 8 : 470)
නීතිය අබිබවා කටයුතු කරන්නන් රඟ පාන්නේ අප කුඩා කළ කියැවූ ‘වෘකයා හා බැටළු පැටියා’ නම් වෘතාන්තයේ වෘකයාගේ චරිතය යැයි අපට සිතේ. දිනක් දිය කඩක ජලය බොමින් සිටි බැටළු පැටියෙකු දුටු වෘකයෙකුට මෙම බැටළු පැටියාව තම භෝජනය බවට පත්කර ගන්නට සිත් විය. මෙසේ සිතු වෘකයා බැටළු පැටියා සමග ගැටුමක් ඇති කර ගැනීමේ අදහසින් කටයුතු කරන්නට විය. එම දෙබස පහතින් දක්වා ඇත්තෙමු.
වෘකයා: මා පානය කරන්නා වූ ජලය ඔබ කෙසේ නම් බොර කරන්නේද?
බැටළු පැටියා: ස්වාමීනි, ඔබ පානය කරන්නා වූ ජලය බොර වන්නේ නම් එයට හේතුව මා විය නොහැක. මා ජලය පානය කරන්නේ ඔබ වහන්සේ ට පහළින් ය, ස්වාමීනි.
වෘකයා: එසේ නම් වසරකට පෙර ඔබ ඇයි මට නරක නාමයන්ගෙන් ආමන්ත්‍රණය කළේ?
බැටළු පැටියා: එය එසේ විය නොහැක ස්වාමීනි. මාගේ වයස මාස හයක් පමණි, ස්වාමීනි.
වෘකයා: මට ඒ කිසිවක් පිළිබඳ තැකීමක් කිරීමට අවශ්‍ය නැත. එසේ කළේ ඔබ නොවුයේ නම් එය ඔබගේ පියා විය හැක.
යනුවෙන් පවසා අහිංසක බැටළු පැටියා ව තමාගේ භෝජනය බවට පත් කර ගත්තේය.
“සාහසිකයෙකුට ඕනෑම කරුණක් තමන්ගේ සාහසිකත්වය සාධාරණීය කර ගන්නට යොදා ගත හැක” යැයි අහිංසක බැටළු පැටියා උගේ අවසන් හුස්ම හෙළන්නට පෙර පවසා සිටියේය.
වර්තමාන සමාජයේත් සාමයික සහජීවනය බිඳ දමන්නට කටයුතු කරන්නන් රඟ පාන්නේ මෙම වෘතාන්තයේ වෘකයාගේ භූමිකාව බව අමුතුවෙන් විග්රහ කිරීමට අවශ්‍ය නොවන්නේයැයි සිතන්නෙමු. එහෙයින් සාමයික සහජීවනයට හානිකර අයුරින් කටයුතු කරන සියලු චරිත තරාතිරම නොබලා නීතියේ ආධිපත්‍යය යටතට ගෙන ඒමේ අවශ්‍යතාව වර්තමානයේ ඉතා දැඩි ලෙස මතු වී ඇත. මෙම ප්රයත්නය සාර්ථක කර ගැනීම පිණිස නීතිය යුක්තිය සාධාරණය අගයන සැමගේ හඬ ප්‍රබල ලෙස ඉස්මතු කිරීම ඉතා වැදගත් වෙයි.
එහෙයින් වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් සපිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.
සාමයික සහජීවනය සඳහා වූ අලංකාර පුර්වාදර්ශයන්
වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට දෙශාන්තරණය කිරීමට දෙවිඳුන්ගේ අනුමැතිය ලැබිණ. මදීනා නගරය මක්කාවේ සිට කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් තිස්සේ ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්රදේශයකි. මුහම්මද් නබි තුමාණන් මදීනා නගරයට ප්‍රවිෂ්ට වීමෙන් පසු වහාම කළ ක්‍රියාවන් කිහිපය අතුරින් වැදගත් ක්‍රියාවක් වුයේ දශක කිහිපයක් තිස්සේ විනාශකාරී ගෝත්‍රික ගැටුමකට මැදිහත් වී සිටි ‘අව්ස්’ හා ‘කස්රජ්’ නම් වූ ප්‍රධාන ගෝත්‍රික දෙපිරිසක් අතර සමගිය ස්ථාපිත කොට ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැගීමය.
මදීනා නගරය මුල්කර ගනිමින් බිහි වූ ඉස්ලාමීය ජන රජයේ ජනාධිපතිත්වය දැරුවේ ද මුහම්මද් තුමාණන් ය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු ලිඛිත රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එ මගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට එතුමාණන් වගකීම භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ මෙම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.
පැරණි ගෝත්රිය උස් පහත්කම් ප්‍රබල දුබල වෙනස්කම් කුල වාදය වර්ණ වාදය ප්‍රදේශ වාදය යනාදී මිනිසා දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ ඉවත් කොට මිනිස්කම බිය බැතිමත්භාවය හා සහෝදරත්වය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් වූ මෙම සදාචාර සම්පන්න එක්සත් මිනිස් පරපුර බිහි වීම ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ තවත් අති වැදගත් සමාජ පෙරැළියකි. සාමයික සහජීවනය වෙනුවෙන් මුහම්මද් තුමාණන්ගේ කැපවීම හා දායකත්වය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නට ලිපියක අනු මාතෘකාවක් කෙලෙසවත් ප්‍රමාණවත් නොවන අතර මෙම තොරතුරු සටහන් කරන්නට සැබැවින්ම පිටු තුන් හාරසීයක ග්රන්ථයක් අනිවාර්යයෙන්ම අවශ්‍යය වනු ඇත. මෙහි දී ඉන් බිඳක් පමණක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු.
අබ්දුල්ලාහ් බින් උබයි ඉස්ලාමයට සතුරු කම් කරමින් ඉස්ලාමිකයෙකු ලෙස වංචනික අයුරින් රඟ පාමින් කටයුතු කළ අයෙකි. ‘උහ්ද්’ නම් ස්ථානයේ දී ඉස්ලාමයට විරුද්ධ මක්කාවාසී ජනයා සන්නද්ධ ගැටුමකට මදීනා නගරයට පැමිණි විට අබ්දුල්ලාහ් බින් උබයි යටතේ සිටි 300 ක් පමණ වූ පිරිස ආරම්භයේ මුස්ලිම් පාර්ශවයට උපකාර කිරීමට පොරොන්දු වී සටන් බිමට පිවිස ගැටුමේ අතරමගදී සටන් බිමින් ඉවත් ව යමින් මුස්ලිම් වරුන්ව මහත් දුෂ්කරතාවකට පත් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකි. එයට අමතරව මුහම්මද් තුමාණන්ගේ බිරියක් වූ ආයිෂා තුමිය පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන චරිත ඝාතන කටකතා පතුරුවමින් ඉතා විශාල හානියක් කිරීමට ඉදිරිපත් වූවෙකි. මෙලෙස නබිතුමාණන්ට ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට විශාල හානියක් සිදු කළ ඔහු මියගිය විට ඔහුගේ මෘතදේහය සඳහා වූ සලාතය ඉටු කිරීමට තරම් මෘදු හා කාරුණික හදවතක් මුහම්මද් නබිතුමාණන් හට තිබිණි. තමන්ට කළ හැකි පහත් ම හානිය සිදු කළ වංචනික පුද්ගලයාට පවා කාරුණික ලෙස කටයුතු කරන්නට තරම් කාරුණිකත්වයේ ශ්‍රේෂ්ඨතම සංකේතය ලෙස මුහම්මද් තුමාණන් සිටි බව මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වෙයි.
මුහම්මද් නබි තුමාණන් ගමන් ගන්නා මාර්ගයේ රැක සිට එතුමා වෙත කසළ වීසි කළ යුදෙව් කාන්තාවක් සිටියාය. මුහම්මද් තුමාණන් මෙම නොමනා ක්‍රියාව පිළිබඳව ඇය වෙත තම නොසතුට හෝ කෝපය දැක්වීමට කිසි දිනක කටයතු නොකළහ. දිනක් තමා වෙත කසළ වීසි කිරීම සිදු නොවූ හෙයින් මුහම්මද් තුමාණන් තම මිතුරන්ගෙන් කරුණු විමසු විට දැනගන්නට ලැබුණේ ඇය රෝගාතුරව සිටින බවය. මෙම තොරතුරු දැන ගත් විගස මුහම්මද් තුමාණන් තම මිතුරන් සමග සුවදුක් විමසීම පිණිස ඇගේ නිවසට ගිය අවස්ථාවේ දී මුහම්මද් තුමාණන් දුටු විගස මෙම කාන්තාව දැඩි ලෙස පශ්චාත්තාප වී තමා විසින් මෙතෙක් හිරිහැර කර ඇත්තේ මෙවන් උත්තමයෙකුටදැයි සිතා කඳුළු සලන්නට පටන් ගෙන ඇත. මුහම්මද් තුමාණන්ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ කෙරෙහි පැහැදුණු මෙම යුදෙව් කාන්තාව එම ස්ථානයේදී ම ඉස්ලාමය වැලඳගෙන ඇත. මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මුහම්මද් තුමාණන්හට පුද්ගලික ව කරන ලද හිරිහැර හා එදිරිවාදිකම් පිළිබඳව කිසි දිනක පළිගැනීමට එතුමාණන් කටයුතු කර නොමැති බවයි.
ආගමික ස්ථානයක් තුළ එම ස්ථානයට අපහාස වන අයුරින් යමෙක් කටයුතු කළේ නම් අති මහත් නොසන්සුන්තාවක් ඇති වීම වැළක්වීම අති මහත් දුෂ්කර කටයුත්තක් බවට පත් වනු ඇත. එම ආගමික ස්ථානයේ දහමට පිටස්තර අයෙකුගෙන් එවැන්නක් සිදු වුවහොත් තත්ත්වය තවත් වඩාත් බරපතළ විය හැක. ආගමික ස්ථානයේ ශ්‍රේෂ්ඨත්වය කෙලෙසන පරිදි පිටස්තර ආගමිකයෙකු එම ස්ථානය මුත්‍රා කිරීම මලපහ කිරීම වැනි කටයුත්තකට යොදා ගත් විට සිදු විය හැකි අති භයානක තත්ත්වය අමුතුවෙන් විග්රහ කරන්නට අවශ්‍ය නොවන තරමට ඉතාම පැහැදිලිය. දිනක් මුහම්මද් තුමාණන් හා මිත්රයින් මස්ජිදයේ සිටින අවස්ථාවක ඉස්ලාමිකයෙකු නොවන අයෙකු මස්ජිදයට ඇතුළු වී මුත්‍රා කරන්නට පටන් ගෙන ඇත. මෙය දුටු නබිතුමාණන්ගේ මිත්රයින් දැඩි කෝපයට පත් වී මෙම පුද්ගලයාට පහර දී පලවා හැරීමට ඉදිරිපත් වූ අවස්ථාවේ මහා කාරුණික නබි තුමාණන් ඔවුන් ව වළක්වා මෙම පුද්ගලයාට නිදහසේ මුත්‍රා කිරීමට ඉඩ හරින ලෙස දන්වා සිටියහ. එම පුද්ගලයා මුත්‍රා කොට පිට ව ගියාට පසු එම ස්ථානය ජලය යොදා පිරිසිදු කරන ලෙස උපදෙස් දුන් නබි තුමාණන් මුස්ලිම් නොවන සමාජයෙන් ඇති වූ මෙවන් නොමනා ක්‍රියාවන් ඉවසීමෙන් හා බුද්ධිමත් අයුරින් පාලනය කර ගන්නට කටයුතු කළහ.
නබි තුමාණන්ගේ උපන් බිම මෙන්ම එතුමාණන් වඩාත් ප්‍රිය කළ මක්කාහ් නගරයේ වැසියන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට විවිධ ආකාරයේ හිංසනයන් සිදු කළ අතර අවසානයේ එතුමාණන් ව ඝාතනය කරන්නට ද කුමන්ත්‍රණය කළහ. මෙවන් හිංසනය හා භීෂණය හේතුවෙන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට මක්කාහ් නගරය අත හැර මදීනා නගරයට දෙශාන්තරණය කරන්නට සිදු විය. මෙම සිදු වීමෙන් වසර අටකට පසු කිසිම ගැටුමකින් තොරව ඉතා සාමකාමී අයුරින් මක්කාහ් නගරය මුස්ලිම් වරුන්ගේ පාලනය යටතට පත් විය. මෙසේ මක්කාහ් නගරය නිදහස් කර ගත් දින එහි සිටි වැසියන් තමන් විසින් මුස්ලිම් වරුන්ට පෙර කළ අපරාධයන් හේතුවෙන් බරපතළ දඬුවම් වලට මුහුණ දෙන්නට සිදු වේ යැයි මර බියෙන් පසු වුහ. නමුත් මහා කාරුණික මුහම්මද් තුමාණන් ඔවුන් වෙත ප්‍රසිද්ධියේ පවසා සිටියේ “නුඹලා සැවොම අද දින නිදහස්” යනුවෙනි. මෙය මක්කාහ් වාසීන්හට කිසිසේත්ම අදහා ගත නොහැකි තත්ත්වයක් විය. මෙයයි තමන්ට ශක්තිය හා බලය ඇති විට පළි ගැනීමේ චේතනාවන්ගෙන් මිදී කාරුණිකත්වය පෙරදැරි ව කටයුතු කිරීමේ අවශ්‍යතා ව පෙන්වමින් මහා කාරුණික නබි තුමාණන් මුස්ලිම් වරුන්ට ලබා දුන් අලංකාර පුර්වාදර්ශය වන්නේ.
නබිතුමාණන්ට හා මුස්ලිම්වරුන්ට සතුරුකම් කළ මක්කාහ්වාසී කුරෛෂ් නායකයින්ගේ ප්‍රධානියෙකු වූ අබු සුෆ්යාන්ගේ බිරිය හින්දා නම් වුවාය. නබි තුමාණන්හට විශාල ශක්තියක් ව සිටි එතුමාණන්ගේ බාප්පා කෙනෙකු වූ හම්සා තුමාව උහ්ද් ප්‍රදේශයේ ඇති වූ සටනේ දී ඝාතනය කරන්නට සියලු සැලසුම් සකස් කොට එය ක්‍රියාත්මක කරන ලද්දේ හින්දා විසිනි. එතුමා ව ඝාතනය කළා පමණක් නොව මුස්ලිම්වරුන් කෙරෙහි ඇති වෛරය හා ක්‍රෝධය ප්‍රදර්ශනය කරමින් හින්දා විසින් හම්සා තුමාගේ ළය පෙදෙස පළා අක්මාව සපා කන්නට වුවාය. මිනිසත්කමට නිගාදෙන කිසිසේත්ම නොහොබිනා අයුරින් මුස්ලිම්වරුන්ගෙන් පළි ගැනීමට ඉදිරිපත් වූ හින්දාට ද මක්කාහ් නගරය සාමකාමී අයුරින් අත්පත් කර ගැනීමෙන් පසු නබිතුමාණන් විසින් සමාව ලබා දෙන ලදී. මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වමින් සාමයික සහජීවනය සඳහා කළ මෙවන් ක්‍රියාවන් ට වඩා ආගමික නායකයෙකුගෙන් අපේක්ෂා කළ හැක්කේ කුමක් ද කියා අසන්නට කැමැත්තෙමු.
“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.” (අල් කුර්ආනය 7:199)
මහා කාරුණික නබි තුමාණන්ගේ සාමයික සහජීවනය විදහා දක්වන තවත් අලංකාර උදාහරණයක් වන්නේ නජ්රාන් ප්‍රදේශයෙන් එතුමාණන් හමුවීමට පැමිණි කිතුනු පුජකවරුන්ගේ නියෝජිත පිරිස සමග එතුමා කටයුතු කළ ආකාරයයි. හැට දෙනෙකුගෙන් පමණ සමන්චිත වූ මෙම නියෝජිත පිරිස නවාතැන් ගත්තේ නබි තුමාණන්ගේ මස්ජිදයෙහි ය. දින කිහිපයක සාකච්ඡාවකින් පසු මුහම්මද් තුමාණන් හා නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණ කිතුනු නියෝජිත පිරිස අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අනුව නජ්රාන් ප්‍රදේශයේ කිතුනුවන් හට පුර්ණ ආගමික ආර්ථික හා අනෙකුත් සියලු සමාජයීය නිදහස හා අයිතිවාසිකම් සහතික කර දෙන ලදී. මුහම්මද් තුමාණන්ගේ ජීවිත කාලය තුළ එතුමා සාමයික සහජීවනය උදෙසා කළ ක්‍රියාවන් මෙලෙස දිගටම ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කළ හැක. නමුත් වැදගත් වන්නේ මුහම්මද් නබිතුමාණන් මෙන්ම අල් කුර්ආනය ද සමාජයේ යහ පැවැත්ම උදෙසා මනුෂ්‍ය වර්ගයා අතරේ සාමය සහෝදරත්වය මෙන්ම සහජීවනය සහතික කරන මග පෙන්වීමක් ඉදිරිපත් කොට ඇති බව ඉහත කරුණු මගින් පැහැදිලි කර දීමය.
යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන සතුරන් හඳුනා ගනිමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත. වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්න ට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න ට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.
By: එම්.අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com