හින්දු දහම අනුව පුනරුත්පත්තිය මිනිස් ආත්මයෙන්ම සිදු විය යුතු නැත. එය සත්ව ආත්මවලින්ද ප්‍රේත ආත්මවලින්ද සිදු වන්නේය. එතෙත් ඉස්ලාම් දහම අනුව එය මිනිස් ආත්මයකින්ම පමණක් සිදුවන්නේය.ඉස්ලාම් දහම අනුව පුනරුත්පත්තිය සිදුවන්නේ එක් වතාවක් පමණි. එය සිදුවන්නේ මිහිපිට ජිවත් වූ සියලු දෙනාටම එකම අවස්ථාවකදී ය. එම දිනය්දී මෙලොව උපත ලබා මිය ගිය සෑම කෙනෙක්ම ඔහුගේ මුල් අනන්‍යතාව සමග නැවත නැගිටවනු ලබන්නේය. ඒ අනුව ඔවුන්ගේ ඇඟිලි තුඩු පවා පෙර තිබුණු අකාරයටම නැවත සකස් කරනු ලබන්නේය. එය කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත.

ඉස්ලාම් දහම අනුව මෙලොවදී මිය යන මිනිසෙක් සත්ව ආත්මවල හෝ ප්‍රේත ආත්මවල උපදින්නේ නැත. නැවත නැගිටවීම පිලිබඳ සැකයක් ඇති අයට අල්-කුරානය පහත දැක්වෙන අන්දමට පිළිතුරැ දෙන්නේය.

“මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද වූ පසු අපි නැගිට්ටවනු ලබන්නෙමුද? තවද අපගේ මුතුන්මිත්තන්වත් (නැගිටුවන්නේ) දැයි අසන්නන් ලෙස මොවුන් සිටියහ. නියතව පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත වේලාවක එක්රැස් කරනු ලබන බව නුඹ පවසන්න” (කුරානය 56:47-50).

විනිශ්චය දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසක් වූ එක් දිනයකි. එම දිනයේදී සෑම මිනිසේකුගෙන්ම ඔහු මෙලොවදී කළ දේවල් පිළිබඳව ප්‍රශ්න කරනු ලැබේ. එම දිනයේදී කිසිවෙකුට අසාධාරණයක් සිදු කරනු නොලබන අතර මුවට මුද්‍රා තබා මිනිස් අවයව වලින් ඒ ඒ පුද්ගලයන් කළ දේවල් පිලිබඳ විමසනු ලැබේ. එබැවින් කිසිවෙකුට බොරු කියා බේරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

මෙම නඩු විභාගයේදී මිනිසා දෙවියන්ට කළ යුතු කාර්යයන් ගැන විමසා බලනු ඇත. මෙහිදී මිනිසාගෙන් අතපසුවූ දේවල් වලට විශාල ලෙස සමාව පිරිනමනු ලබන බව නබිතුමා පවසා ඇත. එහෙත් දෙවියන්ව විශ්වාස නොකර වෙනත් දේවල් විශ්වාස කළ අයට එම දිනයේදී සමාව ලැබෙන්නේ නැත. ඒ අනුව ඔවුන්ට සිදු වන්නේ දෙවියන් වෙනුවට විශ්වාස කළ දේවල් පසු පස ගොස් උදව් ඉල්ලීමටය. මෙම නඩු විභාගයෙන් පසු මිනිසා දෙවියන් නොවන දේවල් සමග කළ ගනුදෙනු පියවා ගැනීමට සිදුවන්නේය. එහිදී මිනිසාගෙන් මිනිසාට සිදු කළ වැරදි සඳහා වන්දි ගෙවීමට සිදු වන්නේ තමන් කළ කුසල් (පින්) වලිනි. ඒ අනුව මෙලොවදී කෙනෙකුගෙන් ණයක් ගෙන එය ආපසු නොගෙවා මිය ගියේ නම් ඒවාට කුසල් ගෙවා සමතයකට පත් කළ යුතු වන්නේය. මේ හේතුවෙන් ඇතැම් අය කන්දක් තරම් පින්දහම් කර තිබුනත් ඒවා අනුන්ට කළ වැරදි සඳහා වන්දි වශයෙන් ගෙවා අවසාන වූ පසු නරකාදියට යාමට සිදු වනු ඇත.

ඇතැමුන් සිතන ආකාරයට පුනරුත්පත්හිය මෙලොවදී සිදු වන්නේ නම් පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු දීමට හැකිවන්නේ නැත.

  • මිනිසෙකු කළ වැරැද්ද නිසා ඔහු මෙලොවදී තිරිසන් සතෙකු වී ඉපදුනේ නම් තිරිසනාට හොඳ නරක නොතේරෙන බැවින්ද තිරිසන් සතුන්ට දහමක් නොමැති නිසා ද නැවත මිනිස් ආත්මයක් ලැබීමට කිසිම අවස්ථාවක් උදා වන්නේ නැත.
  • තිරිසන් සතුන් උන්ට ආවේනික ලක්ෂණ අනුව ජිවත් වන බැවින් නැවතත් මිනිස් ආත්මයක් ලැබීම ගැන සිතිය නොහැකිය.
  • පුනරුත්පත්තියක් බලාපොරොත්තු වන්නේ පෙර ආත්මයේදී සිදු කල වැරදි වලට වන්දි ගෙවා නැවතත් මිනිස් ආත්මයක් ලැබීම නම් ඔහුට පෙර ආත්මයේදී කල වැරදි සියල්ල මතකයේ තිබිය යුතුය. එසේම එම වැරදි සිදු කල පුද්ගලයින් හමුවී තමන් කළ වරදට සමාව ගැනීමට ක්‍රමයක් තිබිය යුතුය. එහෙත් එය ප්‍රායෝගිකව සිදු විය හැකි දෙයක් නොවේ.
  • මෙලොවදී පුනරුත්පත්තිය ලබන එක් කෙනෙක් මිනිස් ආත්මයකද වෙනත් කෙනෙක් තිරිසන් ආත්මයකද උපත ලබන්නේ නම් ඔවුන් කළ වැරදි සමතයකට පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැත.
  • පෙර ආතාමයේදී වැරදි කළ අය නැවත ඉපදුනු පසු එකම කාල වකවානුවේදී හමු නොවූ විටද ඔවුන් කළ වැරදි සමතයකට පත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

ඉස්ලාම් දහම අනුව සිදුකරනු ලබන්නාවූ විනිශ්චය දිනයේදී ඉහත සඳහන් සෑම දෙයක්ම විසඳා ගැනීමට හැකි වන්නේය.

කෙසේ වෙතත් ඇතැම් අය පෙර ආත්මය ගැන විස්තර කිරීම අපි දැක ඇත්තෙමු. එසේ සිදු වන්නේ මිනිස් ඇසට නොපෙනෙන ජින්වරුන් සිටින නිසාය. සෑම මිනිසෙකු සමගම ජින් වරුන් සිටින බව නබිතුමා පවසා ඇත. එක් මිනිසෙකුගේ මරණයෙන් පසු  එම ජින් වරයාට වෙනත් මිනිසෙකුගේ ශරීරයට ඇතුල් විය හැකිය. එසේ  ඇතුල් වීමෙන් කලින් ජිවත් වූ අයගේ වත ගොත මෙම තැනැත්තාගේ මුවින් ප්‍රකාශ කළ හැකිය. මේ නිසා යම් කිසි කෙනෙක් පෙර ආත්මය කිව් පමණින්ම ඔහු කලින් ජිවත් ව සිටි කෙනෙක් යැයි තීරණය කළ නොහැකිය.

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *