ජාත්‍යන්තර වශයෙන් ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’ නිර්මාණය කිරීම සඳහා සංවිධානාත්මක ලෙසින් විවිධ කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින අවධියක ඔවුන්ගේ එම පහත් අභිමතාර්ථයන් සාර්ථක කර ගැනීම සඳහා සෘජු ව හෝ වක්‍ර ව මුස්ලිම්වරුන්ගෙන් දායකත්වයක් ලැබී ඇති බව දක්නට ඇත. මිනිසාට සංවේදී ක්‍ෂේත්‍රයන් කිහිපයක් ඇත. දහම වාර්ගිකත්වය භාෂාව කුලය පුද්ගල ගෞරවය ඥාති බැඳියාවන් ආදිය පිළිබඳ ව අපහාසය හෝ උපහාසය මිනිසා ව ක්ෂණිකව උද්වේගයට පත් කිරීමට ප්‍රමාණවත් සාධකයන් ය. සැබැවින්ම එය එසේ විය යුතු ද? ‘අපහාසය’ සදාචාරයට පටහැණි ක්‍රියාවක් බව සත්‍යයකි. සත්ව ලෝකයේ සදාචාරයට උරුමකම් කියන එකම සත්වයා මිනිසා පමණි. එහෙයින් ‘අපහාසය’ මිනිසත්කමට පටහැණි පහත් නොහොබිනා ක්‍රියාවක් බව පැහැදිලි ය. අවාසනාවට දියුණු යැයි තමන් ව හඳුන්වා ගන්නා පිරිස් අන් අය ව අපහාසයට ලක් කිරීම ‘අයිතියක්’ ලෙස හඳුන්වා දෙමින් එම අයිතියට විරුද්ධ වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිඳ දැමීමක් ලෙස මහා හඬක් නගමින් සිටිති. 

මුහම්මද් තුමාණන්ට අපහාසාත්මක අයුරින් පළ කළ ඩෙන්මාර්ක රටේ කාටුන් සිද්ධිය විමසා බැලීමේදීත් පැහැදිලි ව පෙනෙන්නට ඇත්තේ ‘අපහාසය’ පිළිබඳ මෙම කැලෑ නීතිය ක්‍රියාත්මක වූ අයුරු ය. 2003 වර්ෂයේ අප්‍රයෙල් මස ක්‍රිස්ටෝපර් සිඑල් (Christopher Ziele) නමැති කාටුන් ශිල්පියා විසින් ජිලන්ඩ්ස් පොස්ටෙන් (Jyllands Posten) නමැති පුවත්පතට කිතුනුවන් විශ්වාස කරනු ලබන ජේසු තුමාණන්ගේ පුනරුත්ථානය පිළිබඳ සුළු උපහාසයක් සහිත ව කාටුන් පෙළක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම පුවත්පතේ කර්තෘවරයා විසින් එය පළ කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. එම තීරණයට හේතු වශයෙන් ඔහු දන්වා සිටියේ එය තම පුවත්පතේ පාඨකයින්ට හරාත්මක නිර්මාණයක් නොවන බවත් එමගින් ජනතා විරෝධතාවක් ඇති වන්නට ඉඩ ඇති බවත් ය. එම තීරණය නිවැරදි බව අපි ද එකහෙළා පිළිගන්නෙමු. නමුත් එම පුවත්පතම මෙම සිද්ධියට වර්ෂ දෙක හමාරකට පසු ව කිසිදු පැකිළීමකින් තොරව මුහම්මද් තුමාණන්ට බරපතළ ලෙසින් අපහාස වන අයුරින් කාටුන් චිත්‍ර පළ කළහ. තම දහමේ ශාස්තෘවරයාට සුළු වශයෙන් හෝ උපහාසයක් සිදු වීමට අකමැති මෙන්ම එමගින් ජනතා විරෝධතාවක් ඇති වීමට ඉඩ ඇති බවට තීරණය කරණ එම පුවත්පතේ කර්තෘවරයා තඹ දොයිතුවක සැලකිලිමත් වීමකින් තොරව ලෝක ජනගහනයෙන් බිලියන 1.7 ක මුස්ලිම් ජනයාගේ මෙන්ම මුස්ලිම් නොවන අමතර විශාල පිරිසකගේ අසීමිත ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ මුහම්මද් තුමාණන් පිළිබඳ ව කටයුතු කළ ආකාරය සත්‍ය වශයෙන්ම වංචනික දෙබිඩි පිළිවෙතක් නොවන්නේ දැයි අසන්නට කැමැත්තෙමු. සිදු කළ මෙම ම්ලේච්ඡ ක්‍රියාවේ වේදනාවෙන් මිරිකෙමින් සිටි ජනයාගේ තුවාලය මත ලුණු අතුල්ලන්නාක් මෙන් බටහිර ජාතීන් එය ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්’ හා ‘මානව හිමිකමක්’ ලෙස හුවා දක්වන්නට නිර්ලැජ්ජි අයුරින් ඉදිරිපත් වූහ. අනෙකාට හානිකර ලෙසින් අපහාසාත්මක දෑ මාධ්‍යයෙන් පිට කරන විට එය ‘ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක්’ ‘භාෂණයේ නිදහසක්’ ‘මානව හිමිකමක්’ ආදී අලංකාර වැකි මගින් තම වනචාරී කමේ නිරුවත වසා ගැනීමට වෙර දැරීම සියලු මධ්‍යස්ථ මතධාරී හා බුද්ධිමත් සැමගේ පිළිකුලට හා නිර්දය විවේචනයට ලක් විය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

මෙම දෙබිඩි පිළිවෙත පිළිබඳ තවත් උදාහරණ කිහිපයක් විමසා බලන්නට කැමැත්තෙමු. පසුගිය කාලවකවානුව තුළ ඉස්ලාමයට අපහාස වන අයුරින් විවිධ අදහස් ප්‍රකාශ කිරීම් හා ක්‍රියා අප රට තුළ ද සිදු විය. ඇතැම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සියලු අපහාසයන් සඳහා ඇතැම් දේශීය මාධ්‍යය මගින් විශාල ප්‍රසිද්ධියක් ද ලබා දෙන ලදී. අරහත් ධජය ලෙස හැඳින්වෙන බුදුන් වහන්සේ සංකේතවත් කරන චීවරයේ ගෞරවය කෙලෙසෙන පරිදි ඇතැම් භික්ෂුණ් මෙලෙස ක්‍රියා කරද්දී මෙම නොමනා ක්‍රියා හෙළා දැකීමට කිසිදු මාධ්‍යයක් ඉදිරිපත් නොවීය. එසේ නොකළා පමණක් නොව මෙම නින්දනීය ම්ලේච්ඡ ක්‍රියා හා ප්‍රකාශන පොල් ගෙඩි අකුරින් මුද්‍රිත මාධ්‍යයන් විසින් පළ කරන ලද අතර දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍යයන් මගින් තම ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස ජනතා පරිභෝජනය සඳහා මුදා හරින ලදී. මෙ සියල්ල කරන ලද්දේ ‘ප්‍රකාශනයේ නිදහස’ ‘භාෂණයේ අයිතිය’ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමය’ ‘මානව හිමිකම’ ආදී අලංකාර වචන උපයෝගී කර ගනිමින් ය. මෙම සියලු අයිතීන් හා උරුමයන් ප්‍රතිලෝම වශයෙනුත් ක්‍රියාත්මක වී ඇත් දැයි අප විසින් සොයා බැලිය යුතු ව ඇත.

මුස්ලිම් වරයෙකු මුස්ලිම් නොවන්නෙකුට ආහාර පාන ලබා දීමේ දී එයට කෙළගසා දිය යුතු බව අල් කුර්ආනයේ ඉගැන්වීමක් අන්තර්ගත වී ඇතැයි භික්ෂුණ් කිහිප නමක් විසින් අපහාසාත්මක මහා මුසාවාදයක් මුදා හරින ලදී. මෙම අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශය මාධ්‍යය විසින් පුන පුනා පළ කරන ලදී. මෙලෙසින්ම බෞද්ධ නොවන්නෙකු විසින් ත්‍රිපිටකයේ අඩංගු යැයි යම් අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කළේ නම් සිදු විය හැකි තත්ත්වය කෙලෙස දැයි කරුණාකර මොහොතකට මෙනෙහි කර බලන මෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. මෙම ප්‍රකාශනය පිළිබඳ මාධ්‍යය විසින් ලබා දෙන විවේචනාත්මක මත ඉදිරිපත් කිරීම සමග පැතිර යෑමට ඉඩ ඇති මැර ක්‍රියාවන්ගෙන් සිදු විය හැකි අහිංසක මිනිසුන්ගේ ජීවිත හා දේපළ හානි පිළිබඳ කරුණාකර මොහොතකට සිතා බලන්න.

2014/09/28 වැනි දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී බොදු බල සේනා සංවිධානය මගින් පවත්වන ලද ඊනියා සඟ සමුළුවේ දී එම සංවිධානයේ ලේකම් භික්ෂුව විසින් ඉස්ලාමයේ උත්තරීතර මුලාශ්‍රය මෙන්ම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම දෙවිඳුන් විසින් පහල කරන ලද ලොව අවසන් වනතුරු පවතින අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනය පිළිබඳ ව ඉදිරිපත් කරන ලද අපහාසාත්මක අසත්‍යය තොරතුරු පිළිබඳ ව මාධ්‍යය විසින් අති මහත් ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි. ඇල්බට් අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදය ලොවට හෙළි කළ දිනයේ මාධ්‍යය ලබා දුන් ප්‍රමුඛතාවට වඩා වැඩි ප්‍රමුඛතාවක් බොදු බල සේනා ලේකම් භික්ෂුවගේ නොමනා මුසාවාදයන්ට ලබා දී තිබුණි. මෙයට ප්‍රතිලෝම වශයෙන් බෞද්ධ නොවන්නෙකු විසින් බුදු දහමට හෝ බෞද්ධයින්ගේ ප්‍රධාන මුලාශ්‍රය වූ ත්‍රිපිටකයට හෝ අපහාස වන අයුරින් අසත්‍යය තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහොත් මාධ්‍යය කෙලෙස හැසිරෙයි ද යන්න පිළිබඳ ව කරුණාකර මොහොතකට සිතා බලන්න. මෙම දෙබිඩි පිළිවෙත කිසිදු දහමක් අනුමත කරන්නක් නොවේ.

ශිෂ්ට සම්පන්න ලෝකයේ භාෂණයේ නිදහස සහතික කොට ඇති අතර එය සීමාවන්ගෙන් තොර වූවක් ලෙස සිතා එම නිදහස භුක්ති විඳීමේ වරප්‍රසාදය කිසිවෙකුට ලබා දී නොමැත. ඉන්දියානු ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අමතර ව වෛරී ප්‍රකාශන කිරීම තහනම් කොට නීති පනවා ඇත. ශ්‍රී ලාංකේය ජනරජ ව්‍යවස්ථාවේ මේ පිළිබඳ ව සඳහන් වී ඇති ආකාරය විමසා බලමු.

භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස.
14 (1) සෑම පුරවැසියෙකුටම:-
(අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.
මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා:-
15 (1) 13 වැනි ව්‍යවස්ථාවේ (5) වැනි සහ (6) වැනි අනු ව්‍යවස්ථා වලින් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේ ද රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත්වය. මෙම අනු ව්‍යවස්ථාවේ කාර්ය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත් කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේය.
(2) 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේ ද වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම අපහාසයට හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්වය.

අපගේ ජනරජ ව්‍යවස්ථාවෙන් ද භාෂණයේ නිදහසට සීමාවන් ඇති මුත් ඉස්ලාමය පිළිබඳ ව පමණක් අපහාසාත්මක ව මෙම නිදහස භාවිතයට ගැනෙන සෑම මොහොතකම නීතිය නිහඬතාව රැකීමට කටයුතු කිරීම සැමට ප්‍රහේලිකාවක් ව පවතී. මෙම අවනීති තත්ත්වය අප රටට පමණක් සීමා වූවක් නොවන බව අපට පෙනී යයි.

මේ සම්බන්ධ ව ත්‍රිපිටකයේ සඳහන් කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
සුත්‍ර පිටකයේ දීඝ නිකායේ පළමු සුත්‍රය වූ බ්‍රහ්මජාල සුත්‍රයේ පහත සඳහන් අයුරු සඳහන් වී ඇත.
“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?
භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝප වූ අමනාප වූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.
බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහි දී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරණා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුළ නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”
දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය ඉවත් කොට හදවත් වල විනිවිද ගිය තුවාල සුවපත් කර මතු කිසි දිනක මෙවන් අමිහිරි හා අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ පෑමට සිදු නොවන සමාජ පරිසරයක් ගොඩ නැගීම පිණිස ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගෙන කටයුතු කරන්නට ඉදිරිපත් වේවි යන ධනාත්මක බලාපොරොත්තුව අපි සැවොම ඇති කර ගත්තෙමු. අවාසනාවට ඒ වෙනුවට අප දුටුවේ එයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයන්ය. නැවත වරක් එකිනෙකාට අපහාස කර ගනිමින් වෛරයේ ගිනිසිළු මොලවන්නට ආගමික හා වාර්ගික පදනමකින් ක්‍රියාකාරී වූ අන්තවාදී සංවිධානයන් කිහිපයක ක්‍රියාකාරකම්ය.
ආගමික හා වාර්ගික සංහිඳියාව බිද වැටීමට හේතු වන කරුණු කිහිපයක් අපට පහසුවෙන් හඳුනා ගත හැක. තම දහම පිළිබඳ ව අන් අයට බලපෑම් කිරීමට යෑම මෙයින් පළමුවැන්නය. මෙය ඉස්ලාමීය ඉගැන්වීම් තරයේ ප්‍රතික්ෂේප කරන ක්‍රියාවකි.
“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත.” (අල්-කුර්ආන් 2: 256)

මීළඟ වැදගත්ම කරුණ වන්නේ අන් ආගමික ශාස්තෘන් වහන්සේලාට හා ආගම් වලට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමය. මෙය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව කිසිසේත්ම අනුමත ක්‍රියාවක් නොවේ.

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)

සංහිඳියාව බිඳ දමන තුන් වන කරුණ ලෙස අප දකින්නේ අන් සංස්කෘතීන් හා දහම් නොරිස්සීමය. මෙමගින් ලෝක යථාර්ථයක් වූ වාර්ගික හා ආගමික බහුත්වය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වේ. ඉස්ලාමීය ඉගැන්වීම් මෙම මතවාදය සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. ඉස්ලාමය ආගමික හා වාර්ගික බහුත්වය යථාර්ථයක් ලෙස පිළිගනී.
“එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල් – කුර්ආන් 18 : 29)

“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබ ව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. එකිනෙකා හඳුනා ගැනීම පිණිස ඔබ ව ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු.” (49:13)

මෙම ඉගැන්වීම් පදනම් කර ගෙන පළමු ව අප විසින් සමාජ සංහිඳියාව පිළිබඳ ව ක්‍රියා කරමින් සියලු ආගමික හා වාර්ගික කොටස් සමග සාමය හා සහෝදරත්වය පදනම් වූ බැඳියාවක් ගොඩ නගා ගන්නට කටයුතු කළ යුතු ව ඇත. දෙවනු ව ඇතැම් අවස්ථාවන් හි මුස්ලිම් සමාජයේ ඉතාම සුළු කොටසක් විසින් කරන නොමනා ක්‍රියා මුළුමහත් මුස්ලිම් ප්‍රජාවගේ මතය ලෙස නොගන්නා ලෙස අපගේ ගෞරවනීය සිංහල බෞද්ධ කිතුනු හා හින්දු ආගමික නායකයින්ගෙන් හා ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. තුන් වන හා වැදගත්ම කරුණ වන්නේ සැමට සමාන ලෙස නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජ පරිසරයක් ගොඩ නගන්නට අප සැවොම අත්වැල් බැඳ ගෙන ක්‍රියා කළ යුතු ව ඇත.

ඉස්ලාමීය කෝණයෙන් මෙම ලිපියේ ප්‍රධාන මාතෘකාව වෙත යොමු වෙමු. ඉස්ලාමයට අපහාස කිරීම් සිදු කිරීම මෑතක සිට ආරම්භක වූවක් නොවේ. විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන්ගෙන් වූ අල් කුර්ආනයේ සත්‍යය වදන් මුහම්මද් ධර්ම දුතයාණන් හට පහළ වීමට ආරම්භ වූ කාලවකවානුවේ සිට මෙය සිදු වෙමින් පවතී.
“(ප්‍රතික්ෂේප කළ) ඔවුන් පවසන දෑ පිළිබඳ ව නුඹ ඉවසිලිමත් වවු. අලංකාර වැළකීමකින් නුඹ ඔවුන්ගෙන් නුඹ වැළකී සිටිවූ”. (අල් කුර්ආන් 73 : 10)
මුහම්මද් තුමාණන්ගේ ආරම්භක ධර්ම ප්‍රචාර කටයුතු අතර වරක් එතුමා ජීවත් වූ මක්කා නගරයට ආසන්න කඳුකර ප්‍රදේශයක පිහිටි තායිෆ් නගරයට ගොස් එම ජනයාට ඉස්ලාමය පහදා දෙන්නට උත්සහ කළහ. එම නගරයේ ගෝත්‍රික නායකයින් නගර වැසියන් හා දරුවන් උසුළු විසුළු කරමින් එතුමාගේ දේශනයට සවන් දීම ප්‍රතික්ෂේප කළහ. එම නගර වැසියන් මහමග දිගේ විවිධ ආකාරයේ සරදම් බස් හා ගල්මුල් ප්‍රහාරයන් එතුමා වෙත එල්ල කළහ. මෙම සියලු තාඩන පීඩන ඉවසා දරා ගනිමින් ශරීරයෙන් ලේ ගලමින් ඔවුන්ගෙන් බැහැර වූ තැනක වාඩි වී විඩාව සංසිඳුවා ගන්නා අවස්ථාවේ මෙවන් අතවර කළ පිරිසට දඬුවම් දීම සඳහා මුහම්මද් තුමාණන්ගෙන් විමසා සිටි විට ‘මෙම නොදැනුවත් ජනයා මෙලෙස හැසිරුණත් ඔවුන්ගේ පරපුරේ ජනයා වත් සත්‍යයේ මග තෝරා ගනු ඇත යැ’යි ඔවුන්ට දඬුවම් දීම ප්‍රතික්ෂේප කළහ. එතුමාණන්ගේ ඉවසීමේ උත්තරීතර ගුණාංගය විදහා දක්වන සිදුවීම් රාශියක් මෙලෙස උපුටා දැක්විය හැක.

එතුමාණන්ගේ ගමන් මග රැක සිට එතුමාණන් වෙත කුණු විසි කිරීම එක් කාන්තාවකගේ දෛනික චර්යාව බවට පත් ව තිබුණි. කිසි දිනෙක එතුමාණන් මෙම කාන්තාවගේ නොමනා හැසිරීම පිළිබඳ ව තම විරෝධය දන්වා සිටීමට කටයුතු නොකළහ. දිනක් එම කාන්තාව නොසිටි හෙයින් ඇය පිළිබඳ ව විමසා සිටි විට ඇය රෝගාතුර වී සිටිණා බව මුහම්මද් තුමාණන්ට දැන ගන්නට ලැබිණි. ඇගේ සුව දුක් විචාරන්නට ඇගේ නිවසට ගිය මුහම්මද් තුමාණන් දුටු එම කාන්තාව මවිතයෙනුත් මවිතයට පත් වූවාය. මෙවන් උත්තමයෙකුට කළ හිරිහැරය ගැන සිතා අසීමිත ලෙස දුක්වන්නට වූවාය. ඇය එම අවස්ථාවේ ස්ව කැමැත්තෙන්ම ඉස්ලාමය වැලඳ ගත් බව ඉතිහාසය අපට සාක්ෂි දරයි.

ලොව වසන සියලු මුස්ලිම්වරුන්ගේ පරමාදර්ශියාණන් වූ මුහම්මද් තුමාණන් තමන් වෙත සෘජු ලෙස ම එල්ල කරන ලද අපහාස, උසුළු විසුළු, තාඩන පීඩන, සරදම්, බලහත්කාරකම් හා ශාරීරික හිංසන ආදිය පිළිබඳ ව ක්‍රියා කළේ මෙවන් කාරුණික හා මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වමින් නම් මෙම ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ව අප උගෙන ගෙන ඇත්තේ කුමක් ද කියා අසන්නට සිදු වෙනවා නොවේ ද? අපගේ දෙමව්පියන්, දරුවන්, පවුලේ සියලු ඥාතීන් හා සියලු මනුෂ්‍ය වර්ගයාට වඩා අපි එතුමාණන්ට ආදරය කරන්නෙමු. කිසි දිනෙක කිසිදු අවස්ථාවක මෙම තත්ත්වය වෙනස් කර ගන්නට අපි ඉදිරිපත් නොවන්නෙමු. නමුත් බොහෝ විට නොදැනුවත්කම හෝ වෛරය හෝ පදනම් කර ගෙන යමෙක් එතුමාණන්ට අපහාස වන අයුරින් කාටුනයක් පළ කළ විට ඒ පිළිබඳ අපගේ ප්‍රතිචාරය දැක්වීමක් වශයෙන් අතට අසු වූ අවියකින් ඔවුන් ඝාතනය කිරීමට ඉදිරිපත් වීම සත්‍යය වශයෙන් ම එම කාටුනයෙන් සිදු කරන ලද අපහාසයට වඩා වැඩි අති විශාල අපහාසයක් හා හානියක් අප මුහම්මද් තුමාණන්ට මෙන්ම එතුමා මගින් ලෝවැසි ජනයාගේ මෙලොව හා මතු ලොව ජයග්‍රහණය උදෙසා මහා කාරුණික දෙවිඳුන් විසින් පහළ කරන ලද සත්‍යය දහමට සිදු කරනවා නොවේ ද?

“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙකු ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය” (අල් කුර්ආන් 5 : 32)
“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලා ව නුඹලාගේ නිවෙස් වලින් බැහැර නොකළවුන්හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳ ව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 60 : 8)
“කවරෙකු නුඹලා සමඟ යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවූ. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන් ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2 : 190)

“(නබිවරය) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල භාර කරවු. සැබැවින්ම ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය”. (අල් කුර්ආන් 8 : 61)

සුළු සිදුවීම් පදනම් කර ගෙන අප හැසිරෙන නොමනා ආකාරය මගින් ලෝවැසි බිලියන 1.7ක් වූ ඉස්ලාමිකයින් ට අප අපහාසයක් හා අනිසි අසීරුතාවක් ඇති කරන බව පැවසීම සත්‍යයක් නොවන්නේ ද කියා අසන්නට කැමැත්තෙමු. ඉතාමත් ම සුළු සංසරණයක් ඇති කාටුන් හෝ අන් මාධ්‍යයකට මෙවන් නොමනා ක්‍රියා මගින් අති විශාල මුදල් කන්දරාවක් වැය කොට වූව ද කර ගත නොහැකි අති දැවැන්ත ප්‍රචාරයක් අප විසින් ලබා දෙනවා නොවේ ද? මෙවන් අපහාසාත්මක ප්‍රවෘත්ති කියවීමට කුතුහලයක් අප විසින් අපගේ නොමනා ක්‍රියා මගින් සිදු කර දෙනවා නොවේ ද? ඉතාම සුළු පිරිසක් අතර පමණක් සීමාවන්නට තිබු අපහාසාත්මක ප්‍රවෘත්තියක් ජාත්‍යන්තර ලෙස අලෙවි කිරීමට සක්‍රීය දායකත්වය ලබා දී ඇත්තේ අප විසින් නොවේ ද? කරුණාකර මොහොතක් මෙ පිළිබඳ ව මෙනෙහි කර බලන්න. ඉස්ලාමයේ සතුරන්ට වඩා අප ඉස්ලාමයේ සත්‍යය වූ ඉගැන්වීම් වලින් අති භයානක ලෙස දුරස්ථ වී ඇති බව නොවේ ද මෙම සිදුවීම් අපට හඬ නගා පවසන්නේ?

‘චාලි හෙබ්ඩෝ’ ඝාතනය හෙළා දකින අතරතුර භාෂණයේ නිදහස ගණිකා වෘත්තියේ යොදා ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ‘ඉස්ලාම් භීතිකාවක්’ හා ‘ඉස්ලාම් පිළිකුලක්’ ඇති කිරීමට වෙර දරන මන්ද බුද්ධිකයින් ව හෙළිදරවු කළ යුතු අතර මෙවන් පහත් හා නින්දිත ක්‍රියා පිළිබඳ ව ආගමික භේදයකින් තොරව හඬක් නැගීමේ පෙරමුණක් ගොඩ නැගීමට වහ වහා ක්‍රියා කළ යුතු ව ඇත. මෙම කුමන්ත්‍රණ පිටුපස ඇති බටහිර හා යුදෙව් අදිසි හස්තයන් හෙළිදරවු කිරීම පිළිබඳ විවෘත හා බුද්ධිමය සාකච්ඡා සෑම ක්ෂේත්‍රයක ම ආරම්භ කරන්නට කටයුතු කළ යුතුය.

චාලි හෙබ්ඩෝ කාටුන්, නයිජීරියානු පැහැර ගැනීම් හා මිනිස් ඝාතන, පාකිස්තානු පාසල් සිසු ඝාතන, ඉරාක හිස ගසා දැමීම් ආදිය සිදු කරන්නන් ඇමෙරිකානු, යුදෙව් හා බටහිර ඉස්ලාම් විරෝධී ප්‍රතිපත්තිය පසු බෑමකට ලක් කළා යැයි සිතා සතුට ට පත් වන තත්ත්වයක් ඇති කර ගැනීමට ඉඩ ඇත. සත්‍යය වශයෙන් ම ඉස්ලාමිකයින් පිරිසක් විසින් මෙලෙස ක්‍රියා කොට ඉස්ලාමයේ සතුරන්ගේ අපේක්ෂිත ඉලක්කයන් සාක්ෂාත් කර දීමට සක්‍රිය ලෙස තම දායකත්වය ලබා දී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. ජාත්‍යන්තර ‘ඉස්ලාම් භීතිකාව’ හා ‘ඉස්ලාම් පිළිකුල’ සාර්ථක ලෙස අලෙවි කරන්නට මෙවැනි ක්‍රියා තරම් සාර්ථක ප්‍රතිඵල ගෙන දිය හැකි අන් දෙයක් ඇති දැයි අසන්නට කැමැත්තෙමු.

විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන් විසින් ඉස්ලාමිකයින්ට බොහෝ භෞතික සම්පත් ලබා දී ඇත. වර්තමානයේ බහුතරයක් මෙම සම්පත් අති උතුම් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා වැය කරන්නේ ද යන්න ප්‍රහේලිකාවක් ව පවතී. මිහිපිට ස්වර්ගය නිර්මාණය කිරීමේ වෑයමක බොහෝ මුස්ලිම් රාජ්‍යය නායකයින් මෙම සම්පත් උපයෝගී කර ගෙන ඇති බව පෙනෙන්නට ඇත. තාවකාලික මෙලොව ජීවිතය වෙනුවෙන් මෙලෙස සම්පත් වැය කරන්නන් මරණින් මතු ලොව ජයග්‍රහණය උදෙසා එයින් කොටසක් වැය කරන්නේ නම් තත්ත්වය මෙයට වඩා හාත්පසින් වෙනස් වනු නොඅනුමානය. ඉස්ලාම් විරෝධී සියලු ව්‍යාපාර හා කටයුතු පිළිබඳ ජාත්‍යන්තර ජනමතයක් ගොඩ නැගීමට මෙම සම්පත් වැය කරන්නේ නම් තත්ත්වය මෙයට වඩා සහතික වශයෙන් ම යහපත් එකක් වනු ඇත. ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් සම්බන්ධයෙන් කරන්නා වූ අකටයුතුකම් හා අසාධාරණයන් පිළිබඳ සෑම රටකම මුස්ලිම් හා මුස්ලිම් නොවන ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් අති දැවැන්ත ජනමතයක් ගොඩ නැගුවේ නම් ඔවුන්ගේ කෲර කම් බොහෝ දුරට අඩුවන්නට ඇති ශක්‍යතාව වැඩි වන්නට ඉඩ තිබුණි. එලෙසම දැනට ඉස්ලාමයට එරෙහිව මතු කොට ඇති පදනම් විරහිත චෝදනාවන් සම්බන්ධයෙන් බුද්ධිමය හා තර්කානුකූල පැහැදිලි කිරීම් ලබා දිය යුතු ව ඇත. ඉස්ලාමයේ සත්‍යයතාව පැහැදිලි කර දීමට ද ජාත්‍යන්තර වැඩපිළිවෙලක් සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් අප සැමට සතුටු විය හැකි පරිසරයක් සහතික වශයෙන් ම බිහි වනු ඇත. කෙසේ නමුත් අන්ධකාරයට දෙස් දෙමින් නොසිට අපට හැකි පමණින් එක පහනක් වත් දල්වන්නට අවංක සිතින් ඉදිරිපත් වෙමුයි ආයාචනය කරන්නට කැමැත්තෙමි.
අවසාන වශයෙන් පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකිය දෙස අපසේ බුද්ධිමය අවධානය යොමු කරමු.

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) කවරක් යහපත් වන්නේ ද එයින් (අයහපත) වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම තිබුණේ ද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේ ය.” (අල් කුර්ආන් 41 – 34)

සකස් කිරීම: අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *