හැඳින්වීම 

වත්මන් ලොව බිලියන 1.5 කට ආසන්න අනුගාමිකයින් ප්‍රමාණයක් ඇති කිතුනු දහම හා ඉස්ලාමය අතර බොහෝ සමානකම් හා සම්බන්ධතාවන් ඇති බව මෙම දහම් පිළිබඳ විමසුමක යෙදෙන ඕනෑම අයෙකුට පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. ජේසු තුමාණන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ සත්‍යය ධර්ම දුතයෙකු බවත් එම යුගයේ යුදෙව් ජනයා වෙත වූ දිව්‍යමය මාර්ගෝපදේශය ලෙස එතුමාණන් හට පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ දහම සත්‍යය දහමක් බවත් පිළිගැනීම සෑම ඉස්ලාමිකයෙකු ම අනිවාර්යයෙන් ම කළ යුතු වෙයි. මර්යම් තුමිය ඉතා පාරිශුද්ධ කාන්තාවක් බවත් එතුමිය කිසිදු පිරිමි සම්බන්ධතාවකින් තොරව දේව අනුහසින් ගැබ් ගත් අතර එමගින් ජේසු තුමාණන් ව ලොවට බිහි කළ බවත් සෑම මුස්ලිම්වරයෙකු ම අනිවාර්යයෙන් ම විශ්වාස කළ යුතු වෙයි. 

“ඊස්රායිල්ගේ දරුවන ට (යුදෙව්වන්ට) දූතයෙකු ලෙස (ඊසා ව පත් කළේය). ‘නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් රැගෙන සැබැවින් ම මම නුඹලා වෙත පැමිණියෙමි. තව ද සැබැවින් ම මැටියෙන් පක්ෂියෙකුගේ හැඩයෙන් (වූ දැයක්) මම නුඹලාට නිර්මාණය කරමි. පසුව මම එයට පිඹින්නෙමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් (ජීවමාන) පක්ෂියෙකු වනු ඇත. තව ද අල්ලාහ්ගේ අනුමැතියෙන් මම (උපතින්) අන්ධ හා ලාදුරු රෝගීන් සුව කරමි. තව ද මළවුන ට ප්‍රාණය දෙමි. තව ද නුඹලා අනුභව කරන දෑ ද නුඹලාගේ නිවෙස් හි නුඹලා රැස්කරන දෑ ද මම නුඹලා ට දැනුම් දෙමි. නුඹලා විශ්වාසවන්තයින් ව සිටින්නේ නම් සැබැවින් ම නුඹලා ට මෙහි සාධකයක් ඇත’.” (අල් කුර්ආන් 3:49)

“උන් වහන්සේ කතා කරමින් ‘මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ’යි වදාළ සේක” (ශුද්ධවර මතෙව් 15:24)
“ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන් ට මෙසේ අණ දුන් සේක. ‘විජාතීන්ගේ මාවතකට පා නොතබන්න. සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න. ඊශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. එසේ ගොස් ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.” (ශුද්ධවර මතෙව් 10 : 5 – 7)
“ඊශ්‍රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස නාසරෙත් හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුම පුදුම දේවලින් ද ලකුණු වලින් ද පෙන් වූ සේක” (ක්‍රියා 2 : 22)
ඉහත අල් කුර්ආන් වැකියෙන් (3 : 49) ජේසු තුමා පිළිබඳ ව ඉදිරිපත් කොට ඇති කරුණු ඉහතින් උපුටා දක්වා ඇති බයිබල් වැකි මගින් ද සනාථ කොට ඇති අයුරු පැහැදිලි ව පෙනෙන්නට ඇත. එම කරුණු කුමක් ද යන්න පළමු ව විමසා බලමු.

1. ජේසු තුමාගේ ධර්ම දූත මෙහෙය ඊශ්‍රායෙන් ජනයාට එනම් යුදෙව්වන්ට පමණක් සීමා වූවකි.

2. ජේසු තුමා විසින් ප්‍රාතිහාර්යයන් සිදු කර ඇති අතර එය විශ්වයේ අධිපති දෙවිඳුන් විසින් එතුමාට ලබා දුන් ශක්තිය අනුව සිදු කළ දෙයකි.

3. මෙම ප්‍රාතිහාර්ය ක්‍රියාවන් හි අරමුණ එතුමාණන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ සත්‍යය ජනයා වෙත රැගෙන ආ දැහැමි මනුෂ්‍ය ධර්ම දුතයෙකු බව ඒත්තු ගැන්වීම ය.

මෙලෙස ඇතැම් ඉගැන්වීම් පිළිබඳ ඉස්ලාමීය හා කිතුනු ඉගැන්වීම් අතර සමානකම් තිබුණ ද කිතුනු ප්‍රජාවගේ ආගමික විශ්වාසයන් හා චර්යාවන් බොහෝ අවස්ථාවන් හි මෙම ඉගැන්වීම් හා බරපතළ පරස්පරතාවක් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ප්‍රධානතම ආගමික මුලාශ්‍රය බයිබලයයි. ප්‍රධාන වශයෙන් බයිබල් වර්ග දෙකක් දක්නට ඇත. කතෝලික කිතුනුවන් උපයෝගී කරන්නා වූ බයිබලයේ ග්‍රන්ථ 73 ක් ඇති අතර රෙපරමාදු (ප්‍රොතෙස්තන්තවාදී) කිතුනුවන් ගේ බයිබලයේ ග්‍රන්ථ හතක් අඩු අතර එහි ග්‍රන්ථ 66 ක් ඇත. කතෝලික කිතුනුවන්ගේ බයිබලයේ පැරණි ගිවිසුමේ ග්‍රන්ථ 46 ක් ඇති අතර රෙපරමාදු කිතුනුවන්ගේ බයිබලයේ පැරණි ගිවිසුමේ ග්‍රන්ථ 39 ක් ඇත.

රෙපරමාදු කිතුනුවන් පිළිනොගන්නා පැරණි ගිවිසුමේ ග්‍රන්ථ හත Apocrypha එනම් ශබ්දකෝෂ අර්ථය අනුව ‘බයිබලයට අලුතින් එකතු කළ පොත්, ප්‍රබන්ධ, සැක සහිත ප්‍රභවයෙන් යුක්ත, විශ්වසනීයත්වය සැකයට බඳුන් වන’ ආදී වශයෙන් විග්‍රහ කොට ඇත. (මුලාශ්‍රය: ‘ඉංගිරිසි සිංහල ශබ්දකෝෂය’ මහාචාර්ය සුචරිත ගම්ලත් – 294 වැනි පිටුව). රෙපරමාදුවන්ගේ ආරම්භක බයිබලයේ (King James Version) එනම් 1611 දී මෙම ග්‍රන්ථ අන්තර්ගත වූ අතර 1885 දී ඔවුන් විසින් මෙම ග්‍රන්ථ බයිබලයෙන් ඉවත් කරන ලදී. කතෝලිකයින්ගේ බයිබලයේ මෙම ග්‍රන්ථ ‘ද්විතීය සම්මත ග්‍රන්ථ’ (Deuterocanonical books) ලෙස හඳුන්වා ඇත.
නව ගිවිසුමේ මෙම බයිබල් වර්ග දෙකේම ග්‍රන්ථ 27 ක් ඇත. එයින් අඩක පමණ කර්තෘත්වය පාවුලු තුමා ට අයත් ය.

කිතුනු දහමේ සංකල්ප පිළිබඳ විමසුමක යෙදෙන්නට ප්‍රථම මුස්ලිම්වරුන් පිළිබඳ ව කිතුනු සමාජයේ ඇතැම් අය වෙත ඇති එක් මතයක් පිළිබඳ ව සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍යයි සිතන්නෙමු.

(මතු සම්බන්ධයි).

සකස් කිරීම: අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *