හැඳින්වීම
වත්මන් ලොව බිලියන 1.8 කට ආසන්න අනුගාමිකයින් ප්‍රමාණයක් ඇති කිතුනු දහම හා ඉස්ලාමය අතර බොහෝ සමානකම් හා සම්බන්ධතාවන් ඇති බව මෙම දහම් පිළිබඳ විමසුමක යෙදෙන ඕනෑම අයෙකුට පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. ජේසු තුමාණන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ සත්‍යය ධර්ම දුතයෙකු බවත් එම යුගයේ යුදෙව් ජනයා වෙත වූ දිව්‍යමය මාර්ගෝපදේශය ලෙස එතුමාණන් හට පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ දහම සත්‍යය දහමක් බවත් පිළිගැනීම සෑම ඉස්ලාමිකයෙකු ම අනිවාර්යයෙන් ම කළ යුතු වෙයි. මර්යම් තුමිය ඉතා පාරිශුද්ධ කාන්තාවක් බවත් එතුමිය කිසිදු පිරිමි සම්බන්ධතාවකින් තොරව දේව අනුහසින් ගැබ් ගත් අතර එමගින් ජේසු තුමාණන් ව ලොවට බිහි කළ බවත් සෑම මුස්ලිම්වරයෙකු ම අනිවාර්යයෙන් ම විශ්වාස කළ යුතු වෙයි. “ඊස්රායිල්ගේ දරුවන ට (යුදෙව්වන්ට) දූතයෙකු ලෙස (ඊසා ව පත් කළේය). ‘නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් රැගෙන සැබැවින් ම මම නුඹලා වෙත පැමිණියෙමි. තව ද සැබැවින් ම මැටියෙන් පක්ෂියෙකුගේ හැඩයෙන් (වූ දැයක්) මම නුඹලාට නිර්මාණය කරමි. පසුව මම එයට පිඹින්නෙමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් (ජීවමාන) පක්ෂියෙකු වනු ඇත. තව ද අල්ලාහ්ගේ අනුමැතියෙන් මම (උපතින්) අන්ධ හා ලාදුරු රෝගීන් සුව කරමි. තව ද මළවුන ට ප්‍රාණය දෙමි. තව ද නුඹලා අනුභව කරන දෑ ද නුඹලාගේ නිවෙස් හි නුඹලා රැස්කරන දෑ ද මම නුඹලා ට දැනුම් දෙමි. නුඹලා විශ්වාසවන්තයින් ව සිටින්නේ නම් සැබැවින් ම නුඹලා ට මෙහි සාධකයක් ඇත’.” (අල් කුර්ආන් 3:49)
“උන් වහන්සේ කතා කරමින් ‘මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ’යි වදාළ සේක” (ශුද්ධවර මතෙව් 15:24)
“ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන් ට මෙසේ අණ දුන් සේක. ‘විජාතීන්ගේ මාවතකට පා නොතබන්න. සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න. ඊශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. එසේ ගොස් ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.” (ශුද්ධවර මතෙව් 10:5-7)
“ඊශ්‍රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස නාසරෙත් හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුම පුදුම දේවලින් ද ලකුණු වලින් ද පෙන් වූ සේක” (ක්‍රියා 2 : 22)
ඉහත අල් කුර්ආන් වැකියෙන් (3:49) ජේසු තුමා පිළිබඳ ව ඉදිරිපත් කොට ඇති කරුණු ඉන් පසු උපුටා දක්වා ඇති බයිබල් වැකි මගින් ද සනාථ කොට ඇති අයුරු පැහැදිලි ව පෙනෙන්නට ඇත. එම කරුණු කුමක් ද යන්න පළමු ව විමසා බලමු.
- ජේසු තුමාගේ ධර්ම දූත මෙහෙය ඊශ්‍රායෙන් ජනයාට එනම් යුදෙව්වන්ට පමණක් සීමා වූවකි.
- ජේසු තුමා විසින් ප්‍රාතිහාර්යයන් සිදු කර ඇති අතර එය විශ්වයේ අධිපති දෙවිඳුන් විසින් එතුමාට ලබා දුන් ශක්තිය අනුව සිදු කළ දෙයකි.
- මෙම ප්‍රාතිහාර්ය ක්‍රියාවන් හි අරමුණ එතුමාණන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ සත්‍යය ජනයා වෙත රැගෙන ආ දැහැමි මනුෂ්‍ය ධර්ම දුතයෙකු බව ඒත්තු ගැන්වීම ය.
මෙලෙස ඇතැම් ඉගැන්වීම් පිළිබඳ ඉස්ලාමීය හා කිතුනු ඉගැන්වීම් අතර සමානකම් තිබුණ ද කිතුනු ප්‍රජාවගේ ආගමික විශ්වාසයන් හා චර්යාවන් බොහෝ අවස්ථාවන් හි මෙම ඉගැන්වීම් හා බරපතළ පරස්පරතාවක් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ප්‍රධානතම ආගමික මුලාශ්‍රය බයිබලයයි. ප්‍රධාන වශයෙන් බයිබල් වර්ග දෙකක් දක්නට ඇත. කතෝලික කිතුනුවන් උපයෝගී කරන්නා වූ බයිබලයේ ග්‍රන්ථ 73 ක් ඇති අතර රෙපරමාදු (ප්‍රොතෙස්තන්තවාදී) කිතුනුවන් ගේ බයිබලයේ ග්‍රන්ථ හතක් අඩු අතර එහි ග්‍රන්ථ 66 ක් ඇත. කතෝලික කිතුනුවන්ගේ බයිබලයේ පැරණි ගිවිසුමේ ග්‍රන්ථ 46 ක් ඇති අතර රෙපරමාදු කිතුනුවන්ගේ බයිබලයේ පැරණි ගිවිසුමේ ග්‍රන්ථ 39 ක් ඇත.
රෙපරමාදු කිතුනුවන් පිළිනොගන්නා පැරණි ගිවිසුමේ ග්‍රන්ථ හත Apocrypha එනම් ශබ්දකෝෂ අර්ථය අනුව ‘බයිබලයට අලුතින් එකතු කළ පොත්, ප්‍රබන්ධ, සැක සහිත ප්‍රභවයෙන් යුක්ත, විශ්වසනීයත්වය සැකයට බඳුන් වන’ ආදී වශයෙන් විග්‍රහ කොට ඇත. (මුලාශ්‍රය: ‘ඉංගිරිසි සිංහල ශබ්දකෝෂය’ මහාචාර්ය සුචරිත ගම්ලත් – 294 වැනි පිටුව). රෙපරමාදුවන්ගේ ආරම්භක බයිබලයේ (King James Version) එනම් 1611 දී මෙම ග්‍රන්ථ අන්තර්ගත වූ අතර 1885 දී ඔවුන් විසින් මෙම ග්‍රන්ථ බයිබලයෙන් ඉවත් කරන ලදී. කතෝලිකයින්ගේ බයිබලයේ මෙම ග්‍රන්ථ ‘ද්විතීය සම්මත ග්‍රන්ථ’ (Deuterocanonical books) ලෙස හඳුන්වා ඇත.
නව ගිවිසුමේ මෙම බයිබල් වර්ග දෙකේම ග්‍රන්ථ 27 ක් ඇත. එයින් අඩක පමණ කර්තෘත්වය පාවුලු තුමා ට අයත් ය.
කිතුනු දහමේ සංකල්ප පිළිබඳ විමසුමක යෙදෙන්නට ප්‍රථම මුස්ලිම්වරුන් පිළිබඳ ව කිතුනු සමාජයේ ඇතැම් අය වෙත ඇති එක් මතයක් පිළිබඳ ව සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍යයි සිතන්නෙමු.
මුස්ලිම්වරුන් අනුගමනය කරන්නේ පැරණි ගිවිසුමයි!
‘මුස්ලිම්වරුන් අනුගමනය කරන්නේ බයිබලයේ පැරණි ගිවිසුමයි, කිතුනු අප අනුගමනය කරන්නේ නව ගිවිසුමයි’, යන්න ඇතැම් කිතුනු සහෝදර පිරිස අතර ඇති එක් මතයකි. මෝසෙස්, දාවිත්, ජේසුස් හා මුහම්මද් (මෙම සැවොම කෙරෙහි මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) යන විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන්ගේ ධර්ම දුතයින් වෙත ලැබුණු දේව පණිවිඩයේ බොහෝ සමානතාවන් දැකිය හැකි වන්නේ මෙම පණිවිඩ සියල්ල එක් දේව මුලාශ්‍රයකින් ලැබී තිබීම හේතුවෙනි. අවාසනාවට අවසානයට දෙවිඳුන් විසින් පහළ කරන ලද දේව පණිවිඩය වූ අල් කුර්ආනය හැරෙන්නට අනෙකුත් කිසිදු දේව පණිවිඩයක් සම්පුර්ණ ලෙසම සුරක්ෂිත වී නොමැත. කෙසේ නමුත් මුල් දේව පණිවිඩයේ ඇතැම් කොටස් එහි දක්නට හැකියාවක් ඇත.
“රමළාන් කවරාකාර මාසයක් ද යත්, (සියලු) ජනයාට මඟ පෙන්වන්නක් ලෙස ද යහ මඟ පැහැදිලි කරන්නක් ලෙස ද (සත්‍යය හා අසත්‍යය) වෙන්කර පෙන්වන නිර්ණායකයක් ලෙස ද වූ අල් කුර්ආනය එහිම පහළ කරනු ලැබීය”. (අල් කුර්ආන් 2:185)
අල් කුර්ආනය සත්‍යය හා අසත්‍යය අතර නිර්ණායකයක් ලෙස ක්‍රියා කරන බව ඉහත වැකියේ සඳහන් කොට ඇති හෙයින් මෙයට පෙර වූ දේව ග්‍රන්ථයන් හි සඳහන් කරුණු අල් කුර්ආනයේ මුලික ඉගැන්වීම් හා සැසඳෙන කොටස් සත්‍යය කරුණු ලෙස පිළිගැනීමට අපට කිසිදු බාධාවක් නොමැත. කෙසේ නමුත් අල් කුර්ආනයට පෙර පහළ කරන ලද සියළුම දේව පණිවිඩයන් නිශ්චිත ජන කොට්ඨාශයකට නිශ්චිත කාලවකවානුවක් සඳහා පහළ කරන ලද්දකි.
“උන් වහන්සේ කතා කරමින් ‘මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ’යි වදාළ සේක” (ශුද්ධවර මතෙව් 15:24)
“ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන් ට මෙසේ අණ දුන් සේක. ‘විජාතීන්ගේ මාවතකට පා නොතබන්න. සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න. ඊශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. එසේ ගොස් ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.” (ශුද්ධවර මතෙව් 10:5-7)
කෙසේ නමුත් කිතුනුවන් පැරණි ගිවිසුම අනිවාර්යයෙන් ම පිළිගෙන අනුගමනය් කළ යුතු බව බයිබලය සඳහන් කරයි.
“මම (ජේසුස්) ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරනු පිණිස ආවෙමි’යි නොසිතන්න. මා පැමිණියේ, ඒවා අවලංගු කිරීමට නොව සම්පුර්ණ කිරීමට ය. සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපුර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. එබැවින් මෙම ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු යැයි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යැයි කියනු ලබන්නේ ය” (සුද්ධවර මතෙව් 5:17-19)
ජේසු තුමාණන් විසින් පවසන ලද බව සඳහන් මෙම බයිබල් ඉගැන්වීම අනුව ඉස්ලාමිකයින් අනුගමනය කරන හා කිතුනුවන්ගෙන් බහුතරයක් අනුගමනය නොකරන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.
“දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක”. (නික්මයාම 20:1)
“මා හැර අන් කිසි දු දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය. නුඹ සඳහා නෙළු රූපයක් හෝ අහසෙහි වත් පහළ පොළොවෙහි වත් පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න”. (නික්මයාම 20:3-5)
ඉහත ආඥාවන් ඉතාමත් ම නිවැරදි අයුරින් ඉස්ලාමිකයින් අනුගමනය කරන අතර කිතුනුවන්ගෙන් බහුතරයක් විසින් එයට පටහැනි අයුරින් ක්‍රියා කිරීම දකින්නට ඇත. ප්‍රතිමා නොමැති දෙව් මැදුරක් දැකිය හැක්කේ ඉස්ලාමිකයින් අතරේ පමණයි. එවැනිම තවත් ආඥාවක් දෙස අපගේ අවධානය යොමු කරමු.
“ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය.” (ලෙවීගේ ව්‍යවස්ථාව 11:7-8)
“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය” (ද්විතීය නීති සංග්‍රහය 14:8)
ඉහත විස්තර අනුව බයිබලයේ ඉගැන්වීම වනුයේ ඌරු මස් කිතුනුවන්ට කෑමට අවසර නොමැති මාංශයක් වන අතර එය අනුභව කිරීම දෙවිඳුන්ගේ දැඩි පිළිකුලට හේතු වන කරුණක් බවය. නමුත් ඔවුන් ඌරු මස් අනුභව කිරීම පිණිස බයිබල අනුමැතිය ලෙස පෙන්වන්නේ පාවුළු තුමා රෝම වැසියන්ට යැවූ ලිපියක අඩංගු කරුණක්ය.
“කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍රය.” (බයිබලය – රෝම 14:20)
පාවුළු තුමා මෙසේ පවසන්නට හේතුව එතුමා එපිස වරුන්ට යැවූ ලිපියේ සඳහන් පරිදි ජේසු තුමා නීතිරීති ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කල බව විශ්වාස කිරීමයි. මෙම විශ්වාසය ජේසු තුමාණන් විසින් ප්‍රකාශිත බව සඳහන් ඉහතින් උපුටා දැක්වූ ‘සුද්ධවර මතෙව් 5:17-19’ හි සඳහන් කරුණු සමග සෘජු පරස්පරතාවක් ඇති කරන්නකි. සියලු නීතිරීති ඇතුලත් ව්‍යවස්ථාව අවලංගු කිරීමෙන් ඌරු මස් අනුභවය හා බයිබල ඉගැන්වීම් අනුව අනිවාර්ය කටයුත්තක් වූ පිරිමින්ගේ ලිංගාග්‍ර චර්ම ඡේදනය ද අවලංගු කිරීමට පාවුළු තුමා විසින් කටයුතු කර ඇත.
“යුදෙව්වන් හා විජාතිකයින් එක් කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන්වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමු සේක.මේ දෙජාතිය නව මනුෂ්‍යත්වයක් කොට මවා සමඟිය ඇති කරන පිණිස උන්වහන්සේ නීති රීති ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක” (එපිස 2:14-15)
පාවුළු තුමාගේ ඉහත ප්‍රකාශනය ජේසු තුමාගේ ඉගැන්වීම් වලට සහමුලින්ම පටහැනි බව මෙයට පෙර උපුටා දැක වූ ශුද්ධවර මතෙව් 5:17-20 වැකි වලින් පැහැදිලි වෙයි.
ආහාරය පිළිබඳ පේදුරුතුමා විසින් පවසා ඇති කරුණක් කෙරෙහි ඔබගේ අවධානය පහතින් යොමු කරන්නට කැමැත්තෙමු.
“අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි” (ක්‍රියා 10:14)
ඉහත බයිබල් ඉගැන්වීම් සමග පුර්ණ අනුකුලතාවකින් කටයුතු කරන්නේ ඉස්ලාමිකයින් බව අවධාරණය කරන්නට කැමැත්තෙමු.
ජේසු තුමා මගින් දෙවිඳුන් ලොවට පහළ කළ ඉන්ජීල් (ශුභ පණිවිඩය) දහම පාවුළු තුමා විසින් කොතෙක් දුරට විකෘථ කොට ඇත්තේද යන්න සඳහා තවත් උදාහරණයක් ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මෙය අපගේ මුලික මාතෘකාවට අදාළ නොවුවත් වර්තමාන කිතුනු දහම පත් වී ඇති අභාග්‍යවන්ත තත්ත්වය අවබෝධ කර ගැනීමට මෙය බොහෝ සේ උපකාරී වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පිරිමින්ගේ ලිංගාග්‍ර චර්ම ඡේදනය පිළිබඳව පාවුළු තුමාගේ අදහස් පළමුව ඉදිරිපත් කොට ඉන් පසුව බයිබලයේ සඳහන් අනිකුත් වදන් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
“ඔබ චර්ම ඡේදනය ලබන්නාහු නම් ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුළු නම් මම ඔබට කියමි” (ගලාති 5:2)
“චර්ම ඡේදනයවත් අචර්ම ඡේදනයවත් වැදගත් නැත. වැදගත් දෙය නම් අලුත් මැවිල්ලක් වීමය” (ගලාති 6:15)
ඉහතින් උපුටා දක්වා ඇති පාවුළු තුමාගේ ඉගැන්වීම් බයිබලය අනුව කොතෙක් දුරට දෙවිඳුන්ගේ හා ජේසු තුමාගේ ඉගැන්වීම් හා සැසඳේද යන්න ඔබම තීරණය කරන්න. ජේසු තුමා මිහිතලය මත සිටි කාලවකවානුවේදී එතුමන්ගේ අනුගාමිකයින්ට අති මහත් සතුරෙකුව සිටි පාවුළු තුමා කෙසේ නම් දෙවිඳුන්ගේ ඉගැන්වීම් හා ජේසු තුමාගේ ඉගැන්වීම් අවලංගු කරමින් එය අබිබවා යන නව මත ඉදිරිපත් කරන්නට වරම් ලබා ගත්තේද යන්න විශාල ප්‍රහේලිකාවකි.
“දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ‘නුඹ (ඒබ්‍රහම් තුමා) ද නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතුය. නුඹද නුඹගේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැක ගත යුතු මාගේ ගිවිසුම නම් මේ ය; එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්ම ඡේදනය කළ යුතුය. නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතුය. මෙය නුඹලාත් මාත් අතර පිහිටු වන ගිවිසුමේ සංකේතය වන්නේය. නුඹලාගේ පෙළපත් වල සියලු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කළ ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. ඔව්හු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුව ද, නුඹේ පෙළපතට අයත් නැති, විදේශිකයෙකුගෙන් මිලට ගත් අය වුව ද, ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. ගෘහයෙහි උපන් තැනැත්තෝ වෙත් වා, නුඹ මිලදී ගත් තැනැත්තෝ වෙත් වා, ඔවුන් චර්මඡේදනය කළ යුතුය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංශයෙහි සලකුණු කරනු ලැබිය යුතුය. ලිංගාග්‍ර චර්ම ඡේදනය නොකළ අචර්ම ඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපා දමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති හෙයිනි.” (උත්පත්ති 17:9-14)
දෙවිඳුන්ගේ මෙම සදා කාලයටම වලංගු වන ලෙස ඇති කළ ගිවිසුම කඩකිරීම කෙතරම් භයානක එකක් ද යන්න ඔබටම වැටහේ යැයි සිතන්නෙමු. දෙවිඳුන්ගේ නියෝගයක් වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට බලය ඇත්තේ දෙවිඳුන්ට පමණි. එම වකවානුවේ දෙවිඳුන්ගේ මිහිතලය මත නියෝජිතයා වූ ජේසු තුමා මගින් එය සිදුවිය යුතුව තිබිණි. එසේ නොවී දෙවිඳුන්ගේ නියෝජිත වරයාට හා එතුමන්ගේ අනුගාමිකයින්ට සතුරු කම් කළ පාවුළු තුමා කෙසේ නම් දෙවිඳුන්ගේ නියෝගය අවලංගු කරන්නේද යන්න අප විසින් සිතා බැලිය යුතුව තිබෙනවා නොවේද? මේ සමග බයිබලයෙන් උපුටා දක්වන ලද ‘ශුද්ධවර මතෙව් 5:17-20’ යන වාක්‍යයන්ගෙන් ජේසු තුමා ඉදිරිපත් කළ ඉතා වැදගත් කරුණු කෙරෙහි ද ඔබගේ අවධානය නැවත යොමු කරවන්නට කැමැත්තෙමු. බයිබලයේ අඩංගු නීති රීති ඇතුලත් ව්‍යවස්ථාවලියට පටහැනිව යෑම ස්වර්ග රාජ්‍ය අහිමි කර ගැනීමක් ලෙස ජේසු තුමා මෙයින් උගන්වා ඇත. මෙයින් ඔප්පු වන පැහැදිලි සත්‍යය නම් නුතනයේ පවතින කිතුනු දහම දෙවිඳුන් විසින් පහළ කරනු ලැබූ සත්‍යය දහම ද නැතිනම් එයට පටහැනි ඉගැන්වීම් අඩංගු පාවුළු තුමාගේ ඉගැන්වීම් ඇතුළත් එකක් ද යන්න ඔබ විසින් ම තීන්දු කළ යුතු ව ඇත.
ස්නාවක ජොහාන් (John the Baptist) අටවන දින චර්ම ඡේදනය කරනු ලැබූ බව බයිබලය උගන්වයි.
“තවද, අටවන දා චර්ම ඡේදන පිළිවෙත පිණිස ඔවූහු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යැයි නම් තබන්නට සැරසුණහ. එහෙත්, ඔහුගේ මව කතා කරමින් ‘එසේ නොවේ; ඔහුට ජොහාන් යන නාමය තැබිය යුතු යැ’ යි කීවා ය.” (ශුද්ධවර ලුක් 1:59-60)
ජේසු තුමා ඉපදී අටවන දින චර්ම ඡේදනය කරනු ලැබූ බව බයිබලය අපට පැහැදිලි කරයි.
“උන් වහන්සේගේ චර්ම ඡේදන පිළිවෙත සඳහා අට දවස පිරුණු කළ, උන් වහන්සේ කුසෙහි පිළිසිඳ ගැනීමට පෙර දේව දුතයා විසින් දෙන ලද ‘ජේසුස්’ යන නාමය උන්වහන්සේට තබන ලද්දේය” (ශුද්ධ බයිබලය – ශුද්ධවර ලුක් 2:21)
සත්‍යය කුමක්ද යන්න තීන්දු කිරීමේ වගකීම ඔබ වෙතම පවරන්නෙමු. මීළඟට වර්තමාන කිතුනු දහමේ මුලික සංකල්යන් කෙරෙහි අවධානය යොමු කරමු.
වර්තමාන කිතුනු දහමේ මුලික සංකල්පයන්
වර්තමාන කිතුනු දහමේ විවිධ කණ්ඩායම් (නිකායන්) පහත සඳහන් සංකල්පයන් මත තම ආගමික විශ්වාසය සකස් කොට ගෙන ඇත.
- ත්‍රිත්වය – එනම් පීතෘන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ සුද්ධාත්මයන් වහන්සේ යන තිදෙනාම දෙවියන් වහන්සේ වන අතර මේ තිදෙනාම දෙවියන් වහන්සේලා තිදෙනෙකු නොව එක් කෙනෙකු බව විශ්වාස කිරීම.
- ජේසු තුමාණන් දෙවියන් වහන්සේ බව විශ්වාස කිරීම.
- ජේසු තුමාණන් දේව පුත්‍රයාණන් බව විශ්වාස කිරීම.
- මූල පාපය – ආදම් තුමා හා ඊවා (හව්වා) තුමිය කළ පළමු පාපය සියළු මිනිසුන් විසින් උරුම කරගෙන ඇති බව විශ්වාස කිරීම.
- මනුෂ්‍ය වර්ගයාගේ පාපයන් වෙනුවෙන් ජේසු තුමාණන් කුරුසියේ දිවූ පිදු බව විශ්වාස කිරීම.
ඉහතින් දක්වා ඇත්තේ කිතුනු දහමේ මුලික සිද්ධාන්තයන් ය. මෙම සිද්ධාන්තයන් පිළිබඳ ව විමසුමක් පහතින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
ත්‍රිත්වය (Trinity)
මෙම කිතුනු සිද්ධාන්තය අනුව පීතෘන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ සුද්ධාත්මයාණන් වහන්සේ යන දේව ත්‍රිත්වයක් පිළිබඳ විශ්වාසයක් කිතුනුවන් අතරේ ගොඩ නැගී ඇත. ආගමික සිද්ධාන්තයන් ගොඩනැගෙන්නේ තම ආගමික මුලික ධර්ම ග්‍රන්ථයන් හි අන්තර්ගත ඉගැන්වීම් පදනම් කරගෙනය. කිතුනු දහමේ මුලික ආගමික ධර්ම ග්‍රන්ථය බයිබලයයි. මෙම සිද්ධාන්තය කෙසේ වෙතත් ත්‍රිත්වය යන වචනයවත් බයිබලය තුළ කිසිදු තැනක අන්තර්ගත වී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතු ව ඇත. මෙම සංකල්පය පිළිබඳ ව ජේසු තුමාණන් පැවසු බවට කිසිදු වදනක් බයිබලයේ අන්තර්ගත වී නොමැත. මේ අතර ත්‍රිත්වය පිළිබඳ ඉතා ආසන්න අදහසක් අඩංගු එක් වැකියක් බයිබලයේ දක්නට ඇත. එය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“For there are three that bear record in heaven, the Father, the Word, and the Holy Ghost, and these three are one. (1 John 5:7)” (KJV) මෙහි ආසන්න පරිවර්තනය පහතින් දක්වා ඇත්තෙමු.
“ස්වර්ගයේ වාර්තා (සාක්ෂි) දරන්නන් තිදෙනෙක් ඇත. ඔවුන් නම් පීතෘන් වහන්සේ, වාක්‍යයාණෝ සහ සුද්ධාත්මයන් වහන්සේය. මෙම තිදෙනා එකය.” (1 ජොහාන් 5:7) (KJV)
ඉහත වැකිය දෙස අවධානය යොමු කිරීමේ දී ත්‍රිත්වය මෙයින් සනාථ වන බව පැවසිය හැක. නමුත් මෙම වැකිය පිළිබඳ බරපතල ගැටළුවක් අපට දක්නට ඇත. කිතුනු නිකායන් 50 කගේ අනුග්‍රහයෙන් හා ලොව අග්‍රගන්‍ය බයිබල් විද්වතුන් 32 කුගේ සහභාගිත්වයෙන් සකස් කරන ලද බයිබල් ග්‍රන්ථයක් 1952 දී එළිදක්වන ලදී. එය Revised Standard Version (RSV) යනුවෙන් නම් කරන ලදී. මෙම බයිබල් ග්‍රන්ථයේ 1 ජොහාන් 5:7 අංකය දක්නට ඇති අතර ඉහත වැකිය ඉවත් කොට ඒ පිළිබඳ පාද සටහනක් දක්වා ඇත. එම පාද සටනහේ පහත සඳහන් අයුරින් කරුණු ඉදිරිපත් කොට තිබෙනු දැකිය හැක.
“පැරණිතම බයිබල් මුලාශ්‍ර පරිශීලනය කිරීමේ දී මෙම වැකිය කිසිදු ආරම්භක මුලාශ්‍රයක දක්නට නොතිබුණි”. මෙයින් අදහස් වන්නේ කුමක් ද? මෙම වැකිය පසු කාලීනව බයිබල් ග්‍රන්ථයට ඇතුළත් කරන ලද්දක් බව නොවේ ද? පුදුමයට කරුණක් නම් 1952න් පසු මුද්‍රණය කරන ලද RSV හි නැවතත් මෙම වැකිය ඇතුළත් කොට තිබීමයි. කිතුනු සභාවේ බලපෑම මත මෙය කර ඇති බව සඳහන් වෙයි. තම දහමේ සංකල්ප තම ආගමික මුලාශ්‍රය පදනම් කර ගන්නේ නොමැති ව මිනිසුන්ගේ සිතැඟියාව අනුව වෙනස් කිරීමට ඉඩ හැරීමෙන් සිදු වන්නේ එම වැරදි මිනිස් සංකල්ප අනුගමනය කිරීමෙන් තම මෙලොව හා මතුලොව ජීවිත පරාජයට පත් කර ගැනීම නොවේ ද? කරුණාකර සිතා බලන්න. 1952 වන තෙක් නොසිට වර්ෂ 1400 කට පෙර මහා කාරුණික සත්‍යය දෙවිඳුන් විසින් පහළ කරන ලද අල් කුර්ආනය ත්‍රිත්වය ප්‍රතික්ෂේප කරන ලෙස දන්වා සිටී.
“දේව ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නොපවසනු. මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. එය ඔහුගේ(අල්ලාහ්ගේ) නියෝගයකි. එය මර්යම් වෙත හෙළුවේය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයා ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නොපවසනු (එයින්) වැළකෙනු. (එය) නුඹලාට යහපත් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාමය. ඔහුට දරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය”. (අල් කුර්ආන් 4:171)
“සැබැවින්ම අල්ලාහ් තිදෙනාගෙන් තුන්වැන්නා යැයි පැවසූ අය ද ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ. එකම දෙවිඳා (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම ස්පර්ශ වනු ඇත”. (අල් කුර්ආන් 5:73)
ජේසු තුමාණන් දෙවිඳුන් ද?
බයිබලයේ සඳහන් ජේසු තුමාණන්ගේ ප්‍රකාශන අනුව එතුමා කිසි විටෙක දේවත්වය ට හිමිකම් ඇත්තෙකු නොවන බවත් එතුමන් විශ්වයේ අධිපති සත්‍යය වූ එකම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්ම දුතයෙකු පමණක් බවත් සනාථ කිරීමට අවශ්‍ය ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙම බයිබල් සාක්ෂි සියල්ල ප්‍රතික්ෂේප කරමින් කිතුනුවන් දේවත්වයේ ත්‍රිත්වයක් විශ්වාස කරමින් ජේසු තුමාට ද දේවත්වය ආරුඪ කොට ඇත. මෙම සංකල්පය සත්‍ය බව ඔප්පු කිරීම සඳහා කිසිදු සෘජු වැකියක් ඔවුන් ඉදිරිපත් නොකරති. ජේසු තුමා විසින් ‘තමන් දෙවියන් වහන්සේය, තමන් ට නැමදුම් කරන්න’ වැනි කිසිදු සෘජු ප්‍රකාශනයක් සම්පුර්ණ බයිබලයේ කිසිදු තැනක දක්නට නොමැත.
කරුණු මෙසේ තිබියදී කිතුනුවන් ඇතැම් බයිබල් වැකි උපුටා දක්වමින් එයින් අනුමාන ලෙස ගම්‍ය වන අර්ථය ඉදිරිපත් කරමින් ජේසු තුමාගේ දේවත්වය සනාථ කිරීමට තර්ක ඉදිරිපත් කරති. මෙම තර්ක පිළිබඳ විමසුමක යෙදෙන්නට අප හා එක් වන ලෙස ඉතා කාරුණික ව ආරාධනා කරන්නෙමු.
“ආරම්භයේ දී ධර්මයාණෝ (වාක්‍යයාණෝ) සිටි සේක. ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමග සිටී සේක. ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක” (ශුද්ධවර ජොහන් 1:1)
John 1:1 “In the beginning was the Word, and the Word was with God, and the Word was God”.
ඉහත බයිබල් වැකිය කිසිදු සැකයක් හෝ ඒ පිටිපස සැඟවුණු සත්‍යය පිළිබඳ හැඟීමකින් තොරව ‘ධර්මයාණෝ’ හෝ ‘වාක්‍යයාණෝ’ යන්නට ‘ජේසු’ ආදේශ කළ විට ජේසු තුමාණන් දෙවියන් වහන්සේ යැ’යි පිළිගැනීම ට අපහසුතාවක් කිසිවෙකු ට තිබිය නොහැක. ජේසු තුමාණන් ට දේවත්වය ආරූඪ කිරීම පිණිස ඉදිරිපත් කරනු ලබන ප්‍රබල සාක්ෂියක් ලෙස මෙය අපට නිතර අසන්න ට ලැබෙන්නකි. මෙම වැකියේ අන්තර්ගත සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස එහි ඉංග්‍රීසි පරිවර්තනය ද ඉහතින් සඳහන් කර ඇත්තෙමු. මෙම වැකියේ මුලාශ්‍රය ඇත්තේ ග්‍රීක බසින් හෙයින් එම බසින් ඇති අර්ථය විමසා බැලීම ඉතා වැදගත් ය. මෙම වැකිය විමසුම ට ලක් කිරීමේ දී අපට පහත සඳහන් නිගමනයන් ට එළඹිය හැකිය යන්න අපගේ නිහතමානී විශ්වාසයයි.
- වර්තමාන බයිබලය අනුව මෙම වැකිය ශුද්ධවර ජොහන් ගේ ප්‍රකාශනයක් මිස ජේසු තුමන්ගේ ප්‍රකාශයක් නොවේ.
- මෙම වැකියේ ‘දෙවියන් වහන්සේ’ යන පදයේ පළමු යෙදුමට ග්‍රීක භාෂාවෙන් යොදා ඇත්තේ ‘හෝතියොස්’ (Hotheos) යන පදයයි. එහි අර්ථය නිශ්චිත එක් දෙවියෙක් (the God) යන්නය. මෙම වැකියේ ‘දෙවියන් වහන්සේ’ යන පදයේ දෙවැනි යෙදුමට ග්‍රීක භාෂාවෙන් යොදා ඇත්තේ ‘ටොන්තියොස්’ (Tontheos) යන පදයයි. එහි අර්ථය ‘එක් දෙවියෙකු’ (a god) යන්නය. මෙම වචන දෙක එකක් ලෙස අර්ථ දක්වමින් ආගමික ග්‍රන්ථ පරිවර්තනය කිරීම හා එය අනුමත කරමින් කටයුතු කිරීම ආගමික නායකයින් ට කිසිසේත් ම සුදුසු ක්‍රියාවක් ලෙස අප දකින්නේ නැත. තමන් සත්‍යය ලෙස පිළිගන්නා කරුණු නිවැරදි මුලාශ්‍ර උපුටා දක්වමින් සනාථ කිරීමට කටයුතු කිරීම ආගමික නායකයින්ගේ පරම වගකීමක් ලෙස අපි දකින්නෙමු. මෙය අපගේ අවංකත්වය හා සත්‍යවාදිත්වය මැනීමට ඇති මිනුම් දණ්ඩක් ලෙස හා සාක්ෂියක් බවට අපි සලකන්නෙමු. ‘එක් දෙවියෙකු’ (a god) යන්නෙන් ඇතැම් විට යමෙකුට ජේසු තුමාණන් එක්තරා ආකාරයක දෙවි වරුන්ගෙන් කෙනෙකු යන වැරදි අර්ථය පිළිගැනීමට ඉඩක් ඇති හෙයින් මේ පිළිබඳව ද විග්‍රහයක් අවශ්‍ය වෙයි.
- ‘එක් දෙවියෙකු’ (a god) යන්න පිළිබඳ විග්‍රහයක් ශුද්ධවර ජොහන් හි සඳහන් වී ඇති අයුරු විමසා බලමු.
“උන් වහන්සේ ට ගසන්න ට යුදෙව්වරු නැවත ගල් අතට ගත්හ. එවිට ජේසුස් වහන්සේ කතා කොට ‘පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නේ දැ’යි ඇසු සේක. යුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින් ‘අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව ඔබ කළ දෙවාපහාසය නිසා ය. මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා යැ’යි කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් ‘ඔබ දෙවිවරු යැ’යි කීමි’යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන් ට දෙවිවරු යැ’යි උන් වහන්සේ වදාළ සේක”. (ශුධවර ජොහන් 10:3–35)
ඉහත බයිබල් වැකියෙන් අපට අවබෝධ කර ගැනීමට කරුණු කිහිපයක් ඇත. විශ්වයේ අධිපති සත්‍යය වූ එකම දෙවිඳුන්ගේ වචනය දෙනු ලැබූවන් ට බයිබල් භාෂා යෙදුම් අනුව දෙවිවරු යැයි සඳහන් කිරීම සම්ප්‍රදායක් මිස එයින් ඔවුන් ‘දේවත්වයේ කොටස් කරුවන් හෝ දේවත්වය හිමි’ යන අර්ථය ලබා නොදෙන බව ඉතාමත් ම පැහැදිලි ය. ශුද්ධවර ජොහන් ඇතුළු ව එම යුගයේ යුදෙව් ජනයා ජේසු තුමාණන් සහතික වශයෙන් ම මිනිසෙකු මිස දෙවියන් වහන්සේ නොවන බව නිරවුල් ව අවබෝධ කරගෙන සිටි බව ඉහත උපුටා දැක් වූ බයිබල් වැකියන්ගෙන් පැහැදිලි වන තවත් වැදගත් සාධකයකි.
- සත්‍යය වශයෙන් ම ශුද්ධවර ජොහන් හි සඳහන් 1:1 වැකිය ශුද්ධවර ජොහන් ට හා ජේසු තුමාණන් ට බොහෝ කලකට පෙර පිලෝ ඇලෙක්සන්ද්රියා (Philo Alexandria) නමැති යුදෙව්වෙකු විසින් ලියන ලද්දක් බව පිළි ගත් කරුණකි. මෙවන් නිස්සාර හා ව්‍යාජ කරුණු ආගමික මුලාශ්‍රයන් හි ඇතුළත් කොට එවැනි දෑ පදනම් කර ගනිමින් වැරදි ආගමික සංකල්ප ගොඩ නගා ගැනීමෙන් හා ඒවා විශ්වාස කොට කටයුතු කිරීමෙන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ආශීර්වාදය හා භාග්‍යය අහිමි කර ගැනීම ට කටයුතු කිරීම කෙතරම් බුද්ධි ගෝචර ද යන්න කරුණාකර මෙනෙහි කර බලන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්න ට කැමැත්තෙමු.
“ ‘සැබැවින් ම ‘අල්ලාහ්’ මර්යම්ගේ පුත් මසීහ්ම යැ’යි ප්‍රකාශ කළවුන් සැබැවින් ම ප්‍රතික්ෂේප කළෝය. ‘ඊශ්‍රායින් දරුවනි! මාගේ ද නුඹලාගේ ද පරමාධිපති වූ අල්ලාහ් ව නුඹලා නමදිවු යැ’යි මසීහ් ප්‍රකාශ කළේය. සැබැවින් ම කවරෙකු අල්ලාහ් ට ආදේශ කළේ ද ඔහුට අල්ලාහ් ස්වර්ගය තහනම් කර ඇත. ඔහුගේ නවාතැන (නිරා)ගින්නය. තව ද අපරාධකරුවන් ට උදව් කරන්නන්ගෙන් කිසිවෙකු නොමැත” (අල් කුර්ආන් 5:72)
ජේසු තුමාණන්ගේ දේවත්වය ඔප්පු කිරීම පිණිස ඉදිරිපත් කරනු ලබන තවත් බයිබල් වැකියක් වෙත අපගේ අවධානය යොමු කරමු.
“මාත් මාගේ පියාණන් වහන්සේත් එකම යැ’යි වදාළ සේක”. (ශුද්ධවර ජොහන් 10:30)
John 10:30 “I and my Father are one”.
ඉහතින් උපුටා දක්වා ඇති බයිබල් වැකිය වෙත පමණක් අවධානය යොමු කරන්නෙකු ට සැබැවින් ම ජේසු තුමාණන් දෙවිඳුන් යැයි සිතීම ට ඇති හැකියාවක් ඇතැයි පිළිගන්නෙමු. නමුත් මෙහි ගැබ් වී ඇති සත්‍යය පිළිබඳ විමසුමක යෙදෙන විට එහි අන්තර්ගත සැබෑ අර්ථය කුමක් දැ’යි අවබෝධ කර ගැනීමට පහසු වනු ඇත. විශ්වයේ අධිපති දෙවිඳුන් හා ජේසු තුමාණන් අතර ඒකත්වයක් පිළිබඳ ඇති සටහන සැබැවින් ම මූල ධාතුවෙන් ම මහා කාරුණික දෙවිඳුන් හා ජේසු තුමාණන් අතර ඒකත්වයක් ඇති බව ට ඇති අර්ථ දැක්වීමක් ද? එසේ නොමැති නම් අරමුණින් හා පරමාර්ථයෙන් ඇති ඒකත්වයක් ද? අනෙකුත් බයිබල් වැකියන් හි ‘ඒකත්වය’ යන පදය කුමන අර්ථයෙන් යොදා ඇති දැ’යි විමසා බැලීමේ දී අපට පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
“මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔවුහු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව”. (ශුද්ධවර ජොහන් 17:11)
“පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන් ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත් ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය. අප ඒකත්වයක් ව සිටින්නා සේ ම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන් ට දුනිමි”. (ශුද්ධවර ජොහන් 17:21-22)
“ඒ හේතු කොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාව ට ඇලුම් වන්නේ ය. ඒ යුවළ එකම මාංශයක් වෙති. මෙසේ ඔවුහු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය”. (ශුද්ධවර මාක් 10:7 – 8).
“ඒ දවසේ දී මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැන ගන්නෙහු ය”. (ශුද්ධවර ජොහන් 14:20)
“මා තුළ සිටින්න. මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්න ට ඊට නොහැකි සේ ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම් පල දැරීම ට ඔබට නොහැකි ය. මිදි වැල මම ය. ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද මම ඔහු තුළ සිටීම් ද ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද මාගෙන් වෙන් ව කිසිවක් කරන්න ට ඔබට නොහැකි ය”. (ශුද්ධවර ජොහන් 15:4 – 5)
ඉහත බයිබල් වැකි විමසා බැලීමේ දී ‘ඒකත්වය’ යන පදය බයිබල් ව්‍යවහාරය අනුව උපයෝගී කොට ඇත්තේ ‘මූල ධාතුවෙන්’ ඇති ඒකත්වය විදහා දැක්වීම පිණිස නොව අරමුණින් හා පරමාර්ථයෙන් ඇති ඒකත්වය පැහැදිලි කිරීම පිණිස බව කිසිදු සැකයකින් තොරව පැහැදිලි ව දක්නට ඇති කරුණකි.
“මාත් මාගේ පියාණන් වහන්සේත් එකම යැ’යි වදාළ සේක”. (ශුද්ධවර ජොහන් 10:30) වැකියේ සන්දර්භය වෙත අවධානය යොමු කිරීමේ දී මෙම වැකියෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පැහැදිලි ව අවබෝධ කර ගත හැකි වනු ඇත.
“එකල ජෙරුසලමේ කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබීය. ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. එබැවින් යුදෙව්වරු පැමිණ උන් වහන්සේ වට කර ගෙන ‘ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තු වරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කීව මැනවැ’යි කීහ. ජේසුස් වහන්සේ ඔවුන් ට පිළිතුරු දෙමින් ‘ඔබට මම කීවෙමි. එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති. එහෙත් ඔබ මාගේ බැටළුවන් නොවන බැවින් මා විශ්වාස නොකරන්නහු ය. මාගේ බැටළුවෝ මාගේ කට හඬ අසති. මම ද ඔවුන් හඳුනමි. ඔවුහු ද මා පසුපස්සේ එති. මම ඔවුන් ට සදාතන ජීවිනය දෙමි. ඔවුහු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති. ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන් ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්න ට කිසිවෙකු ට නොහැකි ය. මාත් මාගේ පියාණන් වහන්සේත් එකම යැ’යි වදාළ සේක”. (ශුද්ධවර ජොහන් 10: 22 – 30)
මෙහිදී ද අපට දක්නට ඇත්තේ අරමුණින් හා පරමාර්ථයෙන් වූ එකීයත්වයක් බව ඉතාම පැහැදිලිය.
බයිබලය හා දේවත්වය
ජේසු තුමාණන් ව ඔබ විශ්වාස කරන්නේ විශ්වයේ නිර්මාතෘ හා අධිපති දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්ම දුතයාණන් කෙනෙකු ලෙස ද? නැතහොත් විශ්වයේ අධිපති දෙවිඳුන් ලෙස ද? පූර්ව නිගමනයන්ගෙන් බැහැර ව විවෘත මනසකින් බුද්ධිමත් හා විචාරශීලී චින්තනයෙන් යුක්ත ව පහතින් උපුටා දක්වා ඇති බයිබල් වැකි කියවන ඔබට හැඟෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ව කරුණාකර සිතා බලන්න.
“දෙවියන් වහන්සේ කතා කොට මෙ සියලු ආඥා වදාළ සේක. වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටත ට ගෙනා සමිඳාණන් මම ය. මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය. නුඹ සඳහා නෙළු රූපයක් හෝ ඉහළ අහසෙහි වත් පහළ පොළොවෙහි වත් පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසිම වස්තුවක ට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි”. (නික්මයාම 20:1–5)
“එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය”. (1 රාජාවලිය 8:60)
“ඊශ්‍රායෙල් ජනයෙනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරා ගතිමි. එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම් ගැනීම පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැන ගැනීම පිණිසත් ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත. එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය. මා හැර අන් ගැලවුම්කාරයෙක් නැත”. (යෙසායා 43:10-11)
“සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘ජාතීන් අතරේ ගැල වී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ළී රූප උසුලාගෙන යන, ගැලවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත. ඉදිරියට ඇවිත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමග මන්ත්‍රණය කර ගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැලවුම්කාර දෙවිඳාණෝ ය. වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත. ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැලවීම ලබා ගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත. (යෙසායා 45:20-22)
“නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි. මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගලවන්නෙමි. නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න; මා හා සම කිසිවෙක් ඇද් ද? වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති. ඔවුහු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්නේ වත්, විපතින් යමෙකු ගලවන්න වත් එයට බැරිය. ද්‍රෝහී ජනයිනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න. පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. (යෙසායා 46:4-9)
“උන් වහන්සේ මඟ බැස ගමන් ගණිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී ‘යහපත් ගුරු දේවයෙනි, සදාතන ජීවිතය (ස්වර්ග රාජ්‍යය) උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ’යි උන් වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට ‘මා යහපත් යැයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනු’යි වදාළ සේක. ඔහු ද උත්තර දෙමින් ‘ගුරු දේවයාණෙනි, මම මෙ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කළමේ’යි උන් වහන්සේ ට කීවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා ‘ඔබට එක් අඩු පාඩුවක් ඇත. යන්න, ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන් ට දෙන්න. ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න මා අනුගාමී වන්නැ’යි ඔහුට වදාළ සේක. එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී දොම්නසින් පිරී එතනින් නික්ම ගියේ ය. එසේ කෙළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි”. (ශුද්ධවර මාක් 10:17–22) (ශුද්ධවර මතෙව් 19:16 – 22)
“ජේසුස් වහන්සේ කතා කොට, මා අල්ලන්නට එපා, මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙත ට නොනැංගෙමි. ඒ නිසා දැන් මාගේ සහෝදරයන් වෙත ට ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නගින්නෙමියි ඔවුන්ට කියන්නැ’යි වදාළ සේක” (ශුද්ධවර ජොහන් 20:17)
“සදාතන ජීවනය මේ ය, එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද දැනගැනීම ය. ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පුර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණවීමි” (ශුද්ධවර ජොහන් 17:3-4)
“ඊශ්‍රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස නාසරෙත් හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුම පුදුම දේවලින් ද ලකුණු වලින් ද පෙන්වූ සේක” (ක්‍රියා 2:22)
“ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් විසින් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළාහු ය”. (ක්‍රියා 3:13)
“විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන් වහන්සේ සමග විවාද කරනු අසා උන් වහන්සේ ඔවුන් ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, ‘සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ’යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය; ඊශ්‍රායෙල් වැසියනි අසන්න අපේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය. නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ ට ප්‍රේම කරන්න. දෙවැන්න මෙ ය. නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියා ට ප්‍රේම කරන්න. මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැ’යි වදාළ සේක. එවිට විනයධරයා උන් වහන්සේ ට පිළිතුරු දෙමින්, ‘ගුරුදේවයෙනි, එය සැබෑය. උන් වහන්සේ එක ම තැනන් වහන්සේ යැයි ඔබ කීවා හරිය. උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේ ට ප්‍රේම කිරීම සහ තමා ට මෙන් ම තම අසල්වැසියා ට ප්‍රේම කිරීම, දවන යාග පුජා හා වෙනත් පුජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨයැ’යි කීවේ ය”. (ශුද්ධවර මාක් 12:28 – 33)
“උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක් රැස් වූ හ. ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්, ‘ගුරුදෙවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ’යි ඇසීය. උන් වහන්සේ ඔහුට කතා කොට ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ ට ප්‍රේම කරන්න. මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය. දෙ වන ආඥාව ද එයට සමානය. එනම් ‘නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යනුයි. මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මෙ ආඥා දෙක මත යැ’යි වදාළ සේක”. (ශුද්ධවර මතෙව් 22:34 – 40)
“එක්තරා විනයධරයෙක් නැඟිට උන් වහන්සේ පරීක්ෂා කරමින් ‘ගුරුදේවයෙනි, සදාතන ජීවනය (ස්වර්ග රාජ්‍යය) හිමි කර ගනු සඳහා මා කුමක් කටයුතු දැ’යි ඇසී ය. උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින් ‘ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කුමක් ද? ඔබ එය තේරුම් ගන්නේ කෙසේ දැ’යි ඇසු සේක. ඔහු උත්තර දෙමින් ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත් නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි’ කීය. උන් වහන්සේ ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි යැ’යි ඔහුට වදාළ සේක”. (ශුද්ධවර ලූක් 10:25–28)
“‘ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත. එවිට මම, ‘කිසි කලෙක ඔබ නොහැඳින්නෙමි, දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි”. (ශුද්ධවර මතෙව් 7:21–23)
“යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේ ට පෙන්වා, ‘ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි’යි උන් වහන්සේ ට කී ය. එවිට ජේසුස් වහන්සේ කතා කරමින් ‘සාතන් පලා යව! නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ ට නමස්කාර කරන්න, උන් වහන්සේ ට පමණක් සේවය කරන්න කියා ලියා ඇතැ’යි ඔහුට වදාළ සේක”. (ශුද්ධවර මතෙව් 4:8–10).
“උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කළ මුළු නුවර වැසියෝ කැලඹී ‘මෙ කවරෙක් දැ’යි ඇසුහ. සමුහයෝ ද ‘මෙතුමාණෝ ගැලීලියේ නාසරෙත් නුවර දිවැසිවර (දෙවිඳුන්ගේ ධර්ම දුතයාණන්) ජේසුස් වහන්සේ යැ’යි පිළිතුරු දුන්හ”. (ශුද්ධවර මතෙව් 21:10–11).
“එකල ජේසුස් වහන්සේ ඔවුන් සමග ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ ‘මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ’ යි සිය ශ්‍රාවකයන් ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද සෙබදිගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන් පසු උන් වහන්සේ ශෝකවන්ටත් සන්තාපවන්ටත් පටන් ගත් සේක. එකල උන් වහන්සේ ඔවුන් අමතමින් ‘මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය, ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ’යි වදාළ සේක. උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, ‘අහෝ මාගේ පියාණනි, හැකි නම් මෙ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවා’යි යාච්ඤා කළ සේක”. (ශුද්ධවර මතෙව් 26:36 – 39)
“තුනට පමණ ජේසුස් වහන්සේ ‘ඒලී ඒලී ලමා සබක්තනි’ කියා මහ හඬින් මොර ගැසුහ. එහි අර්ථය ‘මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද යනු’යි”. (ශුද්ධවර මතෙව් 27:46)
“තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක”. (ශුද්ධවර ලූක් 6:12)
“ ‘කවර කාරණා දැ’යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසු සේක. ඔවුහු උත්තර දෙමින් ‘නාසරත් හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක”. (ශුද්ධවර ලූක් 24:19)
“මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමය”. (ශුද්ධවර ජොහන් 5:30)
“එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ‘මාගේ ඉගැන්වීම් මාගේ ම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය. යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම් ඔහු ඒ ඉගැන්වීම් දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැයි දැනගන්නේය. තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත් තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත”. (ශුද්ධවර ජොහන් 7:16–18)
“එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැලඹී සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි. ‘ගල ඉවත් කරන්නැ’යි ජේසුස් වහන්සේ වදාළ සේක. ‘ස්වාමීනි, ඔහු මියගොස් සතර දිනකි, දැන් දුගඳත් ඇතැ’යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මර්තා කීවා ය. ජේසුස් වහන්සේ කතා කොට, ‘ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තෙජශ්‍රිය අත්දකින බව මා කීවා නොවේ දැ’යි ඈ ට වදාළ සේක. එවිට ඔවුහු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා ‘පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමුහයා අදහාගන්න පිණිස යැ’යි වදාළ සේක”. (ශුද්ධවර ජොහන් 11:38–42)
“මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදියි. ඔබ අසන ධර්මය මාගේ නොව මා ඒවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මය ය”. (ශුද්ධවර ජොහන් 14:24)
“ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය”. (1 තිමෝති 2:5)
“ඇත්තේ එක ම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහි ය. එය කදිමයි. දුෂ්ටාත්මයෝත් එසේ අදහා බියෙන් වෙවුලති”. (ජාකොබ් 2:19)
ඉහත එක් එක් වැකි කෙරෙහි පුර්ව නිගමනයන්ගෙන් තොරව අවංක සිතින් අවධානය යොමු කිරීමේ දී නියත වශයෙන් ම ඔබට පහත සඳහන් පැහැදිලි නිගමනයන් වෙත ලඟා වීමට හැකි වැනි ඇතැයි විශ්වාස කරන්නෙමු.
- විශ්වයේ නිර්මාතෘ සත්‍යය දෙවිඳුන් ඒකාන්තයෙන් ම එකීයය. උන්වහන්සේට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත.
- ජේසු තුමාණන් සහතික වශයෙන් ම දෙවිඳුන් හෝ දේවත්වයේ කොටස් කරුවෙකු නොවන බවත් එතුමාණන් එම කාලවකවානුවේ යුදෙව් ජනයා සඳහා මහා කාරුණික සත්‍යය දෙවිඳුන් විසින් පත්කළ ධර්ම දුතයාණන් ය,
විශ්වයේ අධිපති දෙවිඳුන් විසින් දැන් වූ කරුණු හැර ගුප්ත දෑ පිළිබඳ දැනුම ජේසු තුමාණන් ට තිබුණේ ද? එතුමාණන් දෙවිඳුන් නම් මේ දැනුම තිබිය යුතු නොවේ ද? කරුණාකර සිතා බලන්න.
“පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කළ උන් වහන්සේ ට බඩගිනි විය. උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කළ, කොළ මිස අන් කිසිවක් සම්බ නොවී ය. ඒ අත්තික්කා වාරය නොවූ බැවිනි”. (ශුද්ධවර මාක් 11:12–13)
“ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති. ස්වර්ගයෙහි දුතයෝ වත්, පුත්‍රයාණෝ වත්, නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය”. (ශුද්ධවර මාක් (13:32–34)
ජේසු තුමාණන්ගේ මිනිසත් ස්වභාවය ඉහත බයිබල් වැකි ඉතා පැහැදිලි අයුරින් සනාථ කරයි. ඉහතින් බොහෝ වැකි බයිබලයේ පැරණි ගිවිසුමෙන් උපුටා දැක්වුයෙමු. ඇතැම් කිතුනුවන් එය ඔවුන්ට අදාළ නොවන බව ඇතැම් විට පැවසීමට ඉඩ ඇත. එහෙයින් පැරණි ගිවිසුමේ කරුණු පිළිබඳ ව ජේසු තුමාණන්ගේ මතය කුමක් ද යන්න පහතින් නැවත උපුටා දක්වා දක්වා ඇත්තෙමු.
“මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරනු පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පුර්ණ කිරීමටය. සැබැවින් ම මම ඔබට කියමි අහස හා පොළොව පහ ව ගියත් සියල්ල පරිපුර්ණ වන තුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. එබැවින් මෙ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන් ට උගන්වන කවරෙකු වුව ද ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු යැ යි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුව ද ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යැයි කියනු ලබන්නේය. මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නෙහු යැයි ඔබට කියමි”. (ශුද්ධවර මතෙව් 5:17 – 20)
මිහිතලය මත වූ පළමු මිනිස් යුවළ තම ජීවිතය ආරම්භ කළ දින සිට මිනිසාගේ ආධ්‍යාත්මික හා සදාචාරාත්මක මඟ පෙන්වීම උදෙසා ඉතිහාසයේ විවිධ යුගයන් හි මිනිසුන් අතුරින් තෝරා ගත් දැහැමියෙකු ට විශ්වයේ නිර්මාතෘ හා අධිපති මහා කාරුණික දෙවිඳුන් (අල්ලාහ්) විසින් මාර්ගෝපදේශයන් පහළ කොට ඇත. මෙලෙසින් පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූයේ දෙවිඳුන් ගේ අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් ට පහළ කරන ලද අල් කුර්ආනයයි. මෙම සියලු මාර්ගෝපදේශයන් හි සංක්ෂිප්ත හරය ලෙස දැක්විය හැකි කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.
- සත්‍යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය
- ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත
- ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු හෝ නොමැත
- නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත
- මෙලොව මතුලොව ජයග්‍රහණය උදෙසා සත්‍යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය
අල් කුර්ආනය ට පෙර එකම සත්‍යය දෙවිඳුන් වූ සර්ව බලධාරී අල්ලාහ් විසින් පහළ කරන ලද සියලු මාර්ගෝපදේශයන් එක් ජන සමුහයක ට හෝ එක් කාලවකවානුවක ට පමණක් සීමා වූ නමුත් පාරිශුද්ධ අල් කුර්ආනය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම පහළ කරන ලද ලොව අවසන් දිනය දක්වා වලංගු අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය වෙයි.
“ඊශ්රායිල් දරුවනි (යුදෙව්වනි), සැබැවින් ම මම මට පෙර ඇති ‘තව්රාතය’ සැබෑ කරන්නා ලෙස ද මට පසු ව පැමිණෙන ‘අහ්මද්’ (මුහම්මද්) යන නමින් යුත් දුතයෙකු පිළිබඳ ව සුබාරංචි පවසන්නා ලෙස ද නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ් ගේ ධර්ම දුතයා (රසුල් වරයා) වෙමි යි මර්යම්ගේ පුත් ඊසා පැවසු අවස්ථාව ගැන (නබිවරය නුඹ සිතා බලන්න)”. (අල් කුර්ආන් 61:7)
“ඊශ්රායිල් දරුවනට (යුදෙව්වන්ට) ධර්ම දුතයෙකු (රසුල් වරයෙකු) වශයෙන් (ඊසා පත් කළේය)”. (අල් කුර්ආන් 3:49)
“උන් වහන්සේ (ජේසු තුමා) කතා කරමින් ‘මා එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ’යි වදාළ සේක”. (ශුද්ධවර මතෙව් 15:24)
අල් කුර්ආනය ට පෙර පහළ කරන ලද්දේ ජේසු (ඊසා) ධර්ම දුතයාණන් ට පහළ කරන ලද ‘ඉන්ජීල්’ නමින් හැඳින් වෙන දිව්‍යමය මාර්ගෝපදේශයයි. සැබැවින් ම වර්තමාන කිතුනු දහම බව ට පත් ව ඇත්තේ විශ්වයේ අධිපති අති උත්තරීතර දෙවිඳුන් (අල්ලාහ්) විසින් ඊසා ධර්ම දුතයාණන් ට (රසූල් වරයාණන් ට) පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ සත්‍යය දහමයි. නමුත් මෙහි මුල් පිටපත වර්තමානයේ සුරක්ෂිත ව නොමැති බව විද්වතුන්ගේ මතයයි. වර්තමාන ‘බයිබලය’ ඊසා ධර්ම දුතයාණන් ට පහළ කරන ලද මුල් කෘතිය ම නොවුව ද එහි අන්තර්ගතයේ යම් සත්‍යය තොරතුරු ඇති බව අපට දැක ගත හැකිය. මෙම නිගමනය ට ඒමට අපට උපකාරී වී ඇත්තේ ඉන්ජීලය ට පසුව පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනයයි.
“රමලාන් කවරාකාර මාසයක් ද යත්, මනුෂ්‍ය වර්ගයා ට මඟ පෙන්වන්නක් ලෙස ද යහ මඟ පැහැදිලි කරන්නක් ලෙස ද (සත්‍ය හා අසත්‍ය) වෙන්කර පෙන්වන්නක් ලෙස ද වූ අල් කුර්ආනය එහි ම පහළ කෙරිණි”. (අල් කුර්ආන් 2:185)
අල් කුර්ආනයේ අන්වර්ථ නාමයන්ගෙන් එකක් නම් ‘අල් ෆුර්ඛාන්’ යන්න ය. ‘නිර්ණායකය’ යන්න මෙහි සමීප අර්ථයයි. සැබැවින් ම අල් කුර්ආනය සත්‍යය හා අසත්‍යය අතර නිර්ණායකයයි. මෙම පදනම යටතේ වර්තමාන බයිබලයේ අඩංගු කරුණු වලින් අල් කුර්ආනය සමග එකඟතාවක් ඇති දෑ බොහෝ විට ඉන්ජීල මුල් පණිවිඩයේ කොටසක් විය හැකි බව ට උපකල්පනය කිරීම නිවැරදි බව අපගේ මතයයි. එහෙයින් මෙම ලිපියේ කරුණු සාකච්ඡා කිරීමේ දී අල් කුර්ආනය හා සැසඳෙන කරුණු පිළිබඳ ව අවධානය යොමු කොට ඇත්තෙමු.
ජේසුතුමා දිව්‍ය පුත්‍රයාණන් වහන්සේ ද?
වර්තමාන කිතුනු දහමේ සියලුම ප්‍රභේදයන්ට පොදු වූ සංකල්පයක් නම් ජේසු තුමාණන් ව විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන්ගේ පුත්‍රයාණන් ලෙස විශ්වාස කිරීම හා එලෙස පිළිගැනීමයි. ඉස්ලාමිකයින් අනිවාර්යයෙන් ම ජේසු තුමාණන් ව විශ්වාස කළ යුතු අතර එම විශ්වාසයේ පදනම කුමක් ද යන්න අල් කුර්ආන ය අපට කිසිදු ව්‍යාකුලත්වයකින් තොරව පැහැදිලි කර දෙයි.
මෙ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකි කිහිපයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“ඊශ්රායිල් දරුවනි (යුදෙව්වනි), සැබැවින් ම මම මට පෙර ඇති ‘තව්රාතය’ සැබෑ කරන්නා ලෙස ද මට පසු ව පැමිණෙන ‘අහ්මද්’ (මුහම්මද්) යන නමින් යුත් දුතයෙකු පිළිබඳ ව සුබාරංචි පවසන්නා ලෙස ද නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ් ගේ ධර්ම දුතයා (රසුල් වරයා) වෙමි යි මර්යම්ගේ පුත් ඊසා පැවසු අවස්ථාව ගැන (නබිවරය නුඹ සිතා බලන්න)”. (අල් කුර්ආන් 61:7)
“ඊශ්රායිල් දරුවනට (යුදෙව්වන්ට) ධර්ම දුතයෙකු (රසුල් වරයෙකු) වශයෙන් (ඊසා පත් කළේය). (අල් කුර්ආන් 3:49)
“දහම්ලත් ජනයිනි! නුඹලාගේ දහමේ නුඹලා සීමා ඉක්මවා නොයනු. තවද සත්‍යය හැර අන් කිසිවක් අල්ලාහ් ගැන නොකියනු. මර්යම්ගේ පුත් මසීහ් ඊසා (අන් කවරෙකුවත් නොව) අල්ලාහ්ගේ රසුල්වරයා (ධර්ම දූතයා) ද මර්යම් වෙත එවන ලද ඔහුගේ ආඥාව ද තවද ඔහුගෙන් වූ (ඔහුගේ අණින් නිර්මිත) ප්‍රාණය ද වේ. එබැවින් අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරුන් විශ්වාස කරනු. ත්‍රිත්වයක් යැ’යි නොපවසනු. (එසේ පැවසීමෙන්) වළකිනු. එය නුඹලාට යහපත්ය. අල්ලාහ් එකම දෙවියාය. තමාට පුත්‍රයෙකු සිටීමෙන් ඔහු සුවිශුද්ධය. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතුය. ආරක්ෂකයෙකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය”. (අල් කුර්ආන් 4:171)
“අර් රහ්මාන් (අපරිමිත දයාන්විත වූ අල්ලාහ්) පුතෙකු ගත්තේ යැ’යි ඔවුහු පැවසුවෝය. (මෙසේ කීමෙන්) නුඹලා (ඉතා) බරපතල දැයක් ගෙන හැර පෑය. ඔවුන් අර් රහ්මාන් (අපරිමිත දයාන්විත වූ අල්ලාහ්)ට පුතෙකු ආරෝපණය කිරීම නිසා එයින් අහස් ඉරිතලා මහපොළොව (කැබලි වලට) පැලී ගොස් සුනුවිසුණු වීමට තැත් කරයි. (ඇත්තෙන්ම) අර් රහ්මාන් (අපරිමිත දයාන්විත වූ අල්ලාහ්)ට පුතෙකු ගැනීම අවශ්‍ය නොවේ”. (අල් කුර්ආන් 19:88–92)
බයිබල් භාෂා යෙදුම අනුව දෙවිඳුන්ගේ පුත්‍රයින් ලෙසින් හැඳින්වෙන නම් බොහොමයක් දැකිය හැක.
“මම (දාවිත්) මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි. එතුමාණෝ (දෙවිඳුන්) මට කතා කොට ‘නුඹ මාගේ පුත් කුමරුය’, අද මම ඔබේ පිය රජ වූයෙමි”. (ගීතාවලිය 2:7)
“නුඹ (මෝසෙස්) ද පාරාවෝට කතා කොට ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘ඉශ්රායෙල් ජනතාව මාගේ කුළුඳුල් පුත්‍ර රත්නය ය” (නික්මයාම 4:22)
“…මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි. එප්‍රායිම් (ඒබ්‍රහම්) මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේය”. (ජෙරමියා 31:9)
“ඔහුම (සාමුවෙල්) මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය”. (2 සාමුවෙල් 7:13-14)
“මම ඔහු(දාවිත්)ට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේය”. (1වංශාවලිය 17:13)
“ඔහු(සලමොන්) ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇත. ඔහු මට පුත්‍රයෙක් වන්නේය. මම ඔහුට පියෙක් වන්නේය”. (1වංශාවලිය 22:10)
මෙලෙස දෙවියන් වහන්සේ විසින් තම පුත්‍රයාණන් ලෙස බොහෝ අයෙකු ව බයිබලය තුළ නම් කොට තිබුණත් කිතුනුවන් ශුද්ධවර ජොහන් 3:16 උපුටා දක්වමින් ජේසු තුමාණන් එවන් දේව පුත්‍රයෙකු නොවන බව සඳහන් කරති. පළමුව ශුද්ධවර යොහාන් 3:16 වෙත අපගේ අවධානය යොමු කරමු.
“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක ද කීවොත් ස්වකීය ඒක ජාතක (begotten) පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවිතය ලබන පිණිස ය” (ශුද්ධවර යොහාන් 3:16)
මෙම වැකිය තුළින් ඉතා බරපතල තත්ත්වයක් මතු කොට ඇත. එහි සඳහන් පරිදි ජේසු තුමාණන් දෙවිඳුන්ගේ ඒක ජාතක පුත්‍රයාය. බයිබලයේ සඳහන් අනෙකුත් දේව පුත්‍රයාණන් වාගේ නොව ජේසු තුමාණන් දෙවියන් වහන්සේට ජාතක ව උපන් පුත්‍රයෙක් ලෙස දැක්වීමට කටයුතු කොට ඇත. බොහෝ විට මර්යම් තුමිය ගැබ් ගත්තේ භෞතික මිනිසෙකුගේ සම්බන්ධයෙන් නොවීම මෙම මතය ඇති වීමට හේතු වන්නට ඇතැයි ඇතැමුන්ගේ අදහසයි. අල් කුර්ආනය මේ පිළිබඳ ඉතා අලංකාර හා තර්කානුකුල අදහසක් ඉදිරිපත් කරයි.
“අල්ලාහ් අභියස නියතව ඊසාට උදාහරණය, ආදම්ගේ උදාහරණය සේ ය. ඔහු ව පස්වලින් ඔහු (අල්ලාහ්) මවා, පසුව ඔහුට ‘කුන්’ (වනු) යැයි ප්‍රකාශ කළේය. එවිට ඔහු වුයේය” (අල් කුර්ආන් 3:59)
ඉහත ශුද්ධවර ජොහන් 3:16 වැකියේ අන්තර්ගත ‘ඒක ජාතක’ යන කොටස පිළිබඳ කරුණු විමසුමක යෙදීම වැදගත් යැයි සිතන්නෙමු. මෙයට පෙර අප විසින් සඳහන් කරන ලද කිතුනු නිකායන් 50 කගේ අනුග්‍රහයෙන් හා ලොව අග්‍රගන්‍ය බයිබල් විද්වතුන් 32 කුගේ සහභාගිත්වයෙන් සකස් කරන ලද Revised Standard Version (RSV) බයිබල් ග්‍රන්ථය1952 දී එළිදක්වන ලදී. මෙම බයිබල් ග්‍රන්ථයේ ශුද්ධවර යොහාන් 3:16 වැකියේ ‘ඒක ජාතක (begotten)’ නම් කොටස ඉවත් කොට ඇත. එයට හේතුව වශයෙන් දක්වා තිබුණේ පැරණිතම බයිබල් මුලාශ්‍ර පරිශීලනය කිරීමේ දී මෙය දක්නට නොතිබුණු බවයි. මෙයින් අදහස් වන්නේ පසු කාලීන ව මෙම කොටස බයිබලයට ඇතුළත් කොට ඇති බව නොවේ ද? නමුත් පසුව මුද්‍රණය කරන ලද RSV බයිබලයට කිතුනු සභාවේ බලපෑම් මත මෙම කොටස නැවත එකතු කොට තිබුණි.
ජේසු තුමාණන් ඒක ජාතක දේව පුත්‍රයාණන් යන මතය පළමුව ඉදිරිපත් කරන ලද්දේ පාවුළු තුමා විසිනි.
“ඔහු (පාවුළු නොහොත් සාවුල්) නොපමාව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, ‘උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යැ’යි ප්‍රකාශ කළේය” ක්‍රියා 9:20)
ශුද්ධවර මතෙව්, මාක් හා ලුක් හි ජේසු තුමාණන් පිළිබඳ සඳහන් කිරීමේ දී එතුමා දේව පුත්‍රයාණන් බව සඳහන් අවස්ථා 22ක් දැකිය හැක. මෙම අවස්ථා කිසිවක ජේසු තුමාණන් විසින් තමන් ව දේව පුත්‍රයාණන් බව එක් අවස්ථාවක දී වත් සෘජුව සඳහන් කොට නොමැත. මේ සියල්ල අන් අය විසින් සඳහන් ප්‍රකාශනයන් ය.
“ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ‘හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය පුත්‍රයාණන්ට (son of man) හිස තැබීමට තැනක් නැතැ’යි ඔහුට වදාළ සේක” (ශුද්ධවර මතෙව් 8:20)
“උන්වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ‘හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණෝ ය (son of man)” (සුද්ධවර මතෙව් 13:37)
“උන්වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, ‘තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; මනුෂ්‍ය පුත්‍රයාණෝ (son of man) පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක; නැගිටින්න, අපි යමු, මෙන්න මා පාවා දෙන්නා ලඟම යැ’යි වදාළ සේක” (සුද්ධවර මාක් 14:41)
“ ‘මනුෂ්‍ය පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝය’” (සුද්ධවර ලුක් 6:22)
‘මනුෂ්‍ය පුත්‍රයාණන්’ ලෙසින් තමන් ව හඳුන් වා දෙන අවස්ථා 80 ක් පමණ මෙලෙසින් දැකිය හැක. මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගන්නා විට ජේසු තුමාණන් මහා කාරුණික දෙවිඳුන්ගේ එකම ඒක ජාතක (begotten) පුත්‍රයාණන් යන්න කිසිදු අවස්ථාවක ජේසු තුමාණන් විසින් සෘජුව තමන් ව හඳුන්වා දීමට බයිබලය තුළ උපයෝගී කරගෙන නොමැති බව ඉතාම පැහැදිලි කරුණකි. පහතින් තවත් මුලික කිතුනු සංකල්පයක් වූ මුල පාපය සාකච්ඡා කරන්නට අදහස් කරන්නෙමු.
මුල පාපය හා එයින් මිදීම සඳහා කුරුසියේ ගැසීම
පැරණි ගිවිසුමේ පළමු කොටස වූ ‘උත්පත්ති’ ග්‍රන්ථයේ මිනිසාගේ නිර්මාණය හා ඔහුගේ වැටීම පිළිබඳ කරුණු දක්වා ඇත.
“ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද උන්වහන්සේ මිනිසාට අණ කරමින් ‘උයනේ සියළුම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත් හොඳ නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතුය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත යැ’යි වදාළ සේක”. (උත්පත්ති 2:15-17)
ආදම් තුමාගේ බිරිඳ වූ ඒවා(හව්වා) තුමියගේ දිරිගැන්වීම මත හා සර්පයාගේ නොමඟ යැවීම මත දෙවියන්ගේ අණ කඩකරමින් තහනම් ගසින් ගෙඩි අනුභව කළ හෙයින් දෙවිඳුන් විසින් එම දෙදෙනාටම ශාප කරන ලද බව දැක්වේ.
“උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: ‘නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසුත කරන්නෙහිය. එහෙත් නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේය. ඔහු නුඹ පාලනය කරන්නේය’. තවද උන්වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: ‘භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු යැ’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට ශාප වේවා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය; පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලැටි ද උපදින්නේය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේය. භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, දහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දුවිල්ලටම යන්නෙහි ය’ “ (උත්පත්ති 3:16-19)
ආදම්තුමා හා ඒවා (හව්වා) තුමිය විසින් කරන ලද්දාවූ මෙම මුල පාපය් සකල මනුෂ්‍ය වර්ගයාම උරුම කරගත් බව පාවුළු තුමා විසින් උගන්වා ඇත.
“එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණය ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියටම පොදුව පවතී”. (රෝම 5:12)
“එක මිනිසෙකු කරණකොටගෙන මරණය පැමිණියාක් මෙන් ම, එක මිනිසෙකු කරණකොටගෙන මළවුන්ගෙන් උත්ථානය ද පැමිණියේය. ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ සියල්ලෝම ජීවනයට පමුණුවනු ලබන්නෝය”. (1 කොරින්ති 15:21-22)
පාවුළු තුමා විසින් ගෙන එනු ලැබූ මුල පාප සංකල්පය අනෙකුත් බයිබල් වැකි මගින් සහමුලින්ම ප්‍රතික්ෂේප කොට ඇත.
“දරුවන්ගේ වැරදි වලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදි වලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධ වලට මරණයට පත් කරනු ලැබේ”. (ද්විතීය නීති සංග්‍රහය 24:16)
“ඒ කාලය පැමිණි විට ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය, දරුවන්ගේ දත් හිරි වැටුණේ යැ’යි තවත් කියනු නොලබන්නෝ ය. එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය”. (ජෙරමියා 31:29 30)
“සමිඳාණන් වහන්සේ මට යළිත් මෙසේ වදාළ සේක. ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝය, දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඊශ්‍රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද? ඊශ්‍රායෙල් හි මේ ප්‍රස්තාව පිරුළ මින් පසු කියනු නොලැබේ යැයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි. බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය, පියාගේ ජීවිතය මෙන්ම පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය”. (එසකියෙල් 18:1–4)
“එහෙත් පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පිළිපැද ඒවා ඉටු කර තිබේ නම් ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිව යුත්තෙක් නොවේ. පියා ද පුත්‍රයාගේ අයුතු කමට වගකිව යුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේය”. (එසකියෙල් 18:19–20)
ඉහත වැකි සහමුලින්ම ආදම්තුමාගේ හා ඒවාතුමියගේ පාපය සකල මනුෂ්‍ය වර්ගයාම උරුම කරගත්තා යැයි සඳහන් වර්තමාන කිතුනු සංකල්පය සමග සෘජුවම පරස්පරතාවක් දක්වනවා නොවේ ද? ජේසු තුමාණන් ඇතුළු ව කිසිවෙකු තවත් අයෙකුගේ භාරය හෝ පාපය උසුලන්නේ නැති බව බයිබලය සාක්ෂි දරයි. එසේ නම් තම ආරම්භක දෙමව්පියන්ගේ පාපයෙන් උරුම කර ගත්තා යැයි පවසන මුල් පාපයෙන් මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීම සඳහා පාපයෙන් තොර වූ පාරිශුද්ධ රුධිරය කුරුසිය මත පිදීමට ජේසු තුමා පැමිණියේ යැයි පවසන්නේ කෙලෙස ද? කුරුසියේ දිවි පිදීම සඳහා ජේසු තුමාණන් පැමිණියා නම් පහත සඳහන් බයිබල් වැකිය අනුව එම තත්ත්වයෙන් තමන් ව මුදවා ගන්නට ජේසු තුමාණන් මහා කාරුණික දෙවිඳුන්ට යාඤා කළ බව දක්වා තිබෙන්නේ කෙලෙස ද?
“එකල ජේසුස් වහන්සේ ඔවුන් සමග ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ ‘මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ’ යි සිය ශ්‍රාවකයන් ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද සෙබදිගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන් පසු උන් වහන්සේ ශෝකවන්ටත් සන්තාපවන්ටත් පටන් ගත් සේක. එකල උන් වහන්සේ ඔවුන් අමතමින් ‘මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය, ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ’යි වදාළ සේක. උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, ‘අහෝ මාගේ පියාණනි, හැකි නම් මෙ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවා’යි යාච්ඤා කළ සේක”. (ශුද්ධවර මතෙව් 26:36 – 39)
මිනිසාට ස්වර්ග රාජ්‍යය ලබා ගැනීම සඳහා ඔහු විසින් කළ යුත්තේ කුමක් ද යන්න ජේසු තුමාණන් විසින් ඉතා පැහැදිලි අයුරින් සඳහන් කොට තිබෙනවා නොවේද?
“එක්තරා විනයධරයෙක් නැඟිට උන් වහන්සේ පරීක්ෂා කරමින් ‘ගුරුදේවයෙනි, සදාතන ජීවනය (ස්වර්ග රාජ්‍යය) හිමි කර ගනු සඳහා මා කුමක් කටයුතු දැ’යි ඇසී ය. උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින් ‘ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කුමක් ද? ඔබ එය තේරුම් ගන්නේ කෙසේ දැ’යි ඇසු සේක. ඔහු උත්තර දෙමින් ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත් නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි’ කීය. උන් වහන්සේ ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි යැ’යි ඔහුට වදාළ සේක”. (ශුද්ධවර ලූක් 10:25–28)
“උන් වහන්සේ මඟ බැස ගමන් ගණිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී ‘යහපත් ගුරු දේවයෙනි, සදාතන ජීවිතය (ස්වර්ග රාජ්‍යය) උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ’යි උන් වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට ‘මා යහපත් යැයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනු’යි වදාළ සේක. ඔහු ද උත්තර දෙමින් ‘ගුරු දේවයාණෙනි, මම මෙ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කළමේ’යි උන් වහන්සේ ට කීවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා ‘ඔබට එක් අඩු පාඩුවක් ඇත. යන්න, ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන් ට දෙන්න. ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න මා අනුගාමී වන්නැ’යි ඔහුට වදාළ සේක. එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී දොම්නසින් පිරී එතනින් නික්ම ගියේ ය. එසේ කෙළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි”. (ශුද්ධවර මාක් 10:17–22) (ශුද්ධවර මතෙව් 19:16 – 22)
ඉහත ඉගැන්වීම් කිසිවක ස්වර්ගය ලබා ගැනීම පිණිස තමා විසින් කුරුසියේ හෙලනු ලබන පාරිශුද්ධ රුධිරය කෙරෙහි විශ්වාසය තමන ලෙස සඳහන් කොට තිබේ ද? කරුණාකර සිතා බලන්න.
පාපයට ප්‍රතිකර්මය ජේසු තුමා විසින් කුරුසිය මත හෙළු පාරිශුද්ධ රුධිරය පිළිබඳ විශ්වාසය ඇති කර ගැනීම නොව තම පාපය පිළිබඳ ව පශ්චාත්තාප වී දෙවිඳුන්ගේ මඟ ට අවතීර්ණ වී දෙවිඳුන්ගේ සියලු අණ පණත් පිළිපැදීම බව බයිබලය උගන්වනවා නොවේ ද?
“එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාප වලින් හැරී මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත් ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය”. (එසකියෙල් 18:21)
“එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීම ට වුවමනා ව නැතැ’යි සිතන සිල්වතුන් අනු නව දෙනෙකු ට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ යැයි මම ඔබට කියමි”. (ශුද්ධවර ලූක් 15:7)
“ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන් ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්න ට ද යුතු ම යැයි ලියා ඇත”. (ශුද්ධවර ලූක් 24:47)
“පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ යැයි කීය”. (ශුද්ධවර මතෙව් 3:2)
“එවක් පටන් ජේසුස් වහන්සේ ‘පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය’ කියා දේශනා කරන්න පටන් ගත් සේක”. (ශුද්ධවර මතෙව් 4:17)
ඉහත ඉගැන්වීම් සියල්ල උගන්වන්නේ මහා කාරුණික දෙවිඳුන් විසින් මිහිපිට තම ධර්ම දුතයාණන් මගින් ලබා දී ඇති මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සහ තමන් විසින් සිදුකරන්නට වූ පාපයන් සඳහා පශ්චාත්තාප වී මහා කාරුණික දෙවිඳුන්ගෙන් සමාව ඇයද සිටින්නන්ට ස්වර්ග රාජ්‍යයේ දොරටු විවෘත බව නොවේ ද?
“නුඹලා දැනගෙන සිටින තත්වයේ අසත්‍යය සමඟ සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු”. (අල්-කුර්ආන් 2:42)
බුහාරි හා මුස්ලිම් යන හදීස් ග්‍රන්ථයන්හි සඳහන් නබි වදන උපුටා පහතින් දක්වා ඇත්තෙමු.
“සත්‍යය නියතවශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම සත්‍යය වාදියෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියාගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියතවශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම මිනිසෙකු බොරුකාරයෙකු ලෙස අල්ලාහ් විසින් ලියාගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි.” (බුහාරි/මුස්ලිම් නබි වදන්)
“ඔබ සත්‍යය අවබෝධ කරගන්නෙහුය. සත්‍යය ඔබ නිදහස් කරන්නේය”. (ශුද්ධවර ජොහන් 8:32)
““අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.“ යැයි නුඹලා පවසනු”. (අල් කුර්ආන් 2:136)
ඉහතින් අපි කිතුනු දහමේ මුලික සංකල්ප කිහිපයක් සාකච්ඡා කළෙමු. කරුණාකර පහත සඳහන් බයිබල් වැකි කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරන්න.
“එවිට මම පියාණන් වහන්සේගෙන් අයදින්නෙමි; උන්වහන්සේ ද ඔබ සමග සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක”. (ශුද්ධවර ජොහන් 14:16)
ඉහත වැකියෙන් ජේසු තුමාණන් ඉදිරි කාලයේ දී පැමිණෙන නව සහායදායකයෙකු පිළිබඳ අදහස් දක්වන්නෝහ. මෙහි සඳහන් නව සහයදායකයාණන් පිළිබඳ සඳහන් කරන විට බහුතරයක් සිතන්නේ මේ ශුද්ධාත්මයන් පිළිබඳ කරන ලද සටහනක් බවයි. එය එසේ නොවන බව පහත සඳහන් වැකියන්ගෙන් පැහැදිලි වෙයි.
“කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මාගේ නික්ම යෑම ඔබේ ශුභසිද්ධිය පිණිසය. මා නික්ම නොගියොත් සහයදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙම් නම් උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි. උන්වහන්සේ පැමිණි කල, පාපය ගැන ද ධර්මිෂ්ඨකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයාට වටහා දෙන සේක”. (ශුද්ධවර ජොහාන් 16:7-8)
මෙහි සඳහන් සහයදායකයාණන් සත්‍යය වශයෙන් ම ශුද්ධාත්මයාණන් නොවන්නේ එම සහයදායකයාණන් ජේසු තුමාණන්ගේ නික්ම යාමෙන් පසුව එන බව සඳහන් කොට තිබෙන හෙයිනි. ශුද්ධාත්මයාණන් ජේසු තුමාණන් මිහිපිට සිටි කාල වකවානුවේ එතුමාණන් සමග සිටි බව බයිබලය ඉතා පැහැදිලි අයුරින් සඳහන් කොට ඇත. එහෙයින් මෙම සහයදායකයාණන් කවුරුන් ද යන්න පිළිබඳ තවත් විස්තර පහතින් දක්වා ඇති බයිබල් වැකි කරුණු දක්වා සිටි.
“ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. එහෙත්, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන්වහන්සේ සම්පුර්ණ සත්‍යය කරා යෑමට ඔබට මංපෙන්වන සේක. මන්ද, උන්වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන්වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. උන්වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක. (ශුද්ධවර ජොහාන් 16:12-14)
ඉහත බයිබල් වැකි පිළිබඳ අපට අවබෝධ කරගත හැකි කරුණු පහතින් දක්වා ඇත්තෙමු.
- ජේසු තුමාණන්ගේ පණිවිඩය පරිපුර්ණත්වයෙන් යුක්ත වුවක් නොවන බවත් සම්පුර්ණ සත්‍යය කරා යොමු වීමට නම් ඒමට නියමිත සහයදායකයාණන් නොහොත් සත්‍යතාවේ ආත්මයාණන්ගේ පැමිණීම හා එමගින් ලැබෙන පණිවිඩය අනුගමනය කළයුතු බව (“ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. එහෙත්, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන්වහන්සේ සම්පුර්ණ සත්‍යය කරා යෑමට ඔබට මංපෙන්වන සේක”). මේ අනුව මතු එන මහා කාරුණික දෙවිඳුන්ගේ නියෝජිතයෙකු පිළිබඳ අනාවැකියක් මෙහි ජේසු තුමාණන් විසින් සඳහන් කොට තිබෙනවා නොවේ ද?
- සත්‍යතාවේ ආත්මයාණන් කවුරුන් ද යන්න අවබෝධ කර ගැනීමට ඉහත බයිබල් උපුටා ගැනීමේ ඉතිරි කොටසින් අදහස් දක්වා ඇත. එනම් එතුමාණන් තම සිතැඟියාව අනුව කටයුතු නොකොට තමන් වෙත ලැබෙන දේව පණිවිඩය ජනතාව වෙත ඉදිරිපත් කරමින් කටයුතු කරන බව පැහැදිලිව දක්වා ඇත. (“මන්ද, උන්වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන්වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත”.) ජේසු තුමාණන් ට පසු ව තමන් වෙත ලැබුණු දේව පණිවිඩය අනුව ජනතාව යහමඟට යොමු කළ දෙවිඳුන්ගේ දුතයාණන් කවරෙක් අ? කරුණාකර මොහොතක් සිතා බලන්න. තමා වෙත ලැබුණු දේව පණිවිඩය අල් කුර්ආනය වන අතර එම පණිවිඩය ලැබූ දුතයාණන් වුයේ මුහම්මද් තුමාණන් හැර අන් කවරෙක් ද? ඒ සඳහා වූ සාක්ෂි ඉහත බයිබල් උපුටා ගැනීමේ අවසාන කොටසින් දක්වා ඇත. ඒ වෙතත් අවධානය යොමු කරමු.
- ජේසු තුමාණන් සතු දෙයින් ගෙන එතුමාණන්ගේ සත්‍යතාව තහවුරු කළ එකම දේව පණිවිඩය අල් කුර්ආනය වන අතර ජේසු තුමාණන්ව මහිමයට පත් කළ එකම දේව පණිවිඩය ද අල් කුර්ආනයයි. ජේසුතුමාණන්ගේ සත්‍යහාව හා ශ්‍රේෂ්ඨත්වය ලොවට හෙළි කළ දුතයාණන් වුයේ මුහම්මද් තුමාණන් පමණක් වන අතර එම දුතයාණන් ව හා එතුමාණන් ලැබූ දේව පණිවිඩය වූ අල් කුර්ආනය මතු කාලයේ දී අනුගමනය කරන ලෙස නොවේ ද ඉහත බයිබල් උපුටා ගැනීමෙන් ජේසු තුමාණන් තම අනුගාමිකයින් වෙත දන්වා සිටින්නේ යන්න පිළිබඳ අප සිථා බැලිය යුතු නොවන්නේ ද? මෙය ඔබගේ කාරුණික හා බුද්ධිමය චින්තනය සඳහා ඉදිරිපත් කරන්නෙමු.
සකස් කිරීම: අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com