බයිබලයෙන් තොරතුරු පිටපත් කොට අල් කුර්ආනය මුහම්මද් තුමාණන් විසින් සකස් කළ බවට විශේෂයෙන් ම ඇතැම් කිතුනු සහෝදරයින්ගෙන් චෝදනාවක් දකින්නට ඇත. මේ පිළිබඳ ව සවිස්තරාත්මක ව සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නෙමු. මුස්ලිම්වරුන් බයිබලයේ පැරණි ගිවිසුම අනුගමනය කරන බවට ද මතයක් ඉදිරිපත් වී ඇත. මෙම ලිපියෙන් දෙවනුව සඳහන් කළ මතය පිළිබඳ ව කරුණු පැහැදිලි කොට තවත් ලිපියකින් පළමු චෝදනාවට කරුණු ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු. 

‘මුස්ලිම්වරුන් අනුගමනය කරන්නේ බයිබලයේ පැරණි ගිවිසුමයි, කිතුනු අප අනුගමනය කරන්නේ නව ගිවිසුමයි’, යන්න ඇතැම් කිතුනු සහෝදර පිරිස අතර ඇති එක් මතයකි. මෝසෙස්, දාවිත්, ජේසුස් හා මුහම්මද් (මෙම සැවොම කෙරෙහි මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) යන විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන්ගේ ධර්ම දුතයින් වෙත ලැබුණු දේව පණිවිඩයේ බොහෝ සමානතාවන් දැකිය හැකි වන්නේ මෙම පණිවිඩ සියල්ල එක් දේව මුලාශ්‍රයකින් ලැබී තිබීම හේතුවෙනි. අවාසනාවට අවසානයට දෙවිඳුන් විසින් පහළ කරන ලද දේව පණිවිඩය වූ අල් කුර්ආනය හැරෙන්නට අනෙකුත් කිසිදු දේව පණිවිඩයක් සම්පුර්ණ ලෙසම සුරක්ෂිත වී නොමැත. කෙසේ නමුත් මුල් දේව පණිවිඩයේ ඇතැම් කොටස් එහි දක්නට හැකියාවක් ඇත.

“රමළාන් කවරාකාර මාසයක් ද යත්, (සියලු) ජනයාට මඟ පෙන්වන්නක් ලෙස ද යහ මඟ පැහැදිලි කරන්නක් ලෙස ද (සත්‍යය හා අසත්‍යය) වෙන්කර පෙන්වන නිර්ණායකයක් ලෙස ද වූ අල් කුර්ආනය එහිම පහළ කරනු ලැබීය”. (අල් කුර්ආන් 2:185)

අල් කුර්ආනය සත්‍යය හා අසත්‍යය අතර නිර්ණායකයක් ලෙස ක්‍රියා කරන බව ඉහත වැකියේ සඳහන් කොට ඇති හෙයින් මෙයට පෙර වූ දේව ග්‍රන්ථයන් හි සඳහන් කරුණු අල් කුර්ආනයේ මුලික ඉගැන්වීම් හා සැසඳෙන කොටස් සත්‍යය කරුණු ලෙස පිළිගැනීමට අපට කිසිදු බාධාවක් නොමැත. කෙසේ නමුත් අල් කුර්ආනයට පෙර පහළ කරන ලද සියළුම දේව පණිවිඩයන් නිශ්චිත ජන කොට්ඨාශයකට හා නිශ්චිත කාලවකවානුවක් සඳහා පහළ කරන ලද්දකි.
“උන් වහන්සේ කතා කරමින් ‘මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ’යි වදාළ සේක” (ශුද්ධවර මතෙව් 15:24)

“ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන් ට මෙසේ අණ දුන් සේක. ‘විජාතීන්ගේ මාවතකට පා නොතබන්න. සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න. ඊශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. එසේ ගොස් ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.” (ශුද්ධවර මතෙව් 10:5-7)

කෙසේ නමුත් කිතුනුවන් පැරණි ගිවිසුම අනිවාර්යයෙන් ම පිළිගෙන අනුගමනය කළ යුතු බව බයිබලය සඳහන් කරයි.
“මම (ජේසුස්) ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරනු පිණිස ආවෙමි’යි නොසිතන්න. මා පැමිණියේ, ඒවා අවලංගු කිරීමට නොව සම්පුර්ණ කිරීමට ය. සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපුර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. එබැවින් මෙම ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු යැයි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යැයි කියනු ලබන්නේ ය” (සුද්ධවර මතෙව් 5:17-19)

ජේසු තුමාණන් විසින් පවසන ලද බව සඳහන් මෙම බයිබල් ඉගැන්වීම අනුව ඉස්ලාමිකයින් අනුගමනය කරන හා කිතුනුවන්ගෙන් බහුතරයක් අනුගමනය නොකරන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.
“දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක”. (නික්මයාම 20:1)

“මා හැර අන් කිසි දු දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය. නුඹ සඳහා නෙළු රූපයක් හෝ අහසෙහි වත් පහළ පොළොවෙහි වත් පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න”. (නික්මයාම 20:3-5)

ඉහත ආඥාවන් ඉතාමත් ම නිවැරදි අයුරින් ඉස්ලාමිකයින් අනුගමනය කරන අතර කිතුනුවන්ගෙන් බහුතරයක් විසින් එයට පටහැනි අයුරින් ක්‍රියා කිරීම දකින්නට ඇත. ප්‍රතිමා නොමැති දෙව් මැදුරක් දැකිය හැක්කේ ඉස්ලාමිකයින් අතරේ පමණයි. එවැනිම තවත් ආඥාවක් දෙස අපගේ අවධානය යොමු කරමු.

“ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය.” (ලෙවීගේ ව්‍යවස්ථාව 11:7-8)

“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය” (ද්විතීය නීති සංග්‍රහය 14:8)

ඉහත විස්තර අනුව බයිබලයේ ඉගැන්වීම වනුයේ ඌරු මස් කිතුනුවන්ට කෑමට අවසර නොමැති මාංශයක් වන අතර එය අනුභව කිරීම දෙවිඳුන්ගේ දැඩි පිළිකුලට හේතු වන කරුණක් බවය. නමුත් ඔවුන් ඌරු මස් අනුභව කිරීම පිණිස බයිබල අනුමැතිය ලෙස පෙන්වන්නේ පාවුළු තුමා රෝම වැසියන්ට යැවූ ලිපියක අඩංගු කරුණක්ය.
“කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍රය.” (බයිබලය – රෝම 14:20)

පාවුළු තුමා මෙසේ පවසන්නට හේතුව එතුමා එපිස වරුන්ට යැවූ ලිපියේ සඳහන් පරිදි ජේසු තුමා නීතිරීති ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කල බව විශ්වාස කිරීමයි. මෙම විශ්වාසය ජේසු තුමාණන් විසින් ප්‍රකාශිත බව සඳහන් ඉහතින් උපුටා දැක්වූ ‘සුද්ධවර මතෙව් 5:17-19’ හි සඳහන් කරුණු සමග සෘජු පරස්පරතාවක් ඇති කරන්නකි. සියලු නීතිරීති ඇතුලත් ව්‍යවස්ථාව අවලංගු කිරීමෙන් ඌරු මස් අනුභවය හා බයිබල ඉගැන්වීම් අනුව අනිවාර්ය කටයුත්තක් වූ පිරිමින්ගේ ලිංගාග්‍ර චර්ම ඡේදනය ද අවලංගු කිරීමට පාවුළු තුමා විසින් කටයුතු කර ඇත.

“යුදෙව්වන් හා විජාතිකයින් එක් කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන්වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමු සේක.මේ දෙජාතිය නව මනුෂ්‍යත්වයක් කොට මවා සමඟිය ඇති කරන පිණිස උන්වහන්සේ නීති රීති ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක” (එපිස 2:14-15)

පාවුළු තුමාගේ ඉහත ප්‍රකාශනය ජේසු තුමාගේ ඉගැන්වීම් වලට සහමුලින්ම පටහැනි බව මෙයට පෙර උපුටා දැක් වූ ශුද්ධවර මතෙව් 5:17-20 වැකි වලින් පැහැදිලි වෙයි. ආහාරය පිළිබඳ පේදුරුතුමා විසින් පවසා ඇති කරුණක් කෙරෙහි ඔබගේ අවධානය පහතින් යොමු කරන්නට කැමැත්තෙමු.

“අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි” (ක්‍රියා 10:14)
ඉහත බයිබල් ඉගැන්වීම් සමග පුර්ණ අනුකුලතාවකින් කටයුතු කරන්නේ ඉස්ලාමිකයින් බව අවධාරණය කරන්නට කැමැත්තෙමු.

ජේසු තුමා මගින් දෙවිඳුන් ලොවට පහළ කළ ඉන්ජීල් (ශුභ පණිවිඩය) දහම පාවුළු තුමා විසින් කොතෙක් දුරට විකෘථ කොට ඇත්තේද යන්න සඳහා තවත් උදාහරණයක් ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මෙය අපගේ මුලික මාතෘකාවට අදාළ නොවුවත් වර්තමාන කිතුනු දහම පත් වී ඇති අභාග්‍යවන්ත තත්ත්වය අවබෝධ කර ගැනීමට මෙය බොහෝ සේ උපකාරී වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පිරිමින්ගේ ලිංගාග්‍ර චර්ම ඡේදනය පිළිබඳව පාවුළු තුමාගේ අදහස් පළමුව ඉදිරිපත් කොට ඉන් පසුව බයිබලයේ සඳහන් අනිකුත් වදන් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“ඔබ චර්ම ඡේදනය ලබන්නාහු නම් ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුළු නම් මම ඔබට කියමි” (ගලාති 5:2)

“චර්ම ඡේදනයවත් අචර්ම ඡේදනයවත් වැදගත් නැත. වැදගත් දෙය නම් අලුත් මැවිල්ලක් වීමය” (ගලාති 6:15)

ඉහතින් උපුටා දක්වා ඇති පාවුළු තුමාගේ ඉගැන්වීම් බයිබලය අනුව කොතෙක් දුරට දෙවිඳුන්ගේ හා ජේසු තුමාගේ ඉගැන්වීම් හා සැසඳේද යන්න ඔබම තීරණය කරන්න. ජේසු තුමා මිහිතලය මත සිටි කාලවකවානුවේදී එතුමන්ගේ අනුගාමිකයින්ට අති මහත් සතුරෙකුව සිටි පාවුළු තුමා කෙසේ නම් දෙවිඳුන්ගේ ඉගැන්වීම් හා ජේසු තුමාගේ ඉගැන්වීම් අවලංගු කරමින් එය අබිබවා යන නව මත ඉදිරිපත් කරන්නට වරම් ලබා ගත්තේද යන්න විශාල ප්‍රහේලිකාවකි.

“දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ‘නුඹ (ඒබ්‍රහම් තුමා) ද නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතුය. නුඹද නුඹගේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැක ගත යුතු මාගේ ගිවිසුම නම් මේ ය; එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්ම ඡේදනය කළ යුතුය. නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතුය. මෙය නුඹලාත් මාත් අතර පිහිටු වන ගිවිසුමේ සංකේතය වන්නේය. නුඹලාගේ පෙළපත් වල සියලු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කළ ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. ඔව්හු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුව ද, නුඹේ පෙළපතට අයත් නැති, විදේශිකයෙකුගෙන් මිලට ගත් අය වුව ද, ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. ගෘහයෙහි උපන් තැනැත්තෝ වෙත් වා, නුඹ මිලදී ගත් තැනැත්තෝ වෙත් වා, ඔවුන් චර්මඡේදනය කළ යුතුය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංශයෙහි සලකුණු කරනු ලැබිය යුතුය. ලිංගාග්‍ර චර්ම ඡේදනය නොකළ අචර්ම ඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපා දමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති හෙයිනි.” (උත්පත්ති 17:9-14)

දෙවිඳුන්ගේ මෙම සදා කාලයටම වලංගු වන ලෙස ඇති කළ ගිවිසුම කඩකිරීම කෙතරම් භයානක එකක් ද යන්න ඔබටම වැටහේ යැයි සිතන්නෙමු. දෙවිඳුන්ගේ නියෝගයක් වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට බලය ඇත්තේ දෙවිඳුන්ට පමණි. එම වකවානුවේ දෙවිඳුන්ගේ මිහිතලය මත නියෝජිතයා වූ ජේසු තුමා මගින් එය සිදුවිය යුතුව තිබිණි. එසේ නොවී දෙවිඳුන්ගේ නියෝජිත වරයාට හා එතුමන්ගේ අනුගාමිකයින්ට සතුරු කම් කළ පාවුළු තුමා කෙසේ නම් දෙවිඳුන්ගේ නියෝගය අවලංගු කරන්නේද යන්න අප විසින් සිතා බැලිය යුතුව තිබෙනවා නොවේද? මේ සමග බයිබලයෙන් උපුටා දක්වන ලද ‘ශුද්ධවර මතෙව් 5:17-20’ යන වාක්‍යයන්ගෙන් ජේසු තුමා ඉදිරිපත් කළ ඉතා වැදගත් කරුණු කෙරෙහි ද ඔබගේ අවධානය නැවත යොමු කරවන්නට කැමැත්තෙමු. බයිබලයේ අඩංගු නීති රීති ඇතුලත් ව්‍යවස්ථාවලියට පටහැනිව යෑම ස්වර්ග රාජ්‍ය අහිමි කර ගැනීමක් ලෙස ජේසු තුමා මෙයින් උගන්වා ඇත. මෙයින් ඔප්පු වන පැහැදිලි සත්‍යය නම් නුතනයේ පවතින කිතුනු දහම දෙවිඳුන් විසින් පහළ කරනු ලැබූ සත්‍යය දහම ද නැතිනම් එයට පටහැනි ඉගැන්වීම් අඩංගු පාවුළු තුමාගේ ඉගැන්වීම් ඇතුළත් එකක් ද යන්න ඔබ විසින් ම තීන්දු කළ යුතු ව ඇත.

ස්නාවක ජොහාන් (John the Baptist) අටවන දින චර්ම ඡේදනය කරනු ලැබූ බව බයිබලය උගන්වයි.
“තවද, අටවන දා චර්ම ඡේදන පිළිවෙත පිණිස ඔවූහු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යැයි නම් තබන්නට සැරසුණහ. එහෙත්, ඔහුගේ මව කතා කරමින් ‘එසේ නොවේ; ඔහුට ජොහාන් යන නාමය තැබිය යුතු යැ’ යි කීවා ය.” (ශුද්ධවර ලුක් 1:59-60)

ජේසු තුමා ඉපදී අටවන දින චර්ම ඡේදනය කරනු ලැබූ බව බයිබලය අපට පැහැදිලි කරයි.
“උන් වහන්සේගේ චර්ම ඡේදන පිළිවෙත සඳහා අට දවස පිරුණු කළ, උන් වහන්සේ කුසෙහි පිළිසිඳ ගැනීමට පෙර දේව දුතයා විසින් දෙන ලද ‘ජේසුස්’ යන නාමය උන්වහන්සේට තබන ලද්දේය” (ශුද්ධ බයිබලය – ශුද්ධවර ලුක් 2:21)
සත්‍යය කුමක්ද යන්න තීන්දු කිරීමේ වගකීම ඔබ වෙතම පවරන්නෙමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *