අල් කුරානයේ සඳහන් වන පරිදි ජේසු තුමා ශ්‍රේෂ්ඨ නබිවරයෙකි. කෙසේ වෙතත් මරියම් තුමිය පියෙකු නොමැතිව එතුමාව පිළිසිඳගැනීම විශේෂත්වයකි. ජේසුතුමා බොහෝ ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. එසේ තබියදීත් කිසිම අවස්ථාවකදී ජේසු තුමා ඔහු දෙවිකෙනෙක් බව හෝ දෙවියන්ගේ පුත්‍රයෙකු බව හෝ පවසා නැත. එහෙත් කිතුනුවන් ජේසු තුමාව දෙවියන්ගේ ස්ථානයට උසස් කරනු ලැබ ඇත.

ජේසු තුමා දෙවිකෙනෙක්ද නැද්ද යන්න දැනගැනීමට පෙර දෙවියන්ට තිබිය යුතු ලක්ෂණ ගැන දැන ගත යුතුය. අල් කුරානයේද බයිබලයේද සඳහන් වන්නේ දෙවියන් එක්කෙනෙක් බවයි. එය පහත දැක්වෙන වගන්තිවලින් පැහැදිලි වේ.

“ඉෂ්රායිල්වරුනිඅපගේ දෙවිඳුන් එක්කෙනෙකි” (ද්විතීය කථාව 6: 4). තවද බයිබලයේ තවත් තැනක මෙසේ සඳහන් වේ. “ඉෂ්රායිල්වරුනි, අපේ දෙවි ස්වාමීන් වහන්සේට සවන් දෙන්න, ස්වාමීන් එක් කෙනෙක්ය” (මාක් 12:29). බයිබලයේ මෙවැනි තවත් බොහෝ වැකි ඇත. අල් කුරානයට අනුවද දෙවියන් එක් කෙනෙකි. ඔහුට සමාන වෙන කිසිවෙකු නැත. ඔහු කිසිවෙකුගේ අවශ්‍යතාවන් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසූත කලේ නැත. එසේම කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකුත් නැත (කුරානය 112:1-4)මේ අනුව පැහැදිලි වන්නේ ජේසු තුමා ළඟ දෙවියන් සතු ලක්ෂණ කිසිවක් නොමැති බවයි. තවද ජේසු තුමා කුරුසයේ සිටින විට “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ මන්දැයි” පැවසූ බව සඳහන් වේ (Matthew 27:46). මේ අනුව පැහැදලි වන්නේ ජේසු තුමාට ඉහලින් බලගතු දෙවිකෙනෙකු සිටින බවයි.

ජේසු තුමාගේ ආරම්භය ගැන සලකා බැලීමේදී එතුමා ළදරුවෙක් හැටියට උපත ලබා ඇත. අනෙකුත් ළමයින් මෙන්ම කිරි බී හැදී වැඩි ඇත. එහෙත් මේවා කිසිවක් දෙවියන් සතු ලක්ෂණ නොවේ.

ජේසුතුමා ගැන අල්-කුරානයේ මෙසේ සඳහන් කොට ඇත.

“නියතව අල්ලාහ්, මරියම්ගේ පුත් මසිහ්යැයි පවසන්නෝ ප්‍රතික්ෂේප කළවුන් වන්නෝය. එහෙත් මසිහ් පැවසුවේ ‘ඉස්රායිල්ගේ දරුවනි! මාගේ සමිඳුන්ද ඔබගේ සමිඳුන්ද වූ අල්ලාහ්වම නමදින්න’ යනුවෙනි. නියතව කවරෙක් අල්ලාහ්ට (යමක්) සමකරයිද අල්ලාහ්, ඔහුට ස්වර්ගය තහනම් කරන්නේය. ඔහුගේ නවාතැන නිරය වන්නේය! අපරාධකරුවන්ට උදව්කරුවන් නැත” (කුරානය 5:72),

“නියතව ප්‍රතික්ෂේප කරන්නන් ‘අල්ලාහ් තුන්දෙනාගෙන් කෙනෙකි’යි පවසන්නෝය. එහෙත් නැමදීමට සුදුසු සමිදුන් අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. තමන් පවසන දෙයින් ඔවුන් ඉවත්ව නොසිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට හිංසාව ඇතිකරන වේදනාව නියතය” (කුරානය 5:73).

” ‘මරියම්ගේ පුත් මසීහ්’ දුතයෙකු මිස අන් කිසිවෙකු නොවේ. ඔහුට පෙරද බොහෝ දුතයින් පැමිණ ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. ඔවුන් දෙදෙනාම ආහාර අනුභව කරන්නන්  ම වුහ” (කුරානය 5:75)

ජේසුතුමා දෙවියන් වේ නම් ඔහු ළඟ දෙවියන්ගේ ලක්ෂණ තිබිය යුතුය. එහත් ඒ වෙනුවට ජේසු තුමා ළඟ දැකිය හැකි වන්නේ මිනිසුන් සතු ලක්ෂණ පමණි. තවද බයිබලයට අනුව ජේසු තුමා කුරුසයේදී ඝාතනය කෙරී ඇත. එහෙත් එවැනි දෙයක් දෙවියන්ට ඔබින්නේ නැත. තවද බයිබලයේ සඳහන් වන පරිදි ජේසු තුමා කුරුසය මත ඝාතනය වුයේ නම් එම කාලය තුලදී දෙවිකෙනෙකු නොමැතිව ලොව පැවතියේ කෙසේදැයි ප්‍රශ්නයකි. මේ අනුව ජේසු තුමා දෙවිකෙනෙකු විය නොහැකිය.

අල් කුරානයේ ජේසු තුමාගේ මව වන මරියම් තුමය ගැන මෙලෙස විස්තර කොට ඇත. මරියම් තුමිය ඉම්රාන්තුමාගේ දු කුමරියයි. ඒ අනුව ඉමාන්ගේ බිරිඳ පිළිසිඳගෙන සිටින දරුවා, ජෙරුසලමේ පිහිටි ශුද්ධ දේවස්ථානයට භාරයක් වී තිබේ. එහෙත් ඇය ප්‍රසුත කල දරුවා ගැහැණු දරුවෙක් වුවාය. කෙසේ වෙතත් එම දරුවාට මරියම් යන නම තබා දේවස්ථානයට භාර කොට ඇත. දේවස්ථානයේ භාරකරු වුයේ මරියම් තුමියගේ ඥාතියෙකු වන zසැකරියා තුමාය. එතුමා ඇය වෙනුවෙන් දේවස්ථානයේ ‘මිහ්රාබ්’ නමැති කුටියක් සාදා ඇයට නතර වීමට සලසා ඇත. ඇය එහි සිටින කාලයේදී ඉම්රාන් තුමා ඇයව බැලීමට ගිය සෑම අවස්ථාවකදීම පලතුරු අතැතිව සිට ඇත.  මරියම් තුමියගෙන් “මේවා ඔබට ලැබෙන්නේ කොහින්දැයි”  ඉම්රාන් තුමා ප්‍රශ්න කල විට ඇය පවසා ඇත්තේ ඇත්තෙන්ම අල්ලාහ් තමන් කැමති අයට ප්‍රමාණය ඉක්මවා ආහාර ලබා දෙන බවයි.

කාලය ගෙවී ගියේය. මරියම් තුමියත් වැඩි වියට පත් වුවාය. දිනක් ඇය තම කුටියේ යාක්ඥාවේ යෙදී සිටින විට මිනිස් වෙස් ගත් දේවදුතයෙක් ඇය වෙත පැමිණ තිබේ. එම දේව දුතයාව දැකීමෙන් භීතියට පත්වූ ඇය, ‘සැබැවින්ම ඔබගෙන් මාව ආරක්ෂාකරන මෙන් අල්ලාහ්ගෙන් මා ප්‍රාර්ථනා කරමි, ඔබ හොඳ ගති පැවතුම් ඇත්තෙකු නම් (මෙතනින් ඉවත්ව යනු)’යි පවසා ඇත. එවිට ඔහු, ‘පාරිශුද්ධ වූ පුතෙකු ඔබට ලබා (දෙන්නේයැයි ඔබට දැනුම්) දීම සඳහා මාව ඔබගේ දෙවියන් විසින් එවන ලද දුතයෙක් වෙමි’යි පවසා ඇත. එවිට ඇය ‘මට කෙසේ නම් දරුවෙක් ලැබේවිද? කිසිම මිනිසෙකු මා ස්පර්ශ කර නැත! මම අපචාරයේ හැසිරෙන්නෙකු ද නොවෙමි!’යි පවසා ඇත. එවිට එම දේව දුතයා ‘එසේ (සිදුවනු ඇත). එය මට ඉතා ලෙහෙසි දෙයකි. ඇය මිනිසුන් අතරේ එක් සලකුණක් වශයෙන්ද අපගේ වරප්ප්‍රසාදයක් වශයෙන්ද පත් කරන්නෙමු. මෙය අවසාන වශයෙන් මනඃකල්පිත කරන ලද කාරනාවකි. ඔබ දෙවියන්ම කියන්නේහි යැයි’ පවසා තිබේ.

ඉන් පසු කාලය ගෙවී යත්ම මරියම් තුමිය ගැබ් ගත්තාය. එහෙත් පියෙකු නොමැතිව ගැබ් ගැනීම නිසා ඇය මහත් සේ සිත් තැවුලට පත්වුවාය. මේ හේතුවෙන් ඇය තමන් රැඳී සිටි දේවස්ථානයේ කුටියෙන් බැහැරවී ඇයගේ උපන් ගම වන නසරිත් (Nazareth) වෙත ගොස් තිබේ. කල් යත්ම දරු ප්‍රසුතියේ දිනය ද ලඟා විය. එබැවින් ඇය එම ස්ථානයෙන්ද පිටව ගියත් වැඩි දුරක් යාමට මත්තෙන් ඇයගේ කුසේ සිටි දරුවා මෙලොවට බිහි කළාය. එම අවස්ථාවේදී ජිබ්රිල් දෙවදුතයා පැමිණ “දුක් නොවනු, ඔබගේ දෙවියන් මෙතන දිය පාරක් ගලා යාමට සලස්වා ඇත, මෙම රට ඉඳි ගස සොලවනු, ඔබට ඉන් ඉදුණු රට ඉඳි වැටීමට සලස්වන්නෙමු”යි පවසා තිබේ. මැරී ගොස් තිබුණු එම රට ඉඳි ගස නැවත ජිවය ලැබීම දුටු ඇයගේ සිතට දේවියන් කෙරෙහි විශ්වාසය වඩාත් ස්ථිර විය. මෙම සිදුවීමෙන් පසු ඇය එම බිලිඳා ද රැගෙන තම ගමට යාම සඳහා පිටත් වුවාය. එහි වැසියන් ඇය රැගෙන ගිය ළදරුවා ගැන විමසන්නට පටන් ගෙන ඇත. එහෙත් එම ජනතාව විමතියට පත් කරමින් එම ළදරුවා ඔවුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දී ඇත.

කාලය ගෙවීයත්ම  ජේසු තුමාට දෙවියන්ගෙන් දහම් පණිවිඩය පහළ විය. එහෙත් එකල සිටි ජනතාව ඔහුට බොහෝ හිරිහැර සිදුකොට ඇත. ඔහුගේ දේව පණිවිඩය පිළිගැනීමට අකමැති විය. අවසානයේදී ජේසු තුමාව කුරුසයේ තබා ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කොට තිබේ. එහෙත් අල්ලාහ්ගේ සැලසුම අනුව ජෙසුතුමාව කුරුසයේ ගැසීමට නොහැකි වූ අතර වෙනත් කෙනෙක් ඒ වෙනුවෙන් කුරුසයේ ගැසීමට සලස්වා ඇත. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් ඒ බව පැහැදිලි වේ.

තවද “අල්ලාහ්ගේ රසුල් වන මරියම්ගේ පුත් ඊසා (හෙවත් මසීහු) නියත වශයෙන්ම අපි (කුරුසයෙහි තබා ඇණ ගසා) මරා දමුවෙමු”යි ඔවුන් කී බැවින්ද (ඔවුන්ට ශාප කළෙමු). (නමුත්) ඔහුව ඔවුන් කපා දැමුවේද නැත. ඔහුව ඔවුන් කුරුසයෙහි තබා ඇණ ගැසුවේද නැත. ( ඔහු සිටි කාමරයට ඔහුව සොයා ගිය කෙනෙකුව ඊසාගේ හැඩරුව ඇතිව වෙනස් කරන ලදී. ඊසා සොයා ගිය අනිත් අය ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවෝය) මේ නිසා ඔවුන්ව සැකයෙහි ඇතුල් කරන ලදී. එබැවින් මෙයට විරුද්ධව කව්රුන් අදහස් දරන්නෝ ද ඔවුන් අනවශ්‍ය සැකයෙහි ගිලී යන්නෝය. අනුමානය අනුගමනය කිරීම මිස එහි ඔවුන්ට සත්‍ය වූ ඥානයක් නැත්තේය. ඇත්තෙන්ම ඔවුන් ඔහුව ඝාතනය කලේම නැත” (කුරානය 4:157).

මේ අනුව බලන කල ජේසු තුමා මිනිසෙකු මිස සර්වබලධාරී දෙවිකෙනෙක් නොවේ. ඔහු දැනට ස්වර්ගයේ සිටින අතර ලෝකය අවසාන වීමට පෙර නැවත පැමිණීමට නියමිත බව පැවසේ.

By Fasy Ajward.
B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *