දුම් වැටි නිසා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට විශාල ලෙස හානි සිදු වන්නේය. එහෙත් එහි නරක ප්‍රතිපල දැකිය හැක්කේ කල් ගත වීමෙන් පසුය. මෙම ප්‍රමාදය හේතුවෙන් බොහෝ උගතුන් පවා දුම්වැටි පානයට පුරුදු ව සිටිති. උගතුන් එය පානය කිරීමේ ප්‍රතිපලයක් ලෙස නුගතුන් ද එය අනුකරණය කරනු දැකිය හැකිය.

සෑම දුම්වැටියකම මිනිස් සිරුරට අහිතකර වු බොහෝ රසායන ද්‍රව්‍ය අඩංගු වේ. මේවායින් බොහොමයක්ම පිළිකා කාරකයන්ය. ළය පිළිකාවලින් මිය යන පිරිමින්ගෙන් 87% ද කාන්තා මරණවලින් 70% ද දුම්බීම හේතු කොට ගෙන සිදු වන බව ඇමරිකාවේ දී සිදුකල පර්යේෂණවලින් සොයාගෙන තිබේ. තවද දුම්බීම හේතුවෙන් ඇතිවන ළය පිළිකාව සුවකිරීම ඉතාමත්ම අපහසු ය.

දුම්බීම මධ්‍යම ස්නායු පද්ධතියට බෙහෙවින් බලපෑම් ඇති කරන්නේය. ඊට ප්‍රධාන හේතුව දුම්කොළවල අඩංගු නිකටින් බව පැවසේ. නිකටින් මානසික වෙනස්කම් ඇතිකරන ඖෂධයකි. එය තත්පරයක් වැනි කෙටි කාලයකදී මොලය වෙත ළඟා වන අතර කෙටි කාලයකට මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්නේය. ඉන් පසු එහි බලපෑම ක්‍රමයෙන් අඩුවන විට එය භාවිතා කළ පුද්ගලයාට මහන්සිය ඇති කරන්නේය. එවැනි තත්වයකදී  දුම්වැටි වල අවශ්‍යතාව තවත් දැනෙන අතර එය බොහෝ අය පුරුද්දක් කර ගනිති. මේ අනුව දුම්පානය අත්හැරීම දුෂ්කර කටයුත්තක් බවට පත් වන්නේය. නිකොටින් වලට ඇබ්බැහි වු කෙනෙක් එය නතර කිරීමේදී කනස්සල්ලට, කෝපයට හා කලකිරීමට පත් විය හැකිය. තවද එමගින් හිසරදය සහ නින්ද යාමේ ගැටළු ඇති විය හැකිය.

දුම්පානය නිසා ලය පිළිකාව පමණක් නොව හෘදය පිලිබඳ රෝග, ස්වාස නාලිකා ප්‍රදාහය (bronchitis), ආඝාතය (stroke) වැනි අතුරු සෞඛ්‍ය ගැටළු ඇති විය හැකිය. තවද කාන්තාවන්ගේ ගැබ් ගැනීම් වලට සහ පිළිසිඳගත් ළමුන්ගේ සෞඛ්‍යයට එමගින් තද බල බලපෑම් එල්ල විය හැකිය. බරින් අඩු ළමයින්ගේ බිහිවීමට එය ප්‍රධාන හේතුවක් වේ. කාන්තාවක් දුම්පානය නොකලත් තමන්ගේ ස්වාමි පුරුෂයා දුම් පානය කරන්නේ නම් එයින් අසල සිටින කාන්තාවන්ට යම් තරමක බලපෑමක් ඇති කරන්නේය.

දුම් පානය කිරීම නිසා නියුමොනියාව සහ ඇඳුම වැනි රෝග උග්‍ර විය හැකිය. මේ හැරුණු විට මුකයේ විදුරුමස පිලිබඳ ආසාදන, ඇසෙ සුද, අස්ථි තුනී වීම, උකුළු ඇටයේ බිඳීම, ඔඩු සහිත වනයන් ඇතිවිම වැනි දේ සිදු වන්නේය.

වසර 1990 දී Centers for Disease Control and Prevention (CDC) කල පරියෙශනයකට අනුව දුම් පානය කරන්නන්ගේ ආයු කාලය පිරිමින්ගේ වසර 13.2 කින් සහ කාන්තාවන්ගේ එය වසර 14.5 කින්ද අඩුවන බව සොයාගෙන තිබේ.

දුම්පානයෙන් මිනිස් ශරීරයට හානියක් වන බව වෛද්‍යවරුන්ගේ ඒකමතික තීරණය වන බැවින් ඒ සඳහා කරන සෑම සතයක්ම නාස්තියකි. මුස්ලිම්වරුන්ට දුම් පානය කිරීම දහමින් තහනම්කොට තිබේ.

By Fasy Ajward.B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *