දුම්පානය කිරීම පුරුද්දක් වී ඇතත් ඉන් ඇතිවන සෞඛ්‍ය ගැටළු ගැන බොහෝ අය සිතන්නේ නැත. කුමන හේතුවක් නිසා දුම්පානය කලත් එහි අවසාන ප්‍රතිපලය ඉතා භයානකය. එමගින් මිනිසාගේ ආයු කාලය අඩුවන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. මේ බව දැන දැනත් එය පානය කිරීම සියදිවි නසා ගැනීමක් ලෙස සැලකිය හැකිය.

දුම් පානය කිරීම අහිතකර බව අද කව්රුත් දන්නා කරුණකි. දුම්වැටිවල මිනිස් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගුවේ. ඒවායින් බොහොමයක්ම පිළිකා කාරකයන්ය. ළය පිළිකාවලින් මිය යන පිරිමින්ගෙන් 87% ද කාන්තා මරණවලින් 70% ද දුම්බීම හේතුවෙන් සිදු වන බව ඇමරිකාවේ සිදුකල පර්යේෂණවලින් සොයාගෙන තිබේ. තවද දුම්බීම නිසා ඇතිවන ළය පිළිකාව සුවකිරීම අපහසු බව වෛද්‍යවරුන්ගේ  මතයයි.

දුම්බීම නිසා මධ්‍යම ස්නායු පද්ධතියට බොහෝ බලපෑම් ඇති වේ. ඊට ප්‍රධාන හේතුව දුම්කොළවල අඩංගුවන නිකටින්ය. නිකටින් මානසික වෙනස්කම් ඇතිකරන ඖෂධයකි. එය ඉතා කෙටි කාලයකදී මොලය වෙත ළඟා වී එහි ක්‍රියාකාරීත්වය වැඩි කරන්නේය. ඉන් පසු එහි බලපෑම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන විට එය භාවිතා කළ පුද්ගලයා මහන්සියට පත් වන්නේය. මේ නිසා එම තැනැත්තා තව තවත් දුම් බිමට යොමු වන අතර එය පුරුද්දක් බවට පත් වන්නේය. එවිට එම පුද්ගලයාට දුම්පානය කිරීම අත්හැරීම දුෂ්කර කාර්‍යයක් බවට පත් වන්නේය.

නිකොටින් වලට ඇබ්බැහි වීමෙන් පසු එය නතර කිරීමේදී කනස්සල්ලට, කෝපයට හා කලකිරීමට පත් වන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. තවද එමගින් හිසරදය සහ නින්ද යාමේ ගැටළු ඇති වන්නේය. මේ නිසා හැකි පමණින් ඊට පුරුදු නොවී සිටිය යුතුය.

දුම්පානය නිසා ලය පිළිකාව පමණක් නොව හෘදය පිලිබඳ රෝග, ස්වාස නාලිකා ප්‍රදාහය (bronchitis), ආඝාතය (stroke) වැනි අතුරු සෞඛ්‍ය ගැටළු ඇති වන්නේය. කාන්තාවන්ගේ ගැබ් ගැනීම් වලට සහ පිළිසිඳගත් ළමුන්ගේ සෞඛ්‍යයට දුම්පානය කිරීමෙන් බොහෝ බලපෑම් එල්ල විය හැකිය. බරින් අඩු ළමයින්ගේ බිහිවීමට එය ප්‍රධාන හේතුවක් වන්නේය.

කාන්තාවක් දුම්පානය නොකලත් ස්වාමි පුරුෂයා දුම් පානය කරන්නේ නම් එයින් කාන්තාවන්ට යම් තරමක බලපෑමක් ඇති කරන්නේය.

දුම් පානය කිරීම නිසා නියුමොනියාව සහ ඇඳුම වැනි රෝග උග්‍ර විය හැකිය. මේ හැරුණු විට මුකයේ විදුරුමස පිලිබඳ ආසාදන, ඇසෙ සුද, අස්ථි තුනී වීම, උකුළු ඇටයේ බිඳීම, ඔඩු සහිත වනයන් ඇතිවිම වැනි දේ සිදු විය හැකිය.

වසර 1990 දී Centers for Disease Control and Prevention (CDC) කල පරියෙශනයකට අනුව දුම් පානය කරන්නන්ගේ ආයු කාලය පිරිමින්ගේ වසර 13.2 කින් සහ කාන්තාවන්ගේ එය වසර 14.5 කින්ද අඩුවන බව සොයාගෙන තිබේ.

බොහෝ ආගම්වලින් දුම්පානය කිරීම තහනම් කොට නොමැති වුවත් ඉස්ලාම් දහමින් එය තහනම් කොට ඇත. මෙම තහනම ඉස්ලාමිය විද්වතුන් විසින් ගන්නා ලද ඒකමතික තීරණයකි. එබැවින් එය අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ.

අල් කුරානයේ මත්ද්‍රව්‍ය පිලිබඳ ඍජු තහනමක් දැකිය හැකි වුවත් සිගරට් සම්බන්දයෙන් එවැනි ඍජු නියෝගයක් දැකිය නොහැකිය. එහෙත් කුරානයේ ඇති වෙතත් වැකිවල අනුසාරයෙන් සිගරට් තහනම් බව ඉස්ලාමිය විද්වතුන් ඒකමතිකව පවසා ඇත.

ඉස්ලාම් දහමින් නාස්තිය අනුමත කරන්නේ නැත. මරණයෙන් පසු මිනිසා මුදල් ඉපැයූ අන්දම සහ එය වියදක් කළ අන්දම ගැන ප්‍රශ්න කරනු ලබන්නේය. දුම් බිම නිසා මිනිසාට නරකක් මිස යහපතක් වන්නේ නැත. එබැවින් ඊට කරන වියදම් සියල්ලම නාස්තියකි. ඒ සම්බන්දව කුරානයේ බොහෝ වදන් ඇත. පහත දැක්වෙන්නේ එවැනි වැකියකි.

“නාස්ති නොකරන්න. නියත වශයෙන්ම අල්ලාහ් නාස්තිකාරයින්ව ප්‍රිය කරන්නේ නැත” (කුරානය 7:31).

ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරුන්ට දුම්පානය කිරීම විශාල පවක් වන්නේය. කිසියම් කෙනෙක් දුම් පානය කිරීම නිසා මරණයට පත්වූ බව වෛද්‍යයවරුන් නිගමයන කරන්නේ නම් ඔහු සිය දිවි හානි කරගත් කෙනෙක් බවට පත් වන්නේය.

By Fasy Ajward.B.Sc (Phy.Sp) Hons. Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *