අල්-කුරානය මිනිසාට නිවැරදි මග පෙන්වීම සඳහා දෙවියන්ගෙන් පහළ වූ මාර්ගෝපදේශකත්වයකි. එය පිළිපදින තැනැත්තා මෙලොව සහ පරලොව ජීවිතය ජය ගනු ඇත. කුරානයේ ඇති සෑම නියෝගයක්ම මිනිසාට ඉතා පහසුවෙන් ඉටු කළ හැකි ඒවාය. ලොව පහළ වූ අවසාන නබිවරයාගේ ජිවිතාදර්ශය තුලින් ඒවා සිදු කොට පෙන්වා ඇත. නබිතුමා පමණක් නොව ඔහුගේ අනුගාමිකයින් ද කුරානය අනුව ජිවත් වී තිබේ. එම හේතුවෙන් ඔවුන් දෙවියන්ගේ කරුණාවට පාත්‍ර වුහ. මිනිස් ජිවිතයේ පිළිපැදිය යුතු සෑම වැදගත් කරුණක් ගැනම කුරානයේ සඳහන් වේ. එහෙත් මෙහිදී සලකා බලනු ලබන්නේ ඉස්ලාමීය විවාහය ගැන පමණි.
නබිතුමාගේ මගපෙන්වීම අනුව විවාහ වීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ දහම අනුව ජිවත්වන කාන්තාවන්ටය. එවිට සාමකාමී විවාහ දිවියකට මග පෑදෙනු ඇත. එය පහත දැක්වෙන නබි වදනේ සඳහන් වේ.
“ස්ත්‍රියක් විවාහ කර ගනු ලබන්නේ කරුණු හතරක් සැලකිල්ලට ගැනීමෙනි, ඒවා අතර ධනය, පවුලේ තත්වය, අලංකාරය සහ දහම ප්‍රධාන වේ. එහෙත් දහමට ලැදි කාන්තාව විවාහ කරනු. එසේ නොකිරීමෙන් ඔබ පරාජයට පත්වනු ඇත.” (සහිහ් අල්-බුහාරි).
දහමට ලැදි කාන්තාවක් විවාහ වීමෙන් පවුල් ජීවිතයේදී මතුවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇත. තවද ඔවුන්ට ලැබෙන දරුවන්ට නිවැරදි මග පෙන්වීම නිවසේදීම සිදු කළ හැකි වන්නේය. එවිට එම දරුවන් මෙලොවට සහ මරණයෙන් පසු ඔවුන්ට විශාල ආයෝජනයක් වනු ඇත. ඇයිද යත් එම දරුවන් කරන කුසල් (පින්) නිසා දෙමව්පියන්ටද නිරන්තරයෙන් කුලිය ලැබෙන නිසාය.
කෙසේ වෙතත් විවාහ වීමට හැකියාව නොමැති අය උපවාස කිරීමෙන් තම ආශාවන් පාලනය කළ යුතු බව කුරානයේ සඳහන් වේ.
“විවාහකරගැනීමට ශක්තියක් නොමැති අය, අල්ලාහු ත’ආලා තමන්ගේ දයාව මගින් වස්තුව ලබාදෙන තුරු ඔවුන් (උපවාසයේ යෙදෙමින්) නිසිපරිදි තමන්ගේ පතිවත ආරක්ෂා කරගත යුතුය” (Q24:33).
ඒ අතරම ඉස්ලාම් දහම අනුව විවාහ හතරක් සිදු කිරීමට කොන්දේසි සහිතව අවසර ලබා දී ඇත. මෙහිදී කුරානය පනවා ඇති ප්‍රධාන කොන්දේසිය වන්නේ විවාහ වන කාන්තාවන් අතර සාධරයන ඉටු කිරීමය. එය සිදු කළ නොහැකි නම් එක් විවාහයක් පමණක් සිදු කරන ලෙස නියෝග කොට ඇත.
ඉස්ලාම් දහම පෙන්වා දී ඇති පරිදි මුස්ලිම්වරුන්ට විවාහ විය හැක්කේ දහමින් අනුමැතිය ලබා දී ඇති අය සමග පමණි. ඒ අනුව පහත දැක්වෙන අය සමග විවාහ වීම තහනම් වේ.
තමන්ගේ මව, දියණියන්, සහෝදරියන්, පියාගේ සහෝදරියන්, මවගේ සහෝදරියන්, සහෝදරයන්ගේ හෝ සහෝදරියන්ගේ ළමයින් (පුර්ණ හෝ අර්ධ යන්න මෙහිදී අදාළ නොවේ) සමග විවාහ වීම තහනම්ය. තවද කුඩා කාලයේදී එකම මවකගෙන් කිරි බි වැඩුණු ඥාති සහෝදරියන්, තම පුතුගේ භාර්යාව, තමන් විවාහ වූ භාර්යාවගේ මව, තම භාර්යාවගේ (කලින් කසාදයේ) දුව, තම භාර්යාවගේ එක කුස උපන් සහෝදරිය (එකම අවස්ථාවේදී), මවගේ සහෝදරියන් සහ පියාගේ සහෝදරියන් සමඟ විවාහ වීමද තහනම්ය. එසේම තම භාර්යාවගේ මවගේ සහෝදරිය හෝ තම භාර්යාවගේ පියාගේ සහෝදරිය සමඟ ද (එකම අවස්ථාවේදී) විවාහ විය නොහැකිය.
ඉස්ලාමීය විවාහය ඉතා සරලය. ඒ සඳහා පුජකවරුන්ගේ පැමිණීම අවශ්‍ය නැත. (ඉස්ලාම් දහම තුල පුජක පක්ෂයක් ඇත්තේද නැත). මුදු මාරුකිරීමක් නැත. පෝරුවක් හෝ පෝරුවේ චාරිත්‍ර කිසිවක් නොමැත, දෑවැද්ද නැත (ඒ වෙනුවට විවාහවන පිරිමියා විසින් මහර් දීමනාව භාර්යාවට ලබා දිය යුතුය), නැකත් බැලීමක් ද නැත.
විවාහයෙන් පසු සාදයක් දැමිය යුත්තේ මනාලයා විසිනි මේ සඳහා කාන්තා පක්ෂයට විශාල වියදම් දැරීමට සිදු වන්නේ නැත. කෙසේ වෙතත් විවාහයක් සිදු කිරීමට ප්‍රථම කාන්තා පක්ෂයේ කැමැත්ත ලබාගෙන තිබීම අනිවාර්ය වේ.
මුස්ලිම්වරුන්ට හොර රහසේ විවාහ විය නොහැකිය. ඒ අනුව එය සාක්ෂි ඇතුව සිදු විය යුතුය. තවද විවාහ වීමට පෙර ප්‍රේම සම්බන්දහයන් පැවැත්විය නොහැකිය. එසේ කිරීම බලවත් වරදක් වන්නේය.
සැ.යු. ඉහත කරුණුවලට පටහැනිව යම් මුස්ලිම්වරයෙක් විවාහ වන්නේ නම් එය ඔහුගේ කැමැත්ත මිස ඉස්ලාමීය ක්‍රමය නොවන බව තේරුම් ගන්න.
By Fasy Ajward. B.Sc (Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.