ලොව පවතින ආගම් අතරින් පිළිම වන්දනයක් නොමැතී එකම දහම ඉස්ලාම් ය. මින් අදහස්කරන්නේ පිළිම පමණක් නොව අල්ලාහ් හැර අන් සෑම දෙයක්මය. ඒ අනුව අල්ලාහ්ට හැර වෙනත් කිසිම දෙයකට දේවත්වය ආරුඪ කිසිම ඉස්ලාම් දහමින් සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මේ නිසා මළවුන්ගෙන් උදව් පැතීමද විශාල වරදක් වේ. එහෙත් මුස්ලිම්වරුන් කිහිප දෙනෙකුගේ ක්‍රියාව දැක ඉස්ලාම් දහම ගැන තීරණයකට පැමිණිය නොහැකිය. ඉස්ලාම් දහම නිවැරදිව දැනගැනීමට එය හැදෑරිය යුතුව ඇත. ඉස්ලාම් දහම ආදම් නබිතුමාගේ සිට මුහම්මද් නබිතුමා දක්වා එක දිගට පැවතීගෙන ඇවිත් තිබේ. එම නබිවරුන් දෙදෙනා අතර දහම් දෙසීම සඳහා සිය දහසකට වඩා තවත් නබිවරුන් පහළ වී ඇත. ඔවුන් සියලුදෙනාම දෙසුවේද ඉස්ලාම් දහමයි. කෙසේ වෙතත් නබිවරුන්ගේ අභාවයෙන් පසු ඔවුන්ගේ අනුගාමිකයින් විසින් දහම තුල පිළිම වන්දනාව ඇතුලත් කොට ඇත. මේ අනුව තමන්ට දහම දෙසීම සඳහා පැමිණි නබිවරයාට දේවත්වය ආරුඪ කොට තිබේ. තවද මිය ගිය නබිවරුන්ගේ පිළිම සාදා ඒවාටද වැඳුම් පිදුම්  සිදු කොට ඇත. එහෙත් මුහම්මද් නබිතුමා එම ක්‍රියාව වැළැක්වීමට අවශ්‍ය සැම පියවරක්ම ගෙන තිබේ. එම හේතුවෙන් අපට මුහම්මද් නබිතුමාගේ පිළිම කිසිවක් දැකිය නොහැකිය.

මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ අල්ලාහ් දෙවියන් පමණි. ඔහු එක්කෙනෙකි. ඔහුට සමාන වෙන කිසිවෙකු නැත. මෙලොව සිටින කිසිවෙකු ඔහුව දැකලත් නැත. එහෙත් ස්වර්ගවාසින්ට මරණයෙන් පසු අල්ලාහ්ව දැකීමට ලැබෙන බව නබිතුමා පවසා ඇත.

මෙලොව සිටින කිසිම කෙනෙකු දෙවියන්ව දැක නොමැති වුවත් ඔහුගේ ගුණාංග කුමක්දැයි අල්-කුර්ණයේ සඳහන් වේ. ඒවා කුරානයේ සඳහන් අයුරින්ම තේරුම්ගැනීම මුස්ලිම්වරුන් සතු ප්‍රධාන වගකීමකි. අල්ලාහ් සතු ලක්ෂණයන්ට අර්ථ කතන දීමට කිසිවෙකුට නොහැකිය. ඒ අනුව නබිතුමාගේ අනුගාමිකයින් පවා අල්ලාහ්ගේ ගුණාංග ගැන නබිතුමාගෙන් ප්‍රශ්න කොට නැත. ඇයිද යත් මිනිසාගේ දැනුමෙන් එය තේරුම් ගත නොහැකි නිසාය. උදාහරණයක් ලෙස අල්-කුරානයේ සහ හදිස්ව්ල අල්ලාහ්ගේ මුහුණ, අත, පාදය, ඇස ගැන සඳහන් වේ.  නමුත් ඒවා කිසිවක් ඔහුගේ මැවීම්වලට සමාන නොවේ. එබැවින් ඒවා ගැන මෙලොව සිටින කිසිම කෙනෙකුට සිතා බැලිය නොහැකිය. නබිතුමාගේ සහාබාවරු ඒවා වචනයේ අර්ථයෙන්ම තේරුම් ගෙන තිබේ.

අල්ලාහ්ව ස්වර්ගයේදී දැකිය හැකිදැයි නබිතුමාගේ අනුගාමියකින් විසින් ප්‍රශ්න කොට ඇත. එවිට නබිතුමා,  “කිසිම වලාකුලක් නොමැති දවසක අහසේ තිබෙන පුර්ණ චන්ද්‍රයා දැක බලා ගැනීමට ඔබලාට හැකිදැ’යි විමසා ඇත. ඊට පිළිතරු වශයෙන්, ‘කිසිසේත්ම නැතැ’යි ඔවුන් පවසා තිබේ. එවිට නබිතුමා පවසා තිබෙන්නේ ස්වගවාසීන්ට අල්ලාහ්ව කිසිම බාදාවකින් තොරව දැකිය හැකි බවයි. සහිහ් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථවල මෙය සඳහන් වේ.

ආදම්තුමාගේ කාලයේදී ප්‍රතිමා වන්දනය තිබී නැතත් නුහ් නබිතුමාගේ කාලයේ සිට එය ආරම්භ වී තිබේ.  නුහ් නබිතුමාගේ කාලයේදී සාස්තෘවරුන්ට ගෞරව කිරීම සඳහා ප්‍රතිමා නිර්මාණය කරන ලද අතර කාලයාගේ ඇවෑමෙන් එම ප්‍රතිමාවලට පමණ ඉක්මවා ගෞරව කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඒවා දෙවියන්ට ලංවීම සඳහා අතරමැදියන් ලෙස පත් වී ඇත.

මුහම්මද් (සල්) තුමාගේ සම්ප්‍රාප්තිය සිදුවන විට මක්කාවේ පිහිටි ප්‍රධාන දේවස්ථානය තුල නොයෙකුත් නම්වලින් පිළිමවල් 360ක් තිබී ඇත. මේවා අල්-ලාත්, උzස්සා, හුබාල් යන නම්වලින් හැඳින්වී ඇත. ඔවුන් එම පිළිම යොදාගනු ලැබුවේ දෙවියන්ගේ අතරමැදියන් ලෙසය. එහෙත් ඔවුන් අල්ලාහ් දෙවියන්ව විශ්වාසය කොට තිබේ. තවද විශ්වයේ මැවුම්කරු අල්ලාහ් බව එකල ජිවත් වූ ජනතාව පිළිගෙන ඇත. නබිතුමාගේ පියාගේ නම අබ්දුල්ලා (අල්ලාහ්ගේ ගැත්තා යන අරුත ඇත) ලෙස නම් කර තිබීමෙන් ඔවුන් අල්ලාහ් කෙරෙහි විශ්වාස කල ජන කොට්ටාසයක් බව පෙනී යන්නේය.

සැබවින්ම පිළිම සාදන්නේ මිනිසා විසින්ය. එබැවින් මිනිසා විසින් සාදන ලද පිළිම වලින් මිනිසාගේ උවමනාවන් ඉටු කළ නොහැකිය. මේ නිසා මිනිසා තම ජිවිත කාලය මුළුල්ලේම නැමදුම් කලත් එම පිළිමවලින් මිනිසාගේ උවමනාවන් ඉටුකළ නොහැකිය. මිනිසා මෙය හොඳින් තේරුම් ගත යුතුය. අනෙක් අතට අල්ලාහ් දෙවියන් සර්වඥානියෙකු වන බැවින්ද සියල්ලන්ගේම් මැසිවිලිවලට කන් දෙන හෙයින්ද ඔහුගෙන් යැදීම ප්‍රමාණවත්ය. තවද ඔහු සියල්ල බලා සිටින බැවින්ද සියල්ලම අසා සිටින බැවින්ද අපගේ සිතුම් පැතුම් පවා දන්නා බැවින්ද ඔහුගෙන් ඍජුවම යැදීම ප්‍රමාණවත් වේ. ඒ සඳහා කිසිම අතරමැදියෙකු අවශ්‍ය නොවේ.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *