විශ්වයේ බිහිවීම ගැන නොයෙකුත් මත සහ විශ්වාසයන් ප්‍රකාශ වී තිබේ. බයිබලයට සහ අල්-කුරානයට අනුව විශ්වය දෙවියන්ගේ මැවීමකි. දෙවියන් පහළ කරන ලද අනෙක් ආගම්වලත් එසේමය. එසේ තිබියදී විද්‍යාඥයින් මේ සඳහා නොයෙකුත් වාදයන් ඉදිරිපත් කොට ඇත. මේ අනුව විශ්වය සදාකල් පැවති එකක් බව මුලදී විද්‍යාඥයින් විසින් විශ්වාස කොට තිබේ. පසුව එය වෙනස් කොට මහා පිපුරුමකින් විශ්වය හට ගත් බව පැවසුහ. ඉන්පසුව එම මතයත් වෙනස් කොට විශ්වය ඉබේ බිහිවී තිබිය යුතු බව සුප්‍රකට විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හොකින් මහතා විසින් ප්‍රකාශ කොට තිබේ. අනාගතයේදී මේවාද වෙනස් විය හැකිය.ආගමින් හෝ විද්‍යාඥයින් හෝ යමක් ප්‍රකාශ කළ පමණින් ඒවා පිළිගැනීම අන්ද විශ්වාසයකි. ඒ අනුව යමක් විශ්වාස කල යුත්තේ එය තහවුරු කල හැකි සාක්ෂි තිබේනම් පමණි.

විද්‍යාව පදනම් වී තිබෙන්නේ පර්යේෂණ මත පිහිටි නිගමන මත වුවත් විශ්වයේ බිහිවීම විස්තර කිරීමේදී මෙම ක්‍රමයෙන් බැහැර වී ඇත. ඒ අනුව විශ්වයේ බිහිවීම තහවුරු කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ ආකෘතියක් හෝ අඩුම තරමින් පරමාණුවක් හෝ නිපදවා නොමැත. එසේ තිබියදී විශ්වයේ බිහිවීම විස්තර කිරීම සඳහා වාදයන් පමණක් ඉදිරිපත් කොට තිබේ. මෙම වාදයන්හි පවා බොහෝ අඩුපාඩු දැකිය හැකිය. විද්‍යාඥයින් ඉදිරිපත් කරන සෑම වාදයක්ම මුල් වන්නේ විශ්වයේ තිබෙන ද්‍රව්‍ය සහ ශක්තිය පදනම් කරගෙනය. එබැවින් එම  කිසිම වාදයක් අංග සම්පුර්ණ වන්නේ නැත. එනම් ඒවා අඩුපාඩු සහිත ඒවාය.

එසේ තිබියදී ආගම දෙසීම සඳහා පැමිණි නබිවරුන් ප්‍රාතිහාරයන් පෙන්වීම මගින් ඔවුන් පවසන දේවල් සත්‍ය බව පවසා ඇත. එම ප්‍රාතිහාරයන් නබිවරුන්ට මිස වෙනත් කිසිවෙකුට කල නොහැකි ඒවාය. උදාහරණයක් ලෙස ජේසු තුමා මළවුන් නැගිටුවා පෙන්වා ඇත. අන්දයින්ට පෙනුම ලබා දී ඇත. එහෙත් අද අප අතර ප්‍රාතිහාරයන් පෙන්වීම සඳහා නබිවරුන් නැත. එහෙත් මුහම්මද් නබි තුමාට පහළ වූ අල්-කුරානය ප්‍රතිහාරයක් ලෙස පවතින්නේය.

ආරම්භයේදී විශ්වය සැමදාම පැවති එකක් යැයි විද්‍යාඥයින් ප්‍රකාශ කලත් හබල්ගේ සොයාගැනීමෙන් පසු එම මතය වෙනස් කොට ඇත. ඒ අනුව විශ්වයට ආරම්බයක් තිබෙන බව දැන් නිගමනය කොට තිබේ. මහා පිපුරුම් වාදයට මුල පිරුනේද එඩ්වින් හබල් විසින් 1924 දි අභ්‍යාවකාශ විද්‍යාවේ නව පිටුවක් පෙරලමින් විශ්වය ප්‍රසාරණය වන බව සොයාගැනීමෙන් පසුවය. කෙසේ වෙතත් විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව 7වන සියවසේදී පහළ වූ අල්-කුරානයේ සඳහන් කොට තිබීම සුවිශේෂී කරුණකි. කුරානයේ සඳහන් එම වැකිය පහත දැක්වේ.

“තවද අපි අහස ශක්තිමත්ව මවා ඇත්තෙමු, එය අපිම විස්තීරණය කරන්නෙමු” (කුරානය 51:47).

අභ්‍යවකාශ විද්‍යාව නොදියුණු හත්වන සියසේදී එවැනි ප්‍රකාශනයක් ඉතා නිවැරදිව සිදු කිරීමට තරම් හැකියාවක් අල්-කුරානයට ලැබෙන්නේ කෙසේද? අල්-කුරානය දෙවියන් පහළ කරන ලද පණිවිඩයක් නොවේ නම් එවැනි දෙයක් අධ්‍යාපනයක් නොලත් මුහම්මද් නබිතුමාට කල හැකි වෙයිද?

එපමණක් නොව අභාවකාශවිද්‍යාවේ ඉතා  වැදගත් නිගමනයක් වන අහස සහ පොලව එකම ප්‍රභවයකින් හට ගැනෙන බව අල්-කුරානයේ ඉතා නිවැරදිව සඳහන් කොට තිබීම ද අල්-කුරානයේ  ඇති තවත් විශේෂත්වයකි. පහත දැක්වෙන්නේ එම වැකියයි.

“අහස සහ පොලව පොදු මුලරම්භයකින් ඇතිවන බව විශ්වාස නොකරන්නවුන් දැනගන්නේ නැද්ද? පසුව අපි එය වෙන් කළෙමු”   (Q 21:30).

මෙවැනි අතිශයින්ම නිවැරදි සහ විද්‍යාත්මක ප්‍රකාශනවලින් පැහැදිලි වන්නේ ඒවා පහළ කොට තිබිය යුත්තේ විශ්වයේ මැවුම්කරු වන දෙවියන්ගෙන් බවයි.

ඉහත සඳහන් අල්-කුර්ආන් වැකිය සම්බන්දයෙන් ජර්මනියේ ජොහැන්ස් ගටන්බර්ග් විශ්ව විද්‍යාලයේ (Johannes Gutenberg University) භූ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු සහ එහි සභාපතිවරයා ද වන ඇල්ෆ්‍රඩ් ක්‍රෝනර් මහතා විසින් එක් අවස්ථාවකදී පහත සඳහන් ප්‍රකාශනය සිදු කොට ඇත.

“මුහම්මද් පැමිණෙන (කාලය) දෙස බලන විට …….ඔහු විසින් නවීන විද්‍යාවෙන් මෑතක සොයාගත් දේවල් සමහ විශ්වයේ පොදු ආරම්භය සිදුවූ ආකාරය සඳහන් කිරීම කිසිසේත් ම සිදු විය නොහැකිය. මා එසේ පවසන්නේ මෙවැනි කරුණු සොයාගනු ලැබුවේ ඉතා සංකීර්ණ ක්‍රම සහ නවීන තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ඉතා මෑතක දී වන නිසායි”

තවදුරත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ න්‍යෂ්ටික බෞතික විද්‍යාව පිළිබඳව කිසිවක් නොදත් යුගයකදී පෘථිවිය සහ විශ්වය එකම මුළාරම්භයකින් ඇතිවී තිබීම ගැන මුහම්මද් තුමාට දේව පණිවිඩයකින් මිස වෙනත් කිසිම ක්‍රමයකින් දැනගත නොහැකි බවයි.

මේ හැරුණු විට මහාචාර්ය ජෝසෆ් සිලික් මහතා ඔහුගේ “The Big Bang” (Revised and Updated Edition by Joseph Silk published in 1986) කෘතියෙන් පෙන්වා දෙන්නේ මහාපිපුරුමට අවශ්‍ය පසුබිම කෙසේ ඇති වුයේදැයි කිසිවෙකු විසින් නොදන්නා බවයි. එය පහත දැක්වෙන පරිදි ඔහු විසින් ලියා පලකරන ලද ග්‍රන්තයේ සඳහන් වේ.

“මහා පිපුරුම් වාදය මහින් මෙතෙක් මුලික ප්‍රශ්න තුනක් විසදා නොමැත. එනම් (මහාපිපුරුමට) මත්තෙන් කුමක් සිදුවුයේ ද, ස්වභාවික නීති ක්‍රියාත්මක නොවන අවස්තාව (singularity) පිළිබද ඇතැම් කරුණු, මන්දාකිණිවල ආරම්භක අවස්තාව.”

ඉහත සඳහන් කරුණ හැරුණු විට මහාචාර්‍ය ස්ටෙෆාන් හෝකින් මහතාගේ පෙර පැවති මතය අනුව විශ්වය දෙවියන් විසින් මවා තිබිය යුතු බව පැවසේ. එහෙත් දැන් ඔහු පවසන්නේ විශ්වය ඉබේ බිහිවී තිබිය යුතු බවයි. එහෙත් බොහෝ විද්‍යාඥයින් මෙම දෙවන මතය සමග එකඟ වන්නේ නැත. කෙසේ වෙතත් මහාචාර්‍ය ස්ටෙෆාන් හෝකින්ගේ මුලින් සිදු කල ප්‍රකාශනය පහත දැක්වේ.

“(විශ්වයේ ආරම්භය) සිදුවූ බව ගෙනහැර දැක්වීමට දිය හැකි පිළිතුර දෙවියන් විසින් විශ්වයේ මුලික වින්‍යාසය (configuration) යම් හේතුවක් උදෙසා නිර්මානය කළත් එය කෙසේ සිදුවුයේ ද යන්න තේරුම් ගැනීම අපේක්ෂා කල නොහැකි බවයි. මෙය නිශ්චිචය වශයෙන්ම සර්වබලධාරී (omnipotent being) කෙනෙකුගේ බලයට යටත් වූ ක්‍රියාවකි, එහෙත් ඔහු එම ක්‍රියාවලිය තේරුම්ගත නොහැකි ආකාරයකට සිදුකර ඇති අතර, එම සිද්දිය අපට තේරුම් ගත හැකි නීති වලට යටත් කර පරිනාමනය වීමට ඉඩ සලසා ඇත්තේය. විද්‍යාවේ සම්පුර්ණ ඉතිහාසයම ගෙනහැර දක්වන්නේ කිසිදෙයක් හිතුමතේට (arbitrary) සිදුනොවන බවය්, එහෙත් ඒවා පිලිබිබු කරන්නේ යම්කිසි තේරුම්ගත හැකි පිළිවෙලකි, එය දෙවියන්ගේ අනුග්‍රහයෙන් හෝ අනුග්‍රහය නොමැතිව විය හැකිය.”

(A brief history of time from big bang to black hole by Stephan W Hawking 1st edition 1988 april -page 122).

ඉහත සඳහන් කල කරුණු හැරුණු විට විසිවන සියවසේ ජීවත්වූ ශ්‍රේෂ්ට විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් ද මැවුම්වාදය පිළිගෙන තිබේ. ඔහු පවසන අන්දමට මැවීමකින් තොර විශ්වයක් ගැන පිළිගත නොහැකිය. ඒ අනුව දෙවියන් දාදු කැට සෙල්ලම් කරන්නේ නැත’යි පවසා ඇත. තවද ඔහු, “ආගමෙන් තොර විද්‍යාව අබ්බඝාතය, විද්‍යාවෙන් තොර දහම අන්දය” යනුවෙන් පවසා ඇත.

එසේ තිබියදී අල් කුරානයේ සඳහන් වන්නේ දෙවියන් මේ විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මැවූ බවයි.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *