සාතන් ගැන අල් කුරානයෙන් පමණක් නොව දෙවියන් පහළ කල සෑම ආගම් පුස්තකයකින්ම අනතුරු හඟවා ඇත. එබැවින් ඔහු ගැන දැනගෙන සිටීම සැමටම ප්‍රයෝජනවත් වේ. සාතන් දේවදුතයෙක් බව ඇතැම් අය වරදවා තේරුම් ගෙන තිබුනත් කුරානයට අනුව ඔහුව ගින්නෙන් මවා ඇත. ඒ බව කුරානයේ පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.
“ජින්වරුන්ව, අපි මිට කලින් දුම් රහිත හින්නෙන් මැව්වෙමු” (කුරානය 15:27).
දේවදුතයින් සහ ජින්ව්රුන් අතර ඇති වෙනසවන්නේ ජින්වරුන්ට ස්වයං තීරණ ගැනීමට හැකි වීමත් දේවදුතයින්ට ස්වයං තීරණ ගැනීමට නොහැකිවීමත් ය. ඒ අනුව ජින්වරුන්ට මිනිසුන්ට මෙන්ම තමන්ට කැමති තේරීමක් කිරීමට අවසර ලබා දී තිබේ. සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද කුරානයේ සඳහන් කොට තිබේ.
ආදම් නබිතුමාව මවන තෙක් සාතන් සිටියේ ස්වර්ගය තුල දේවදුතයින් සමගය. ආදම් තුමාව මැටියෙන් නිර්මාණය කොට ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස දේවදුතයින්ට අණ කල අවස්ථවේදී සාතන් හැර අන් සෑම දේවදුතයෙක්ම ඔහුට සුජුද් කළෝය. සාතන් ඔහුගේ උඩඟු කම නිසා මැටියෙන් නිර්මාණය කරන ලද ආදම් නබි තුමාට සුජුද් නොකර තම විනාශය අත්කර ගත්තේය.
“ආදම්ට සුජුජ් කරන්නැයි අප දේවදුතයින්ට පැවසූ කළ ඉබ්ලිස් හැර අන් සියල්ලෝම සුජුද් කළෝය. ඔහු ජින්වරුන්ගෙන් කෙනෙක් වුහ; ඔහු තම අධිපති (අල්ලාහ්ගේ) අණට අකීකරු විය. ඔහු (ඉබ්ලිස්) නුඹලාගේ සතුරෙක්ව සිටියදී, ඔහුව සහ ඔහුගේ ප්‍රජාව මා වෙනුවට ඔබලාගේ ආරක්ෂකයන් ලෙස ගන්නෙහු ද?” (කුරානය 18:50).
සාතන් දෙවියන්ගේ අණට අකීකරු වීමෙන් ඔහු දෙවියන්ගේ ශාපයට ලක්වූ අතර ස්වර්ගයෙන් නෙරපන ලදී. සාතන්ව ස්වර්ගයෙන් නෙරපන අවස්ථාවේදී ඔහු ලෝකය අවසාන වන තුරු ජීවත්වීමට වරමක් ඉල්ලා ඇත. ඔහුට එම වරම ලබා දී ඇත. සාතන්ට ස්වර්ගය අහිමි වීමට හේතුවක් වුයේ මිනිසා බැවින් ඔහු මිනිසාගේ පරම සතුරෙක් බවට පත් විය.
“නියතව සාතන් නුඹලාට සතුරා වේ. එහෙයින්, නුඹලා ඔහුව සතුරා ලෙසම සලකනු. ඔහු තම කණ්ඩායම නිරයේ වැසියන් වීමට අරාධනා කරයි” (කුරානය 35:6).
තවද ආදම් තුමාගේ දරුවන්ව නොමග යැවීමට සාතන් කටයුතු කරන්නේය.
“ආදම්ගේ දරුවෙනි! නුඹලා සාතන්ට නැමදුම් නොකරන්න. නියතව ඔහු නුඹලාට පැහැදිලි සතුරා වේ යැයිද, තවද, මටම නැමදුම් කරන්න, මෙයම ඍජු මග වේ යැයිද මම නුඹලාගෙන් ප්‍රතිඥාව නොඅරගන්නේම්ද? නියතව ඔහු නුඹලාගෙන් අධික පිරිස් නොමගෙහි යැව්වේය. නුඹලා අවබෝද කරගන්නන් ලෙස නොසිටියෙහුද?” (කුරානය 36:60-62).
සාතන්ගෙන් ගැලවීමට නම් දෙවියන් පෙන්වා දී ඇති මාර්ගය අනුගමනය කල යුතුය. එහෙත් බොහෝ අය කරන්නේ දෙවියන් පෙන්වා ඇති මාර්ගය වෙනුවට සාතන්ගේ අඩිපාරේ ගමන් කිරීමය. මේ හේතුවෙන් අල්ලාහ්ට නැමදීම වෙනුවට පිළිම වලටද, සාතෘවරුන්ටද, මළවුන්ටද, මුදල්වලටද, වෙනත් වෙනත් දේවල්වලටද නැමදුම් කරති. තවත් අය ලෞකික සැපත වෙනුවෙන් පමණක් ජිවත් වෙති. සාතන්ද ලෞකික දේවල් අලංකාර කොට පෙන්වන්නේය.
දෙවියන් කිසිවෙකුට අසාධාරණයක් කරන්නේ නැත. ඒ අනුව මිනිසාට වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. එය තේරුම් ගැනීමට මනසක්ද ලබා දී ඇත. එසේ තිබියදීත් මිනිසා වැරදි කළහොත් මරණයෙන් පසු දෙවියන්ගේ කෝපයට ලක් වීමට නියමිතය. එම අවස්ථාවේදී වැරදි කල අය මෙලෙස පවසනු ඇත.
“මෙම වැරදි කරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමු අය වශයෙන් ‘අපගේ දෙවියනි! අපගේ ඇස්ද කන්ද විවෘත විය. ආපසු (මනු ලොවට) යවනු මැනව. අපි දැහැමි ක්‍රියාවන් කරන්නෙමු. නියත වශයෙන්ම අපි මේ (විනිශ්චය දිනය) විස්වාස කරමු” (Q 32:12). යනුවෙන් පවසනු ඇත.
මිනිසාට යහ මග පෙන්වා දීමට නබිවරුන් සිය දහසකට වඩා මෙලොවට පැමිණ ඇත. ඔවුන් සියළු දෙනාම සාතන් ගැන අනතුරු හඟවා තිබේ. අවසාන වශයෙන් මෙලොවට පැමිණි මුහම්මද් නබි තුමාද දැඩි වෙහෙසක් ගෙන මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී ඇත. ඔහුට ලැබුණු අල් කුරානය අදටත් ප්‍රාතිහාරයකි. එසේ තිබියදී එය ගවේෂණය නොකොට සාතන්ගේ අඩිපාරේ ගමන් කිරීම සැබවින්ම කනගාටුවට කරුණකි.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.