කෙනෙකුට හෝ කණ්ඩායමකට සක්‍රීය ලෙස විරුද්ධකම් කරන තැනැත්තා සතුරෙකි. එවැනි අය සෑම සමාජයකම දැකිය හැකිය. ඔවුන්ගේ ජිවනෝපාය කරගෙන ඇත්තේ අනුන්ට හිංසා කිරීමය. මේ අතර සාතන් ද මිනිසාගේ පරම සතුරෙකි. ඔහුගේ එකම පරමාර්ථය මිනිසා ස්වර්ගයට යෑම වැළැක්වීමයි.සාතන් ගින්නෙන් මවා ඇති ජීවියෙකි. ඔහු ජින් කුලයට අයත් වන අතර ඔහුට උදව් කිරීම පිණිස තවත් ජින් සමුහයක් සහ මිනිසුන්ගෙන් සැදුම් ලත් විශාල පිරිසක් ඇත්තේය. සාතන් ගැන දෙවියන් පහළ කල සෑම දහමකින්ම අනතුරු හඟවා තිබේ. එබැවින් ස්වර්ගයට ඇලුම් කරන සියළුම දෙනා සාතන් ගැන දැනගත යුතුය.

සාතන්ගේ මුල් වාසස්ථානය ස්වර්ගයි. ඔහු සිටියේ දේවදුතයින් අතරය. ආදම් තුමාව මැටියෙන් නිර්මාණය කළ පසු ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස දෙවියන් දේවදුතයින්ට අණ කළේය. එහෙත් සාතන් හැර අන් සියළුම දේවදුතයින් එම නියෝගය ඉටු කළෝය. සාතන්ව ගින්නෙන් මවා ඇති බැවින් පස්වලින් මවා ඇති ආදම් තුමාට හිස නැමීමෙන් සාතන් වැලකී සිටියේය.

“ආදම්ට සුජුජ් කරන්නැයි අප දේවදුතයින්ට පැවසූ කළ ඉබ්ලිස් හැර අන් සියල්ලෝම සුජුද් කළෝය. ඔහු ජින්වරුන්ගෙන් කෙනෙක් වුහ; ඔහු තම අධිපති (අල්ලාහ්ගේ) අණට අකීකරු විය. ඔහු (ඉබ්ලිස්) නුඹලාගේ සතුරෙක්ව සිටියදී,  ඔහුව සහ ඔහුගේ ප්‍රජාව මා වෙනුවට ඔබලාගේ ආරක්ෂකයන් ලෙස ගන්නෙහු ද?” (කුරානය 18:50).

දෙවියන්ගේ අණ ඉටු නොකිරීම හේතුවෙන් සාතන් දෙවියන්ගේ ශාපයට ලක්වූ අතර ස්වර්ගයෙන් ද නෙරපා හරිනු ලැබුවේය. මෙම සාතන් ගැන අල් කුරානයේ බොහෝ තැන්වල අනතුරු හඟවා ඇත.

“නියතව සාතන් නුඹලාට සතුරා වේ. එහෙයින්, නුඹලා ඔහුව සතුරා ලෙසම සලකනු. ඔහු තම කණ්ඩායම නිරයේ වැසියන් වීමට අරාධනා කරයි” (කුරානය 35:6).

“ආදම්ගේ දරුවෙනි! නුඹලා සාතන්ට නැමදුම් නොකරන්න. නියතව ඔහු නුඹලාට පැහැදිලි සතුරා වේ යැයිද, තවද, මටම නැමදුම් කරන්න, මෙයම ඍජු මග වේ යැයිද මම නුඹලාගෙන් ප්‍රතිඥාව නොඅරගන්නේම්ද? නියතව ඔහු නුඹලාගෙන් අධික පිරිස් නොමගෙහි යැව්වේය. නුඹලා අවබෝද කරගන්නන් ලෙස නොසිටියෙහුද?” (කුරානය 36:60-62).

ආදම් තුමා ස්වර්ගයේ සිටියදීම සාතන්ගේ රැවටීමට හසු විය. ඔහු කළ වරද නිසා ස්වර්ගයෙන් පිටමන් කොට මනු ලොවට දැම්මේය. කෙසේ වෙතත් ආදම් තුමා කළ වරද  පිළිගෙන දෙවියන්ගෙන් සමාව ගත්තේය.

මිනිසා ට මෙලොව ජීවිතය පරික්ෂාවකි. ඊට සාර්ථකව මුහුණ දුන්නේ නම් නැවතත් ස්වර්ගය අත්කර ගත හැකිය. එහෙත් සතානගේ අඩිපාරේ ගමන් කරන්නේ නම් අත්වන්නේ නිරය යි.

සාතන් මිනිසුන්ව පොළඹවන්නේ වැරදි කරවීම සඳහාය. ඇතැමුන් එම පෙළඹවීම්වලට හසු වෙති. මේ හේතුවෙන් ඔවුන් සුරාව, සුදුව, මිනී මැරීම, මංකොල්ල කෑම් වැනි වැරදි සිදු කරති. කෙසේ වෙතත් සාතන්ගේ මුඛ්‍ය පරමාර්ථය මිනිසුන්ව නිවැරදි දහමින් ඈත් කරවීම ය. මේ නිසා අල්ලාහ්ට නැමදීම වෙනුවට පිළිම වලට වැඳීමටත්, ආගම දෙසීමට පැමිණි සාතෘවරුන්ට වැඳීමටත්, මළවුන්ට වැඳීමටත් සලස්වන්නේය. මේ අතර සමහරු මුදල්වලින් සියල්ල කළ හැකි යැයි සිතමින් ඒවාට ගරු කරති. සමහරු බලයට මුලාවී එය දේවත්වයෙන් සලකති. මේවා සියල්ලම දෙවියන්ට සමානයන් තැබීම ලෙස සැලකේ.

මිනිසාට මේ ලෝක ජීවිතය පරික්ෂාවකි. මිනිසාගේ ආසාවන් මෙන්ම සාතන්ද එම පරික්ෂාවේ කොටස්කරුවන් ය. සාතන්ගෙන් බේරීම සඳහා අවශ්‍ය ශක්තිය මිනිසාට ලබා දී තිබේ. එසේම වැරදි මාර්ගයෙන් හරි මාර්ගය පෙන්වා දීම සඳහා නබිවාරුන් විශාල සංඛ්‍යාවක් මෙලොවට යවා තිබේ. එලෙස පැමිණි අවසාන නබි වරයා මුහම්මද් තුමාය. මොවුන් සෑම කෙනෙක්ම සාතන් ගැන පවසා ඇත.

මිනිසාට නිවැරදි මාර්ගය කියා දී තිබියදීත් වැරදි මාර්ගය තෝරා ගන්නේ නම් එහි විපාක විඳීමට සිදු වන්නේ මිනිසාටමය. වැරදි කල මිනිසුන්ව දෙවියන් ඉදිරියේ නවතා තබන අවස්ථාවේදී ඔවුන් මෙලෙස පවසනු ඇත.

“මෙම වැරදි කරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමු අය වශයෙන් ‘අපගේ දෙවියනි! අපගේ ඇස්ද කන්ද විවෘත විය. ආපසු (මනු ලොවට) යවනු මැනව. අපි දැහැමි ක්‍රියාවන් කරන්නෙමු. නියත වශයෙන්ම අපි මේ (විනිශ්චය දිනය) විස්වාස කරමු’යි පවසනු ඇත” (Q 32:12).

මිනිසාට අවවාද කොට තිබියදීත් සාතන්ගේ මාර්ගය තෝරාගන්නේ නම් එහි විපාක විඳීමට මිනිසා සුදානම් විය යුතුය. එය මුග්ධ කමේ උච්චතම අවස්ථාව වනු ඇත.

By Fasy Ajward.
B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

One thought on “සාතන් ඔබගේ සතුරා වන්නේ ඇයි? (Why Satan is your enemy?)”
  1. That is a great tip especially to those fresh to the blogosphere.
    Simple but very precise information… Appreciate your sharing this one.

    A must read post!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *