සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද කුරානයේ ආමන්ත්‍රණය කොට ඇත. ඔහුගේ මුල් වාසස්ථානය ස්වර්ගය වේ. ඔහු සිටියේ සුරදුතයින් අතරය. ඔහු එදත් අදත් දෙවියන්ව විශ්වාස කරන්නේය. එසේ නම් ඔහු දෙවියන්ගේ කෝපයට ලක්වුනේ කෙසේද? ස්වර්ගයෙන් නෙරපනු ලැබුවේ ඇයි?අල්ලාහු තආලා ආදම් තුමාව මැටියෙන් මැවූ පසු ඔහුට සුජුද් කරන ලෙස දේවදුතයින්ට නියෝග කරනු ලැබුවේය. ඉබ්ලිස් හැර අන් සෑම සුරදුතයෙකුම එම නියෝගය ඉටු කළෝය. ඉබ්ලිස් සුජුද් නොකළේ ඇයිදැයි විමසු විට ඔහු කියා සිටියේ ඔහු මැටියෙන් මැවූ ආදම් තුමාට වඩා උසස් බවයි. එම අවස්ථාවේදී සාතන් බැළුවේ ආදම්තුමාගේ රුපය මිස ආදම්තුමාට සුජුද් කරන ලෙස නියෝගය ලැබුණු තැන නොවේ. එබැවින් සාතන් සුජුද් නොකර සිටීමට හේතු දැක්වුවා මිස දෙවියන්ගෙන් සමාව ඉල්ලුවේ නැත. සාතන්ට හැඟී හියේ ආදම් තුමාට සුජුද් කිරීමෙන් ඔහු ආදම් තුමාට වඩා නීච වන බවයි.
මෙහිදී අපට තවත් කරුණක් පෙනී යන්නේය. එනම් ආදම් තුමාද ස්වර්ගයේදී වරදක් කළේය. එහෙත් ඔහුට ඉබ්ලිස්ට මෙන් තත්වයක් උදා වුයේ නැත. ඇයිද යත් ආදම් තුමා තමන් කළ වරද පිළිගත් අතර ඒ සඳහා පසුතැවිලි වී දෙවියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. එබැවින් ඔහුට සමාව ලැබුනේය. එහෙත් සාතන් එවනි දෙයක් කළේ නැත.
මෙම අවස්ථාවන් දෙක අපට පාඩමක් උගන්වන්නේය. එහෙත් මිනිසුන් අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව අහංකාරකම මුල්බැසගෙන තිබේ. එහි ලක්ෂණයක් වන්නේ අන් අයව පතත් කොට සැලකීමයි. සාතන්ද ආදම් තුමාට සුජුද් නොකළේ ඔහුගේ අහංකාරකම නිසාය. එම උඩඟුකම ඔහුගේ විනාශයට හේතුවක් විය. එබැවින් කුරානයේ බොහෝ තැන්වල සාතන්ට සිදුවූ දේ පිලිබඳ දන්වා තිබේ. ඉන් අපි පාඩමක් ඉගෙනගත යුතුය.
ලුක්මාන් තුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) සිය පුතුන්ට පහත දැක්වෙන පරිදි අවවාද කොට තිබේ.
“නුඹගේ මුහුණ (අහංකාරකමින්) මිනිසුන්ගෙන් හරවා නොගන්න. තවද පොළොවෙහි උඩඟුකමින් නොඇවිදින්න! නියතව අල්ලාහ් උඩඟුකම නිසා අහංකාරකම පෙන්වන්නාව ප්‍රිය කරන්නේ නැත”(කුරානය 31:18).
උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ ඇති තැනැත්තා ස්වර්ගයට නොයන බව නබිතුමා පවසා ඇත (සහිහ් මුස්ලිම් වෙළුම 1#164).
නබිතුමාගේ අනුගාමිකයින් නබිතුමා පැමිණෙන විට සිට ගැනීමට උත්සාහ කලත් නබිතුමා ඊට ඉඩ හැරියේ නැත. මෙම ආදර්ශය අප විසින් අනුගමනය කිරීම අපගේම යහපතට හේතුවක් වනු ඇත.
පෙර කාලවල රජවරුන්ට ජනතාව තම හිස බිම තබා වැඳ තිබේ. මෙය ඉස්ලාම් දහම අනුව විශාල වරදකි. නැමදුම් ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් පමණි. මේ අනුව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට හිස නමා ආචාර කිරීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. එහෙත් දෙමව්පියන් සහ වැඩිහිටියන්ට ගරු කළ යුතු බව ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය.
දෙවියන්ට නැමදීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවද උඩඟු කමය. බොහෝ අයගේ උඩඟුකම නිසා ඔවුන්ට සත්‍යය වැටහෙන්නේ නැත. අල් කුරානයේ මෙවැනි උදාහරණ බොහෝ දැකිය හැකිය. ඊජිප්තුව පාලනය කළ පාරාවෝ මිට එක් උදාහරණයකි. මුසා සහ හාරුන් යන නබිතුමානන් දෙදෙනා ගොස් සාධක සහිතව පරාවෝට සත්‍යය දහම සඳහා ආරාධනා කලත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ඔහුගේ උඩඟු කම නිසාය. එම අවස්ථාවේදී පාරාවෝ මෙසේ පවසා ඇත.
“ඕ: නායකයිනි! මා හැරුණු විට නුඹලාට වෙනත් දෙවියෙකුව මම නොදනිමි. ඕ: හාමාන්! මුසාගේ දෙවියන්ව බැලීම පිණිස මා වෙනුවෙන් කිරිමැටි මත ගින්නක් මොලවා (ගඩොල් සාදා) (උස්) කුළුණක් සාදනු! නියතව මම ඔහුව බොරුකාරයින්ගෙන් කෙනෙකු ලෙසම සිතමි’යි පාරාවෝ කීය” (කුරානය 28:38).
උඩඟුකම නිසා සත්‍යයට පිටුපෑ පාරාවෝ සහ ඔහුගේ පිරිස ඔවුන්ගේ විනාශය අත්කර ගත්තෝය. අදත් බොහෝ අය උඩඟු කමින් සත්‍යයට පිටුපෑවත් ජීවිතය අවසාන කරගන්නේ ඉතා අවාසනාවන්ත ලෙසය. මේ නිසා මිනිසාට ලැබී ඇති මේ එකම අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබීම මෙලොව සහ මරණයෙන් මතු ජීවිතය ජය ගැනීමට හේතුවක් වන්නේය.
By Fasy Ajward. B.Sc(Sp.Phy) Hons.J. Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.