මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ සුවිශේෂී අරමුණක් ඉටු කිරීම සඳහා ය. ඒ බව දෙවියන් පහළ කළ සෑම දහමකින්ම පවසා ඇත. එහෙත් එය ඉටු කළ යුතුව තිබෙන්නේ මහත් පරිශ්‍රමයක් දැරිමෙනි. ඇයිද යත් සාතන් එම අරමුණ ඉටුකිරීමට බාදා කරමින් නිවැරදි ගමන් මග වලක්වන නිසාය. පහත දැක්වෙන කුර්ආන් පාඨයේ ඒ බව සඳහන් වේ.“නියතව සාතන් නුඹලාට සතුරා වේ. එහෙයින්, නුඹලා ඔහුව සතුරා ලෙසම සලකනු. ඔහු තම කණ්ඩායම නිරයේ වැසියන් වීමට අරාධනා කරයි” (කුරානය 35:6).

සාතන් ගැන මෙතරම් හොඳින් පැහැදිලි කොට තිබියදීත් මිනිසුන්ගෙන් වැඩි දෙනා ගමන් ගන්නේ ඔහු පෙන්වන ගමන් මගෙහිය. ඇයිද යත් ඔහු මිනිසුන්ට ලඟා වන්නේ කුළුපහ මිතුරෙකුගේ වේශයෙන් වන නිසාය. එහෙත් සැබවින්ම  සතන් මිනිසාගේ සතුරෙක් වන අතර ඔහු පෙන්වන මාර්ගය කෙළවර වන්නේ නිරයේදීය.

සාතන් ජින් කුලයට අයත් බැවින් මිනිසාට නොපෙනෙන ආකාරයට ලඟා විය හැකිය. එසේ පැමිණෙන ඔහු මිනිස් සිත් වැරදි කිරීමට පොළඹවන්නේය. ඔහු ආදම් තුමාටත් කළේ එයම වේ. ආදම් තුමා සාතන්ගේ බස්වලට රැවටී දෙවියන් තහනම් කළ දේ සිදු කළේය. එහෙත් ආදම් තුමා ඔහු කළ වරද ගැන පසුතැවිලි වු අතර දෙවියන්ගෙන් සමාව අයද සිටියේය. ඒ අනුව ඔහුට සමාව ලැබුනේය.

මිනිසාට පැවරෙන ප්‍රධාන කාර්‍ය දෙවියන්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහු පෙන්වා දෙන මාර්ගයේ ගමන් කිරීමය. මෙම මාර්ගය කියා දීම සඳහා මිනිසුන් අතරින් බොහෝ නබිවරුන් තෝරා පත්කර ඇත. එලෙස පැමිණි අවසාන නියෝජිතයා වන්නේ මුහම්මද් නබිතුමාය. ඔහු මෙලොවට පැමිණි කාරුණික නබිවරයෙකි. ඔහුගේ පැමිණීම ගැන අල්-කුරානයට පෙර පහළ වු සෑම දහම් පුස්තකයකම සඳහන් කොට ඇත.

දෙවියන්ට පමණක් නමදින ලෙස කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් වේ. එහෙත් බොහෝ අය දෙවියන්ට පමණක් නැමදීම වෙනුවට ඔහුට සමානයන් තබා නමදුම් කරති. දෙවියන්ට කීකරු වනවා වෙනුවට සාතන්ගේ අඩිපාරේ ගමන් කරති. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් මේ බව පැහැදිලි කොට ඇත.

“ආදම්ගේ දරුවෙනි! නුඹලා සාතන්ට නැමදුම් නොකරන්න. නියතව ඔහු නුඹලාට පැහැදිලි සතුරා වේ යැයිද, තවද, මටම නමදුම් කරන්න, මෙයම ඍජු මග වේ යැයිද මම නුඹලාගෙන් ප්‍රතිඥාව නොඅරගන්නේම්ද? නියතව ඔහු නුඹලාගෙන් අධික පිරිස් නොමගෙහි යැව්වේය. නුඹලා අවබෝද කරගන්නන් ලෙස නොසිටියෙහුද?” (කුරානය 36:60-62).

සාතන්ගේ පෙළඹවීම නිසා ලේ වැගිරීම්, මිනිස් ඝාතන, සුරා පානය, කාමය වරදවා හැසිරීම ඇතුළු බොහෝ වැරදි මිනිසාගෙන් සිදුවන්නේය. එම වැරදි කරන කෙනෙක් නිසි පරිදි සමාව නොගත්තේ නම් අවසාන ප්‍රතිපලය වන්නේ දෙවියන්ගේ දඬුවමට ලක් වීමය. එනම් නිරන්තර ලෙස නිරයට යාමටය.

දෙවිඳුන්ට සමානයන් තබමින් මුළු ජිවිත කාලයම පින් දහම් කළත් ඒවා ට කුලිය ලැබෙන්නේ නැත. එහෙත් සාතන්ට අවශ්‍ය වන්නේ මිනිසා ලවා එම වරද සිදු කරවීමය. මේ නිසා ඇතැම් අය දෙවියන්ට නැමදුම් කලත් මළවුන්ගේ මාර්ගයෙන්ද දෙවියන්ට කන්නලව් කරති. මෙය දැන දැන කරන්නේ නම් ඔවුන් කරන්නේ විශාලා වරදකි. එවැනි කෙනෙක් මරණයට පෙර සමාව නොගත්තේ නම් සදා කල් නිරයට පාත්‍ර වනු ඇත.

මිනිසාට ලැබී ඇත්තේ එක් ජිවිත කාලයක් පමණි. එබැවින් කෙනෙක් සත්‍යය දැනගත් පසුත් මුරණ්ඩු කමින්  එම සත්‍යය පිලි නොගෙන වැරදි මාර්ගයේම ඇලි සිටින්නේ නම් ඔහුට සිදු වන්නේ කියා නිම කළ නොහැකි පාඩුවකි. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වකියනේ විස්තර කොට ඇත.

“මෙම වැරදි කරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමු අය වශයෙන් ‘අපගේ දෙවියනි! අපගේ ඇස්ද කන්ද විවෘත විය. ආපසු (මනු ලොවට) යවනු මැනව. අපි දැහැමි ක්‍රියාවන් කරන්නෙමු. නියත වශයෙන්ම අපි මේ (විනිශ්චය දිනය) විස්වාස කරමු” (Q 32:12). යනුවෙන් කියනු ඇත.

ආදම් තුමා කළ වරද නිසා ඔහුව ස්වර්ගයෙන් පිටමං කළේය.  ඔහු එම වරද වෙනුවෙන් පසුතැවිලි වු අතර දෙවියන් ඔහුට සමාව දුන්නේය. එහෙත් මිනිසාට මිහිපිටදී ලැබී ඇත්තේ එක් අවස්ථාවක් පමණි. ඉන් ප්‍රයෝජන නොගත්තේ නම් මරණයෙන් පසු කිසිවෙකුට සමාව ලැබීමට තවත් අවස්තවක් ලැබෙන්නේ නැත. මෙය හොඳින් තේරුම් ගන්නේ නම් දෙවියන් ලබා දී ඇති මෙම අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝගන නෙලා ගනු ඇත.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *