මොහු ඔබේ සාමාන්‍ය හතුරෙකු නොවේ. මොහු ඔබේ තාවකාලික හතුරෙකුද නොවේ. ඔබේ මරණ මංචකය තෙක් ඔබට උගුල් අටවන, ඔබ මහත් අගාධයකට ඇද දැමීමට අවස්ථාවක් උදානොවෙයිදෝ යනුවෙන් සෑම මොහොතක් පාසාම මාන බලමින් සිටින ඔබේ අති භයානක හතුරාය. ඔබව ඔබට එරෙහිව කි‍්‍රයා කරවීමට තරම් ඔහු බලවත්ය. එසේ නම් මෙම හතුරා සම්බන්ධව කී වාරයක් නම් ඔබ අවදියෙන් සිටිය යුතු ද? ඔබගේ නිවස, ඔබගේ වට පිටාව, ඔබේ දූදරුවන් කෙතරම් නම් මොහුගෙන් ආරක්‍ෂා කළ යුතු ද?

ඔබ කෙරෙහි අසීමිත දයාව හා අපරිමිත කරුණාව දක්වන සර්ව බල සම්පන්න අල්ලාහ් එම සතුරා සම්බන්ධව ඉතා අවදියෙන් සිටිය යුතු බව ඔබට තරයේ අවවාද කරයි.

”සැබවින්ම ෂෙයිතාන් ඔබේ සතුරාය, එබැවින් ඔබ ද ඔහුව සතුරෙකු වශයෙන්ම ගනු! (ඔහු තමන්ට) අවනතවූ පිරිස ආරධනා කරන්නේ නිරයට අයත්වූවන් බවට පත් කිරීම සඳහාය” (ශුද්ධවූ අල්කුර්ආන් 35: 6).

”සැබවින්ම ෂෙයිතාන් මිනිසාගේ ප‍්‍රකට හතුරාය” (12: 5).

මිනිසා නොමඟ යවන යම් කිසි බලවේගයක් සිටින බව සෑම සංකල්පයක් අනුමගනය කරන පුද්ගලයකු තුළම පවතින විශ්වාසයයි. එම වැරදි බලවේගය විවිධ නාමයන්ගෙන් ඇමතීමද දැකිය හැක. මේ හරහා විවිධ මිථ්‍යා මත, විශ්වාස ගොඩනැගී ඇති තත්ත්වයක් ද දැක ගහ හැක.

මුල්ම මිනිසා ආදම් මවනු ලැබීමෙන් පසු ඔහුට සිරස නමා සුජූද් කරන ලෙස සර්ව බල සම්පන්න හිමියන් දේව දූතවරුන්ට නියෝග කළේය. එයට අවනතවෙමින් දේව දූතවරුන් සුජූද් කළහ නමුත් ඉබ්ලීස් (ෂෙයිතාන්) එයට අවනත නොවී පිටුපෑවේය. එම අවස්ථාව පිළිබඳවයි අල්ලාහ් පහත සඳහන් කරන්නේ.

”ඔහු (ඉබ්ලීස්) ජින් වර්ගයට අයත්වූවෙකු විය, ඔහු සිය හිමියන්ගේ නියෝගයට පිටුපෑවේය” (ශුද්ධවූ අල්කුර්ආනය 18: 50).

සමහර මුස්ලිම් වරුන් මෙම සිදුවීම මුල්කොටගෙන ෂෙයිතාන් අයත් වන්නේ මලාඉකාවරුන්ගේ (දේව දූතවරුන්ගේ) ගනයටයි යනුවෙන් වරදවා වටහාගෙන සිටිති. ඔහු මුල් කාලයේ ශ්‍රේෂ්ඨ දේව දූතවරයෙකු, පසුවයි මෙම පහත් තත්ත්වයට ඇද වැටුනේ යනුවෙන් පවසති. එය සහමුලින්ම වැරදි මතයකි. ඔහු එම ස්ථානයේ සිටීම පමණක් ඔහු දේව දූතවරයකු යන්නට ප‍්‍රමාණවත් සාධක නොවේ. ආදම් (අෙලෙ) තුමන් ද එම ස්ථානයේ සිටි බැවින් අපි එතුමන්ව දේව දූතවරයෙකු යනුවෙන් නොපවසමු. ඒ සියල්ලට ඉහළින් ඉහත ශුද්ධවූ අල්කුර්ආන් පාඨය තුළ ෂෙයිතාන් අයත් වන්නේ කුමන වර්ගයට ද යනු පැහැදිළිව සඳහන් වේ. ඔහු අයත්වන්නේ ජින් වර්ගයටයි.

ෂෙයිතාන්ගේ උඩඟුකම හා මමත්වය ඔහු නොමඟ යෑමට හේතු විය:

”මා නුඹට නියෝග කළ විට, සජ්දා කිරීමෙන් නුඹ වැළැක්වූයේ කුමක් ද? යනුවෙන් අල්ලාහ් විමසුවේය. මා ඔහුට (ආදම්ට) වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා නිර්මාණය කළේ ගින්නෙනි, ඔහු නිර්මාණය කළේ මැටියෙනි යනුවෙන් (ඉබ්ලීස්) පැවසුවේය.

“මෙයින් නුඹ බැස පලයන්, නුඹ උඩඟුවීමට මෙහි ඉඩ නැත, එබැවින් (මෙයින්) නුඹ වහා පිටත් විය යුතුයි, යනුවෙන් (අල්ලාහ්) පැවසුවේය.” (ශුද්ධවූ අල්කුර්ආනය 7: 12, 13).

ෂෙයිතාන්ගේ මමත්වය, උඩඟුකම ඔහුගේ නිර්මාතෘවරයාට අවනතවීමෙන් පවා ඔහු වැළැක්වූයේය. මෙම පහත් ගුණාංගයන් කිසිවිටක අප තුළ නොපැවතිය යුතුය.

මෙම පාඨයන් තුළින් තහවුරු වන තවත් කරුණක් නම්, ෂෙයිතාන් ගින්නෙන් මවනු ලැබීමයි. දේව දූතවරුන් (මලාඉකා වරුන්) මවනු ලැබුවේ ආලෝකයෙනි. එබැවින් ෂෙයිතාන් දේව දූතවරුන් ගනයට අයත් වන්නේ නැත යනු තවත් මෙයින් තහවුරු වෙයි.

මතු සම්බන්ධයි…

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *