ලෝකය අවසාන වන දිනය හෝ විනිශ්චය දිනය කවදා සිදු වනවාදැයි දෙවියන් හැර වෙනත් කිසිවෙකු දන්නේ නැත. එහෙත් එම දිනය ගැන පෙරනිමිති සෑම නබිවරයෙකු විසින්ම දැනුම් දී ඇත. එම පෙරනිමිතිවලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදුවී හමාරය. දැන් ඉතිරිව ඇත්තේ නබිතුමා සඳහන් කළ ප්‍රධාන සිදුවීම් දහය පහළ වීමට පමණි. විනිශ්චය දිනය ගැන යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන සියළුම ආගම්වල සඳහන් වේ. එම දිනයේදී මෙලොව ජීවත්වූ සියළුම දෙනා එක් ස්ථානයකට රැස්කොට විනිශ්චයක් සිදු කරනු ලබන්නේය. එම විනිශ්චයෙන් පසු මිනිස් වර්ගයා හැර අන් සියළුම සතුන් දුවිලි බවට පත් කරනු ලැබේ. එම අවස්ථාවේදී සදාකල් නිරයට පාත්‍ර වූ අයද දුවිලි බවට පත්වීමට අසා කරනු ඇත.
එම විනිශ්චයෙන් පසු මිනිසාට සහ ජින්වරුන්ට ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය. ඔවුන් එහි සදාකල් ජිවත් වන අතර මරණයට පත් වන්නේ නැත.
මරණයෙන් පසු නැවත නැගිටවිම ගැන ඇතැමුන් සැක කරන බව දෙවියන් කුරානයේ පහත දැක්වෙන අන්දමට පවසා ඇත.
“මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද වූ පසු අපි නැගිට්ටවනු ලබන්නෙමුද? තවද අපගේ මුතුන්මිත්තන්වත් (නැගිටුවන්නේ) දැයි අසන්නන් ලෙස මොවුන් සිටියහ. නියතව පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත වේලාවක එක්රැස් කරනු ලබන බව නුඹ පවසන්න” (කුරානය 56:47-50).
මේ අනුව අනිවාර්යයෙන්ම මිය ගිය සියළු දෙනාවම නියමිත දිනයකදී නැවත නැගිටුවා ප්‍රශ්න කිරීමට නියමිතය.
කුරානයේ සඳහන් පරිදි එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසකි. එම දිනයේදී සුර්යයා ඉතා ලඟට ගෙන එනු ලැබේ. එම දිනයේදී අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවන මිස වෙනත් සෙවනක් නොමැත. එබැවින් කණ්ඩායම් හතකට අයත් වුවන් හැර අන් සෑම කෙනෙකුම එම දිනයේදී ඉතා අසීරුතාවයට පත්වනු ඇත. එම දිනයේදී මිනිසුන් කළ කුසල් හෝ අකුසල් වල තරම අනුව දහඩියේ ගිලී සිටිනු ඇත.
විනිශ්චය දිනයේදී අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවන ලැබෙන කණ්ඩායම් හත ගැන පහත දැක්වෙන නබි වදනේ සඳහන් කොට ඇත.
“අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවණැල්ල මිස වෙනත් සෙවනැල්ලක් නැති එම දිනයේදී: ධර්මිෂ්ඨ පාලකයෙක්; අල්ලාහ්ගේ අණ පිළිපදිමින් හැදී වැඩුණු තරුණයකු; මස්ජිදය කෙරෙහි හදවත බැඳී ඇති මිනිසෙක්; අල්ලාහ්ගේ කරුණාව උදෙසා එකිනෙකා ආදරය කරන දෙදෙනෙක්, ඔවුන් එකතුවීමත් වෙන්වයාමත් අල්ලාහ් වෙනුවෙනි; අලංකාරවත් කුලවත් ස්ත්‍රියක් නීති විරෝදී කටයුත්තක් වෙනුවෙන් ඇරයුම් කලත්, ‘මා අල්ලාහ්ව බිය වෙමි’යි පවසා ඉන් වැළකුණු කෙනෙක්; දකුණු අතින් දෙන දේ වම් අතටවත් නොදැන, පුණ්‍ය කටයුතු කරන දානපතියකු, රහසිගත ස්ථානයක සිට අල්ලාහ්ව මෙනෙහි කොට එම බියෙන් කඳුළු සැලූ කෙනෙක් යන අය වන්නෝය” දැනුම් දෙන්නේ අබු හුරෙයිරා රලි තුමා.
විනිශ්චය දිනයේදී සෑම කෙනෙකුටම ඔවුන් මෙලොවදී කළ දේවල් සියල්ලම ලිය තබන ලද ලේඛනයක් ලබා දෙනු ලැබේ. එහි ඔවුන් කළ කිසිම දෙයක් අඩුවෙන් හෝ වැඩියෙන් සටහන් කොට නොතිබෙනු දැක මවිතයට පත්වන අතර ‘දෙවියනි මෙහි කිසිම දෙයක් අත්නොකර ලියා ඇතැ’යි පවසනු ඇත. එම ලේඛනය ස්වර්ගවාසින්ගේ දකුණු අතටද නිරා වැසියන්ගේ වම් අතටද ලබා දීමට නියමිතය. ඒ අනුව දකුණු අතට ලේඛනය ලැබුණු අය ඉතාමත් සතුට ට පත්වන අතර වම් අතට ලේඛනය ලැබුණු අය අතිශයින්ම දුකට පත්වනු ඇත.
විනිශ්චය දිනයේදී කිසිවෙකුට අබ මල් රේණුවක තරම්වත් අසාධාරණයක් සිදු කරනු ලබන්නේ නැත. එම දිනයෙදී මිනිසුන්ගේ මුඛයට මුද්‍රා තබන අතර ඔවුන්ගේ අවයව වලින් ප්‍රශ්න කරනු ලබන්නේය. ඒ අනුව ඔවුන්ගේ අත් කථා කොට තමන් කළ වැරදි කියා පෙන්වනු ඇත. ඔවුන්ගේ පාද ඊට සාක්ෂි දෙනු ඇත. මේ නිසා එම දිනයේදී කිසිවෙකුට බොරු කියා බේරීමට ලැබෙන්නේ නැත. මේ බව කුරානයේ සඳහන් වේ.
විනිශ්චය දිනයේදී මිනිසා දෙවියන්ගේ අණ පිළිපැදීම ගැන ප්‍රශ්න කිරීමේදී ඇතැම් අයගෙන් එය ඉතා ලිහිල් ආකාරයට සිදු කරනු ලබන බවත් ඇතැම් අයගෙන් එය ඉතා දරුණු ලෙස සිදු කරනු ලබන බවත් නබිතුමා පවසා ඇත. එම දිනයේදී දෙවියන්ගේ කරුණාව විශ්වාසවන්තයින් සඳහා ඉතා විශාල ලෙස ලැබීමට නියමිතය. කෙසේ වෙතත් ලෞකික ජීවිතයේදී දෙවියන් වෙනුවට වෙනත් දේවල්වලට වැඳුම් පිදුම් කල අයට සිදු වන්නේ එම දේවල්වල පිහිට පතිමටය. නමුත් ඒවායින් එම දිනයේදී කිසිවක් කල හැකි වන්නේ නැත. එම නිසා ඔවුන් මහත් අසීරුතාවයට පත්වන්නේය.
එම දිනයේදී මිනිසාටත් දෙවියන්ටත් අතර ඇති දේවල් සියල්ලම විනිශ්චය කළ පසු මිනිසා මිනිසාට කළ වැරදි සමතයකට පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත. මේ නිසා ස්වර්ගයට නියම වූ ඇතැම් අයට සිදු වන්නේ ඔවුන් මනු ලෙව දී කෙනෙකුගෙන් ණයක් ගෙන එය නොගෙවා මිය ගොස් තිබුනේ නම් ඒවාට ඔවුන් කළ කුසල් (පින්) වලින් වන්දි ගෙවීමට ය. එසේම කෙනෙක් තවත් කෙනෙකුට මනු ලෙවාදී අසාධාරණයක් සිදු කොට තිබුනේ නම් ඒවාටත් ඔවුන් කළ කුසල්වලින් වන්දි ගෙවීමට සිදු වනු ඇත. මේ ආකාරයට ඔවුන් සිදු කළ සියළුම කුසල්වලින් වන්දි ගෙවා අවසාන වූ පසු අනුන්ගේ පව් තමන් වෙත පවරා ගැනීමට සිදු වනු ඇත. මේ නිසා ඔවුන්ට සිදු වන්නේ බංකලොත් කාරයින් හැටියට නිරයට යාමටය.
මෙලොවදී දෙවියන්ව විශ්වාස නොකර මරණයට පත් වූ අය එම දිනයේදී පොළව පිරෙන්නට වන්දි වශයෙන් රත්රන් දුන්නත් ඔවුන්ගෙන් එය භාර ගනු ලබන්නේ නැත.
“කවරෙකු (දෙවියන්ව) ප්‍රතික්ෂේප කරමින් සිට ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම මිය ගියෝද, වන්දි වශයෙන් පොළව පිරෙන්නට රත්රන් දෙනු ලැබුවත් ඔවුන්ගෙන් එය පිළිගනු ලබන්නේ නැත. ඔවුන්ට හිමි වන්නේ වේදනාකාරී දඬුවම පමණි. ඔවුන් වෙනුවෙන් උදව්වට ද කිසිවකු නොමැත” (කුරානය 3:91).
මරණයට පත්වූ පසු නැවත මෙලොවට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එබැවින් මෙම කරුණු ගැන අවදානය යොමු කොට තමන්ට ලැබී ඇති මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ යුතුය.
By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.