විනිශ්චය දිනය යනු ලෝකය අවසාන වීමෙන් පසු සෑම ජිවියෙකුටම නැවතත් පන දී නැගිටුවා ප්‍රශ්න කරනු ලබන දිනය වේ.  එම දිනය ගැන දෙවියන් පහළ කල සෑම දහම් පුස්තකයකම සඳහන් කොට ඇත. එම දිනයේදී සෑම ජීවියෙකුම මළවුන්ගෙන් නැගිටුවා දෙවියන් නියම කරන ලද ස්ථානයකට එක් රැස් කරනු ලබන්නේය. අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට නියමිතය.විනිශ්චය දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසක් වන එක් දිනයකි. ප්‍රශ්න කිරීමෙන් පසු මිනිසා සහ ජින් වර්ගයා හැර අනෙක් සෑම ජීවියෙකුම දුවිලි බවට පත්කරනු ලබන්නේය. එය දැකීමෙන් වැරදි කළවුන්ද දුවිලි බවට පත් වීමට ආස කරනු ඇත. එහෙත් මිනිසා සහ ජින්වරුන්ගෙන් වැඩියෙන් පින් කල අයව ස්වර්ගයටත් වැඩියෙන් පව් කල අයව නිරයටත් යැවීමට නියමිතය. එය මිනිස් ජිවිතයේ අවසාන අදියර වන්නේය.

මිය ගිය කිසිවෙකුට විනිශ්චය දිනයට පෙර නැවත ඉපදීමක් නොමැත. මේ හේතුවෙන් මිනිසා කරන හොඳ හෝ නරක ක්‍රියාවලට නියමිත ආනිසංස ලබෙන්නේ එම දිනයේදීය. අනු ප්‍රමාණයක හොඳක් හෝ නරකක් කර තිබුනේ නම් එම දිනයේදී එය දැක ගනු ඇත. තවද සෑම මිනිසෙකුම මෙලොවදී කල කී සෑම දෙයක්ම ලියවුනු ලේඛනයක් එම දිනයේදී සියළු දෙනාගේ අතට ලබා දීමට නියමිතය. මිනිසා කල සෑම දෙයක්ම එහි සඳහන්ව තිබෙනු දැක පුදුමයට පත්ව, “දෙවියනි මෙහි කිසිම දෙයක් අත්නොහැර ලියැවී ඇතැයි” පවසනු ඇත.

විනිශ්චය දිනයේ දරුණුකම නිසා මිනිසුන් ඉතා බියෙන් පසුවනු ඇත. ඇතැම් මිනිසුන් එම දිනයේදී මත්වුවන් සේ දිස්වන්නෝය. එහෙත් ඔවුන් මත්පැන් පානය කළවුන් නොවේ. ගැබිණි මව්වරුන් එම දිනයේ බිහිසුණු කම නිසා ගබ්සාවට පත්වන්නෝය. සුර්යයාගේ රශ්නය නිසා මිනිසුන් දහඩිය තුල වළලු කර දක්වාද, දණහිස දක්වාද, ඉන දක්වාද ඇතැම් අයගේ උරහිස දක්වාද ගිලී යන්නෝය. එහෙත් එම දිනයේදී කණ්ඩායම් හතකට දෙවියන්ගේ අර්ෂ් හි සෙවන ලැබෙන බව නබිතුමා පවසා ඇත. ඔවුන් කව්රුන්ද යත්; ධර්මිෂ්ඨ පාලකයෙක්; අල්ලාහ්ගේ අණ පිළිපදිමින් හැදී වැඩුණු තරුණයකු; මස්ජිදය කෙරෙහි හදවත බැඳී තිබුණු කෙනෙක්; අල්ලාහ්ගේ කරුණාව උදෙසා එකිනෙකා ආදරය කල දෙදෙනෙක්, ඔවුන් එකතුවීමත් වෙන්වයාමත් අල්ලාහ් වෙනුවෙනි; අලංකාරවත් කුලවත් ස්ත්‍රියක් නීති විරෝදී කටයුත්තක් සඳහා ආරාධනා කලත්, ‘මා අල්ලාහ්ට බිය වන්නෙමි’යි පවසා ඉන් වැලකී සිටි කෙනෙක්; දකුණු අතින් දෙන දේ වම් අතටව නොපෙනෙන පරිදි පුණ්‍ය කටයුතු කල දානපතියෙක්, හුදකලා ස්ථානයක සිටිමින් අල්ලාහ්ව මෙනෙහි කොට එම බියෙන් කඳුළු සැලූ කෙනෙක් මේ පිරිසට අයත් වෙති.

විනිශ්චය දිනයේ බිහිසුණු කම නිසා නබිවරුන් පවා භීතියෙන් තැති ගනු ඇත. විනිශ්චය දිනයේදී අල්ලාහ්ගේ අවසර ලැබුණු කෙනෙකුට මිස වෙන කිසිවෙකුට තවත් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමට නොලැබෙන්නේ ය. එදින එක් එක් පුද්ගලයාව වෙන වෙනම ප්‍රශ්න කිරීමට නියමිතය.

විනිශ්චය දිනයේදී ජනතාව රංචු ගැසී එක් එක් නබිවරයෙක් වෙත ගොස් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ලෙස ආයාචනා කරනු ඇත. එහෙත් මුහම්මද් නබිතුමා හැර සෙසු සෑම නබිවරයෙක්ම ඔවුන් කල වරදක් ගැන මතක් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේය. අවසානයේදී මුහම්මද් නබිතුමා ජනතාවගේ ඉල්ලීමට ප්‍රචිචාර දක්වමින් අල්ලාහ් ඉදිරියේ සුජුද් හි වැටෙනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස නිරයට පාත්‍ර වූ විශාල පිරිසක් ස්වර්ගයට වරම් ලබා ගැනීමට නියමිතය. විනිශ්චය දිනයේදී කිසිවෙකුට අබ මල් රේණුවක තරම්වත් අසාධාරණයක් සිදු කරනු ලබන්නේ නැත. එම දිනයේදී මිනිසුන්ගේ මුඛයට මුද්‍රා තබන අතර අත් කතා කොට ඒවායින් සිදුකල වැරදි ගැන පවසනු ඇත. ඔවුන්ගේ පාදයන් ඊට සාක්ෂි දෙන්නේය. තමන්ගේම ශරීර අවයව තමන්ට එරෙහිව නැගී සිටින විට එම දිනය කොයිතරම් භයානක මුහුණුවරක් ගන්නවා දැයි සිතා බැලිය යුතු නොවේද?

විනිශ්චය දිනයේදී මිනිසා දෙවියන්ගේ අණ පිළිපැදීම ගැන ප්‍රශ්න කිරීමේදී ඇතැම් අයගෙන් එය ඉතා ලිහිල් ආකාරයට සිදු කරනු ලබන බවත් ඇතැම් අයගෙන් එය ඉතා දරුණු ලෙස සිදු කරනු ලබන බවත් නබිතුමා පවසා ඇත. එම දිනයේදී දෙවියන්ගේ කරුණාව විශ්වාසවන්තයින් සඳහා ඉතා විශාල ලෙස ලැබීමට නියමිතය. කෙසේ වෙතත් ලෞකික ජීවිතයේදී දෙවියන් වෙනුවට වෙනත් දේවල්වලට වැඳුම් පිදුම් කල අයට සිදු වන්නේ එම දේවල්වල පිහිට පැතීමට ය. නමුත් ඒවායින් එම දිනයේදී කිසිවක් කල හැකි වන්නේ නැත. එම නිසා ඔවුන් මහත්සේ අසීරුතාවයට පත්වන්නේය.

එම දිනයේදී මිනිසාටත් දෙවියන්ටත් අතර ඇති දේවල් සියල්ලම විනිශ්චය කළ පසු මිනිසා මිනිසාට කළ වැරදි සමතයකට පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත. මේ නිසා ස්වර්ගයට නියම වූ ඇතැම් අයට සිදු වන්නේ ඔවුන් මනු ලෙව දී කෙනෙකුගෙන් ණයක් ගෙන එය නොගෙවා මිය ගොස් තිබුනේ නම් ඒවාට ඔවුන් කළ කුසල් (පින්) වලින් වන්දි ගෙවීමට ය. එසේම කෙනෙක් තවත් කෙනෙකුට මනු ලෙවාදී අසාධාරණයක් සිදු කොට තිබුනේ නම් ඒවාටත්  ඔවුන් කළ කුසල්වලින් වන්දි ගෙවීමට සිදු වනු ඇත. මේ ආකාරයට ඔවුන් සිදු කළ සියළුම කුසල්වලින් වන්දි ගෙවා අවසාන වූ පසු අනුන්ගේ පව් තමන් වෙත පවරා ගැනීමට සිදු වනු ඇත. මේ නිසා ඔවුන්ට සිදු වන්නේ බංකලොත් කාරයින් හැටියට නිරයට යාමටය.

මෙලොවදී දෙවියන්ව විශ්වාස නොකර මරණයට පත් වූ අය එම දිනයේදී වන්දි වශයෙන් පොළව පිරෙන්නට රත්‍රන් දුන්නත් ඔවුන්ගෙන් එය භාර ගනු ලබන්නේ නැත. එබැවින් ඔවුන්ට සිදුවන්නේ නරකාදියට ඇතුල් වීමටය. මේ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැහැදිලි වේ.

“කවරෙකු (දෙවියන්ව) ප්‍රතික්ෂේප කරමින් සිට ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම මිය ගියෝද, වන්දි වශයෙන් පොළව පිරෙන්නට රත්‍රන් දෙනු ලැබුවත් ඔවුන්ගෙන් එය පිළිගනු ලබන්නේ නැත. ඔවුන්ට හිමි වන්නේ වේදනාකාරී දඬුවම පමණි. ඔවුන් වෙනුවෙන් උදව්වට ද කිසිවකු නොමැත”(කුරානය 3:91).

මෙම විනිශ්චයෙන් පසු මෙලොවදී අසාධාරණයට පත්වූ සෑම විශ්වාසවන්තයෙකුටම සාධාරණය ඉටුකර දෙනු ඇත. එසේම විනිශ්චය දිනයක් නැතැයි පවසමින් සිටි සෑම කෙනෙක්ම මහත්සේ දුකට පත්වනු ඇත. එහෙත් ඔවුන්ට සිදුවූ වරද ආපසු හැරවීමට හැකිවන්නේ නැත. එබැවින් ඔවුන්ගේ අවසානය නිරයේදී කෙළවර වීමට නියමිතය.

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *