සෑම ප්‍රධාන ආගමකම ‘විනිශ්චය දිනය’ ගැන සඳහන් කොට ඇත. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වන එක් දිනයකි. එම දිනය ඉතා භයංකර ය. එම දිනයේදී සුර්යයයා පොලවට ඉතා සමීපයෙන් පිහිටවනු ලැබේ. තවද එම දිනයේදී මෙලොව උපන් සෑම කෙනෙක්ම එක් තැනකට එක්කාසු කරනු ලබන්නේය.

සුර්යයාගේ උෂ්ණය දරාගැනීමට නොහැකිව එම දිනයේදී ජනතාව මහත් අපහසුතාවට පත්වනු ඇත. එකිනෙකා කල පව්වල තරම අනුව ඔවුන් දහඩියේ ගිලී සිටිනු ඇත. ඒ අනුව ඇතැම් අය වළලු කර දක්වාද, ඇතැම් අය දණහිස දක්වාද, ඇතැම් අය ඉන දක්වාද ඇතැම් අය උරහිස දක්වාද දහඩිය තුල ගිලී යන්නේය. කෙසේ වෙතත් එම දිනයේදී කණ්ඩායම් හතකට දෙවියන්ගේ අර්ෂ් හි සෙවන ලැබීමට නියමිතය. ඔවුන් කව්රුන්ද යත්; ධර්මිෂ්ඨ පාලකයෙක්; අල්ලාහ්ගේ අණ පිළිපදිමින් හැදී වැඩුණු තරුණයකු; මස්ජිදය කෙරෙහි හදවත බැඳී තිබුණු කෙනෙක්; අල්ලාහ්ගේ කරුණාව උදෙසා එකිනෙකා ආදරය කල දෙදෙනෙක්, ඔවුන් එකතුවීමත් වෙන්වයාමත් අල්ලාහ් වෙනුවෙනි; අලංකාරවත් කුලවත් ස්ත්‍රියක් නීති විරෝදී කටයුත්තක් සඳහා ආරාධනා කලත්, ‘මා අල්ලාහ්ට බිය වන්නෙමි’යි පවසා ඉන් වැළකුණු කෙනෙක්; දකුණු අතින් දෙන දේ වම් අතටව නොපෙනෙන පරිදි පුණ්‍ය කටයුතු කල දානපතියකු, හුදකලා ස්ථානයක සිටිමින් අල්ලාහ්ව මෙනෙහි කොට එම බියෙන් කඳුළු සැලූ කෙනෙක් මේ ගණයට වැටෙන්නේය.

විනිශ්චය දිනය කොයිතරම් භයානකදැයි කිවහොත් නබිවරුන් පවා ඔවුන්ගෙන් සිදුවූ ඇතැම් වැරදි ගැන සිතමින් භීතියෙන් තැතිගන්නෝය. එම දිනයේදී අල්ලාහ් අවසර දුන් කෙනෙකුට මිස වෙනත් කිසිවෙකුට තවත් කෙනෙකු වෙනුවෙන් අල්ලාහ් ඉදිරියේ පෙනී සිටීමට නොහැකිය. අල්ලාහ් එක් එක් පුද්ගලයාව වෙන වෙනම ඔහු වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය. එම දිනයේදී කෙනෙකුගේ කුසල්-අකුසල් ලේඛනය බලා ස්වර්ගයට නියම කලේ නම් ඔහු මහත් වාසනාවන්තයෙකු බව නබිතුමා පැවසුවේය. එසේම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම ආරම්හ කලේ නම් ඔහු විනාශයට පත් වන බව නබිතුමා දැනුම් දුන්නේය.

විනිශ්චය දිනයේදී ජනතාව රංචු ගැසී එක් එක් නබිවරයෙක් වෙත ගොස් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලා සිටිනු ඇත. එහෙත් සෑම නබිවරයෙක්ම ඔවුන් කල වරදක් නිසා එම ඉල්ලීම ඉටු කල නොහැකි බව පවසමින් භීතියෙන් අල්ලාහ්ගේ විනිශ්චය ලැබෙන තුරු බලා සිටිනු ඇත. එහෙත් මුහම්මද් නබිතුමා පමණක්  ජනතාවගේ ඉල්ලීමට ප්‍රචිචාර දක්වන්නේය. ඒ අනුව මුහම්මද් නබිතුමාගේ මැදිහත් වීමෙන් නිරයට පාත්‍ර වූ විශාල පිරිසක් සඳහා ස්වර්ගයට වරම් ලබාගනු ඇත.

විනිශ්චය දිනයේදී කිසිවෙකුට අබ මල් රේණුවක තරම්වත් අසාධාරණයක් සිදු කෙරෙන්නේ නැත. එම දිනයේදී මිනිසුන්ගේ මුඛයට මුද්‍රා තබන අතර අත් කතා කොට ඒවායින් සිදුකල වැරදි ගැන පවසනු ඇත. ඔවුන්ගේ පාදයන් ඊට සාක්ෂි දෙනු ඇත. තමන්ගේම ශරීර අවයව තමන්ට එරෙහිව සිටින විට එම දිනය කොයිතරම් භයානක මුහුණුවරක් ගන්නේදැයි සිතා බැලිය යුතුය.

විනිශ්චය දිනයේදී මිනිසා දෙවියන්ගේ අණ පිළිපැදීම ගැන ප්‍රශ්න කිරීමේදී ඇතැම් අයගෙන් එය ඉතා ලිහිල් ආකාරයට සිදු කරනු ලබන බවත් ඇතැම් අයගෙන් එය ඉතා දරුණු ලෙස සිදු කරනු ලබන බවත් නබිතුමා පවසා ඇත. එම දිනයේදී දෙවියන්ගේ කරුණාව විශ්වාසවන්තයින් සඳහා ඉතා විශාල ලෙස ලැබීමට නියමිතය. කෙසේ වෙතත් ලෞකික ජීවිතයේදී දෙවියන් වෙනුවට වෙනත් දේවල්වලට වැඳුම් පිදුම් කල අයට සිදු වන්නේ එම දේවල්වල පිහිට පැතීමට ය. නමුත් ඒවායින් එම දිනයේදී කිසිවක් කල හැකි වන්නේ නැත. එම නිසා ඔවුන් මහත්සේ අසීරුතාවයට පත්වන්නේය.

එම දිනයේදී මිනිසාටත් දෙවියන්ටත් අතර ඇති දේවල් සියල්ලම විනිශ්චය කළ පසු මිනිසා මිනිසාට කළ වැරදි සමතයකට පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත. මේ නිසා ස්වර්ගයට නියම වූ ඇතැම් අයට සිදු වන්නේ ඔවුන් මනු ලෙව දී කෙනෙකුගෙන් ණයක් ගෙන එය නොගෙවා මිය ගොස් තිබුනේ නම් ඒවාට ඔවුන් කළ කුසල් (පින්) වලින් වන්දි ගෙවීමට ය. එසේම කෙනෙක් තවත් කෙනෙකුට මනු ලෙවාදී අසාධාරණයක් සිදු කොට තිබුනේ නම් ඒවාටත්  ඔවුන් කළ කුසල්වලින් වන්දි ගෙවීමට සිදු වනු ඇත. මේ ආකාරයට ඔවුන් සිදු කළ සියළුම කුසල්වලින් වන්දි ගෙවා අවසාන වූ පසු අනුන්ගේ පව් තමන් වෙත පවරා ගැනීමට සිදු වනු ඇත. මේ නිසා ඔවුන්ට සිදු වන්නේ බංකලොත් කාරයින් හැටියට නිරයට යාමටය.

මෙලොවදී දෙවියන්ව විශ්වාස නොකර මරණයට පත් වූ අය එම දිනයේදී වන්දි වශයෙන් පොළව පිරෙන්නට රත්‍රන් දුන්නත් ඔවුන්ගෙන් එය භාර ගනු ලබන්නේ නැත. එබැවින් ඔවුන්ට සිදුවන්නේ නරකාදියට ඇතුල් වීමටය. මේ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැහැදිලි වේ.

“කවරෙකු (දෙවියන්ව) ප්‍රතික්ෂේප කරමින් සිට ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම මිය ගියෝද, වන්දි වශයෙන් පොළව පිරෙන්නට රත්‍රන් දෙනු ලැබුවත් ඔවුන්ගෙන් එය පිළිගනු ලබන්නේ නැත. ඔවුන්ට හිමි වන්නේ වේදනාකාරී දඬුවම පමණි. ඔවුන් වෙනුවෙන් උදව්වට ද කිසිවකු නොමැත”(කුරානය 3:91).

මෙම විනිශ්චයෙන් පසු මෙලොවදී අසාධාරණයට පත්වූ සෑම විශ්වාසවන්තයෙකුටම සාධාරණය ඉටුකර දෙනු ඇත. එසේම විනිශ්චය දිනයක් නැතැයි පවසමින් සිටි සෑම කෙනෙක්ම මහත්සේ දුකට පත්වනු ඇත. එහෙත් ඔවුන්ට සිදුවූ වරද ආපසු හැරවීමට හැකිවන්නේ නැත. එබැවින් ඔවුන්ගේ අවසානය නිරයේදී කෙළවර වීමට නියමිතය.

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *