වර්තමාන ලෝක ත්‍රස්තවාදයේ කර්තෘවරුන් කවුරුන් ද?

ලොව අද සිදුවෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කරගෙන සිදුවෙන්නක් බව හුවා දක්වන්නට අති දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මාධ්‍ය මෙහෙයුම පිටුපස ඉන්නේ කවුරුන් ද? ඔවුන් එසේ ක්‍රියාත්මක වීමට හේතු වූ සාධක කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳව මූලික නිවැරදි කරුණු නොදැන මෙම මාතෘකාව සාකච්ඡා කිරීම සාර්ථක කටයුත්තක් නොවනු ඇත. 

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් ආරම්භ වූ දෙවන ලෝක මහා යුද්ධයේ දී විශේෂයෙන්ම යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මිලියන 6ක් ඝාතනය කරන ලද බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙම මහා පරිමාන මිනිස් ඝාතන කිසිම දහමක් හෝ යහ සමාජයක් අනුමත කරන්නක් නොවේ. යුද සමාදානයෙන් පසු යුරෝපයේ සිදු වූ මෙම ඛේදවාචකයට විසඳුම් යුරෝපය පදනම් කරගෙන සෙවිය යුතුව තිබුන ද එම අදහස අතහැර සාමකාමී රටක් වූ පලස්තීනය දෙකඩ කොට යුදෙව්වන්ට රටක් සාදා දෙන්නට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ක්‍රියා කරන ලදී. ඒ වනවිට පලස්තීනයේ මුස්ලිම්වරුන් 86%ක්, කිතුනුවන් 10%ක් හා යුදෙව්වන් 4%ක් ලෙස සාමකාමීව ජීවත් වෙමින් සිටියහ.

බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාවේ, අයර්ලන්තයේ හා සයිප්‍රසයේ සිදු කලාක් මෙන් ‘බෙදා පාලනය කිරීමේ’ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පලස්තීනය 1947 දී දෙකඩ කොට යුරෝපයේ යුදෙව්වන්ට හිට්ලර් විසින් සිදු කරනු ලැබූ අසාධාරණයට මැදපෙරදිගින් විසඳුම් සකස් කරන්නට කටයුතු කළහ. මේ වනවිට පලස්තීනය බ්‍රිතාන්‍යයින් ගේ පාලනය යටතේ පැවතිනි. 86%ක් වූ මුස්ලිම් ජනයාගෙන් බහුතරයක් ශත වර්ෂ ගණනාවක් තිස්සේ තමන්ට උරුම භූමියෙන් ඉවත් කොට ඔවුන් ව සරණාගතයින් බවට පත් කරමින් 1948 වර්ෂයේ දී පලස්තීන භූමියෙන් 55%ක් යුදෙව්වන්ට වෙන් කොට ඊශ්‍රායලය නමින් රටක් නිර්මාණය කරන්නට කටයුතු කළහ. මෙම ප්‍රතිපත්තියම අනුගමනය කරමින් ඒකීය රටක් වූ අපගේ මාතෘභුමිය දෙකඩ කොට වාර්ගික ප්‍රශ්නයට විසඳුම් සපයන්නට මෑතක දී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් පිඹුරුපත් සකස් කරමින් කටයුතු කළ ආකාරය අපගේ මතකයෙන් ඉවත්වී නොමැති බව විශ්වාස කරන්නෙමු. පලස්තීන රටේ 55%ක් ලබා ගෙන ආරම්භ කරන ලද නීති විරෝධී ඊශ්‍රායල් රට දැනට එහි 90% කට වැඩි භුමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ලොව සියලු නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව දෛනිකව අපි පුවත්පත් මගින් කියවන්නෙමු. මෙම ඊශ්‍රායල් ව්‍යාප්තවාදය සිදු කරනු ලබන්නේ අසරණ පලස්තීන දරුවන්, කාන්තාවන්, වයෝවෘධයින්, රෝගීන් හා අනෙකුත් සිවිල් වැසියන්ට ඝාතනය කරමින් ඔවුන්ට එරෙහිව නිරතුරුව ක්‍රියාත්මක කරනු ලබන ගැටුම් මගිනි. රෝහල්, පාසැල්, ආගමික ස්ථාන හා සිවිල් වැසියන්ගේ නිවාස සහමුලින්ම වාගේ මෙම මෘග ප්‍රහාරයන් මගින් විනාශ කොට ඇත. මෑතක දී පලස්තීනයේ ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ත්‍රස්ත ප්‍රහාරයන් මගින් දහස් ගණන් අහිංසක පලස්තීනුවන් ව ඝාතනය කිරීම පිළිබඳව ඉතා මෘදු අයුරින් එය නවත්වන ලෙස මාධ්‍ය මගින් ඉල්ලා සිටි ඇමෙරිකාව එම ප්‍රහාරයන් මැද්දේ මිලියන ගණනක නුතන අවි ඊශ්‍රායලයට සපයන්නට කටයුතු කරන ලදී.

මේ සියල්ල අහඹු සිදුවීම් නොවේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්හි මාධ්‍යය අයිතිය ඇත්තේ යුදෙව්වන්ටය. කර්මාන්ත බැංකු හා ආර්ථික අයිතිය ඇත්තේ ද ඔවුන්ටය. ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සිදු කරන අති අමානුෂික ක්‍රියාවන් සාධාරණීය කිරීම සඳහා මෙම ජාත්‍යන්තර යුදෙව් මාධ්‍ය නිරතුරුව කටයුතු කරමින් සිටියි. වින්දිතයා වූ අන්ත අසරණ පලස්තීනුවන් චුදිතයා කරමින් හා අපරාධකරුවා වූ ඊශ්‍රායලය වින්දිතයා ලෙස ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙම මාධ්‍ය විසින් විවිධ කටයුතු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය මුලාශ්‍ර විකෘති කොට වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් ඉස්ලාමය හා මුස්ලිම් ජනයාව ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වන්නට කටයුතු කිරීම ඔවුන්ගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ වැදගත් කොටසකි. එම මාධ්‍ය ප්‍රචාරයෙන් අහුලා ගත් කොටස් ඉදිරිපත් කරමින් අප රට තුළ ද ‘මුස්ලිම් භීතිකාවක්’ ඇති කිරීමට න්‍යායපත්‍ර වාදී ලෙස ඉදිරිපත් වී සිටීම සැමගේ පිළිකුලට ලක් විය යුත්තකි.

‘අල් ජිහාද්’

‘ජිහාද්’ යන වචනය ඇසුණු විගස යමෙකුට ඇතිවන්නේ කිනම් ආකාරයේ අදහස් හා චිත්ත රූප ද යන්න ගැන යමෙකුගෙන් විමසූ විට ලැබිය හැකි පිළිතුරු පළල් වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. පළමු කණ්ඩායමේ ප්‍රතිචාරය ලෙස, රැවුල වවාගත් ආයුධ අතැතිව සිටිනා හිසට තොප්පියක් දමා ජටාවක් බැඳගත් බියකරු මිනීමරු පෙනුමක් ඇති පුද්ගලයෙකුගේ හෝ එවන් කණ්ඩායමකගේ රූපය සිතේ මැවෙන අතර ඔවුන් පිළිබඳ බොහෝ විට කෝපය හා පිළිකුල මිශ්‍ර හැඟීම් ඇති වීම දැක්විය හැක. මෙම කණ්ඩායමේ මෙවන් ප්‍රතිචාරයක් සඳහා පදනම් වූ හේතු කුමක්දැ’යි විමසූ විට බහුතරයකගේ පිළිතුර අනුව ‘මාධ්‍යය’ විසින් ලබා දී ඇති තොරතුරු එයට මුල් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි. මාධ්‍යය විසින් ගොඩ නගා ඇති මෙම මතවාදයේ ඇත්ත නැත්ත ගැන ඔවුන් තුළ නිශ්චිත පැහැදිලිකමක් දක්නට නොමැත. ‘අල් කයිදා’ නමැති සංවිධානයේ ක්‍රියාකාරකම් ‘අල් ජිහාද්’ සංකල්පය සමග පටලවා ගත්තු දේශපාලන ලේඛකයින් තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුකූලව සකස් කළ වැරදි තොරතුරු රාශියක් අඩංගු සිංහල පොත්පත් ද මෙම ව්‍යාකුල තත්ත්වයට හේතු වී ඇති බව පැහැදිලිව දකින්නට ඇත.

‘අල් කයිදා’ හා ‘බින් ලාඩීන්’ පිළිබඳව මාධ්‍යය විසින් හුවා දක්වන ලද කරුණු සමබන්ධව බොහෝ පරස්පරයන් ඇති බව විචාරශීලී ව විමසුමක යෙදෙන්නෙකු ට පැහැදිලි වන කරුණකි. 9/11 සිදුවීම බින් ලාඩීන් ගේ ක්‍රියාවක් බව මාධ්‍යය පවසන අතර මේ පිළිබඳව තිබු අධිකරණ ක්‍රියාවලිය විවෘත අධිකරණයක විනිශ්චය සඳහා විමසුම ට ලක් වුවක් නොවේ. මෙයට අමතරව ඇමෙරිකානු ප්‍රසිද්ධ Fox News රූපවාහිනී නාලිකාව විසින් එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරය දැරූ හිලරි ක්ලින්ටන් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී ඇය විසින් ඉතා පැහැදිලිව පවසා සිටියේ අල් කයිදා සංවිධානය නිර්මාණය කොට අවි හා මුදල් සපයා දෙනු ලැබුවේ ඇමෙරිකාව විසින් බවය. මෙම තොරතුරු පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

http://www.foxnews.com/…/hillary-clinton-039it-would-be-mis…
9/11 සිදුවීම පිළිබඳව මුස්ලිම් නොවන ඇමෙරිකානු විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන්, ගෘහ නිර්මාණ විශේෂඥයින් හා අනෙකුත් විද්වතුන් ඇතුළත් වූ සංසදයක් විසින් සාධක සහිතව ලොවට ප්‍රකාශ කර සිටියේ මෙය ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ අභ්‍යන්තර ක්‍රියාවලියක් බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ තමන්ට මහත් වූ ස්වයං විනාශයක් සිදුකර ගනිමින් හෝ මුස්ලිම්වරුන් පිළිබඳව වැරදි මතයක් ගොඩ නගා මුස්ලිම් රටවල්වලට යුධමය වශයෙන් මැදිහත් වීම පිණිස මෙය හේතුවක් කර ගැනීම ඔවුන්ගේ උපායක් වී තිබු බවය. මෙම හෙළිදරව්ව පිළිබඳව ඇමෙරිකානු හෝ ජාත්‍යන්තර මාධ්‍යය විසින් ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලදී. මෙවන් තත්වයක් තුළ 9/11 සිදුවීම මුළු ලොවටම ප්‍රහේලිකාවක් ව පවතී. මෙවන් ව්‍යාකුලත්වයට ප්‍රධාන හේතුවක් නම් අතීතයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් යුද උපායන් ලෙස පර්ල් වරාය ප්‍රහාරය වැනි ව්‍යාජ සැලසුම්ගත ප්‍රහාර කිහිපයක් කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දැරීමයි. ඔවුන්ගේ මෙවන් ප්‍රහාරයන් හි ඉතිහාසය පහත වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

http://www.globalresearch.ca/how-to-start-a-war-the-a…/28554
9/11 ප්‍රහාරයේ කර්තෘ වරුන් කවුරුන් වුවද එය සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි ක්‍රියාවක් බව පහතින් විග්‍රහ කර ඇති ඉස්ලාමීය යුද චර්යාවන් විමසා බැලීමේදී පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. 9/11 ප්‍රහාරය පිළිබඳ අදහා ගත නොහැකි ආකාරයේ තිරයෙන් පිටුපස තොරතුරු රාශියක් පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

(http://newsone.com/…/the-11-most-compelling-911-conspiracy…/)
තත්ත්වය මෙසේ තිබියදී ‘අල් කයිදා’ හා ‘බින් ලාඩින්’ පිළිබඳව සිංහල පාඨකයින්ගේ පරිභෝජනය සඳහා පොත් ලියමින් එය ඉස්ලාමයේ ගිණුමට බැර කිරීමට උත්සාහ කිරීම සැබැවින්ම බොළඳකමේ හා නොදැනුවත්කමේ සම්මිශ්‍රණයක් විනා අන් කිසිවක් නොවේ. ඉස්ලාමයේ පිළිවෙත් හා චර්යාවන් උල්ලංඝනය කරන්නන්ගේ ක්‍රියාකාරකම් පදනම් කර ගෙන පමණක් ඉස්ලාමීය පිළිවෙත් පිළිබඳ මතවාද ගොඩ නැගීම ඇත්ත වශයෙන්ම අපරාධකරුවෙකුගේ ක්‍රියාකාරකම් පදනම් කරගෙන අපරාධ නීතිය පිළිබඳව නිබන්ධයක් සකස් කිරීම හා සමාන ක්‍රියාවක් නොවන්නේදැ’යි අසන්නට කැමැත්තෙමු.

දෙවැනි කණ්ඩායම ‘ජිහාද්’ පිළිබඳ නිවැරදි මුලාශ්‍ර ඇසුරින් තම මතවාදය ගොඩනගාගෙන ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රතිචාරය මෙයට වෙනස් වූවකි. මෙවන් හේතු නිසාම නිවැරදි හා පිළිගත් මුලාශ්‍ර පරිශීලනය කරමින් ‘ජිහාද්’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසුමක යෙදෙන්නට ආරාධනා කරන්නෙමු.

‘ජිහාද්’ හි සැබෑ අර්ථය

‘ජිහාද්’ යන අරාබි වචනයේ භාෂාමය අර්ථය ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය ව්‍යවහාරයේ ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ (අල්ලාහ්ගේ) තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වෙයි. මේ අනුව අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ සියලු යහ ප්‍රයත්නයන් ජිහාද් යනුවෙන් විග්‍රහ කිරීම නිවැරදිය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට පටහැනි නොවී යුක්තිය ස්ථාපිත කිරීම සදහා කරන්නා වූ ප‍්‍රයත්නය ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද පහක් ලෙස පහතින් දක්වා ඇත.

1. චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය (ජිහාද් බින් නෆ්ස්/ඛල්බ්)
2. දිව උපයෝගි කරගෙන කරන්නා වූ ජිහාදය. (ජිහාද් බිල් ලිසාන්)
3. පෑන/දැනුම උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් ඛලම්/ඉල්ම්)
4. දෑත උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් යද්)
5. අසිපත (ආයුධ) උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිස් සෙයිෆ්)
මෙය හැරෙන්නට විවිධ ඉස්ලාම් විරෝධී පාර්ශවයන් විසින් ඔවුන්ගේ මනඃකල්පිත මතවාදයන් ඉදිරිපත් කරමින් ‘මනෝමය ජිහාදයක්’ පිළිබඳව අදහස් දක්වති. එය ඔවුන්ගේ හුදු මනඃකල්පිතයක් පමණක් මිස අන් කිසිවක් නොවන බව අවධාරණයෙන් පවසන්නට කැමැත්තෙමු.
ඉහත සඳහන් ජිහාද් ප්‍රභේදයන් පිළිබඳව විස්තර විමසා බලමු.
චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය (ජිහාද් බින් නෆ්ස්/ඛල්බ්)

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨතම ජිහාදය (ජිහාද් අල් අක්බර්) කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨතම ජිහාදය තම චෛතිසකයේ මතුවන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ චෛතසික අරගලයක යෙදීම බව ඉස්ලාමය උගන්වයි. මෙම ක්‍රියාවලිය මගින් කෙනෙකුගේ චෛතසිකය පාරිශුද්ධත්වයට පත්කොට අභ්‍යන්තර සාමය ලඟාකර ගනිමින් කෝපය හා වෛරය පිටුදකින තත්ත්වයක් උදාකරගැනීමට හැකි වන්නේය. මිනිසාගේ ශ්‍රේෂ්ඨ පැවැත්ම හා සාරධර්ම සපිරි යහ ජීවිතය සහතික කළ හැක්කේ චිත්ත පාරිශුද්ධිය මගිනි. බුදු දහමේ ද චිත්ත පාරිශුද්ධිය පිළිබඳව ඇත්තේ ඉතා වැදගත් ස්ථානයක් බව අපි දනිමු.

මෙම ‘ජිහාද්’ ප්‍රභේදය සහමුලින්ම තම චෛතසිකය සමග කරන්නා වූ සටනකි, අරගලයකි. මේ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මාධ්‍යය අනුගමනය කරන නිහැඬියාව සැබැවින්ම කන් බිහිරි කරවන තරම් ය. මෙයින්ම ඔවුන්ගේ අරමුණුහි ඇති පටුත්වය හා සැඟවුණු න්‍යාය පත්‍රයන් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඉස්ලාමයට අනුව සැබෑ සොල්දාදුවා තම චෛතසිකය සමග සටන් කරන්නාය.

දිව උපයෝගි කරගෙන කරන්නා වූ ජිහාදය. (ජිහාද් බිල් ලිසාන්)

සමාජයේ සිදු වන වැරදි, අපයෝජන හා දුෂණයන්ට එරෙහිව හඬ නැගීම, සත්‍යය අන් අයට පැහැදිලි කර දීමට හා යහ මඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ දේශන, සාකච්ඡා, සංවාද ආදිය මෙයට අන්තර්ගත වේ. අපට එරෙහිව නිරතුරුව මතු කරනු ලබන චෝදනාවන් සම්බන්ධයෙන් කරුණු පහදා දීම ද මෙයට ඇතුලත් වේ. අසාධාරණ දුෂ්ට පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදයක් බව ඉස්ලාමය අපට උගන්වයි.
අවාසනාවට මාධ්‍යය මෙම ‘ජිහාද්’ ප්‍රභේදය පිළිබඳව ද මුණිවත රැකීම අපට ප්‍රහේළිකාවකි.

පෑන/දැනුම උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් ඛලම්/ඉල්ම්)

ලොවෙහි සිදුවන අයුක්තියට හා අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම, ඉස්ලාමයට එරෙහිව මතු කරන්නා වූ චෝදනා හා වැරදි මතයන් හෝ දුර්මතයන් පිළිබඳව යහ හා නිවැරදි අයුරින් කරුණු පහදා දීම උදෙසා කරන්නාවූ විද්වත් ගවේෂණයන් මෙන්ම ඉස්ලාමය පහසුවෙන් අවබෝධ කරගැනීමට උපකාරීවන අයුරින් ලිපි හා ග්‍රන්ථයන් සකස් කිරීමට කටයුතු කිරීම මෙයට ඇතුලත්ය. මෙවන් ‘සමාජ සංවාද’ ලිපි සකස් කොට ඉස්ලාමය පිළිබඳව ඇති චෝදනා හා දුර්මතයන් ගැන සත්‍යය පැහැදිලි කර දීමට කටයුතු කිරීම ද මෙම ‘ජිහාද්’ ප්‍රභේදයට අන්තර්ගතය. යුක්තිය, සාධාරණය හා දහම වෙනුවෙන් ප්‍රාණත්‍යාගිත්වයේ යෙදෙන්නාගේ රුධිරයට වඩා විද්වතාගේ තීන්ත ශ්‍රේෂ්ඨ වන්නේයැයි ඉස්ලාමය අපට උගන්වයි.

දෑත උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් යද්)

මෙය වදන් වලට වඩා භෞතික ක්‍රියාකාරකම් පදනම් වූ ප්‍රයත්නයකි (ජිහාදයකි). අසරණයින්ට හා දුගීන්ට පිහිට වීම, ඩෙංගු වැනි වසංගත රෝග මැඩලීම සඳහා හා ජනයාට ප්‍රයෝජනවත් අන් ශ්‍රමදාන කටයුතු, ‘සකාත්’ නම් වූ අනිවාර්ය හා ‘සදකා’ නම් වූ වෛකල්පීය දන්දීම්, ‘හජ්’ හා ‘උම්රා’ නම් වූ ආගමික වතාවත් ඉටු කිරීම මෙයට ඇතුලත් ය. වරෙක යුද තත්ත්වයක් ඇති වූ අවස්ථාවක මුහම්මද් තුමාණන්ගේ සහගාමියෙකු පැමිණ තමන්ගේ දෙමව්පියන් වයෝවෘධ තත්ත්වයේ සිටින හෙයින් යුද බිමට යෑම හා දෙමව්පියන් බලාගැනීම අතුරින් ඔහු විසින් තෝරා ගත යුත්තේ කුමක්දැයි විමසූ විට දෙමව්පියන්ට උවැටන් කරමින් ඔවුන්ගේ විෂයයෙහි ජිහාද් කරන ලෙස දන්වා සිටින ලදී.

අසිපත (ආයුධ) උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිස් සෙයිෆ්)

සාමය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අසිපතින් ජිහාදයක (ප්‍රයත්නයක) නියැලීමට සමහර අවස්ථාවන් හි අවශ්‍ය වේ. අසිපතින් ජිහාදයක නියැලීමට හැක්කේ අවස්ථාවන් දෙකක පමණය. මෙම අවස්ථාවන් දෙකෙහි දී සටනට පිවිසීම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව අනිවාර්ය කොට තිබේ.

මේ අනුව ජිහාද් යනු:
1- තම මනසේ ඇතිවන වැරදි හා අකුසලයට නැඹුරු වූ සිතුවිලි සමග සටන් කොට චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීමට කටයුතු කිරීම ජිහාද් වේ.
2- ලොවෙහි සිදුවන අපරාධ, දුෂ්ටකම් මෙන්ම ඉස්ලාම් විරෝධී ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගීම ජිහාද් වේ.
3- ලොවෙහි සිදුවන අපරාධ, දුෂ්ටකම් මෙන්ම ඉස්ලාම් විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ලිඛිතව ප්‍රයත්න දැරීම ජිහාද් වේ.
4- ශරීරය යහපත් ක්‍රියා සඳහා උපයෝගී කිරීම හා දෙවිඳුන් විසින් ලබා දී ඇති වරප්‍රසාදයන් හා සම්පත් යහ ක්‍රියාවන් සඳහා වැය කිරීම ජිහාද් වේ.
5- රාජ්‍යයකට පහර දුන්විට එම රාජ්‍යය ආරක්ෂා කිරීම හා සතුරාගේ ආධිපත්‍යය හා බල මහිමය බිඳ දමා සතුරාගේ දුෂ්ටකම්, පීඩාව හා මැරවරකම් අවසන් කොට ලොවෙහි සාමය ස්ථාපිත කිරීම ජිහාද් වේ.
මේ අනුව ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට අදාළ වන්නේ ඉහත 1 සිට 4 දක්වා වූ ජිහාද් ප්‍රභේද පමණක් වන අතර යුක්තිය සාධාරණය සඳහා වූ ආක්‍රමණශීලී හා සුරක්ෂාවරණය සඳහා කරන්නා වූ 5 වැනි ප්‍රභේදය රාජ්‍ය අනුග්‍රහයකින් තොරව ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට අදාළ නොවන බව බුද්ධිමත්ව හා යථාර්ථයෙන් කරුණු විමසුමක යෙදෙන ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. එසේ නම් ‘ජිහාදය’ පදනම් කරගෙන ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’ ඇති කිරීමට වෙර දැරීම අර්ථ ශුන්‍ය පදනම් විරහිත ප්‍රයත්නයක් පමණක් බව සනාථ වෙනවා නොවේද? යහ මිනිසෙකු වශයෙන් සෑම මුස්ලිම් වරයෙකුටම අනිවාර්ය වන 1 සිට 4 දක්වා වූ ජිහාද ප්‍රභේද පිළිබඳව ඉදිරිපත් කළ හැකි විවේචන කුමක් ද කියා දැන ගන්නට කැමැත්තෙමු. විවේචන ඇත්නම් අප වෙත යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ලොව දරුණුම ත්‍රස්තවාදය අභිබවා මහත් වූ ජයග්‍රහණයක් අත්පත් කරගත් අපගේ වීරෝධාර රණවිරුවන් හා මෙම ජයග්‍රහණය සඳහා ඉමහත් දායකත්වයක් ලබාදුන් අති දක්ෂ බුද්ධි අංශයන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා යැයි නිතර චෝදනා කරනු ලබන ‘ජිහාද් කල්ලි’ සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ සැබැවින්ම එවැන්නක් නොමැති නිසා නොවේද කියා ඇසීමට කැමැත්තෙමු. යම් හෙයකින් එවැනි ‘ජිහාද් කල්ලි’ තිබුණත් ඒවා සැබැවින්ම ඉස්ලාමයට පටහැනි ත්‍රස්තවාදී කල්ලි බව හැඳින්වීමට අපගේ මෙම විග්‍රහයන් මගින් පැහැදිලිවේ යැයි විශ්වාස කරන්නෙමු. එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදය විසින් උතුරේ හා නැගෙනහිර මුස්ලිම් ප්‍රජාවට අනේක විධ අපරාධයන් සිදු කරමින් සිටි කාල වකවානුවේ බිහි නොවූ ‘ජිහාද් කල්ලි’ දැන් බිහි වීමට ඇති අවශ්‍යතාව කුමක් ද යන්න ඇසීම සර්ව සාධාරණ ප්‍රශනයක් නොවේ දැයි කරුණාකර සිතා බලන්න.

ඉස්ලාමය හා ජිහාදය

ඉස්ලාමය යනු මිනිසාගේ මිහිතලය මත වූ ජීවිතය සඳහා පරිපුර්ණ මග පෙන්වීමක් ලබා දෙන අංග සම්පුර්ණ ජීවන සැලැස්මකි. සෞඛ්‍යය, පවුල් ජීවිතය, සමාජයීය සබඳතා, ආර්ථිකය, දේශපාලනය, රාජ්‍ය පාලනය, ජාත්‍යන්තර සබඳතා ආදී සියලු අංග අන්තර්ගත වන පරිදි ඉගැන්වීම් හා මග පෙන්වීම් ඉස්ලාමය ලබාදෙයි. මේ සියල්ල අතුරින් ඉස්ලාමීය රාජ්‍යයක ආරක්ෂාව මෙන් ම යුක්තිය හා සාධාරණය මත මනුෂ්‍යත්වයේ යහපත සඳහා වූ සිදු කෙරෙන ජිහාද් ප්‍රභේදය පිළිබඳව පමණක් ජාත්‍යන්තරව හඬක් නගන්නේ කුමක් නිසාද යන්න ප්‍රහේලිකාවක් ව පවතී. ඉස්ලාමයේ අනෙකුත් අංග පිළිබඳව මෙතරම් දරුණු අයුරින් විවේචන දකින්නට නොමැති අතර ජිහාදයේ සුළු ප්‍රභේදයන් අතුරින් ඉහත විග්‍රහ කළ 5 වන ප්‍රභේදය පමණක් තෝරාගෙන විවේචන ඉදිරිපත් කිරීම පිටිපස අනිවාර්යයෙන්ම සැඟවුණු අරමුණු නිසැකවම තිබිය හැක. මෙම 5 වන ප්‍රභේදයට අයත් සුරක්ෂාවරණ හා ආක්‍රමණික ජිහාදය පිළිබඳව අල් කුර්ආනයේ සඳහන් වැකි ඇත්තේ 5ත් 10ත් අතර වැනි ඉතාම අල්ප ප්‍රමාණයකි. නමුත් සාමය, සමාදානය හා සහජීවනය පිළිබඳව අල් කුර්ආනයේ වැකි 100 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර මේවා පිළිබඳව කතා නොකිරීමට අපොහොසත් වීම විශ්මයට කරුණක් නොවේදැයි අසන්නට කැමැත්තෙමු.

දුෂ්ටකම් නොකරන සාමයෙන් හා සමාදානයෙන් ජීවත්වන සියලු ජනයා සමග යහ මහජන සබඳතා පවත්වා ගැනීම පිළිබඳව ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් ඔවුන් නොසලකා හැරීම ද අපගේ විමතියට හේතු වී ඇත.

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හටද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 60:8)
මෙම අල් කුර්ආන් වැකිය බහු ආගමික හා බහු වාර්ගික සමාජයක සාමය හා සංහිඳියාව සහතික කරන්නක් නොවේ ද?

ඉස්ලාමිකයින් නොවන්නන් සැවොම ඝාතනය කරන ලෙස අල් කුර්ආනයේ වැකි පිළිබඳව වැරදි හා අවිචාරවත් අයුරින් අර්ථ දක්වමින් මුස්ලිම් ජනයා පිළිබඳ භීතිකාවක් ඇති කිරීමට කටයුතු කරන්නන් ඉහත වැකිය ගැන කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. මෙවන් ප්‍රෝඩාකාරී හැසිරීම සැබැවින්ම පිළිකුල් සහගතය.
“නුඹලාගෙන් ඔවුන් (සටන් කිරීමෙන්) ඉවත් වී නුඹලා සමග කිසි විටෙක සටන් නොවැද නුඹලා වෙත සාමය ඉදිරිපත් කරන්නේ නම් ඔවුනට එරෙහිව (සටන් කිරීමට) නුඹලාට කිසිම මඟක් අල්ලාහ් ඇති නොකරන්නේය”. (අල් කුර්ආන් 4:90)

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු”. (අල් කුර්ආන් 8:61)

අනෙකුත් සියලු දහම් අනුගමනය කරන්නන් විනාශ කිරීම සඳහා ඉස්ලාමිකයින් සැදීපැහැදී සිටිනා බව චෝදනා නගන්නන් ඉහත අල් කුර්ආන් වැකි උපුටා දක්වන්නට ඉතා අසරණ ලෙස අපොහොසත් වෙති. හේතුව ඉහත අල් කුර්ආන් වැකි අනුව අන් දහම් අනුගමනය කරන්නන්ට හානියක් කිරීම ඉස්ලාමයේ අරමුණ නොවන බව පැහැදිළිව දකින්නට ඇති හෙයිනි.

යුද්ධ හා ගැටුම් පිලිබඳ පොදු මතයන්

යුද්ධ හා ගැටුම් පිළිබඳව මානව විද්‍යාත්මක (Anthropological) අධ්‍යයනයන් කිහිපයක් පවත්වා ඇත. මේ අධ්‍යයනයන් සියල්ලම පාහේ පැමිණ ඇත්තේ සමාන නිගමනයන්ටය. අනාදිමත් කාලයේ සිට මිනිසා ගැටුම් හා යුද්ධයන්ට මැදිහත් වී ඇති අතර සැබැවින්ම මෙය මිනිස් ස්වභාවයේ යථාර්ථයක් බවත් මෙම අධ්‍යයනයන්ගෙන් ඔප්පු වී ඇත. නමුත් යුද්ධ හා ගැටුම් වලට මුල් වූ හේතු වෙනස් විය හැක. භුමිය, රාජ්‍ය බලය, සම්පත්, දහම, නිදහස, ගෞරවය යනාදී කරුණු මෙයට හේතු වුවා විය හැක. එලෙසම තමන්ව හා අන් අයව ආරක්ෂා කර ගන්නටත්, සතුරන් ට පහර දීමටත් මිනිසුන් යුද්ධ හා ගැටුම් කෙරෙහි යොමු වන බව සත්‍යයකි. කෙටියෙන් පවසන්නේ නම්, යුද්ධ හා ගැටුම් පොදු මානව සංසිද්ධියක් විනා එය එක් වාර්ගික කොට්ඨාශයකට, දහමකට, රටකට හෝ දෘෂ්ටියකට පමණක් සීමා වුවක්‌ නොවේ.

අල් කුර්ආනය හා ශුද්ධ බයිබලය පවසන අන්දමට මිහිතලය මත බිහිවූ පළමු මිනිසා වූ ආදම්තුමාගේ දරුවන් දෙදෙනා අතර මිනිස් ඉතිහාසයේ පළමු ගැටුම ඇති වූ බව සඳහන් වේ. බුදු දහම මිනිස් ගැටුම් පිළිබඳව සඳහන් කොට ඇති කරුණු දෙසට ද අවධානය යොමු කරමු. දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ විස්තර කරන පරිදි ආභස්සර බ්‍රහ්මලෝකයෙන් පැමිණි පිරිසකගෙනුයි මිනිස් පරපුරේ සම්භවය ඇති වන්නේ යැයි එහි සඳහන් වේ. මෙම පිරිස අතර අලසකම, නුදුන් දේ ගැනීම, බොරු කීම, වැනි හේතුන් මත ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් ඇති වූ හෙයින් පාලකයෙකු පත්කර ගැනීමේ අවශ්‍යතාව මතුවිය. එහෙයින් මිනිස් පරපුරේ පළමු පාලකයා වූ මහා සම්මත රජු පත්කර ගැනීමට කටයුතු කරන ලද බව එහි සඳහන් වේ. සුරසුර යුද්ධය ද තවත් උදාහරණයකි. බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසු කාලයේදීම විඩුඩභ රජු හා ශාක්‍යය වංශිකයින් අතර යුද්ධය වළකාලන්නට බුදුන් වහන්සේ තෙවරක් කටයුතු කළ ද හතර වන වතාවේ බුදුන් වහන්සේ එසේ කිරීමට ඉදිරිපත් නොවුන අතර ඉන් පසු ඇතිවූ යුද්ධයෙන් ශාක්‍යය වංශිකයින්ට මහත් වූ හානි සිදු වූ බව සඳහන් වේ. මේ අනුව බැලීමේදී මිනිස් සමාජයේ ගැටුම් මිහිතලයේ මිනිසාගේ සම්භවය දක්වා ඈතට දිවයන එකක් බවත් එය මිනිස් සංහතියේ වාර්ගික, ආගමික, භෞමික හෝ සංස්කෘතික භේදයකින් තොරව පොදුතාවකින් සිදුවන්නක් ලෙස ද පැහැදිලි වේ.
වර්තමාන ලෝකයේ දැනටමත් විවිධ යුද්ධ සිදුවෙමින් පවතී. මේවා සියල්ලම පාහේ ඛනිජ තෙල් වැනි සම්පත් සඳහාත්, ලෝක බලවතුන් ට අවනත නැති රටවල් අස්ථාවර කිරීම පිණිසත්, යුද්ධෝපාය ස්ථාන අත්පත් කර ගැනීම සඳහාත් කරන යුද්ධ බවට මැදිහත් ව සිතන ඕනෑම අයෙකුට නිරවුල් ව පෙනී යන සත්‍යයකි. මෙයට උදාහරණ වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපදය හා යුරෝපා සංගමය එකතුව ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ පවත්වා ගෙන යන යුද්ධ පෙන්වා දිය හැක. සමුහ මිනිස් ඝාතක අවි (Weapons of Mass destruction) ගබඩා කොට ඇති බවට නිශ්චිත බුද්ධි අංශ වාර්තා ඇති බවට සඳහන් කරමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඉරාකය ආක්‍රමණය කළහ. ඔවුන් කිසිදු සමුහ මිනිස් ඝාතක අවියක් සොයා නොගත් අතර මෙම චෝදනාව හුදෙක් එම රට ආක්‍රමණය කිරීම ලෝකයා ඉදිරියේ සාධාරණීය කිරීම සඳහා ඉදිරිපත් කළ මිත්‍යා ප්‍රචාරයක් පමණක් බව මෙයින් සනාථ වෙනවා නොවේ ද?

යුද්ධ හා ගැටුම් පිළිබඳ ඉස්ලාමීය මතය.

ඉස්ලාමිකයින් යුද්ධයකට අවතීර්ණ වන්නේ නම්, එය සාමය ඇති කිරීම උදෙසා සාධාරණය හා යුක්තිය මත පදනම් වූ එකක් විය යුතු බව මෙම ලිපියේ ඉහතින් සනාථ කර ඇත්තෙමු.

යම් අවස්ථාවන්හි දී ආක්‍රමණකාරී ජිහාදයේ (ප්‍රයත්නයේ) යෙදෙන්නට සිදුවන අවස්ථාවන් ද නැත්තේ නොවේ. මෙවන් තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවන්නේ බලය යොදා ඉස්ලාමය ව්‍යාප්ත කිරීම හෝ අන් දහම් විනාශ කිරීම හෝ අරමුණු කොට ගෙන නොවේ. මෙලෙස බලය යොදා ඉස්ලාමය ව්‍යාප්ත කිරීම හෝ අන් දහම් විනාශ කිරීමට කටයුතු කිරීම සහතික වශයෙන්ම ඉස්ලාමීය ප්‍රතිපත්තිය නොවේ. මෙම ජිහාදයේ අරමුණ මිනිස් සංහතියේ අයුක්තිය හා දුෂ්ටකම් වල බලවේගයන් තුරන් කිරීමට කටයුතු කිරීමය. අයුක්තිය හා දුෂ්ටකම් තුරන් කිරීම ජිහාදයේ අරමුණ නම් කෙලෙස නම් අයුක්තිය හා දුෂ්ටකම් ජිහාදයේ පදනම විය හැක්කේ ද කියා අසන්නට කැමැත්තෙමු.

සියලුම ආකාරයේ යුධ තත්ත්වයන්හි දී ඉස්ලාමීය මග පෙන්වීම් අනුගමනය කරමින් කටයුතු කළ යුතුය. යුද කටයුතු සම්බන්ධව අනුගමනය කළ යුතු ඉස්ලාමීය ආචාර ධර්මයන් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

1. කිසිවෙකුව ගින්නෙන් පුලුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වධ හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන් ම තහනම්ය.
2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන් ට පහර නොදිය යුතුය.
3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.
4. යුද සිරකරුවන්ගේ මුලික අවශ්‍යතා නිසි ලෙස ඉටුකර දිය යුතුය.
5. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.
6. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපළ හානි සිදුකිරීම, සපුරා තහනම්ය.
7. තමන් යටතට පත් වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.
8. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගඡේදනයන් කිරීම සපුරා තහනම්ය.
9. සතුරු මෘත දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.
10. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.
11. මහලු අය, රෝගීන්, ස්ත‍්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතුය.
12. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.
13. ගස් හා භෝග වර්ග විනාශ නොකළ යුතුය. මේවාට ගිනි තැබීම සපුරා තහනම්ය.
14. සතුරු කඳවුරට අයත් ගව මහීෂාදීන් නිකරුණේ මරා නොදැමිය යුතුය.

ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය. මේ අනුව ඉස්ලාමය යුද්ධ කරන්නේ මිනිසුන් ඝාතනය කිරීම සඳහා නොව අපරාධය ඝාතනය කිරීම සඳහාය.

වර්තමාන බටහිර ජාතීන් රටක් ආක්‍රමණය කරන විට ඉහත යහ චර්යාවන් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අමුතුවෙන් අදහස් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවන බව අප සැවොම දන්නා කරුණකි. ඉරාකය හා ඇෆ්ගනිස්තානය යන රටවල්වල සිවිල් වැසියන් දස දහස් සංඛ්‍යාවක් ඔවුන්ගේ උණ්ඩ වලට ඉලක්ක වී ජීවිත පරිත්‍යාග කළ අතර දැනටත් එය සිදු වෙමින් පවතින බව මාධ්‍යය දෛනිකව වාර්තා කරමින් සිටියි. එම රටවල්වල යටිතල ව්‍යුහයන් විශාල ප්‍රමාණයක් විනාශ කොට දමා ඇති අතර ඒවා පුනර්නිර්මාණය කිරීමේ කොන්තරාත්තු බටහිර සමාගම් වලට ලබා දී එහි පිරිවැය යටත් කර ගත්තාවූ රටට ගෙවන්නට කටයුතු සලස්වා තිබේ. ඉරාකය මෙයට කදිම නිදසුනකි. ඉහතින් සඳහන් කළාක් මෙන් බටහිර රටවල් සම්පත් සුරා කෑමටත්, යුද්ධෝපාය ස්ථාන අල්ලා ගැනීමටත්, තමන්ට අවනතභාවයක් නොදක්වන රටවල් අස්ථාවර කරන්නටත් නුතනයේ යුද වදින බව පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයකි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මෙවන් හේතු පදනම් කර ගෙන යුද්ධයකට අවතීර්ණ වීම සහමුලින්ම තහනම්ය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව යුද්ධයකට අවතීර්ණ වීමට අනුමැතිය ඇති හේතු දෙක ඉහතින් සඳහන් කර ඇත්තෙමු.

සමාප්තිය

ඉහතින් ඉදිරිපත් කොට ඇති විග්‍රහයන් දෙස මධ්‍යස්ථව හා විචාරශීලීව අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. විවිධ ආගමික හා වාර්ගික කොටස් අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කිරීම අරමුණු කොට ක්‍රියාත්මක අන්තවාදී සංවිධානයන්හි වැරදි උපක්‍රමණයන් අවබෝධ කරගෙන ඒවා පරාජයට පත් කොට සෑමට සහෝදරත්වයෙන් හා සුහදත්වයෙන් ජීවත්විය හැකි සමාජ පරිසරයක් ගොඩ නගන්නට කැපවී ක්‍රියා කරමු.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවත එන සිංහල මුස්ලිම් සමගිය හා සුහදත්වය බිඳ දැමීම මෙවන් අනිසි පදනම් විරහිත චෝදනාවන්ගේ අරමුණ බව ඉතා හොඳින් පැහැදිලිවන කරුණකි. එනිසා අපි සත්‍යය අවබෝධ කර ගනිමු, දැනුවත් වෙමු, වෛරය ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී හා සමගියෙන් බැඳුනු මාතෘ භූමියක් ගොඩ නගමු. අනාගත පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් සපිරුණු රටක් ගොඩ නගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට වහ වහා අධිෂ්ඨාන කර ගනිමු.

තමන්ගේ ආගමික හා වාර්ගික අනන්‍යතාව රැක ගනිමින් හා අන් අයගේ ආගමික හා වාර්ගික අනන්‍යතාවට ගෞරව කරමින් කටයුතු කරන ශ්‍රේෂ්ඨ ආදර්ශමත් රටක් ලෙස අපගේ මාතෘ භුමිය ගොඩ නගමු.

by: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *