ඇත්තටම දෙවිකෙනෙක් සිටිනවාද? නැතිනම් එය මිත්‍යා විශ්වාසයක්ද? දෙවියන්ව විශ්වාස කිරීමට නම් ඔහුව දැකිය යුතුමද?යම් කිසි දෙයක් සිදුවීමට නම් ඒ සඳහා බලයක් යෙදවිය යුතු බව සර්වත්‍ර නියමයකි. ඒ අනුව මෙම විශ්වය බිහි වීමට නම් යම් බලයක් ක්‍රියාත්මක විය යුතුය. දැනට සිදු කොට ඇති පර්යේෂණ වලට අනුව එම බලය කුමක්දැයි සොයාගෙන නොමැත. එම බලය ගැන පර්යේෂණ කිරීම මිනිසාගේ හැකියාවෙන් ඔබ්බට ගිය  එකක් වූ පමණින්ම එවැනි බලයක් නැතැයි පැවසීම පිළිතුර වන්නේ නැත. කෙසේ වෙතත් මිනිසාට ලැබී ඇති සාක්ෂි අනුව එවැනි බලයක් තිබෙන බවට විශ්වාස කිරීම සාධාරණය. උදාහරණයක් වශයෙන් අපට පිට සක්වලකින් යම් ඥානාන්විත ගුවන්විදුලි සංඥාවක් ලැබුනා යැයි සිතමු. එවිට අපි ගනු ලබන නිගමනය විය යුත්තේ එය ස්වභාවිකව ඇති වූ දෙයක් ලෙසද නැති නම් යම් කිසි ඥානාන්විත පිටසක්වල ජීවින් විසින් යවන ලද්දක් ලෙසද? ඇත්ත වශයෙන්ම මෙහි දෙවන පිළිතුර මිනිසා විසින් ගත යුතු බුද්ධිමත් තේරීමක් වන්නේය. ඒ අනුව මිනිසාට දෙවියන් පහළ කොට ඇති දේව වැකි පිළිගැනීම බුද්ධිමත් තේරීමක් වන්නේය. එසේ කිරීම කිසිසේත්ම මිත්‍යා විශ්වාසයක් වන්නේ නැත.

මිනිසා සෙසු ජීවින් සමග සැසඳීමේදී අතිශයින්ම බුද්දිමත් ජීවියෙකි. ඒ අනුව මිනිසාට ඇතැම් දේවල් ඔහුගේ බුද්දියෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ. එසේ තිබියදීත් යමක් විශ්වාස කිරීමට පෙර එය දැකිය යුතු යැයි කීම තමන්ව තිරිසනාට සමාන කිරීමක් වන්නේය.

විශ්වය ගැන හැදෑරීමේදී එහි ඇති කුඩාම අංශුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම යම් කිසි අද්විතීය විශ්ව නියමයන්ට යටත්ව ක්‍රියා කරන බව පෙනී යන්නේය. මේවා කිසිසේත්ම ඉබේ සිදුවිය හැකි දේවල් නොවේ. එසේ නම් ඒවා කව්රුන් විසින් කල දේවල් විය යුතුද?

මහාචාර්ය ස්ටෙෆාන් හොකින් මහතා විසින් ප්‍රකාශිත “A brief history of time from big bang to black hole” (පිටු අංක 122 පළමු ප්‍රකාශනය 1988) නමැති ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට විශ්වය මවා ඇත්තේ සර්වබලධාරී දෙවිකෙනෙකු විසින්ය. මෙම නිගමනයට ඔහු පැමිණ ඇත්තේ විශ්වය ගැන අධ්‍යනය කිරීමෙන් පසුවය. කෙසේ වෙතත් ඔහුගේ නවතම අදහස වන්නේ විශ්වය ඉබේ ඇතිවූ එකක් බවයි. මෙම දෙවන මතය විද්‍යානුකූල එකක් නොවන බව බොහෝ විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.

මුලින්ම නිෂ්පාදිත දෙයක් ගැන නිවැරදිව විස්තර කල හැක්කේ එහි නිෂ්පාදකයාටය. ඒ අනුව විශ්වයේ ආරම්භය නිවැරදිව විස්තර කල හැක්කේ එහි මවුම්කරුට පමණි. මේ සඳහා දෙවියන් විසින් ඔහුගේ නියෝජිතයින් වන නබිවරුන් හරහා මිනිසාට දහම් පණිවිඩ ලබා දී ඇත.

දෙවියන්ගේ නියෝජිතවරුන් වන නබිවරුන් පවසන දේවල් සත්‍යය කරුණු බව පෙන්වීමට ඔවුන් විසින් නොයෙකුත් ප්‍රාතිහාර්යන් සිදු කොට තිබේ. උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන් නැගිට්ටේව්වේය, උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දුන්නේය, ලාදුරු රෝගීන්ව සුවපත් කළේය, එසේම මුසා නබිතුමා මුහුද දෙබෑකොට පෙන්නුවේය, ඔහුගේ හැරමිටිය නාගයෙකු බවට පත් කළේය. මෙම නබිවරුන්ට පෙර පැමිණි වක්තෘවරුන්ද නොයෙකුත් ප්‍රතිහාරයන් සිදු කොට ඇත. මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය අප අතර ඇති ජීවමාන ප්‍රාතිහාරයකි.

අල් කුරානය දෙවියන් පහළ කල එකක් බව සනාථ කිරීමට අවශ්‍ය කරුණු එය තුලම තිබේ. එබැවින් අල් කුරානය නිවැරදිව හැදෑරීමෙන් එය මිනිස් නිර්මාණයක් නොවන බව තේරුම් ගැනීමට හැකි වනු ඇත.

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

One thought on “දෙවියන් සිටින බවට සාක්ෂි මොනවාද? (What evidence is there that God exists?)”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *